මල් බිඟුන් – 32

අමාගී එදා උදේ කෑම ලෙස සූදානම් කළේ ස්පැගටි ය. ඒ ස්පැගටි පැකට් දෙක පැන්ට්‍රි කබඩ් එක ඇතුළට ඇවිත් මාසයකට ආසන්න වීමට එයි. ඒවා පසුගිය වතාවේ ගෙදරට මාසිකව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන එත්දී මණී විසින් ගෙන එන ලදී. ගෙදර කොල්ලන් උදේට “බත්ම කන්න පුළුවන්ද අප්ප” කියා කණිපින්දම් කියන වෙලාවකට සකසන්නට ඒවා ගෙන ආව ද මණී ට ඔය සුකුරුත්තන් කෑම හදන්නට තේරෙන්නේ ම නැත. බොහෝ විට ඈ අතින් නූඩ්ල්ස් බෙරි වේ. එතකොට කොල්ලන් කරන්නේ නහයෙන් අඬමින් ටිකක් කා ඉතිරි ටිකෙන් බෝල තනා ඒ මේ අත ගැසීම ය. ඉතින් නූඩ්ල්ස් හදන්නට ඇති දාකට අමාගී ට කතා කරගන්නට මණී පෙළඹේ. ඒ වගේ විශේෂ කෑම වර්ග සැකසීමට ඇය සතුව සුවිශේෂ හුරුබුහුටි කමක් වේ. අශ්විනී අමාගී ගෙන් ගෙදර වැඩපල කරවා නො ගත්ත ද අක්කා ගේ ආභාෂය ඇයට මැනවින් ලැබී ඇති සැටියකි. ඉතින් මේ ස්පැගටි පැකට් දෙක අමාගී ගේ උදව්වෙන් සකසා ගන්නට මණී සිතා සිටිය ද ඇයට අත් උදව්වක් දිය නො හැකි බැවින් නො කියා සිටියා ය. අමාගී ඒ තනන්නට තීරණය කළේ ඇය විසින් ම දකිනා ලද බැවිනි.

කැරට්, ලීක්ස්, ලූණු, තක්කාලි, මාළු මිරිස්, බිත්තර හා සෝයා සෝස් ආදිය සමග වැඩිය දැවිල්ල නො හිටින සේ ස්පැගටි තෙම්පරාදු කරගත් අමාගී, සැර හිටින්නට සැමන් හොද්දක් හැදුවා ය. අශ්විනී පහේ බැද සුවඳ හමන්නට හදනා සැමන් කරිය අමාගී විසින් තනිව පිසිනා ලද ප්‍රථම වතාව මෙයයි. එය සැකසීමට ගත්දී යම් දෙගිඩියාවක් හිතේ වී ද ආර්ය ට වෙනස් කෑමක් තනා දෙන්නට හිතේ වූ උවමනාව හින්දා ඇය අභියෝගය භාර ගත්තා ය. සැමන් හොද්දේ තෙල් පෑදී රතුවට කෑම රුචිය වඩනා පෙනුමකින් තිබිණ. අයියලා මල්ලිලා කෑම මේසයට එන විට අමාගී ස්පැගටි හා සැමන් කරිය මේසයට තබා බිත්තියට හේත්තු වී බලා සිටියා ය. සිනහ වෙන ඇගේ දෑස් මත වූයේ දෙගිඩියාවකි.

“වාව්”

“ස්පැගටි”

බාල සහෝදරවරුන් මේසයට හිඳගත්තේ සතුට ප්‍රකාශ කිරීම් වලිනි. අමාගී බලා සිටියේ ආර්ය පැමිණෙන තුරු ය. පියගැට පෙළ දෙසින් සපත්තු අඩි හඬ ඇසිණ. ඇය ඉවසිලිවන්ත වූවා ය. ආර්ය පැමිණියේ ආයු වඩාගෙනයි. ඒ ඇය දකින්නට වඩාත් ම රිසි දසුනකි. ආයු ආර්ය ගේ ගෙල බදාගෙන උරහිසෙහි හිස හොවා හිඳී. අද තවමත් ඔහු නිදිමතෙනි.  අමාගී වෙතට ම පැමිණි ආර්ය ඇය වෙතට ආයුව පෑවේ ය. එක වචනයකුදු හුවමාරු නොවුණාට ඔවුන් ට උනුන් දැනෙනා එවන් මොහොත වලට අමාගී ආදරේ ය. කිසිදු විරෝධයකින් තොර ව අමාගී වෙතට පැමිණි ආයු ඇගේ ළයෙහි ගුලි වූයේ ය. එහෙම උන් ආයු ට ආර්ය හාදුවක් දුන්නේ කාටවත් වහං වී නොවේ. ඔවුන් තිදෙනා අතරේ හුවමාරු වෙන ජීව රසායනය හැඳිනගන්නට බැරි තරම් සහෝදරවරුන් අසංවේදී නැත. කියා නො කියා කියූ ඔවුන් ගේ ප්‍රේමාරාධනා හා බලාපොරොත්තු ඉදිරියේ මැටි පිළිමයක් සේ වූ අමාගී, දරුවෙකු ගේ පියෙකු වන ආර්ය අස ඒ තරම් නම්‍යශීලී ස්ත්‍රීත්වයක් දනවන හැටි විශ්මිත ය.

“කන්න ලොකයියෙ”

කියමින් ඕ ආයු වඩාගත් වන ඔහු ගේ පිඟානේ වතුර පෙරා එය මේසය මතින් තැබුවා ය.

“ශර්ට් එකේ අතේ ගෑවෙයි. ඉන්න මං බෙදන්න”

කියමින් ඈ ආර්ය ගේ අතින් හැන්ද සියතට ගත්තේ ඔහු ගේ සුදු කමිස අත ඉඳුල් කරගනී යන සැබෑ බියෙනි. විරුද්ධ වෙන්නට තරම් හයියක් ආර්යට දැනුණා නොවේ.  සහෝදරවරුන්ගෙන් වචනයක් හෝ පිට වූයේ නැත. ආයු ඇකයේ ගසාගෙන නිදහස් අතින් ඈ ස්පැගටි බෙදුවේ හුරුබුහුටි අලුත් බිරිඳක වාගේ ය.

“රසනං නැතුව ඇති එච්චර. හැබැයි එක ස්පැගටි රැල්ක්වත් ඉතුරු කරන්න බෑ පිඟන් වල. ස්පැගටි හරි ගණං. මේක නාස්ති කරන්න පුළුවන් කාලයක් නෙවෙයි”

    මණී සිනහව තද කරගෙන මුළුතැන්ගේ දෙසට එමින් සිටියා ය.     

“ඉන්න මං මණී ආන්ටිටත් බෙදල දෙන්න”

කියමින් අමාගී ඉස්සර වෙන්නට හැදුව ද මණී ඊට ඉඩ දුන්නේ නැත.

“එපා එපා මං පස්සෙ කනව මාගි. අනේ කෙල්ල මහන්සි වෙලා අප්ප. මට ලෝබයි”

“මා… ර රසයි මාගි ආ”

ඒ අගැයුම රුසිරු ගෙනි. අමාග ඔහු ගේ කන රිදෙන්නට මිරිකුවා ය.

“ඌයි. පිස්සුද ඕයි… රහයි කිව්වහමත් කන මිරිකන්නෙ”

“රහයි කිව්වට නෙවෙයි මාගි කිව්වට කන මිරිකුවෙ. මාගි නෙවෙයි මං අක්ක. මාසෙකට හරි තමුසෙගෙ අක්ක. කොහොමත් මට වැඩිය ග්‍රෙඩ් එකක් පහළින්නෙ හිටියෙ”

“අක්ක කියෝගන්න ආසයි කියල මට පේනව”

රුසිරු මොන මොනවාද කුටු කුටු ගෑවේ ය. ආයු රුසිරු දෙසත් අමාගී දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ය.

“ඔයාගෙ රූ බාප්පි කොයි වෙලාවක හරි ගුටි කනව ආයු මගෙන්”

ඉතින් ආයු ට සිනහා ය.

“ගාමු ඉතිං දැං”

අමාගී සිඟිත්තා ව තදින් සිපගත්තා ය.

“ආයු ගෙ වැක්සින් එකට අපොයින්මන්ට් එක තියෙන්නෙ අද අම්මෙ. ඒත් අම්මට සනීප නෑනෙ පුතා එක්ක එන්න… නේද… අපොයින්මන්ට් එක කෑන්සල් කරන්න වෙනව”

හදිසියේ ම ආර්ය කීවේ අමාගී නො දැන සිටි කතාවකි.

“අයියෝ…අවුරුදු එකහමාරෙන් විදින්න තිබුණ බෙහෙතනෙ මේ දරුවට මාස තුන හතරක්ම පරක්කු වුණේ”

මණී හදවතින් ම පශ්චත්තාප වූවා ය. එන්නත විදින්නට තිබුණේ නිධී ගෙදරින් පළා ගිය දින වලට ආසන්නයේ ය. නමුත් ඒ බව දැන සිටියේ අම්මා වශයෙන් නිධී පමණක් වන්නට ඇත. සාමාන්‍යයෙන් දරුවා එන්නත් කරවීමට ඇති දින ගැන ආර්ය ව දැනුවත් කළේ ඇයයි. එතකොට ඔහු ආයු ගේ විශේෂඥ වෛද්‍යවරියගෙන් වෙලාවක් වෙන් කරගෙන අම්මාවත් පුතාවත් එහි ගෙන යයි. ආයු ගේ හැම එන්නතක් ම පෞද්ගලික අංශයෙන් කරවා ගැනීමට ආර්ය කටයුතු කළේ ය. නමුත් නිධී ගේ ප්‍රශ්නයත් සමග ඒ ගැන විමසිලිමත් වෙන්නට මණී ට හෝ අමතක ව ගියේ ය.

“මේ සැරේ බෙහෙත විදගෙන නෑ නේද”

කියා පසුගිය වතාවේ ආයු ගේ බර කිරන්නට ගමේ සායනයට ගිය අවස්ථාවේ පවුල් සෞඛ්‍ය සේවිකාව විමසන තුරු ම එය අතපසු වී ගියේ ය. ආර්ය වෛරස් උණෙහි ගොදුරක් වීම නිසා තව දුරටත් එය ප්‍රමාද වූ අතර දැන් මණී ගේ අසනීපය නිසා තව දුරටත් පමා වීමට යයි.

“අනේ අපොයින්මන්ට් එක කෑන්සල් කරන්නෙපා. මං ආයුව එක්කං එන්නං හොස්පිට්ල් එකට. මට පුළුවන්නෙ මල්ලා එක්ක කැබ් එකක් දාං එන්න. ලොකයිය ඒ වෙලාවට හොස්පිට්ල් එකට එන්න. එතකොට ඒ වැඩේ අද හරි කෙරෙනවනෙ”

අමාගී ළඟ විසඳුමක් තිබිණ. ආර්ය ගේ දෑස් සන්සුන් දැහැනක් සේ ඇගේ මුහුණ මත නතර විය.

“අනේ මාගි ඒ වුණාට මේ ළමයෙක්ගෙ වැඩකට ඔයා වගේ පොඩි කෙල්ලෙක් යවන එක හරිනෑනෙ. දුරේ වුණත් කැමති වෙන එකක් නෑ ඒකට. අපි ඕක කල්දාගමු පුතේ”

“ඔව්. ඩොක්ටර් මෙයාව ඇඳකට දාල බීසීජී විදියි නැත්තං”

පූජන ගේ විහිළුවට අමාගී කට ඇද කළා ය.

“නෑ අනේ තාත්ති මොනාත් කියන්නෑ. තාත්ති හැමතිස්සෙම කියන්නෙ මණී ආන්ටි මට කිරිත් දීල තියනව ඒ ණය ගෙවන්න බැරිතරං කියල. හරි තාත්ති මොනාත් කිව්වොත් මං එන්නැතුව ඉන්නංකො. ඒ වෙනකල් අපොයින්මන්ට් එක කෑන්සල් කරන්නෙපා”

ආර්ය කෑවේ කල්පනා බරව ය. ඉදිරියේ දී සිදු වෙන්නට නියමිත දේවල් ගැන හිතත්දී ඔහු ගේ හිතට එහෙව් බරක් දැනෙනා එක ගැන පුදුම විය යුතු නැත. ශාක්‍ය වරින් වර අයියා ගේ මූණ බැලුවේ ය. යමක් සිදු වෙමින් පවතිනා බව ඔහු ගේ ඉවට දැනේ. ගැටළුව වන්නේ ඒ නිසා උද්ගත විය හැකි ප්‍රතිඵල ඔවුන් කෙරේ කෙසේ බලපානු ඇත්ද යන්න ය.  

අමාගී ආයු ද ගෙන ආර්ය සමගින් මෝටර් රථය වෙත ගියා ය.

“මේ දේවලට ඔයා පොඩි වැඩියි සුදූ”

යනුවෙන් ඔහු මිමිණුවේ පපුව පුරවා ගත් සුසුමකිනි.      

“ඒ වුණාට ඔයත් එක්කම ලොකු වෙන්න පුළුවන් ලොකයියෙ”

ඇය මුරණ්ඩු සරකින් කීවා ය. ආර්ය රියට ගොඩ වූයේ මඳහසකිනි.

රෝහල් ගමන කෙරේ අශ්විනී එක හෙලා විරෝධය පෑවා ය. ඇගේ අදහස වූයේ දරුවෙකු වෛද්‍යවරයා වෙත ගෙන යාමට තරම් අවබෝධයක් කොහෙත්ම අමාගී ට නොවෙන බවයි. සිය සීමාව තුළ පමණක් කළ හැකි උදව්වක් කරනා ලෙස ඇය අවධාරණය කළා ය.

“පව්නෙ තාත්ති ආයු. ලොකු අයගෙ වැරදි වලට ඒ පොඩි එකා මෙච්චර දඬුවං විඳින්නෙ… අනික මං යන්නෙ රුසිරු එක්කනෙ තාත්ති. රුසිරු එක්ක මං කොච්චර ගමං ගිහිං තියනවද… ආයුව ඩොක්ටර් ළඟට එක්ක යද්දි ලොකයිය ඉන්නවනෙ. මායි රුසිරුයි ඉන්නෙ උදව්වටනෙ. මණී ආන්ටි අසනීප නිසානෙ තාත්ති”

“හරි හරි. දැං ඔය පොඩි දරුවගෙ බෙහෙත විදගන්න ඕනනෙ කොහොමහරි. රුසිරුත් එක්ක පරිස්සමට ගිහින් ඒ වැඩේ  කරං එන්න එහෙනං. එද්දි ආර්යට කියල කැබ් එකකට දාගන්න ඕනෙ හොඳද…”

“ශෝක් තාත්තිගෙ නඩු තීන්දුනං”

අශ්විනී ගස්සා ඉවත බලාගත්තා ය. අමාගී යටි තොල්පට තද කොට සපාගෙන ඇස් කොනෙන් අක්කා දෙස බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles