“සමහර පුරුදු තියෙනවා නේද කාලාන්තරයක් තිස්සෙ කරලා කරලම අපිට අමතක කරගන්න, අතෑරගන්න බැරි” ශාර්වරී එහෙම කියන ගමන් අතේ තිබිච්ච බෑග් එක සීට් එක ලඟ බිම තබා සීට් එකේ පැත්තට හාන්සි උනේ නෙවින්ගේ දෙනෙත් දිහාවම බලාගෙනය. මේ මෙතැන මෙහෙම වින්ඩ්ස්ක්රීන් එකෙන් පේන අන්ධකාර අහස දිහා බලාගෙන ඉන්නේ තමන් එක්ක වතාවක් දෙවතාවක් පමණක් කතා බස් කල මනුස්සයෙක් කියන කාරණාවට වඩා වැඩි යමක් හිත කියන බවත්, නෙවින් සේනාරත්න වනාහී තමන් ආත්ම ගාණක් තිස්සෙ දන්න හඳුනන මිනිසෙකු බවත් ශාර්වරී හීන් සැරේ තේරුම් ගනිමින් උන්නාය.
“සමහර වෙලාවට අපි අතීතෙ කරපු වැරදි වර්තමානයෙදි කොච්චර වෙනස් කරගත්ත වුනත් ඒ අතීතෙ ඉස්සරහට ඇවිල්ලා කරදර කරන වෙලාවල් තියෙනව ශාර්වරී. ඒ වෙලාවට අපි අතීතෙ කල වැරදි ගැන පසුතැවෙනව. සමහර වෙලාවට වර්තමානයෙදි මම වෙනස් කෙනෙක් වෙලා, මම කැමති කෙනෙක්ව මගේ කරගන්න කරන සාධාරණ අහිංසක ඇප්රෝච් එකක් වුණත් මම අතීතෙ කරපු වැරදි හන්දා කඩාකප්පල් වෙන්න පුලුවන් කියන එක මට හොඳටම තේරුම් ගියේ අද.
අද දවාලෙ ඔයා දැක්ක දේ එහෙම දෙයක්” කියා නෙවින් තමන්ගේ දෙනෙත් දිහා එක එල්ලේම බලද්දී ශාර්වරී උන්නේ ඒ කතාව අහගන්න උවමනාවෙන්ම ඒ දෙනෙත් අස්සේ වඩා ගැඹුරට විහිද යමිනි. මිනිසෙකුගේ හදවතෙහි කැටපත වෙන්නේ මුහුණත් දෙනෙතත් ය කියන කතාව ශාර්වරී මේ මොහොතේ වඩා තදින් විශ්වාස කරමින් උන්නාය.
“ඕනම කතාවකට තියෙනවනෙ මුලක්. මං ඒ කතාව මුල ඉඳලා කියන්නම්. මං හොඳ මනුස්සයෙක් කියලා මම බොරු කියන්න යන්නෙ නෑ ශාර්වරී. මට ඕන තරම් ගෑණු ඉඳල තියෙනව ජීවිතේ. අවුරුදු තිස් අටක් වෙච්ච පිරිමියෙක්ට ගෑණු ඉඳලා නෑ කියල මම කිව්වොත් ඒක ටොං පචයක් කියලා තේරුම් ගන්න බැරි තරම් මෝඩ කෙල්ලෙක් නෙවෙයිනෙ ඔයා. ඒ නිසා වගේම අනික් අතට මාව කෙල්ලො එක්ක ඔයා ඕන තරම් දැකලා තියෙන එකේ, මං ගැන ඕන තරම් කතන්දර ඉන්ටර්නෙට් එකේ තියෙන එකේ තව මං නිකන් සපුමල් කුමාරයා වගේ රඟපාන්න ඕන නෑනෙ.
ඒ ආවෙ ආලියා. ශාර්වරී මම හොඳට බොනවා. මම සිගරටුත් බොනවා. ඩ්රග්ස් වගේ සීන් එකක නම් මම නෑ. එහෙම දේවල් මම සෑහෙන තරුණ කාලෙ කරලා තියෙනවා හැබැයි පස්සෙ මට සෙට් උනේ නැති හන්දා ඒව නම් මම අතෑරලා දැම්මා. මට මේ අවුරුදු තිස් අටට සෑහෙන කෙල්ලො ඉඳලා තියෙනව ශාර්වරී. මම හැම සිකුරාදාකම ක්ලබ් යනව. ඊයෙ මම අර යාලුවෙක් එක්ක එලියට යනවා කියලා ගියෙත් එහෙම තැනකට. මම ඉස්සර එහෙම ක්ලබ් එකකට ගියාම ගොඩක් දවසට ගෙදර එන්නෙ කෙල්ලෙක් එක්ක. ගෑණු බලන් ඉන්නවනම් මගේ ඇඟේ එල්ලෙන්න මට එහෙම සීරියස් රිලේශන්ශිප් එකකුත් නැත්තම් එහෙම ඉන්න එකේ වරදක් නෑනෙ කියල තමයි මම හිතාගෙන හිටියෙ. ආලියාව සෙට් උනෙත් ඒ විදියට. ඔයා මාව මුලින්ම ආලියා එක්ක රෙස්ටුරන්ට් එකේදි දැක්ක දවසෙදි තමයි මම එයා එක්ක මුලින්ම එහෙම ඉඳියෙ සහ ඒ තමයි අවසාන වතාවත්. මම එහෙම රිලේශන්ශිප් වලට යන්න කෙල්ලො සෙට් කරගන්න ජාතියෙ කෙනෙක් නෙවෙයි කියලයි මම හිතාගෙන හිටියෙ මෙච්චර දවසක්.
ඔයා අද උදේ දැකපු දේ එක්ක හිතන්න ඇති සමහර වෙලාවට මම ඊයේ රෑත් ආලියා එක්ක එහෙම ඉන්න ඇති කියල. පහුගිය ටිකේ ඔයා එක්ක කතා කර කර ඔයාගෙ පස්සෙන්, ඔයාගැන අදහසක් හිතේ තියෙනව වගේ පෙන්නගෙන එන ගමන් එහෙම මං වගේ මිනිහෙක්ගෙ අපාට්මන්ට් එක ඇතුලෙ ඉඳලා කෙල්ලෙක් එනවා දැක්කම ඔයාට හිතන්න කාරණා දාහක් විතර තියෙනවා කියන එක මාත් පිළිගන්නවා.
ඒත් මගෙ පැත්තෙනුත් කතාවක් කියන්න තියෙන හන්දම තමයි මම ඔයාගෙන් ඇහුවෙ මං කියන දේ පොඩ්ඩක් අහනවද කියල. මම ආලියා එක්ක ඉඳල තියෙනව ශාර්වරී. ආලියා එක්ක විතරක් නෙවෙයි තව ගොඩක් කෙල්ලො ඉඳල තියෙනව මගෙ ලයිෆ් එකේ. මම ඔය ඉන්න අපාට්මන්ට් එකේ මම මීට අවුරුදු කීපෙකට කලින් කෙල්ලෙක් එක්ක ලිවින් ටුගෙදර්ත් ඉඳලා තියෙනවා. මම ආලියා එක්ක තිබ්බෙ වන් නයිට් ස්ටෑන්ඩ් එක්ක විතරයි. එයා ඒක වැරදි විදියට තේරුම් අරගෙන මගේ පස්සෙන් එන සීන් එකක් තමයි තියෙන්නෙ. අද උනෙත් එහෙම දෙයක්. ඊයෙ ක්ලබ් එකේදිත් මට වාත වෙවී මගෙ පස්සෙන් එද්දිත් මම පැහැදිලිවම කිව්වා මගෙ හිතේ එයා ගැන එහෙම අදහසක් නෑ කියන එක. එහෙම කිව්වට පස්සෙත් තමා එයා අද උදේ මගෙ අපාට්මන්ට් එකට ඇවිල්ලා අඬා වැලපෙන්න තියාගත්තෙ. බොහොම අමාරුවෙන් එයාව අපාට්මන්ට් එකෙන් පිට කරන වෙලාවක තමයි ඔයා මාවයි එයාවයි දැක්කෙ.
මං වැරදියි. මං කියන්නෙ නෑ මං හරි කියල. මට ඇත්තටම එයාව දොර ලඟඳිම හරවල යවන්න තිබුනා. ඒත් මොකක් හරි හේතුවකට එහෙම උනේ නැති හන්දා තමයි ඔයා ඊයෙ දැක්කෙ එයා මගෙ අපාට්මන්ට් එකේ ඉඳලා යනවා. එදා අර එකම එක දවසක් එයා එක්ක හොඳටම බීලා උන්නු දවසක ඉඳිය එක ඇරෙන්න මම වෙන දවසක එයා එක්ක ඉඳලා නෑ. ආලියා ආයෙ මට වාත වෙවී කොච්චර මගෙ අපාට්මන්ට් එකට ආවත් මමයි එයයි අතරෙ කිසිම සම්බන්ධයක් තියාගන්න මට උවමනාවක් නෑ. එයා එක්ක නෙවෙයි වෙන කිසිම කෙල්ලෙක් එක්ක මට එහෙම සම්බන්දෙකට යන්න උවමනාවක් නෑ. මේ කතා ඔක්කොම ඔයා වගේ තැලිලා පොඩි වෙලා නැති කෙල්ලෙක්ට දරාගන්න අමාරුයි කියන එක මම නොදන්නවා නෙවෙයි. මං මගේ ජිවීතේ ආශ්රය කරලා තියෙන හැම ගෑණු ළමයටම වඩා ඔයා වෙනස්. ඔයා වයසින් පොඩි උනත් ඔයා මාරම ඩිග්නිටි එකක් තියාගෙන ජීවත්වෙන ළමේක් කියල මම නොදන්නවා නෙවෙයි. ඔයා මට වඩා අවුරුදු දොලහක් විතර බාලයි. එහෙම එකේ මං වගේ වයසක මනුස්සයෙක් ඔයාට ලංවෙන්නෙ අනිත් කෙල්ලන්ගෙනුත් වගේම ඔයාගෙනුත් ප්රයෝජනයක් ගන්න හිතාගෙනද කියල නොහිත ඉන්න ඔයාට හේතුවක් නෑ කියලත් මං දන්නවා” කියා නෙවින් බලද්දිත් ශාර්වරී උන්නේ සීට් එක අස්සේ මූණ ඔබාගෙන කඳුලු හංගගන්න වෙර දරන ගමන් ය.
නෙවින් කිව්ව කතා ඇත්ත කියා පිළිගන්න තරම් හිත ඔහු කෙරේ නැඹුරු වී තිබෙන බව ඇත්තක් වුණත් ඒ ඇත්ත හිතට කොච්චර බරද කියන එක ශාර්වරීට තේරුම් ගියේ ඔහු කියන්නට යෙදුණ හැම වචනයක් ගානේම විත් පපුව උඩ ඊ තලයක් මෙන් වේදනා දිදී වදිනකොටය. ඇස්වලින් කඳුලු වැක්කෙරෙන්න ගත්තේ ඒ වේදනාව දරාගන්න අමාරු හන්දාය.
“අඬන්න එපා, අහන්නකො, අනේ අහන්නකො” කියා නෙවින් තමන් හාන්සි වී උන් සීට් එකේ පැත්තට හැරි ශාර්වරීගේ ඔලුව අතගෑවත් ඔලුව උස්සා ඔහු දිහා බැලුවේ ශාර්වරී නොවේ.
“මං මේ හැම කතාවම ඔයාට කියනව කියලා හිතුවෙ මට එහෙම බොරුවක් කරන්නවත් බොරු චරිතයක් රඟපාන්නවත් උවමනාවක් නැති හන්දා. රඟපාන එක්ක රස්සාවට කරාට මම එහෙම ඇත්ත ජීවිතේ රඟපාන කෙනෙක් නෙවෙයි ශාර්වරී. අනික් එක මෙච්චර කල් එහෙම කෙල්ලො මගෙ පස්සෙන් එන එක එහෙම දකින දකින කෙල්ලව බෙඩ් රූම් එකට අරගෙන එන්න පුලුවන් වෙච්ච එක මම මාරම ලොකු දෙයක් විදියට දැක්කට ඔයාට දැන් මේ කතාව කියද්දි මට මාර ලැජ්ජාවක් එන්නෙ ඒව ගැන. මට ඇත්තටම පුදුම ලැජ්ජයි මේව කියන්න. ඒත් මට මේවා ඔයාගෙන් හංගන්න උවමනාවක් නෑ” කියද්දි නෙවින්ගේ හඬ බිඳී ගියේය ඇත්තටම වේදනාව හන්දාය.
“ටිකක් රස්නෙයි නේද ඇතුලෙ? ඉන්න මම ශටර් එක අරින්නම් නැත්තම් අඬල අඬලා ඔයාගෙ ඔලුව රිදෙන්න ගනීවි” කියා නෙවින් සීට් එකෙන් මදක් ඉස්සෙන්න හැදුවේ ශටරය පහත් කර ඇතුලට නැවුම් වාතයට එන්නට ඉඩ සලස්වන්න හිතාගෙනය.
ශාර්වරී සීට් එකෙන් ඉස්සී නෙවින්ගේ පපුවට බර වුණේ අන්න ඒ වෙලාවේය.
එහෙම දෙයක් මේ මොහොතේ වෙයි කියා හිතලා නොතිබ්බත්, ශාර්වරීගේ දෙනෙත් අස්සෙන් ගලන කඳුලු උඩ බොත්තම් දෙකක් විතර විවර ව තිබෙන කමිස විවරය අස්සෙන් තමන්ගේ පපුව අස්සේ රැඳෙන බව තේරුණත් නෙවින් ඒ හැඬිල්ල නතර කරන්න හිතුවේ නැත.
“මං මාර ආසයි බං මං වෙනුවෙන් මගෙ පපුවෙ ඔලුව ගහගෙහ අඬන ගැණියෙක්ට, මාව ඉල්ලල, මාව නැතිකරගන්න බෑ කියල අඬන ගෑණියෙක්ට. එහෙම ගෑණියෙක් ළඟ මට සමහරවිට ආදරේ දැනේවි” කියා මීට අවුරුදු ගාණකට කලින් තමන් ලක්ශාන්ට කිව්ව බව නෙවින්ට මතක් වුණේ හදිසියේ වගේම.
හීන් සමන්පිච්ච මල් සුවඳක් හමන ශාර්වරීගේ හිසකෙස් අතර සිහින් සිපුමක් තබන්න හේතු වුනේ ආන් ඒ මතකය.
ඉතින්, මේ දැනෙන්නේ ආදරයම විය යුතුය.