නිම්නාවී සවස පිටත් වුනේ මන්දාරම්ගේ ඇස් වලින් ඇති තරම් හී පහර වින්දාට පසුවය. මුවින් නොකීවාට, මන්දාරම් ඇයට සෑහෙන දේ දැනෙන්නට හැරියේය. පැය කිහිපයක් තුළ මන්දාරම් ඇයට තම හදවත විවර කර දමා තිබුණේ අවැසි ලෙසින් එන්නට යන්නටය. නිම්නාවී උන්නේද ජීවිතයේ කවදාවත් නොවූ තරමින් හුස්මක් අල්ලමිනි. එහෙත් ඒ හුස්මේ තිරත්වය ගැන ඕ දැන උන්නේ නැත.
” අම්මා එක්ක කතා කරන්න .. හෙට උදේ වෙනකොට සැනසීමෙන් එලියට බහින්න පුලුවන් තත්වයක් හදාගන්න ..”
නිම්නාවී එලෙසින් කීවේ මන්දාරම්ට නොව සෙත් ටය. සෙත් හෝ ඔහුගේ මව කිනම් හෝ කාරණාවක් නිසා මානසික වද වේදනා විඳිය යුතු නොවේය. තමා සිටියදී එවැන්නක් සිදු වන්නට කෙලෙසකින්වත් ඉඩ නොදෙමියි නිම්නාවී සිතුවාය.
” හරි … “
මන්දාරම් හිස වනා එකඟ වූයේ හදවතින් මය. ළයාදර ගැහැණු පිරිමි හිත් වලට එහෙම ආක්‍රමණශීලී ලෙසින් පිවිසීම සුන්දරය. නිම්නාවී කොහොමටත් මවුවත් කෙල්ලකි. බලා කියා ගන්නට දන්නා කෙල්ලකි.
“දවල්ට කන්න ඕනි හරිද ?.. සනීප වෙනකල් රෑට එලියට යන්න නම් එපා …. ඔයා ටිකක් ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න පුරුදු වෙන්න …. “
මෙහෙම ආදරණීය ආක්‍රමණයන් ජීවිත නැවුම් බවින් පුරවන්නේය. මන්දාරම් උන්නේද නිම්නාවීගේ සුන්දර ආක්‍රමණයට තමා තුළට එන්නට ඉඩ දෙමිනි. ඉන් තම ජීවිතය තුළ වූ යම් හිඩැසක් හරි සීරුවෙන් පිරෙන බව මන්දාරම්ට දැනෙන්නේය.
නිම්නාවී කඩවතින් මෝටර් රිය ගෙන නිවසට යන තුරු සිහිය පවත්වාගන්නට උත්සාහ කලාය. දිනය තුල ජීවිතය අංශක තුන්සිය හැටකින්ම පෙරැලි ඇත. පෙනෙන තෙක් මානයක නොවූ බලාපොරොත්තු කන්දක් එක්වරම දෙපා මුලට වැටී ඇත. ඒ මදිවාට ඔහු තමා කෙරෙහි දයාර්ද , හැසිරීම් පෙන්වන්නේ ඉමක් තෙරක් නැතිවය. අද දිනය තුලම ඔහු කෙතරම් නම් දයාබර වූවාදැයි නිම්නාවී සිහි කලේ නාන කාමරය තුළ ශවරය යට සිටගෙනය. ඕ පැයක් පමණම නාන කාමරය තුලට වී උන්නාය. ඉන් පසුව කාමරයට විත් ජංගම දුරකතන දෙකම අතට ගත්තාය.
මඟ හැරුණු ඇමතුම් දොලහකි. මන්දාරම් නමිනි. දෙවරක් සිතන්නට නිම්නාවීට ඉඩක් වූයේ නැත. හදවත ඉක්මන් වී ප්‍රතිචාර දක්වන්නට බල කර තිබුණි. ඕ පෙරලා ඇමතුමක් ගත්තාය.
” කොහේද නිම්නාවී ?…”
” ගෙ .. ගෙ..ගෙදර …”
” ෆෝන් එක කොයි ලෝකේද තිබුණේ ? වෙන කෙල්ලන්ගේ බැලුවොත් ඇත්නම් ෆෝන් එක අතේමයි . ඒකට මේක …”
” ඒ වෙන කෙල්ලන්ට ෆෝන් එක අතේ තියාගෙන කතා බහ කරන්න, ජීවිතේ බෙදා හදාගන්න කට්ටිය ඉන්න නිසානේ .. මට එහෙම කවුරුත් නෑ.. ඒ නිසා මම ෆෝන් එක අතට ගන්නේ මට පණිවිඩයක් දෙන්න ඕනි නම් විතරයි …”
නිම්නාවීද නොසැළී කඩා පැන්නාය. මේ මිහිර නම් අමුතුය. පාසැල් කාලයේ විවාද කණ්ඩායම් හී ගැටුණු සෙත් සිහිවේ.
” හරි එහෙමයි කියමුකෝ .. දැන් එතකොට ඔය ෆෝන් එක අතට ගත්තේ කාට පණීවිඩයක් දෙන්නද ?…”
සෙත් ප්‍රතියෝජක පිළෙන් මතුවන වැකියක අන්තිම කොනේ එල්ලී කණ්ඩායම ගොඩ දමන ආකාරය සැනින් නිම්නාවීට සිහි විය. ඔහු වෙනස් වී නැත. නොඑසේ නම් ඔහු සඟවාගෙන සිටින බොහෝ දෑ තමා ඉදිරියේ දිග හැරෙන්නේය.
” ඈහ් නිම්නාවී …”
” ඒක ඇයි මං ඔයාට කියන්නේ ඉතින් ?…”
නිම්නාවී හඬ උස් කර, මන්දාරම් යටත් කරගන්නට සිතමින් කීවාය.
” ඕකේ දෙන් .. බායි …”
ඇමතුම විසන්ධි වූයේ නිම්නාවිට කිසිත් සිතා ගන්නට ඉඩ නොතබමිනි. ඕ එහෙමම සයනයට වැටුණාය. මන්දාරම්ද සයනයේ ඉඳගෙන පෙරලා එන ඇමතුම තෙක් කාලය ගැන්නේය. නිම්නාවී ජංගම දුරකතනයෙන් යලි මන්දාරම් ඇමතුවේය. ඉතින්, මන්දාරම්ට පිළිතුරු නොදී ඉන්නට හේතුවක් වූයේ නැත.
” ඇයි ?….”
ඔහු මවාගත් හඬකින් විමසුවේය.
” විහිලු දන්නේ නැති මිනිස්සු එක්ක විහිලු කරන්න ගියාම හිත් රිදෙනවා කියලා අහලා තිබුනාට, අද තමයි ඒක අත් වින්දේ …”
ඕ මෙහෙම පවසන්නේ සිතා බැලීමකින් තොරවය. මන්දාරම්ගේ මුවඟට මන්දස්මිතයක් වැටුණි. එහෙත් ඔහු ඉන් ශේශයක්වත් නිම්නාවීට දැනෙන්නට දුන්නේ නැත.
” දැන් හිත රිදුනේ ඔයාගේද ?…”
නිම්නාවී සයනයෙ පෙරලුනාය. මොහු විවාද කණ්ඩායමක නායකයාය. එකල්හී කුසලාන පිට කුසලාන ඉස්සූ සෙත් වර්ණකුලය. තමා කෙලෙසින් ගැටෙන්නද ?..
” ආහ් නිම්නාවී .. විහිලු නොදන්න මිනිහා මම කියමු .. එතකොට හිත රිදුනේ ඔයාගේද ?..”
” මිස්ට කතා කලාද ?…”
නිම්නාවී සැනින් විමසුවාය. සයනයේ අනෙක් පැත්තට පෙරලුනාය. මන්දාරම් මුවඟේ සිනහව ක්ෂය වෙන්නට නොදීම සයනයෙන් නැගිට ජනේලය වෙත ඇවිද ගොස් අහස බැලුවේය.
” චානා ආවහම කතා කරනවා…”
” අම්මයි පුතයි වුන ඔයාලා දෙන්නා අතරට චානක මොකටද ?…”
නිම්නාවී ක්ශණිකව විමසුවාය. සෙත් සහ ඔහුගේ මව අතරේ හිඩැසක් නොතැනෙන සේ සියල්ල සැකසිය යුතුය.
” මගේ හිත කලබලයි නිම්නාවී … අනෙක, මම උදේ කිව්වේ මොනවද කියලවත් මට මතක නෑ …”
” කලබල නම් සන්සුන් වෙන්න කරන්න තියෙන දේ තමා මිස් එක්ක කතා කරන එක .. අනෙක ඔයා කීව දේවල් ඔයාට අමතක වුනාට මිස්ට මතක ඇති …”
නිම්නාවී හීනි ඊතලයක්ද මුදා හැරියේය. සෙත් රිදවන්නට නොවේ. මන්දාරම්ට රිදෙන්නටය.
මන්දාරම් නිහඬවම රිදුම් පිරිමැද්දේය.
” ගිහින් කතා කරන්න .. මිස්ගේ පැත්තේ කතාව අහන්න …ඒකෙන් පස්සේ ඔයාලාගේ ජීවිත වල ලස්සන වෙනස්කම් වෙන්න වුනත් පුලුවන්.. මං කියන දේ විශ්වාස කරන්න, අහම්බකාරක වැරදීම් වලින් සෑහෙන්න ලස්සන ගමනාන්ත වලට යන්න පාරවල් විවෘත වෙනවා…”
මන්දාරම් ඇගේ වචන ගැලපීම ආසක්තව මෙන් අසා උන්නේය. ඇය මඟ හැරුනානම් අපරාදේ නොවේදැයි වන ලෝබකම ඔහුගේ සියොළඟ පුරා පැතිරී ගියේය.
” හරි නිම්නාවී .. මම අම්මට කතා කරලා එන්නම් …”
” හරි .. කෝල් එකක් ගන්න ..”
සෙත් වෙනුවෙන් එලෙසින් නොපවසා සිටින්නට නිම්නාවීට හැකි වූයේ නැත. ඇමතුම විසන්ධි වනවා සමඟම පසන්ගේ ඇමතුම අනෙක් ජංගම දුරකතන තිරය මත වූයේය. නිම්නාවීගේ හදවත තූල මහ ගින්නක් ඇවිලී ගියේය. ඔහු සිටින බව අද දිනයටම සිහි වූයේ නැහැ නොවේද ?
සෙත් නොසිටි ලෝකයක තම ජීවිතයේ නූල අම්මාට දී ඉන්නට හැකි විය. අම්මා ඒ නූල පසන් වෙත ගෙන ගියේය. තමා එයට එරෙහි නොවී ඔහේ උන්නේය. එහෙත් තවදුරටත් තමාට එලෙසින් සිටිය හැකිදැයි කල්පනා කරන්නට තරම් සෙත් මන්දාරම් වර්ණකුලගේ ආගමනය ඕ ශක්තිමත් කරවා තිබුණි. එහෙත්, ඒ ශක්තිය සැනින් දියාරු කර දමන්නට ඇගේ අතීත භීතිකාවන්ට හැකි විය.
” නිම්නාවී .. ඔයාට ගෙන්න ඕනි දේවල් තියෙනවා නම් මට බලලා වට්සැප් කරන්න .. මට හොය හොයා ඇවිදින්න බෑ .. මම මෙහෙ කාට හරි කියලා කලෙක්ට් කරවාගන්නම් …”
නිම්නාවී දෙතොල් පිට පෙරලා ඔහුට ඇද කලාය. එහෙම වගකීම ඉටු කරන්නට, ඕනෑවට එපාවට ගේන තෑගි නම් නැතිව යෑමම යෙහෙයි ඕ සිතුවාය.
” එහෙම මුකුත් ඕනි නෑ පසන් … ඩැඩා ගිහින් එනකොටත් සෑහෙන්න දේවල් ගෙනාවනේ.. මට එහෙම ඕනි හිතෙන්නේ නෑ මුකුත් … මම කියන්නම් මතක් කරලා බලලා ..”
නිම්නාවී එහෙන් මෙහෙන් පිළිතුරු දුන්නාය. එහෙත් පසන්ට එහි වෙනසක් වැටහුනේ නැත. නිම්නාවී කොහොමටත් එහෙමය.
” ගෑණු ළමයාට මම නැතුව පාලුද ?..”
” අපෝ නෑ ..”
නිම්නාවී සිතින් සිතා, කිසිත් නොකියා උන්නාය.
” මෙ නිම්නාවී .. මට ලේට් වෙනවා, ටෙක්ස්ට් කරන්නම් .. ආෆ්ටර් වන් අවර් පාර්ටි එකක් තියෙනවා…”
“ඕකේ … ටේක් කෙයාර් …”
නිම්නාවී ඇමතුම විසන්ධි කර ඒ ජංගම දුරකතනය පසෙකට දමා අනෙක් ජංගම දුරකතනය අතට ගත්තාය. ඒ ඔහු වෙනුවෙනි. ඉතින්.. සෙත්…….,
ඇය දිලුම් අමතා ඔහු නිවසට එන වෙලාව විමසුවාය. ඇයට උණුසුම් වැළැඳගැනීමක් අවැසිව තිබුණි. ඒ තරමේම හුදෙකලා වීමක්ද අවැසි බව දැනුණි.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |