මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි වුණා. දූ තෝරපු ගවුම් කීපයක් ම මං ප්‍රතික්ෂේප කළේ, ඒව සංවර ගෑනු ළමයෙකුට ගැලපෙන්නෑ කියල හිතුණ නිසා.

“කෙල්ලගෙ ආසාවනෙ. ඔන්න ඔහෙ අරන් දෙන්න. තාම ඉතිං මහ ලොකුවක් කියලයැ”

දූගෙ තාත්තා මගෙ කනට කරල කිව්වෙ දූ තෝරපු විලාසිතා මිල දී ගන්න අනුබල නොදුන්න එක ගැන දූ තරමක නොසතුටින් හිටපු නිසා.

“අද ඉඩ දුන්නොත් ආයෙ එයාට එපා කියන්න අපිට බැරි වෙයි”

මං තාත්තටත් මගෙ හිතේ තියෙන දේ ඒත්තු ගන්වන්න උත්සාහ කළා.විලාසිතා ලෝකය හැමදාමත් අලුත් අලුත් විලාසිතා නිර්මාණය කරනව තමයි දුවේ. ඒත් අපි තෝරාගන්න ඕන ඒ අතරින් අපිට ගැලපෙන විලාසිතා. කෙනෙකුට ගැලපෙන විලාසිතාවක් තව කෙනෙකුට, එයාගෙ සිරුරෙ හැඩයට, වයසට නො ගැලපෙන්න පුළුවන්.

අනිත් අතට ඇඳුමකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන ම කාරණේ විලිවසා ගැනීමනෙ. ඒ ප්‍රාථමක අරමුණවත් ඉෂ්ට නොවෙන ඇඳුමක් මුදල් වියදම් කරල අරගෙන ඇඳගෙන ගිහින් මොකටද?

“ඇඳුමක් චාම් වෙන තරමට තමයි පුතා ඒක ඇඳපු කෙනාගෙ සරල කම පිටතට ප්‍රකාශ වෙන්නෙ”

මං තෝරපු ක්‍රීම් පාට දිග පාටි ෆ්‍රොක් එක ඔයා ට අන්දල හැඩ බලන ගමන් කීවා. ඇත්තට ම දූ ඒ ගවුමට හරිම ලස්සනට පෙනුණා.

“ඒක හොඳයි තමයි”

තාත්තත් අනුමත කළා.

ඇඳුම් තෝරගෙන අපි ගෙදර එත්දිත් දූ වැඩිපුර කතා කළේ නෑ. නමුත් මං ඒ ගැන මුකුත් හිතන්නවත් දුක් වෙන්නවත් පසු තැවෙන්නවත් ගියෙ නෑ.

නිතර ම සමාජයත් එක්ක ගැටෙන නිසා මං දකිනව මේ යුගයෙ හුඟක් තරුණ ගෑනු ළමයි විලාසිතා කරන හැටි. මගෙ දුවේ, ඒවා දැක්කහම අනේ අපොයි කියල හිතෙනව.

“මේ ගෑනු ළමයි මේව ඇඳං එළියට බහින ගෙවල් වල අම්මල නැද්ද රමී”

දවසක් මග තොටකදි තාත්තා මගෙන් එහෙම ඇහුවෙ, අපි ඉස්සරහින් ඇවිදගෙන ගිය ගෑනු ළමයගෙ කොට කලිසම ඒ තරමට ම කොට වුණ නිසා. සමහරුන්ට ඒ වගේ විලාසිතා වල වුණත් කැතක් නැති වෙන්න පුළුවන්. ඒත් පුතේ නිතරම නිරාවරණය වෙලා තියෙන දේවල අගය අඩුයි කියල ඔයා තේරුං ගන්න ඕනෙ. මැණිකක් වුණත් ස්වභාවික ව පිහිටන්නෙ පොළොව යට. මැණික් කියන දේ බොරළු වගේ පොළොව මත හැම තැනම තිබුණනං මිනිස්සුන්ට ඔය තරං අගයක් නො දැනෙන්න තිබුණා.

දූගෙ අසාවනෙ කියල එක දවසකට මං ඒ විලසිතාවකට දූට අනුබල දුන්නනං, අපිට ආයෙ කවදාවත් ඒව අඳින්න එපා කියල ඔයාට කියන්න බැරි වෙයි. ඒකයි මං මේ මුල් අවස්ථාවෙම ටිකක් තදින් හිටියෙ. නැතුව මගෙ දූගෙ හිත රිද්දන්න හිතා ගෙන නෙවෙයි.

අනිත් කාරණේ තමයි පුතේ, දුවෙක් මොන වරද කළත් දොස් අහගන්න වෙන්නෙ අම්මට. ඒකයි එදා තාත්තත් ඇහුවෙ, ඒ ළමයි අර විදිහෙ ඇඳුම් ඇඳගෙන දොට්ට බහින ගෙවල් වල අම්මල නැද්ද කියල. දුවෙක් ට මග පෙන්වන්න ඕනෙ අම්මල කියන එකයි සමාජ සම්මත අදහස. දුවෙක් හැදෙන්නෙ අම්ම දිහා බලා ගෙන කියලයි ලෝකයා කියන්නෙ. ඒ නිසා ම දුවෙක් ගෙ ජීවිතේට නපුරක් අවැඩක් වුණොත් බැණුං අහ ගන්න වෙන්නෙ අම්මටයි දුවේ.

අම්මල කියන්නෙ කොහොමත් අහස වගේ දොස් අහන මනුස්ස කොටසක්!

මංගල උත්සවය දවසෙ අර ගවුම ඇඳල දූ හරිම ලස්සනට හිටිය.

“ඔයා දැං ලොකු දුවෙක්ගෙ අම්මනෙ රමී”

කියල තාත්තා විහිළු කළා.

“ඉතිං ඔයත් එහෙම තමයි. ලොකු දුවෙක්ගෙ තාත්තෙක්. සෙල්ලං නෑ හරිද…”

අපි දූ ඉස්සර කර ගෙන විවාහය පැවැත්වෙන උත්සව ශාලාවට ගියේ ආඩම්බරෙන්. මගෙ දුවේ, සපු කැකුළක් වගේ මෝරන දුවෙක් කියන්නෙ අම්ම තාත්තට මහ ලොකු ආඩම්බරයක්.

උත්සව ශාලාවෙ හිටිය යොවුන් දියණියන් අතරේ දූ කැපිල පෙනුණා කියලයි මට හිතෙන්නෙ. ඒ ඔයා ගෙ විලාසිතාවෙ තිබුණ සරල සුන්දරත්වය නිසා. ගවුමට කලින් ඔයාගෙ හඳ මූණ  පෙනුණ නිසා.

“දුව දැන් ලස්සනයිනෙ”

කියල කීප දෙනෙක්ම කියනව මං අහගෙන. එතකොට ඔයාගෙ මූණ පුර හඳක් වගේ එළිය වුණා. අම්මට ඕනෙ ඔය චාම් බව ඔයාගෙ මුළු ජීවිතේ පුරා ම තියෙනව දකින්නයි පුතේ.

“අම්මි කිව්වනෙ අර සනූ අක්ක වගේ ගියහමයි අම්මලට දුක…මනමාලියක් වෙලා යද්දි දුක නෑ සතුටුයි කියල. එහෙනං අර නැන්දල මාමල අච්චර අඬන්නෙ ඇයි…”

මනාල යුවල පිටත් වෙලා යන මොහොතෙ, මනාලිගෙ අම්ම තාත්ත සහෝදරයො අඬා වැටෙද්දි දූ මගෙ කනට කරල ඇහුවා. ඇත්තටම ඒ වෙලාවෙ මගෙ ඇස් වලත් කඳුළක් බොඳ වෙලයි තිබුණේ. දූ එහෙම ඇහුව වෙලේ ඒ කඳුළ කම්මුල් දිගේ ගලං ගියා.

“අම්…මි…”

දූ එයා අතේ තිබුණ ටිෂූ එකෙන් මගෙ කම්මුල් වල තෙත මාත්තු කළා.

දුවෙක් ව මනාලියක් විදිහට සරසල හොඳ පුතෙක් ට පවරල දෙන දවස කියන්නෙ දෙමව්පියො වැඩියෙන් ම සතුටු වෙන දවස තමයි පුතේ. නෑ හිත මිතුරන් පිරිවරා ගෙන ඒ දුව නික්ම යන මොහොත, මව් පියන්ට ආඩම්බර ම මොහොත. ඒ වගේ ම ඒ අයගෙ ජීවිතේ අමතක කරන්න බැරි දුක්බර ම මොහොත උදා වෙන්නෙත් ඒ දවසෙදි තමයි පුතේ. මට තාම මතකයි මං තාත්තගෙ මනමාලි වෙලා ගෙදරින් පිටත් වෙන මොහොතෙ මගෙ දෙමව්පියො අඬපු තරං. මට හිතුණා ඒ වෙලාවෙ මගෙ පපුව පැලිලා මං මැරෙයි කියල.

එහෙම තමයි. අපි දරුවො හදනව. දරුවො වෙනුවෙන් අපේ තරුණ කාලෙ මුළුමනින් ම කැප කරනව. එයාලගෙ අනාගතේ සැලසුම් කරනව. එයාලට වඩා හොඳ හෙටක් හදල දෙන්න අපේ අද දවසෙ වෙහෙසෙනව. අන්තිමට දරුවො දෙමව්පියන්ගෙ කූඩුවෙන් ඉගිලිලා වෙන ම කූඩු හදා ගන්න යනව. ඒක තමයි සොබා දහමේ නියතය. අපිට ඒක වෙනස් කරන්න බෑ පුතේ. අපිත් ඒකට අනුගත වෙන්න ම ඕනෙ. අපි කවුරුත් ඒක දන්නවා. දැන දැන ම ඒකට සූදානම් වෙනව. කලින් ඉඳලම සිද්ද වෙන බව දැන ගෙන හිටිය, සූදානම් වුණ දේ සිද්ද වෙන මොහොතෙදි දරා ගන්න බැරුව හඬා වැටෙනව.

“අඬන්නෙපා අම්මි. අම්මි මොකටද අඬන්නෙ. ඒ අක්කනෙ මනමාලි වෙලා යන්නෙ”

දූ හිනා වෙවී කියනව. ඔව්. අද යන්නෙ එයා. ඒත් දවසක ඔයත් යාවි. එදාට අම්මියි තාත්තියි කොහොම ඒ දුක දරා ගන්නද කියල මට හිතා ගන්න බෑ.

දුවල හදනව කියන්නෙ අනුන්ගෙ වතු වල මල් පැළ හදනව වගේ දෙයක් කියල කියන්නෙ ඇත්තම ඇත්ත!

More Stories

Don't Miss


Latest Articles