මල් බිඟුන් – 29

සාන්වී ගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටීමෙන් පස්සේ ගෙවල් දෙකේ ම ළමයි යළි ළමා වියෙහි එකට සිටියා සේ ම එකමුතු බවක් පෙන්වන්නට වූහ. සන්දේශ් හවසට සාන්වී ගේ කාර්යාලය අසලට ගොස් යතුරු පැදියෙහි ඇය ගෙදර ගෙන ආවේ ය. මුල් දවසේ ගේට්ටුව ළඟටත්, ඊළඟ දවසේ බංකුව වෙතටත්, ඊට පස්සේ ගේ ඇතුළටමත් එන්නට සන්දේශ් ට අවසර ලැබිණ. සාන්වි ගේ හිත හදනු වස් මහානාම පිරිමි ළමයි ඇයව විහිළුවට අල්වා ගත්හ. සති අන්තයේ දී ඔවුහු මල්වත්තගේ ගෙදර රොක් වී මලයාලම් චිත්‍රපට නරඹන්නට ගත්හ.
“මොනාද අප්ප මේ ලව් ස්ටෝරීස් නැතුව බලමුකො හොඳ ඉංග්ලිශ් ඇක්ශන් මූවි එකක්”
එතකොට රුසිරු ඇඟමැළි කඩමින් කියයි. පූජන ද ඒ අදහසට එකඟ ය. නමුත් කෙල්ලන් ගේ තීරණය අවසාන තීරණය වේ. කැමැත්තෙන් හෝ නො කැමැත්තෙන් ඊට එකඟ වීම පිරිමිකම නම් වේ. මේ චිත්‍රපට බැලිල්ලට සන්දේශ් ව ද ගෙන්වාගනු ලැබුණෙන් ඔහු ට සති අන්තයේ දිවා කාලය ගෙදර රැඳිය හැකි විය. තාත්තා හා පුතා තවමත් උනුන් හා ඍජුව කතා බහ නොකළ ද දුරේශ් තුළ මුලදී තිබූ කේන්තිය දැන් නැත. නමුත් තවමත් ඔහු ගේ දඬුවම නිමා වී නොමැත. ළමයින් කුඩා කල පටන් ඔහු දඬුවම් කළේ ඉන් ජීවිත කාලයට ම පාඩමක් උගත හැකි වන ලෙසයි.
චිත්‍රපට නරඹන අතරේ ඔවුහු නොයෙක් කෑම වර්ග තනති. සිනමා දර්ශන වලට වේවා උනුන් ගේ පෞද්ගලික කාරණා වලට වේවා සිනහවේ නිමක් නැත. උසුළු විසුළු වල තෙරක් නැත. සාන්වී ට සිය බිඳ වැටුණු ප්‍රේමය ගැන හිතමින් ළතැවෙන්නට ගෙදරදී නම් කාල වේලාවක් වූයේ ම නැත.
මේ වගේ එක්වීම් වැඩිපුර මල්වත්තගේ ගෙදර ම සිදු වන නිසා ඒ වෙලාවට මහානාම ගෙදරට යන්නට අමාගී ට ඉඩක් නො ලැබේ. ඒ වෙලාවට ආයු ද ඉන්නේ ඔවුන් සමග වන නිසා අනිත් අයට අනුව නම් ඇයට මහානාම ගෙදර යන්නට හේතුවක් ම නැත. නමුත් මලයාලම් චිත්‍රපටයක් නරඹත්දීත් කෑමක් හදත්දීත් ඇයට ආර්ය සිහි වන එක වැළකිය නො හැකි ය. ‘මණී ආන්ටිට’ යයි කියමින් කෑමක් ගෙන එක වරක් එහි යා හැක. නමුත් වැඩි වෙලාවක් රැඳිය නො හැකි ය.
මල්වත්තගේ ගෙදර පැත්තෙන් ඇහෙන උස් සිනහ කතා ආර්ය ට මැනවින් ඇසේ. අද ඊයේක නොව ළමා වියෙහි පටන් ම ඔහු ඒ සමාගමයට ගියේ නැත. විශේෂයෙන් ම ගෑනු ළමයින් ඇසුරේ ඔහු වඩාත් ලැජ්ජාශීලී වූයෙන් එවන් සමාගමයන් මගහැර සිටිනා එක වඩාත් පහසු විය. වෙනදාට ඔවුන් ගේ ඇසුරෙහි උවමනාවක් ඔහු ට දැනී ද නැත. නමුත් මේ හදිසියේ, ලෝකයෙන් ම හුදෙකලා වී ඇති බවට හැඟීමක් ඔහු නො සන්සුන් කරයි.
මේ හැන්දෑවේ තවත් ගෙදර රැඳෙන්නට ම බැරිව ආර්ය මල්වත්තගේ ගෙදර පැත්තට ආවේ ය. එවන් දර්ශනයක් විරල වේ. ඔහු ලෙහෙසියෙන් එහෙම නො එනා කෙනෙකු නිසා ඒ පැමිණීම සුවිශේෂ ය. දුර්ලභ සිදුවීම් සාමාන්‍ය ඒවාට වැඩියෙන් අගනේ ය. මහානාම සහෝදරයන් තිදෙනා තරමක් වික්ශිප්ත වී ද ගෑනු ළමයින් ඔහුව ගෞරවයෙන් පිළිගත්හ. කකුල් ටීපෝව මත දමාගෙන සිටි සන්දේශ් වහා දෙපා බිම දමා ගත්තේ ය.
“ආර්ය එන්න ඇතුළට වාඩිවෙන්න”
මුලින් ම ඒ පිළිගැනීම අශ්විනි ගෙන් ය.
“ඉඳගන්න ආර්ය”
කියමින් සන්දේශ් සිය අසුනෙන් නැගී සිටියේ ය.
“නෑ නෑ ඕන්නෑ. මං මේ ආයු එක්කං යන්න ආවෙ. මෙයා මෙහෙටම වෙලා ඉන්නවනෙ. මට කම්මැළියි”
“හරි හරි ඉතිං ආව එකේ තේකක් එහෙම බීල යං ලොකයියෙ. ඔයා ඉතිං හැමදාම එන කෙනෙකුත් නෙවේනෙ”
සාන්වී ද ඇරයුම් කළ පසු ආර්ය අසුන්ගත වූයේ ය. ආයු දිවැවිත් තාත්තා ගේ උකුල මත්තට පැන්නේ ය. අමාගී ඇතුළාන්තයෙහි සමනල චලන අත්විඳින්නට වූවා ය. ඇය තේ පිළියෙල කළේ උනන්දුවෙනි. අශ්විනී පැණිපොල් දමා පෑන් කේක් තැනුවා ය. අමාගී යහමින් ඉඟුරු කොටා දමා රන්වන් පදම එන සේ ඉඟුරු තේ සූදානම් කළා ය.
“වැඩිය සීනි දාල තියෙන්නෙ කෝකටද දන්නෑ නේ…”
තේ බන්දේසියෙන් ඔහු ගේ තේ කෝප්පය ගන්නට පෙර රුසිරු හෙමිහිට විමසත්දී අමාගී ගේ දෑස් දිළිසිණි.
“ඔයා කිව්වෙ නෑනෙ වැඩි සීනි ඕන කියල”
ඇය ඒ විහිළුව විහිළුවෙන් ම සමහන් කළා ය.
“තේ වල මෙච්චර සුවඳක් තියනවද ආ… වෙනදට එහෙම නෑනෙ”
පූජන තේ සුවඳ ඉව කළේ ය.
“ඉඟුරු සුවඳ අනේ”
අමාගී ඒ කඩඉම ද පැනගත්තා ය. ආර්ය වෙත තේ බන්දේසිය පාත්දී අමාගී ගේ හද ගැස්ම බෙහෙවින් ඉහළ නැංවී තිබිණ. එය සතුට ද බිය ද චමත්කාරය ද කැළතුණ මිශ්‍ර හැඟීමකි. ආර්ය ඉක්මන් බැල්මකින් ඇගෙන් දෑස් මුදාගත්තේ ය. ආර්ය පැමිණ ඇති බව දැනගැනීමෙන් පසු දුරේශ් ද කාමරයෙන් පිටතට පැමිණ ඔහු සමගින් සේපාලිකා ගහ යට බංකුව වෙතට ගියේ ය.
“කොහොමද පුතා නඩුවෙ කටයුතු එහෙම…”
ඔවුන් ටික වෙලාවක් නඩුව ගැන සාකච්ඡා කරමින් සිටියහ. නිධී විසින් සිය අත් අකුරෙන් ම ලියා තබා ගිය සටහන, ඇය ද්වේශ සහගත ලෙස ඔහු හැර ගිය බව ඔප්පු කිරීමට වන හොඳ ම සාක්ෂිය වී තිබිණ. වැඩි කල් ගත නොවී තීන්දුව ලැබෙනු ඇති බව නීතීඥවරයාගේ අදහස විය.
“සොබා දහමෙ නියමයන් හරි පුදුමයි පුතා. අපි නොහිතුවට හැම දෙයක්ම වෙන්නෙ සොබා දහමෙ තීන්දු වල හැටියට. අපේ ජීවිත වල හිටිය අය ඈත් වෙලා යනකොට ඒක අපිට දරාගන්න බැරි වේදනාවක් වෙනව තමයි. හැබැයි පුතා එහෙම වෙන්නෙ ඊට වැඩිය හොඳ හමුවීමක් වෙන්න තියන නිසා”
ආර්ය දුරේශ් දෙස බැලුවේ විමතියෙනි. දැනටමත් ඔහු ට ඒ හොඳ ම හමුවීම හමු වී තියේ. නමුත් මේ තරම් දේවල් සිදු වීමට පෙර ඒ හමු වීම සිදු නොකරන්නට කාරණා කිම? ඇතැම් විට එදත් සොබා දහමට උවමනා වී තිබෙන්නට ඇත්තේ අමාගී ව ඔහු ට ලං කරවීම වන්නට ඇත. ඇය ඒ තරම් ආදරයක් දරා හිඳියදීත් ඔහු ඇදෙස නොබැලීමේ වරදට දඬුවම් ලෙස නිධී ව ඔහු ගේ ජීවිතය වෙත එවා පාඩමක් උගන්වමින් දඬුවම් ලබා දෙන්නට ඇත. නමුත් දැන් ඇය ආර්ය ගේ ජීවිතය ඉදිරියේ වන හොඳ ම හමුවීම ලෙස පිළිගන්නට දුරේශ් ට හැකි වනු ඇත්ද? ඇස් දෙකේ තියාගෙන තැනූ සිය කුඩා ම දියණියට හමු විය යුතු හොඳ ම මිනිසා ආර්ය යයි පිළිගන්නට දුරේශ් ට හැකි වනු ඇත්ද? ආර්ය ට එසේ සිතිය නො හැකි ය.
“ඇයි පුතා බය වෙලා වගේ බලං ඉන්නෙ…”
දුරේශ් සිනහවක් නගා ගත්තේ ය. ඒ අනුව ආර්ය ද මඳහසක් පෑවේ ය.
“නෑ අංකල්… මට අහන්න ඕන වුණේ… ආන්ටි ගියාට පස්සෙ අංකල්ට වෙන කෙනෙක් හම්බ නොවුණෙ… එතකොට ඒ හොඳම හමුවීම තාම වෙලා නැද්ද…”
එවර දුරේශ් හඬ නගා සිනහ වූයේ ය. ඒ සිනහවට ආලින්දයේ සිටි හැම ළමයෙක් ම මිදුලට ඇස් පා කළහ. අමාගී පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය. ආර්ය තාත්තා සමගින් මිදුලට බසිත්දී ඇගේ පපුවේ දැල්වුණේ ගිනි මැළයකි.
“දැං ඉතිං වළ පල්ලෙදි තමයි හම්බවෙන්න තියෙන්නෙ… නේද…”
“එහෙමමත් නෑ ඉතිං. නේද අංකල්… ජීවිතේට හොඳම කෙනා දහ අටේදි විස්සෙදි වගේම තිහේදි හතළිහෙදි පණහෙදි හැටේදි වුණත් හම්බවෙන්න පුළුවන්”
“අපේ සුදූ කියනව වගේ…”
ඒ සුදූ කියන නම කියවෙත්දීත් ආර්ය ගේ පපුව මැද වෙනසක් සිදු විය.
“එහෙම නෙවෙයි පුතා. මට හම්බුණ හොඳම හමුවීම තමයි මගෙ දරුවො හතර දෙනා. මට ඒගොල්ලො මේ විදිහට හදාගන්න පුළුවන් වුණේ නිරෝෂා අපිව අතෑරල ගිය නිසා වෙන්නැති. පුතාටත් එහෙමම වෙනවයි කියල එකක් නෑ ඉතිං”
“මාත් මේ බලන්න ආවෙ ආයු මෙහෙට වෙලා නිසා අංකල්. අමාගිට කරදරයි පුතා නිසා”
“අපි කවුරුත් කැමැත්තෙන් කරදර බාරගන්නෙ නෑනෙ පුතා. එයා හරි කැමැත්තෙන් පළවෙනි ජොබ් එකත් එපා කියලනෙ ඒක කරන්නෙ “
පුරුදු හුදෙකලා සන්ධ්‍යාවන්ට වඩා ඒ වගේ දොඩමළු සමාගමයන් වල ද වෙනස් මිහිරක් වේ යයි ආර්ය අත්දැකීමෙන් පසක් කරගනිමින් සිටියේ ය. හිත් බිඳින්නේ මිනිසුන් ය. බිඳුණු හිත් හදන්නේත් මිනිසුන් ය. එබැවින් තනි වීමකට වැඩිය සමීප මිනිසුන් අතරේ පැවතීම ආරක්ෂිත ය. සැනසිලි සහගත ය.
හැන්දෑවේ යන්තමින් හිසරදයක් පැවතියත් ආර්ය ඒ ගණන් ගත්තේ නැත. නමුත් රාත්‍රිය වන විට එය දරුණු අතට හැරීගෙන ආවේ ය. සීතලක් අල්ලා ඇඟ පණ නැති වෙන සෙයක් දැනුණෙන් ඔහු යහනේ වැතිරීගත්තේ ය. මණී රෑ කෑමට කිහිප විටක් කතා කළ ද ඔහු නො පැමිණියේ ය.
“නින්ද ගිහින් ඇති. ආයුව තියන ගමන් ලොකයියටත් කතා කරල කියන්න මාගි කෑම කන්න පහළට එන්න කියල”
ආයු ගේ ආවතේව කොට ඔහු නිදිගන්වා කාමරයට ගෙන යන්න හදත්දී මණී කීවා ය. ඒ අනුව ආයුව යහනේ තබන්නට පෙර ම අමාගී ආර්ය ට කතා කළේ දරුවා අවදි වූවොත් යළි උරයෙහි ම නිදි කරවීම පහසු නිසාවෙනි.
“හරි අමාරුයි සුදූ… ඔළුව පැලෙන්න වගේ”
ඔහු කෙඳිරිලි හඬක් නැගුවේ ය. පහත් වී ආර්ය ගේ නළලෙහි පිටි අත්ල තැබූ ඇයට ලොකු උණුසුමක් දැනිණ.
“උණනෙ ඔයාට”
“අනේ මන්ද”
“එහෙනං ඉතිං ආයුව මෙතන නිදි කරවන්න බෑනෙ. එයාට උණ බෝවුණොත් එහෙම”
නැවතත් ආයු ගෙන පහළ මහළට පැමිණි අමාගී මණී ගේ යහනෙහි ඔහු සැතපුවා ය.
“ආයුව මණී ආන්ටි ගාව නිදිකරෝගන්න. ලොකයියගෙ කෑම එක බෙදල දෙන්නකො. මං ගිහිං කාමරෙං තියන්නං”
තීරණ ගත්තේ අමාගී ය. ඇය ආර්ය වෙනුවෙන් කෑම හා උණුසුම් වතුර ද වේදනානාශක පෙති පැකට්ටුවක් ද ගෙන යළිත් මතු මහළට නැගුණා ය. පෙති දෙකක් ආර්ය ගේ අතට ම දී වතුර වීදුරුව ලං කළා ය. ආයු ගේ ඕඩිකොලෝන් බෝතලයෙන් සුවඳ අහුරක් ආර්ය ගේ හිස් මුදුණට හැළුවා ය. අතැඟිලි වලට ඕඩිකොලෝන් පොදක් ගෙන ඔහු ගේ නළලෙහි තැවරුවා ය.
“බඩගින්නෙ නිදියන්න එපා. ටිකක් කන්න. මං කවන්නද…”
“දැං කන්න බෑ සුදූ”
“එහෙනං ටිකක් රෑවෙලා හරි කන්න. හෙට උදේ වෙනකොට අඩු වෙලා තියෙයි”
ආර්ය ගේ හිස් මුදුණ අම්මා කෙනෙකු ගේ දයාවෙන් පිරිමැදි ඕ සිතින් ඔහු හිස සිඹ කාමරයෙන් පිටත් වූවා ය. තවත් ටික වෙලාවක් ඇය නවතා ගන්නට තිබුණා නම් යයි දෑස් බර වෙත්දී ඔහු ට සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles