ජිනේන්ද්‍ර එක් පසෙකද, මන්දාරම් තවත් පසෙකද, චානක මන්දාරම් අසලින්ද, ප්‍රියලාල් තවත් පසෙකද, ස්වර්ණා තවත් පසෙකද, නිම්නාවී මේ සිදුවීමෙන් වෙනස්ම සිදුවීමක් නිසා තවත් පසෙකද හුදෙකලා වීම සොයමින් උන් හ.
මන්දාරම් චානක ද සමඟින්ම මනෝ උපදේශකවරයෙකු හමුවී, ස්වර්ණා , ප්‍රියලාල්, සරත් , ජිනේන්ද්‍ර සහ තමා අතරේ එක්වරම මතුවූ බැඳීම ගැන සියලු විස්තර කීවේය. නිම්නාවීගේ පැහැදිලි කිරීම් වඩා උපදේශාත්මකව සහ විද්‍යානුකුලව මන්දාරම්ට වැටහෙන මාර්ග උපදේශකවරයා මුල් පැය එක හමාරේ සෙෂන් එකේදී විවර කලේය.
” මේ වෙලාවේ ඔයාට චොයිස් දෙකයි මන්දාරම් .. එක .. අම්මා එක්ක සදාකාලික වෛරයක් හදාගෙන, ඔයාගේ තාත්තා වෙනුවෙන් පසුතැවීමක් කලකිරීමක් හදාගෙන, ඔයාලා මේ ගෙවපු ජීවිතේ එකිනෙකා අතරේ මානසික වියවුලක් වෙන තත්වයක් හදාගන්න එක ….
අංක දෙක .., ඔයාගේ අම්මා, අම්මාගේ පරණ පෙම්වතා, ඒ පෙම්වතාගේ පුතා එක්ක අලුත් සම්මුතියක් හදාගන්න එක .. ඒක එක ගෙදරක, එක වහලක් යට නොවෙන්න පුලුවන් .. ඒත් එකිනෙකාට වඩා සැහැල්ලුවෙන්, සැනසීමෙන් ඉන්න පාත් එකක් ඒකෙන් අනිවාර්‍යෙන්ම ඕපන් වෙන්න පුලුවන් මන්දාරම් ..
ඔයා හියුමන් රිසෝසස් මැනේජර් කෙනෙක් .. අනිවාර්‍යෙන් ඔයා මේක මැණේජ් කරගන්නවා….මට තේරෙනවා..ඔයාට ඩිසපොයින්ට් වීමක් ඇති .. මේක ලේසි කතාවක් නෙවෙයි ..
ඒත් මට තේරෙන විදියට, මේ කතාවේ අමාරුම පාර්ට් එක කරන්නේ ඔයාගෙ අම්මා… එයාගේම පවුලේ අයගෙන් වුණ අසාධාරනේ තවම ට්‍රෝමා එකක් වෙවී වෙවී එයාව හර්ට් කරද්දී තමා එයා ඔය ඔයා වෙනුවෙන් ජීවත් වෙන්නේ ….”
මන්දාරම් එදා රැය පුරාම යළි චානක සමඟින් කියවමින් සිත සැහැල්ලු කරගන්නට උත්සාහ කලේය. අම්මාගේ කෝණයෙන් සියල්ල දකින්නට තීරණය කලේය. ප්‍රේමය කෙතරම් බර හැඟීමක්දැයි දැනෙන්නට පටන් ගෙන තිබීම නිසාම මන්දාරම්ට සියල්ල පහසු වෙමින් තිබුණි.
නිම්නාවී දිනක නිවාඩුවක් ලබාගෙන යළි ස්වර්ණා වෙනුවෙන් නිවසට ආවාය. නිවසට වී උන් දිනය පුරාවටම ඕ කල්පනා කලේ එකම එක දෙයකි.
” සෙත් මුණ ගැහුන එකේ සතුට මං ඇත්තටම විඳින්න ඕනිද ?.. අම්මලා, පසන් මට ඒ සතුට විඳින්න දේවිද?… ඊයේ රෑ මම නිදාගත්තේ සෙත් ගැන හීන පුරවගෙන … මම මල්ලිට ඒ ගැන නොකියා උන්නේත් කොච්චර අමාරුවෙන්ද ?…. ඒත් දැන් ඇයි මට මෙහෙම දැනෙන්නේ ? ….. අනෙක් එක , මං එච්චර පිළිමයක් වගේ හිතේ හදාගෙන උන්න සෙත් ගේ රූපේ කොහොමද මට මෙච්චර මිස් උනේ ?…. ඒ කියන්නේ අපි මුණ නොගැසිය යුතුයි කියන එකද ?…. මන්දාරම් මට ඇලෙන ඇස් පෙන්නවානේ දෙය්‍යනේ.. මේ කිසිම දෙයක් නොදැන එයා මට ඇලෙන ඇස් පෙන්නවනේ …. එතකොට කොහොමද මම මඟාරින්නේ ?..
……….ඒත් .. ඒත් ….. මං එයාගේ ජීවිතේට ගිහින් එයාගේ ජීවිතේ අපායක් වේවිද ?.. පසන් සෙත්ට ඉන්න දේවිද ?.. අම්මලා , මට ඉන්න දේවිද ?.. දෙය් යනේ… ඇයි මටම මෙහෙම ……. බෑ .. මම සෙත්ට කරදරයක් වෙන්න දෙන්නේ නෑ .. විඳවීමක් තියෙනවා නම් ඒක මට … මට ….”
ඕ දිනය පුරාම විටින් විට වසර ගනනාවක් තිස්සේ වූ හීන මරා දමන්නට උත්සාහ කරමින් උන්නාය.
නිවසට ආවාට පසු දින තුනක් තිස්සේ ඕ මන්දාරම් මඟ හැරියේ මන්දාරම්ටද සිතා ගන්නට නොහැකි තරමට දැඩි වෙමිනි. අම්මා සහ තමා අතරේ වූ ගැටලුව අවසන් බව පැවසීමෙන් පසුවද නිම්නාවී තමා මඟ හැරීම මන්දාරම්ට වටහා ගන්නට හැකි වූයේ නැත. ඇය ඔහුගේ ඇමතුම් වෙනුවෙන්ද ලබා දුන්නේ කෙටි පිළිතුරු පමණි. නිම්නාවී නිසාවෙන් මන්දාරම්ද, සෙත් නම් ප්‍රාණ සම පිරිමියා වෙනුවෙන් නිම්නාවීද එකිනෙකාට අතිශය අපහසු තත්පර, විනාඩි, පැය , දින ගෙවමින් උන්හ.
ජිනේන්ද්‍ර ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් බව ප්‍රියලාල්ට පවසා, ප්‍රියලාල්ගේ තනියට විශ්ව විද්‍යාල සිසුවාද නවතා සතියක් වෙනුවෙන් කොළඹින් පිට ගියේය. සාමාන්‍ය ජීවිතයක් අවැසි නම්, මේ සතිය තනිව ගෙවා දැමිය යුතු බව ඔහු තරයේ තමාටම පවසාගෙන තිබුණේය.
නිම්නාවී මන්දාරම්ගෙන් හැකි තරම් ඈතට වූයේම ඇය රැකි ප්‍රේම වූ සෙත් තමාට සදහටම අහිමි වේය යන බිය නිසාය. යම් දිනෙක ස්වර්ණා අනතුරට හෙලා දමා ගියේ තමා බව දැන ගැනීමෙන් පසු මන්දාරම් තමා වෙත වෛරය සහ කෝපය විසි කර දමන ප්‍රමාණය කෙතරම්දැයි ඇයට සිතා ගන්නට අපහසු වූයේ නැත. එය එසේය කියා තමා ආත්මයෙන්ම ප්‍රේම කරන පිරිමියාගෙන් පසෙකට වී සිටීමේ විකල්පය තෝරා ගැනීම සාධාරිණීකරනය කරගැනීමද ඇයට පහසු වූයේ නැත. සෙත්ගෙන් ඉවතට වෙමියි සිතන වාරයක් පාසා, දෙවතාවක් සිය දහස් වාරයක්ඇය ඔහු වෙත බැඳුණාය.
එලෙසම සෙත් සති ගණනාවක් තිස්සේ තමා අසලින්ම සිටියදී පවා තමාට ඔහු මඟ හැරුණේ කෙලෙසින්දැයි ස්වර්ණාගේ කතන්දර ඔස්සේ යමින් එහෙන් මෙහෙන් ගලපාගන්නා කරුණු මතින් හඳුනාගනිමින් උන්නාය.
” මම නිම්නාවී මන්දාරම්ව අරගෙන මීගමු ගියේ මන්දාරම්ගේ ස්කූල් ලයිෆ් එකේ හොඳම කාලේ.. කොල්ලා යන්න බෑ කියලා ඇඬුවත් එක්ක .. යාලුවොත් ඇවිල්ලා සෑහෙන කරදර කලා මට මන්දාරම්ව තියලා යන්න කියලා.. බැරිම තැන මම ඒ යාලුවන්ටත් කිව්වා, මන්දාරම් මම නැතුව ඉන්න බෑ කියනවා, ඒ නිසයි එක්ක යන්නේ කියලා.. ඒකෙන් පස්සේ තමා යාලුවෝ මන්දාරම් එක්කත් තරහ වුනේ…
මීගමු ආවම මන්දාරම් සම්පූර්ණෙන්ම වෙනස් වුනා… චීස් කෑල්ල වගේ උන්න කොල්ලා කට්ට කලු වෙනකල් මුහුදු ගානේ පීනන්න ගියා.. බයිසිකල් පදින්න පටන් ගත්තා..ඇඟ කෙට්ටුම වුනා…. . මම කොච්චර විරුද්ධ වුනත් අවුරුදු දෙක තුනක් යනකල්ම මන්දාරම් කලේ එයාට ඕනි දේ .. කොණ්ඩේ පිස්සෙක් වගේ වැවුවා..ඊට පස්සේ කොණ්ඩේ බූ ගෑවා .. ආයෙම කොණ්ඩේ වැවුනේ අමුතුම තාලේකට .. ඉස්කෝලේ යන කාලේ තිබුන කූරු කොණ්ඩේ නැත්තටම නැති වුන….
ඔන්න කැම්පස් ගියාම එයා ටිකක් ෆ්ලෙක්සිබල් වුනා.. ඒත් අර ඉස්කෝලේ උන්න කොල්ලා කවදාවත් ආවේ නෑ .. ඒ පෙනුම වෙනස් කරගෙන මන්දාරම් අලුත් හැඩයක් හදාගත්තා….එයා හොඳ ඩිබේටර් කෙනෙක් නිම්නාවී .. ඒත් මම එයාගේ ඇතුලේ උන්න ඩිබේටර්ව මරලා දැම්මා… ඒක ඇත්ත .. සරත් හරි ආඩම්බරෙන් හිටියේ මන්දාරම්ගේ ඒ හැකියාව ගැන .
……… ඒ වගේමයි ඉස්කෝලේ යන කාලේ ප්‍රියලාල් කියන්නේත් දක්ෂ කතාකාරයෙක් .. ඒ හින්දාමයි මට ඕනි වුනේ, මන්දාරම්ව ඒ හැමදේකින්ම ඈත් කරන්න ….
මන්දාරම්ගේ අභ්‍යන්තර ආශාව, දක්ෂතාවය මැරිලා යනකොට, කොල්ලා ගේ පෙනුමේ ඉඳන්ම හැමදේම වෙනස් වුනා නිම්නාවී… වෙනස් වුනා නෙවෙයි, මන්දාරම් වෙනස් කරගත්තා මම කලිනුත් කීවා වගේ……….
ඔයා විශ්වාස කරන්න, අපි රට ගිහින් ඉන්නකොට මන්දාරම්ගේ ඩිබේට් ටීම් එකේ යාලුවෙක් මුණ ගැහුණා.. ඒ කොල්ලා ළඟට මන්දාරම් ගිහිල්ලා කතා කරද්දීත් ඒ කොල්ලාට මන්දාරම්ව අඳුනගන්න බැරි වුනා.. ඒ දරුවා මන්දාරම්ව ඇඳින්නේ මගෙන් ….
ඒ දරුවා එදා කියපු දේ මට තාම මතකයි නිම්නාවී ….” අඩෝ ..උඹ මැරිලා ඉපදිලාද සෙත් ?.. මොකක්ද මේ තෝ කතා කරන ටෝන් එක ?.. කොහොමද යකෝ මේ හැමදේම වෙනස් වුනේ ?.. අවුරුදු කීයද යකෝ ?…”
….මම පසුතැවෙනවා නිම්නාවී … පසුතැවෙනවා… ඒත්, මට දැන් මගේ දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ…….”
නිම්නාවී ස්වර්ණාගේ සවස ව්‍යායාම අවසන් කර , ඇය නින්දේ ඉන්නා බවද විමසා බලා මන්දාරම්ගේ පොත් කාමරයට රිංගා ගත්තාය. පොත් රාක්ක අතර ඔහේ ඇවිද ගියාය. හිතුවක්කාර ලෙසින් රාක්ක වල තිබූ පොත් එහෙ මෙහෙ පැටලුවාය. එක් තැනක නැවතී පොතක පිටු පෙරලමින් උන්නාය.
විදුලි බල්බ වල ස්විච ඇති තැන ලියා තිබූ නෝට් එක තවම ඇති බව දැක සැනහුනාය. පොත් කාමරයේ වූ සෙටියේ ගුලිවී සෙත්ගේ සුවඳ හුස්ම ඇල්ලුවාය.
මන්දාරම් අඩ නිවාඩුවක් දමා ජිනේන්ද්‍ර හමුවීමට ඇමතුමක් ලබා දුන්නත්, ජිනේන්ද්‍ර කොළඹින් පිට ගොස් ඇති බව පැවසූ නිසා පෙරලා නිවසටම ආවේය. අම්මා සමඟින්ගෙවුණ හැම රැයකම අතීත කතන්දර පිළිබඳව කතා කරමින් සිටීමෙන් සිතට යම් සැහැල්ලුවක් දැනෙනවා වුවද, එක්වරම නිම්නාවීගේ වෙස් පෙරලීම නිසා මන්දාරම්ගේ සිතට යම් රූපමය අස්වැසිල්ලක් අවැසිව තිබුණි. ඒ නිසාම ජිනේන්ද්‍රගේ බැහැරව යෑම ඔහු පිළිගත්තේ ආශිර්වාදයක් ලෙසිනි.
අනෙක් අතට අම්මාගේ මානසිකත්වය සුවපත් කර ගැනීම තමා අත රැඳි වගකීමක් බව සිතුවාය. මන්දාරම් ඉන් එහා කිසිවක් සිතුවේ නැත.
මන්දාරම් අම්මාගේ කාමරයට එබුණාය. ඕ උන්නේ සුව නින්දකය. ලතා නිවසින් පිටත්ව යන්නට සූදානමින් උන්නාය. මන්දාරම් ලතා පිටව යන තෙක් කාමරයට වී උන්නේ ඇටි කෙසෙල් කෑ උගුඩුවෙකු වෙමිනි. කාමරය තුල ඒ මේ එත ඇවිදිමින් තත්පර ගත කරන්නට මන්දාරම්ට සිදුව තිබුණි. ඔහු සාක්කුවේ වූ ජංගම දුරකතනට ගෙන සයනය මත තබා ඒ පසෙකින් හිඳ ගත්තේය. සැනින් නැගිට්ටේය. ජනේලයෙන් අවට බැලුවේය. යලි සයනයේ හිඳ ගෙන ජංගම දුරකතනය අතට ගත්තේය. ඉන් පසුව නැගිට දොරෙන් එබී සාලය පුරා ඇස් කැරකෙව්වේය.
” ශික් රෙද්ද .. මගේ ගේ ඇතුලේම මට හොර ගල් අහුලන්න වෙලා ..”
ලතා නික්ම ගියාට පසු, මන්දාරම් මුලුතැන්ගෙය දෙසට ගියේය. එහි කිසිවෙක් වූයේ නැත. එමින් ගමනේ නිම්නාවීගේ කාමරයටද එබුනාය. එයද වූයේ නිශ්චලවය.
මන්දාරම් යළි සාලයට ආවේය.
” කොයි දීපංකරේක ගියාද ?.. වේලාසන ගෙදරවත් ගිහින්ද ?. ඒත් එහෙම යන බවක් කීවේවත් නැහැනේ …”
මන්දාරම් පොත් කාමරය වෙතට ඇවිද ගියේය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |