එකම එක හාදුවක් – 30

0
4440

තමන් දිහා තප්පර ගාණක් එක එල්ලේ බලාගෙන උන්නු නෙවින්ගේ දෙනෙත් කම්මුල් දෙතොල් නලියගෙන මහ හඬින් එලියට පැන්න හිනාව අස්සේ තිබිච්ච හේතුව හිතාගන්න බැරි හන්දම ශාර්වරීට කරන්න තිබිච්ච එකම දේ එක එල්ලේ නෙවින් දිහා බලාගෙන ඉන්න එක විතරය.

විනාඩියක් විතර එක දිගට හිනාවෙලා ආයෙම ශාර්වරීගේ මූණ බලද්දි අමාරුවෙන් යටපත් කරගන්න හදපු හිනාව උඩට එන එක නතර කරගන්න බැරි හන්දා නෙවින් ආයෙම වතාවක් කලේ හිනාවෙච්ච එකය.

“ඔයා ඔහොම හිනාවෙන්නෙ මං කිව්ව දේ ඇත්ත හන්දා නේද?” කියා ශාර්වරී මූණ නොරොක් කරගෙන අහද්දී නම් තමන් තව දුරටත් හිනාවෙන එක මෙ කෙල්ල තමන්ගේ හොම්බයි කටයි බොම්බයි කටයි කරන්න හේතුවක් වෙන්න පුලුවන් බව හිතිච්ච හන්දාම නෙවින් බොහොම අමාරුවෙන් වෑයම් කර හිනාව හංග ගත්තේය.

“මොන කතාවද?”

“ඔයා මාත් එක්ක පහුගිය ටිකේ කතා කරේ ටයිම් පාස් කරගන්නනෙ කිව්ව එක”

“ඉතින් ඒකට ඇයි මම හිනාවෙන්නෙ?” කියා අහද්දි ආයෙම වතාවක් අර අමාරුවෙන් හංගගත්ත හිනාව උඩට එනව කියල තේරුණාට නෙවින් බොහොම අමාරුවෙන් හිතට කිව්වේ “ඉවසන් හිත ඉවසපන්” කියාය. හිනා උනොත් වැඩේ දෙල් වෙන එක අහන්න දෙයක් නොවේ.

“ඉතින් මම නිකන් මෝඩ ගෑණි වගේ ඔයා එක දවසක් දෙකක් කතා කර එක ඔයා මට කැමති හන්දා කියල වරදවා වටහගෙන දැන් ගොනා වගේ ඔක්කොම හිතට ආපුවා කියලා දැම්මම ඔයාට මම මහ මෝඩ යකෙක් කියලා හිනා ගිය එක ගැන මම කිව්වේ” 

ශාර්වරී මූණ නොරොක් කරගෙන එහෙම කතා කරද්දී නෙවින් ආයෙම හිනා යන්න ආව එක නතර කරගත්තෙ හරිම අමාරුවෙන්.

“ඒක නම් ඇත්ත තමයි”

“මොකද්ද?”

“මෝඩ ගෑණි කිව්ව එක”

“ඇයි?”

“නැත්තම් ඉතින් මම කිව්ව එක දෙයක් අල්ලගෙන ඔයා ඔච්චර කියවන්න ඕනද මං අහන්නෙ? කතා නායක වගේනේ. ඔයාට නම් හොඳටම සුදුසුකම් තියෙනව කතා නායක වෙන්නෙ”

“ඇයි ඇයි ඔයා එහෙම කිව්වෙ? ඔයා මාර කතාවක් නෙ කියන්නෙ. ඔයා පිරිමි ළමයි එක්කත් යාලුයි කියලා දැනගත්තම මට දුක හිතෙන එක අවුල් යනවා කියන එක වැරදියි කියලද ඔයා කියන්නෙ? ඔයා හරි නම් සන්තෝස වෙන්න නේද ඕන ඔයා කවුරු එක්ක යාලුවෙලා හිටියත් ඒක මට ඔයාට ආදරේ කරන්න ගැටලුවක් නෙවෙයි කියන එක?”

“ඔයා එදා මට අපාට්මන්ට් එකට කෑම දෙන්න ආව වෙලාවෙ ජරා මිනිහා කියල කිව්වෙ මම බයි කියලා හිතලද?”

“ඔව් අනික ඉතින් එවෙලෙ අර ඔයාගෙ පාට්නර් හිටියනෙ ටවල් එක ඇඳගෙන, ඔයාට ලයින් දදා. මට එවෙලෙ හිතන්න කලින් එහෙම දෙයක් කියවිච්ච එක ගැන සොරි. ඒ වගේ දේවල් වලට එහෙම කියන්න අපි කවුරුවත් පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයිනෙ. එහෙම එකේ මං පස්සෙ ඒ ගැන සෑහෙන කල්පනා කරා. 

මං ඒත් හිතුවා මම ඔයාට ආදරේ නම් ආදරෙයි එච්චරයි. මට අනික් පැත්තට ඔයා මට ආදරේද ඔයා කාටද ආදරේ කියන එක වැඩක් නෑනෙ කියල. අනික මම ඔයාට ආදරේ නම් මට පුලුවන් වෙන්න ඕන ඔයගෙ මොන වරද අඩුපාඩුව තිබ්බත්, මම හිතන විදියට වඩා ඔයා වෙනස් කෙනෙක් උනත් ආදරේ කරන්න. අපි සම්බන්ධයක් පටන් ගන්නවනම් මට පුලුවන් වෙන්න ඕන ඔයා අතීතෙ මොන ජාතියෙ මනුස්සයෙක් වෙලා ඉඳියත් ඒ හැමදේම අමතක කරල මට විතරක් ආදරේ කරන්න ඔයා පොරොන්දු වෙනවනම් මාත් එහෙමම කරන්න.

එහෙම හිතපු එක පවා ඉතින් ඔයාට මාව මෝඩයෙක් කියල පේන්න හේතුවක් නම් ඉතින් මං හිතන්නෙ නෑ අපි දෙන්නා තව දුරටත් කතා කරන්න ඕන කියලා” ශාර්වරී දුක පිරිච්ච මූණ වීදුරුව පැත්තට හරවගනිද්දි නම් මෙච්චර දවසක් හිත අස්සෙ තිබිච්ච දුක ආයෙම පොඩ්ඩක් විතර අලුත් වුණේය.

“අයෑම් සොරි”

“මොකටද?” මූණ නෙවින් පැත්තට හරවන්නෙ නැතුව ශාර්වරී එහෙම අහද්දි නෙවින් ශාර්වරීගේ උරහිස උඩින් අත තියා ඇයව තමන්ගේ පැත්තට හරවගත්තේ දෙයක් කියන්න, ඒ කියන දේ විශ්වසනීය බව අහන කෙනා වෙත හුවමාරු කරගන්න හොඳම විදිය කියන කෙනා අහන කෙනා ගේ දෙනෙත් දිහා බලාගෙන ඒ කතාව කරන එක බව නෙවින් දැන ගත්තේ අවුරුදු තිස් අටක් ජීවත් වෙලා ලබාගත්ත අත් දැකීම් වලින් ය.

“ඔයා මට අච්චර ආදරෙන් කතා කරද්දි, ආදරෙයි කියල කියද්දි, මං මොන ජාතියෙ මනුස්සයෙක් උනත් ආදරෙයි කියල කියද්දි හිනා වෙච්ච එකට සොරි. හිනා ගිය හේතුවක් තිබුනා. ඒක මම පස්සෙ කියන්නම්. 

ඒ උනාට මං හිනා උනේ මට ආදරෙයි කිව්ව ඔයාටවත්, ඔයා මට දෙනවා කිව්ව ආදරේටවත් නෙවෙයි. මං ගැන එහෙම හිතන්න එපා. මං ජරා මිනිහෙක් වෙන්නැති. ඒ උනාට එච්චර ජරා මිනිහෙක් නෙවෙයි. මම රිලේශන්ශිප්ස් වලට යන්න බය මනුස්සයෙක් ශාරා. මට සීරියස් කියල මම බොක්කෙන්ම ආදරේ කල කෙල්ලෙක් හිටියා. අවුරුදු ගාණකට කලින්. මම යුනිවර්සිටි ඉන්න කාලෙ. මම එතකොට මොඩ්ලින් වලට එහෙම ඇවිල්ලා තියා එහෙම එන්න හිතලවත් නෑ. ඒ අෆෙයාර් එක බ්‍රේක් උනේ එයාලට ප්‍රශ්නයක් වුණා ම්ම්ම් අපේ පවුල්වල පසුබිම. අපිට ඒ දවස්වල සල්ලි එහෙම තිබ්බෙත් නෑ ශාරා. මගේ අම්මා නැතිඋනේ මම යුනිවර්සිටි ගිහින් ෆස්ට් ඉයර් එක ඉවර වෙනවත් එක්කම වගේ. අක්ක විතරනෙ හිටියෙ. අක්කාත් එතකොට රස්සාවයි ඔක්කොම එක්ක එයාටවත් තාත්තටවත් මාව එහෙම බලන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. මං ඉතින් ඔහේ රස්තියාදුකාරයා වගේ තමා හැදුනෙ. මං සිගරට් අරක්කු එහෙම බොන්න පුරුදු උනෙත් එහෙමයි.  එයාලගෙ මව් දෙමව්පියො අකමැතිවෙච්ච එක ඉතින් සාධාරණයි.

