මතක දිගහැරුම 67 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට හත්වන දිගහැරුම ,

දරු ප්‍රසූතියෙන් පසුව ආපසු නිවසට ඒමට අපට හැකියාවක් තිබුණේ නැත.ඒ වන විට නිවසේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර නොතිබීම එයට හේතුවයි.අප දරුවන් වෙනුවෙන් වෙන් කරවූ කාමරයට ලස්සන පිංතූර ඇතුලත් කරමින් නිමා කරමින් තිබූ නිසා ඒ කටයුතු අවසන් වූ පසු දරුවන් නිවසට රැගෙන යාම අපගේ අදහස විය.එම නිසා ඒ වනතුරු හෂාන් ඇතුළු ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි ටාජ් සමුද්‍රා හෝටලයට යාමට අවසානයේදී අප තීරණය කලෙමු .

දරුවන් රැගෙන රෝහලෙන් පිට වන දිනයේදි හෂාන් හට ක්‍රිකට් තරඟයක් යෙදී තිබුනි.අපව හෝටලය කරා රැගෙන යාමට පැමිණියේ හෂාන්ගේ හොඳම මිතුරන් වූ ශාන් සහ සංජීව ය.මගේ අම්මා සහ මා දරුවන් රැගෙන මුලින්ම ගියේ ගංගාරාම විහාරස්ථානය ට ය.එහි ගොස් මල් පහන් පූජා කර දරුවන්ට ආශිර්වාද ලබා ගත් අප හෝටලයට පැමිණියේ ඉන් පසුවය.ඒ වනවිට හෂාන් සිටියේ තරඟයට සහභාගී වන අතරතුර ය.හෝටලයේ කාර්ය මණ්ඩලය විසින් අපට ඉතා හොඳ පිළිගැනීමක් සූදානම් කර තිබුණු අතර අපගේ දරුවන්ව මුලින්ම ටාජ් සමුද්‍රා හෝටලය කරා රැගෙන ඒම ඔවුන්ගේ සතුටට හේතු විය.අපව පිළිගැනීමේ අවස්ථාවට කළමනාකරුගේ සිට කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා සහභාගී වෙමින් අපට සුභ පැතුම් එකතු කළහ.

හෂාන් නවාතැන්ගෙන සිටි කාමරයට අළලා තිබූ තවත් කාමරයක් ඔවුන් දරුවන් වෙනුවෙන් සූදානම් කර තිබුණු අතර එම කාමරයේ දරුවන් දෙදෙනාට තොටිලි දෙකක්ද සූදානම් කර කේක් සහ මල් වලින් සරසා තිබුණි.එයට අමතරව දරුවන් රැකබලා ගැනීමට මට අවශ්‍ය සහ පහසු ආකාරයට සියලු කටයුතු ද ඔවුන් සූදානම් කර තිබුණි.එපමනක් නොව එම කලමණාකාර මණ්ඩලය එම හෝටලයේ සේවය කරන තාක් අප දරුවන්ගේ සෑම උපන්දිනයක් වෙනුවෙන්ම විශේෂ කේක් එකක් අප වෙත එවීමට ද ඔවුන් අමතක කළේ නැත.හෝටලයේ නවාතැන් ගත් පසු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ද හෝටලයේ කාර්ය මණ්ඩලයේ අය ද වරින් වර දරුවන් බැලීම සඳහා පැමිණියහ.සියලු දෙනා හටම දරුවන් බැලීමට අවස්ථාව අප ලබා දුන්නෙ ඉතාම කැමැත්තෙනි.

