අමාගී හා රුසිරු ද ආයු ද රැගත් කැබ් රිය රෝහල වෙත ළඟා වන විටත් ආර්ය පැමිණ බලා සිටියේ ය. මේ ඔහු ට සුවිශේෂ දවසකි. මේ හද ගැස්ම ආගන්තුක ය. මීට පෙර ඕනෑ තරම් වාර ගණනක් ආයු ගේ එන්නත් හා වෙනත් සායන සඳහා ඔහු ව රෝහලට කැටිව විත් ඇති මුත් මෙහෙම තිගැස්මක් අත්විඳි බවට මතකයක් ඔහු ට නැත. දැන් කොහේදැයි අසන්නට ඔහු පස් හය වතාවක් ම රුසිරු ට කතා කළේ ය.
“මළ වදයක්නෙ අප්ප මේක. මූට පිස්සුද… සැරෙන් සැරේට ඉන්න තැන වාර්තා කරන්න වෙලානෙ”
රුසිරු බොරු කේන්තියකින් කීවේ ය. අමාගී හිචිස් ගා සිනහ වූවා ය.
“තමුසෙගෙ හිනාවත් මට අල්ලන්නෑ”
ඔහු ඇයව කොටු කරගන්නට මාන බැලුවේ ය. නමුත් අමාගී ලෙහෙසියෙන් රිංගන්නට ඉඩක් තැබුවා නොවේ.
“මගෙ හිනාවෙ මොකද්ද වෙනස… හැම දේම ඇදේට බැලුවහම පේන්නෙත් ඇදේට තමයි හරිද…”
ඔවුන් රියෙන් බසිනා විට ආර්ය කඩිනමින් එහි පැමිණියේ ය. ආයුව සියතට ගනිමින් අමාගී ට රියෙන් බහින්නට උදව් කළේ අලුත් අම්මා කෙනෙකුට දක්වන ගෞරවයෙනි. වෙනදාට රෝහල දුටු වෙලාවේ පටන් මූණ බෙරි කරගන්නා ආයු පවා සතුටෙන් සිටියේ ය.
“මට බයයි ආයු අඬයිද කියල”
ඇය ඒ කීවේ ඇත්තට ම ය. ආයු ට රිදෙත්දී ඇයට හැඬෙනා බව දැන් ඕ අත්දැකීමෙන් දනී.
“මං එතකොට තියාගන්නං”
“කමන්නෑ මං වඩං ඉන්නං”
ඇය හිතට දිරි වැඩුවා ය. ආර්ය දරුවා නලවා ගන්නට දන්නේ නැති බවත්, ඈ තුරුළේ දී ඔහු වඩාත් සුරක්ෂිත ලෙසත් ඇයට සිතේ. ඔවුන් ගේ වාරය අමාගී ට නවමු අත්විඳීමකි. ඇය ආයු වඩාගෙන මුලින් ම ඇතුළට ගියා ය. ආර්ය දොර අල්වාගෙන සිටියේ ය. රුසිරු ආයු ගේ කලමනා සහිත බෑග් මල්ල අතින් එල්ලාගෙන අන්තිමට ඇතුළු වූයේ ය. එන්නත විදින්නට පෙර වෛද්‍යවරයා ආයු අතට සෙල්ලම් කාරයක් දුන්නේ ය. ඔහු එය කරකවමින් සිටින අතරේ සිරින්ජරය බෙහෙත් වලින් පුරවා, බෙහෙත් කුප්පියෙන් ගලවාගත් ස්ටිකරය ළදරු සායන පොතේ අදාල තීරයෙහි ඇලවූයේ ය. අමාගී ආයු උකුළේ තබාගෙන අසුන්ගත වී සිටියේ ගැස්මකිනි. ඒ බව වෛද්‍යවරයා දුටුවේ ය. අලුක් අම්මලා බබාලාගේ බෙහෙත් විදින විට වැඩියෙන් බිය බව ඔහු දනී.
“කොල්ල දැන් අම්ම වගේ නේද…”
ඔහු එසේ විචාලේ අමාගී ගේ හිත මොහොතකට වෙනතක යොමු කරන්නටයි. ඇගේ හිත අමුතු හැඟීමකින් පිරී යන අතරේ ආයු ගේ ළපටි අත් ගොබය ඇතුලට සිරිජරයේ කටුව ගමන් කළේ ය. අමාගී එහෙම ම ඇස් දෙක තද කර ගනිමින් ආයුව තදින් අල්වාගත්තා ය. ඇගේ ඇස් පියන් වලට තෙරපුණ කඳුලු කැට දෙකක් ගිලිහී වැටිණි. ආර්ය වඩාත් ලං වී ඇගේ හිස් මුදුන පිරිමැද්දේ ය. ආයු යන්තම් හැඬුවේ එන්නත් කටුව පිටතට ගත්දී ය. එතකොට ආර්ය ඔහු වඩාගෙන සෙල්ලම් කාරයට අවධානය යොමු කොට නලවා ගත්තේ ය.
“කවුද මේ… අම්මිගෙ මල්ලිද තාත්තිගෙ මල්ලිද…”
ඊළඟට වෛද්‍යවරයා ඇස් යොමු කළේ රුසිරු වෙතට ය.
“මගෙ මල්ලි ඩොක්ටර්”
ආර්ය වහා පිළිතුරු දුන්නේ ය.
“ඉලන්දාරිය පේනව නේද කසාද බැන්දහම අත්වෙන ඉරණම…”
වෛද්‍යවරයාගේ මුහුණේ ලස්සන සිනහවක් විය. රුසිරු ගේ මුහුණේ ලැජ්ජාවක් තැවරී තිබිණ.
“නෑනගෙ සපෝට් එකට මල්ල උස්සං යන ගමන්හරි මේව තේරුං අරං පාඩං ඉගෙනගන්න ඕනෙ හරිද… බඳින්නනං එපා ගොයියො. කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්නෑ කියල හිතාගත්තනං හරි”
වෛද්‍යවරයා හඬ නගා සිනහ වූයේ ය. මොහොතකට බෙහෙත් විදීමේ රිදුම් හා විසිරුණු කඳුලු වියළී සිනහවකින් හැම මුහුණක් පිරිණි. ඔවුන් යළි පිටතට පැමිණියේ ඇතුළට ගිය මිනිසුන් ලෙස නොවේ. හැම සිදුවීමක් ම අලුත් අත්දැකීමක් වේ. බොහෝ සිදුව්ම් අලුත් ම උපතක් වන්නේ ය!
කැබ් රියකට ඔවුන් ගොඩකරනු වෙනුවට ආර්ය සිය මෝටර් රථයට අමාගී, ආයු හා රුසිරු නංවා ගත්තේ ය.
“අපිට කැබ් එහෙක යන්න පුළුවන් නේ මල්ලා”
අමාගී පසුපස අසුනේ සිට, ඉදිරි අසුනේ හිඳ සිටිනා රුසිරු විචාලා ය. ඔහු මුව කොන් සිනහවකින් පසුපස හැරුණේ ය
“මෙහෙම යන එක ඊට වැඩිය හොඳ ඇතිනෙ”
ආර්ය වහා ම ඉදිරි කැඩපතින් අමාගී දෙස බැලුවේ ය. තිගැස්සී ගිහින් ඈ බිම බලාගත්තා ය. ඊළඟට රිය කොහේ හෝ නතර වන තුරු ම ඒ රසවත් කැළඹීම එහෙ මෙහෙ වෙමින් පැවතිණ. අමාගී විමසිල්ලෙන් බැලූයේ රිය නතර වූ ඉක්බිති ය. ප්‍රකට පීට්සා හලක නම නෙතු ඉදිරියෙහි දර්ශනය විය. ආර්ය රියෙහි පසුපස දොර විවර කොට ආයු ඉන් බැස්සූයේ ය.
“යේ…පීට්සා”
ආයු ප්‍රීතිමත් ව සිටියේ ය. ඊට ටික වෙලාවකට පෙර ඩොක්ටර් අංකල් ඔහු රිදවූ බව හෝ ඔහු ට මතක තිබුණේ නැත.
“අපිට ඉතිං පීසා එකක්වත් කන්න බැරියෑ”
රුසිරු නැවත ද අමාගී ට කට ඇද කළේ ය. ඈ ඔහු ගේ කනකින් ඇද්දා ය. ඒ දැනුණ නිදහස් සුවය පුදුම එකකි. හැම තැනක සතුටු බිඳිති විසිර තිබුණ සේ ය. ආර්ය පීට්සා ඇනවුම් කොට පැමිණි ගමන් රුසිරු ‘වොශ් රූම්’ සොයා ගියේ ය.
ආර්ය අසුන්ගත්තේ අමාගී ට ඉදිරියෙන් අසුනේ ය. ආයු අමාගී අස කුඩා සෙල්ලම් කාරයකින් සෙල්ලම් කළේ ය. ආර්ය ඔවුන් දෙදෙනා දෙස බැලූයේ පෙර කවදාවත් ඔහු ට පුරුදු ඇති බැල්මකින් නොවේ. ඒ බැල්ම තුළ සුවාසු දහසක් හැඟුමන් ලියැවී තිබිණ. ආත්ම ගණනක් සංසාරේ පුරුදු කරගත් ආදරයක් එක්රැස් වී තිබිණ. ඒ ආදර බැල්මෙන් අමාගී පපුව පුරවාගත්තා ය. ඒ ආදරය ඇගේ ඇස් මත්තෙහි දිළිහෙන්නට විය.
“මොනා කියන්නද කියල මං දන්නෑ සුදූ…”
ඒ වූ කලී ආදරයෙන් පිරුණ, උගුර යටින් නැගුණ ගැඹුරු පිරිමිකාර සරකි.
“ඔයා මොනාත්ම කිව්වෙ නැතත් මට ආදරේ දැනෙනව ලොකයියෙ”
අමාගි හැකිතාක් හඬ පාලනය කරගන්නට තැත් කළා ය. නමුත් වදන් වෙව්ලා ගියා සේ ඇයට දැනිණ.
“ආදරේ කියන්නෙ මෙහෙම හැඟීමක් කියල මට දැනිල තිබුන්නෑ”
“ඒකට මං කැමතියි. එතකොට මටනෙ මුලින්ම ඒ ආදරේ දෙන්නෙ”
“දවසක ඔයා පසුතැවෙන එකක් නෑ කියල ශුවර්ද…”
“ඇයි මං පසුතැවෙන්නෙ… ආදරේ කියන්නෙ මොකද්ද කියල හරියට දන්නැති කාලෙ ඉඳලම පිස්සුවෙන් වගේ ආදරේ කරපු ඔයා ළඟ ඉන්න තියනවනං…”
“මං දුරේ අංකල් එක්ක කතා කරන්නං”
“තව ටිකක් ඉඳල… හිමීට… තාත්ති ගැන නෙවෙයි… ලොකූ ගැන මට බයයි. එයාගෙ හිතට වදයක් නොදී… ලස්සනට එයාගෙ වෙඩින් එක කරගන්න දෙන්න ඕනෙ. අපි මත්තෙ අම්මෙක් වගේ නැහිච්ච ලොකූ… එයා එයාගෙ තරමට නෙවෙයි දුක් වින්දෙ. මට එයාගෙ හිත රිද්දන්න බෑ”
උගුර රිදී, අමාගී ගේ ඇස් වලට කඳුලු පිරීගෙන ආවේ ය. ඇය ඉක්මන් කොට ඒ කඳුලු ඇඟිලි තුඩගින් මිරිකා හැරියා ය. නමුත් ඇස් තටු එකට ඇලී තෙත පාට ගැන්විණ. ඇය කඳුලු නො වියළුණ දෑසින් බලා දෙතොල් තෙරපා සිනහ වූවා ය.
“හැමදේම හොඳට වෙයි කියල හිතමු”
ඒ මොහොත බලාපොරොත්තු නොවූ සතුටු මතකයක් වූයේ ය. ඔවුන් පීසා හලෙන් නික්මෙත්දී ආර්ය ලොකු පීසා දෙකක් සහිත බෑග් දෙකක් දෑතින් ගත්තේ ය.
“ගෙවල් දෙකට”
වචන කෝටි ගණනකින්වත් විස්තර කළ නො හැකි සැනසුම් හැඟීමකින් අමාගී දෝරෙ ගැළුවා ය. ඒ ඇය ඉල්ලා සිටි වරප්‍රසාදයකි. ඒ ගෙවල් දෙක ම ඇයට ඇගේ ය. ඒ ගෙවල් දෙකේ ම ඉන්නේ ජීවිත කාලයකට අත්හැරිය නො හැකි අය ය. හැම හුස්මක් ගානේ ම ළඟින් සිටිය යුතු සේ දැනෙනා අය ය. ඒ ගෙවල් දෙකටම සමාන දයාවකින් ආදරය කරනා ගමන් සගයෙකු සමග ඉදිරි ගමන වඩාත් සුවපහසු හා සාමකාමී වනු ඇත.
අශ්විනී සිටියේ මූණ එල්ලාගෙනයි. ඇය අමාගී සමගින් කතා කළේ නැත. සිනහ වූයේ නැත. පීට්සා එක ගිහින් පැන්ට්‍රි මේසය මතින් තබත්දී ඈ එතැන සිටිය ද එදෙස ඇහැක් ඇර බැලුවේ නැත. වෙනදාට පීට්සා වලට කෙතරම් කෑදර කෙල්ලක් ද?
“ලොකූ මාත්තෙක්ක තරහෙන්ද ඉන්නෙ…”
දරාගන්නට බැරි ම තැන අමාගී අක්කා ගේ බඳ පිටුපසින් දෑත් දමා තුරුලු වී අශ්විනී ගේ උරහිසෙහි නිකට රැඳවූවා ය. කතා නොකළ ඈ අමාගීගෙන් මිදී වෙනතක යන්නට හැදුව ද අමාගී ඊට ඉඩ නොදී තදින් ඈ ග්‍රහණය කරගෙන සිටියා ය.
“ලො…කූ… මට ඔයා එක්ක තරහ වෙලා ඉන්න බෑ කියල දන්නවනෙ ඔයා. අනේ ප්ලීස් කතා නොකර ඉන්නෙපා ඉතිං”
“මං කියන දේ අහන්නැතුව මුරණ්ඩු වෙන්න හදනවනං ඔයා ලොකූ කියල කෙනෙක් නෑ කියල හිතාගන්න සුදූ”
එවර ඇගේ වචන දැඩි විය. රිදෙනා තරමට තියුණු විය.
“ඔයා නැත්තං මට මාත් නෑනෙ ලොකූ. අනේ ඉතිං ඔයාගෙ හිත රිදුණනං මට සමාවෙන්න. අපිටත් අම්ම කෙනෙක් නෑනෙ ලොකූ. මතක නැද්ද ඔයාට… මණී ආන්ටි කියන්නෙ රුසිරු ට බෙහෙත් විදින්න ක්ලිනික් එක්කං යන ගමන් මාවත් අරං යනව කියල… ඔයාලු මාව වඩං යන්නෙ. මට බෙහෙත් විදිනකොට ඔයත් අඬනවලු. මටනං ඔයාහරි හිටියනෙ ලොකූ. ඒත් අර ආයු පැටියට කවුද ඉන්නෙ… වැක්සින් එක මාස කීපෙකින්ම ඩිලේ වෙලා. දැං මණී ආන්ටිට උණ හැදිල නිසත් අපොයින්මන්ට් එක කෑන්සල් කරන්නෙ පව්නෙ. වෙලාවට බෙහෙත විදගන්නවත් බැරි තරමට ඒ කිරිකැටිය කරපු වරදක් නෑනෙ ලොකූ. නිධී දෙයක් කළානං ඒකට අපේ අයියත් උදව් වුණා. අද ආයුට අම්ම නැති වුණ එකට… ඒ පවුල කැඩුණ එකට අපේ අයියත් වගකියන්න ඕනනෙ ලොකූ. ඒ කියන්නෙ අපි කාටවත් ඒ වැරැද්දෙන් නිදහස් වෙන්න බෑනෙ. මගෙ හිතට එකඟව මං ඔයාටවත් ආයුටවත් වරදක් කළේ නෑ ලොකූ… පුළුවන්නං මට සමාවෙන්න. බැරිනං ඕන පනිශ්මන්ට් එකක් දෙන්න. ඒත් මාත් එක්ක කතා නොකර ඉන්නෙපා”
අමාගී ගේ කොපුල් තලා දිග කඳුලු දෙපෙළක් ගලා ගියේ ය. අශ්විනී වේගවත් ඇස් පිය ගසා කඳුලු වලකාගත්තා ය. නමුත් ඇයට හිත තද කරගෙන ඉන්නට පිළිවන.
“බත් කන්න”
අන්තිමට ඇය කියාගත්තා ය.
“පීට්සා කාපු නිසා දැං බඩගිනි නෑ. ලොකයිය දෙකක් ගත්ත ගෙවල් දෙකට. පොඩීයි තාත්තියිත් ආවම කාල තේ බොමු. අයියටත් එන්න කියල මං කියන්නං”
ආර්ය ගේ නම කියවුණ එක ගැන අශ්විනී ගේ ප්‍රසාදයක් වූයේ නැත. නමුත් ඇය වචන වලින් ප්‍රවේසම් වූවා ය.