ඊටපස්සෙ මම අර ලිවින් ටුගෙදර් උන්නු කෙල්ල ගැන එච්චර ලොකු ආදරයක් හිතේ නොතිබ්බත් මම එයාටවත් වැරදියට ට්‍රීට් කලේ නෑ. එහෙම අපේ අෆෙයාර් එක දිර දිග ගෙනියන්න පුලුවන්ද කියල බලන්නයි එහෙම ඩිසිශන් එකකට ගියේ. පස්සෙ පස්සෙ එයා වෙන වෙන කරදර කරන්න පටන් ගත්තයින් තමා මට ඇත්තටම එපා උනේ රිලේශන්ශිප් එකක ඉන්න එක. මම ආස නෑ ශාරා රණ්ඩු වෙවී ගහ මරාගෙන ජීවත්වෙන්න. මගෙ එලියෙන් මාව කොච්චර තරුණ කෙනෙක් විදියට පෙනුනත් මම වයසක මනුස්සයෙක් ශාරා. අවුරුදු තිස් අටක් කියන්නෙ මං තව දුරටත් අවුරුදු දහ අටේ විස්සෙ කොල්ලා වගේ කෙල්ලො පස්සෙ යන්න, රණ්ඩු වෙන යාලුවෙල අෆෙයාර් එකක් මේන්ටේන් කරන්න ඕන කාලයක් නෙවෙයි.

මං කාටවත් නොකිව්වට, එහෙම දෙයක් නෑ වගේ රඟපෑවට මාත් ආසයි මට කෙයා කරන, ආදරේ කරන, මං ගැන හොයල බලන, ඔලුව රිදෙද්දි ඔලුව අතගාන ගෑණියෙක්ට. ඔයාට එහෙම කෙනෙක් වෙන්න පුලුවන් කියල හිතිච්ච හන්දයි මම මෙච්චර ලං වුණේ.

මං ගැන වරදක් හිතන්න එපා. මං පොරොන්දු වෙනව මට කොච්චර රිදුණත් මම කවදාවත් ඔයාට රිද්දන්නෙ නෑ කියන එක” නෙවින් එහෙම කියද්දී තමන්ගේ කම්මුල් දිගේ හීතලට කඳුලක් ගලා ගියේ සන්තෝසෙටද දුකටද කියා තේරුම්ගන්නවත්, ඒ කඳුලු පිටිපස්සේ තිබිච්ච හේතුව මොකද්ද කියා වටහාගන්නවත් ශාර්වරීට පුලුවන් උනේ නැත.

“අපි දැන් යන්ද? හොඳටම රෑ වෙලා” කියා කිව්වේ ඒ කඳුලු පිහිදගන්න ගමන් ය. නෙවින් කාර් එක ආයෙම පණ ගැන්වුවේ ඒ කතාවටය. “මම ඔයාට ආදරෙයි” කියා ඉතින් වචනයෙන් කියන්න ඕන නැත. 

සමහර හැඟීම් ගලපන්න අපි දන්නා වචන මදි ය.

“මං දෙයක් අහන්න ඔයා ඇත්තටම තරහ වෙන්නෙ නෑ කියල පොරොන්දු වෙනවද?” ශාර්වරී එහෙම ඇහුවේ ගෙවල් පැත්තට කිට්ටු වෙද්දීය. මේ ප්‍රශ්නෙට උත්තරේ අහගන්නෙ නැතුව ගෙදර යන එක අද රෑටත් නින්ද අහිමි කරන්න හේතුවක් වෙන බව දන්න හන්දාය.

“ඕන දෙයක් අහන්න, ඕනම දෙයක්”

“ඔයාට පුලුවන් වෙයිද මාත් එක්ක යාලු උනාට පස්සෙ ඔයා කලින් ආශ්‍රය කරපු කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ම අමතක කරන්න? ඒ සම්බන්ධකම් අයින් කරලා දාන්න ඔයාගෙ ජීවිතෙන්”

“කලින් මං උන්නු කෙල්ලන්ව අයින් කරන එක මට ප්‍රශ්නයක් නෑ. ඒත් මට ඒ පිරිමි ළමයින්ව අමතක කරලා දාන්න බෑ ශාරා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here