ඉන් පසුව අප සතු වූ කාර්යභාරය වූයේ දරුවන් වෙත නම් තැබීම ය.එකල නැගී එන සහ අති දක්ෂ ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්දුල්කාර් හට අප ඉතා ප්‍රිය කළ බැවින් දරුවන්ට නම් තැබීම සඳහා ” ස ” අකුර ලැබුණහොත් දෙදෙනාටම සචින් යන නම තැබීමට අප අදහස් කරගෙන සිටියෙමු.වාසනාවකට මෙන් අප බලාපොරොත්තු වූ පරිදිම එම අකුර දරුවන් හට නම් තැබීම සඳහා ලැබුණි.දරුවන් නිසා ඔවුන් දෙදෙනාටම එකම නම තැබීමට අදහස් කරගෙන සිටි අප ඔවුන්ගේ දෙවැනි නම ලෙස සචින් යන නම තෝරා ගත්තෙමු.ඔවුන්ගේ අනෙක් නම් දෙක විවිධ පොත් බලමින්, ලැබුනු අකුරු වලට අනුව එක ලෙස උච්චාරණය වන ආකාරයට දුවිඳු සහ රවිඳු ලෙස නම් තෝරාගත්තේ මා විසින්මය.ඒ අනුව දුවිඳු සචින් තිලකරත්න සහ රවිඳු සචින් තිලකරත්න ලෙස අපගේ දරුවන් දෙදෙනාට නම් තැබුවෙමි.

වරක් ලංකාවේ තරග සංචාරයක් සඳහා ලංකාවට පැමිණි සචින් තෙන්දුල්කාර් දරුවන් බැලීම සඳහා පැමිණියේය.ඔහු දරුවන් දෙදෙනාම වඩාගෙන හා රූපයක් ගත් අතර ඒ එකම ඡායාරූපය , පසුව කවරෙකු හෝ විසින් ඡායාරූප ඇල්බමයෙන් සොරා ගෙන තිබුණි.

හෂාන්ගේ තරග වාර අවසන් වන තුරුම අප නවාතැන් ගෙන සිටියේ ටාජ් සමුද්‍රා හෝටලයේ ය.දරුවන්ගේ කටයුතු වෙනුවෙන් මා හට සහය දැක්වීමට අම්මා මා සමග නතර වී සිටි අතර තාත්තා සහ නංගී නිතර නිතර ම අප බැලීමට හෝටලය වෙත පැමිණියහ.දරුවන් දෙදෙනකුගේ කටයුතු කිරීම එතරම් පහසු නොවූ අතර සීසර් සැත්කමකට බඳුන් වී සිටි මා ඇතැම් විට දැඩි ලෙස විඩාබර වී සිටියෙමි.ඔවුන් දෙදෙනාව වෙන වෙනම තොටිල්ලේ තැබූ විට කෑ ගසා කෑගසා හඬන අතර බොහෝවිට ඔවුන් දෙදෙනාව වඩාගෙන සිටීමට අපට සිදුවිය.නමුත් දරුවන් දෙදෙනාම එකම තොටිල්ලක තැබූ විට, මගේ කුසේ සිටි පුරුද්දට,ඔවුන් එකිනෙකාට තුරුලු වී සිටි බව මට මතකය.කෙසේ හෝ ඔවුන් දෙදෙනාටම මගේ උණුසුම ද අවැසි වූ බැවින් ඔවුන් දෙදෙනාව අපගේ ඇඳ මත තබාගෙන සිටීමට අවසානයේ දී මට සිදුවිය.

කෙසේ හෝ හෂාන්ට සහභාගි වීමට නියමිතව තිබූ තරගාවලිය අවසන් වූ පසු, දරුවන්ව රැගෙන අලුතින් ඉදිකළ නිවසට පැමිණීමට අප සූදානම් වූයෙමු.දරුවන්ව නිවසට රැගෙන ඒම සඳහා සුභ වේලාවක් අම්මලා විසින් බලවාගෙන විත් තිබුනි.ඒ වගේම සියලු දෙනාම එකතු වී දරුවන් වෙනුවෙන් කාමරයක් සූදානම් කරවා ඔවුන්ව පිළිගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරවා තිබුනෙ ඉතාම සතුටින් ය.ඊට අමතරව කැවිලි සහ කිරිබත් මේසයක් ද ඔවුන් එකතු වී සකස් කර තිබුණි.හෂාන් සහ මම දරුවන් දෙදෙනාව ද රැගෙන අප නිවසට පැමිණි පසුව සියලු දෙනාම අපව ඉතා ආදරයෙන් පිළිගත්හ.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles