(අ) හිමි සිහින -197

සිවුරක් දරාගෙන ඉන්නා කවුරු හෝ කුමන තරාතිරමක අයෙකුට වුණත් බෞද්ධයෙක් ලෙස අප ගරුකරනවා.ඒ නිසා මම හාමුදුරුවන්ට පිළිතුරු දෙන්නට කලින් රැගෙන ගිය පිරිකරය පිළි ගන්වා උන්වහන්සේට නමස්කාර කර සිටියා.

“හා.. හා..තෙරුවන්සරණයි”

ඒ හඬ කලින් උන්වහන්සේගේ ගර්ජනාවට වඩා බාල වී මට ඇසුණේ.

කාන්තාවක් ලෙස මට ඔබට කියන්නට තවත් එක් වැදගත් දෙයක් තිබෙනවා.ඒ ඔබ තුළ තවත් තිබියයුතුම දෙයක් සම්බන්ධයෙන්. ඒ තමයි ඔබේ හඬ පෞරුෂය.සාමාන්‍යයෙන් ගැහැනියක් මුඛරියි.තොරතෝංචියක් නැතිව කියවන ගැහැනු මිස සාවධානව ඇහුම්කන්දෙන අවස්ථාවට උචිත ලෙස කතාකරන ගැහැනුන් හරි අවමයි.ඔබ හැමදේටම කියවන ගැහැනියක නොවී ඇහුම්කන්දී අවශ්‍ය දෙය නිසි තැනදී පවසන ගැහැණියක වන්න.
කෝපය පිලිකුල වෛරය තිබූ පමණින් කිසිදා කලබල වන්නට එපා.ඔබේ සිත හා ඔබේ අදහස සමාජගත කරන්නට ඔබට ඇති හඬ පෞරුෂය පාවිච්චි කරන්න.ඔබට ආවේණික වූ භාෂාව හැසිරවීමේ ශෛලියක් ගොඩනගාගන්න.එසේම කතාකරන සෑම විටම අනෙකාගේ දෑස් දෙස සෘජුව බලන්න.දෑස් දෙස බලා කතාකරන්නට නොහැකි වංචාසහගත සිතිවිලි ඇත්තන්ට යැයි කියනවා ඔබ අසා ඇති.එය සත්‍යයක්.මම මේ අවස්ථාවේ ප්‍රයෝජනයට ගත්තේ මේ කාරණාවයි

“අවසර! මම ජෙනරාල් සුධාරකගේ බිරිඳ.මට ඔබවහන්සේ මුණ ගැහෙන්නට ඕනෑකම තියෙනවා.මේ වෙලාව ඔබවහන්සේට කරදර නම් මං වෙන දවසක එන්නම්”

මම උන්වහන්සේගේ දෑස් දෙසම බලාගෙන ඇසුවා.මා දිහා මඳක් බලාසිටි උන්වහන්සේ

“කවුද සුධාරක කියන්නෙ?.අර හංවැල්ලේ අම්මණ්ඩිගේ පුතාද? “

යැයි ඇසුවා.

“අවසර! ඒ ගෑණුකෙනා කොහොම වුනත් මගේ මහත්තයා හරිම අවංක ගුණගරුක මේ රටට විශාල සේවයක් කළ කෙනෙක්”

මම නොපරදින ස්වරයකින් පැවසුවා.

“ඒක මොකක් වුණත් මේ අම්මන්ඩිලා එකතු වෙලා පුතාගේ නම කනවා නෙව..දැන් මේ නෝනෙ මෙහෙ ආවෙ ඇයි”

අසභ්‍ය ලෙස බැන වදින බව පැවසූ ස්වාමීන්වහන්සේ මට නම් එකදු පරුෂ වචනයකින් ඇමතුවේ නැහැ.එහෙත් ඒ භාෂා විලාශයේ සැර පරුෂ බවක් තිබුණා

මා උන්වහන්සේට සුධාරකගේ නැගනිය හඳුන්වා දී අපේ කතාව කෙටියෙන් පවසා දැනට සිදුවෙමින් පවතින තත්වයත් සිදුවන අපරාධයත් පැවසුවා.කලබලකාරී ස්වරූපයෙන් එය අසා සිටි උන්වහන්සේ සුධාරක ගේ නැගනිය අමතා ඉතාම අසභ්‍ය ලෙස බැන වදින්නට වුණා.

“අනේ මන් දන්නෙ නෑ හාමුදුරුවනේ මුලදී එහෙම තිබුණේ නෑ.අයියා මැරෙයි කියල ඒ අයට දේපොල තන්හාව ඉහට ගැහුවා.අනුරාධපුරේදී මට අම්මත් අක්කාත් කිව්වා.ඕවා අපේ අයියගෙ දේවල් අර ගෑණිට ලංකාවට එන්න බෑ මේ ගෑණිට ඕවා අයිති නෑ ඕවා දැන් අයිතිවෙන්න ඕන අපට කියලා.”

නංගිගේ කටහඬ සෑහෙන තරමට අවුල් වුණා.ස්වාමීන් වහන්සේ නොනවත්වාම බනින්නට පටන් ගත්තා.උන්වහන්සේගේ අංජනමට කුමක් පෙනුණත් ඒ කිසි බලවේගයකට නොපෙනෙන යමක් එවේලේ ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ මගේ දුරකථනයේ පටිගත කිරීමයි.මා උන්වහන්සේ අභියසට යන්නට ප්‍රථම මගේ දුරකථනයේ පටිගතකිරීමට සකසාගෙන ගිය අතර එය සුධාරක ගේ නැගනිය දැනසිටියේ ද නැහැ.

මට සිදුවන කිසිදෙයක් යායුතු නියම මාර්ගයේ නොයන බව ඒ වනවිටත් දැනී තිබුණ හෙයින් මම සාක්ෂි ලෙස ගතහැකි කිසිදු දෙයක් අපතේ නොයවාගන්නට වගබලාගත්තා.අදටත් මේ සියලු සාක්ෂි මා ලඟ නිරුපද්‍රිතව තිබෙනවා. ඒ නිසාම මේ වනවිට මට විරුද්ධව කැරලි ගැසූ සියලු දෙනාට ඉන් එහාට කිසිදෙයක් කරගැනීමට නොහැකි වී තිබෙනවා.ඒ සත්‍යය හා ඒ ඔප්පුකිරීමට අවශ්‍ය සියලු සාක්ෂි මා සතුව තිබෙන නිසා.

ඔබ කාන්තාවක් ලෙස නොදැනුවත්ව නොයෙක් කුමන්ත්‍රණ වලට හසුවන්නට පුලුවන්.ඒත් ඇස් හැරගෙන සිටීමෙන් හා තීක්ෂණ නුවණ පාවිච්කිරීමෙන් ඔබට ඔබගේ නිදොස් බව වෙනුවෙන් සටන්කරන්නට ද පුලුවන්.මා මේ කරමින් සිටින්නේ එයයි.සත්‍යය කෙතරම් ප්‍රබල වුවත් එය ඔප්පුකිරීමට අවශ්‍ය සාක්ෂි ඔබ අත ඇතොත් ඔබ තවත් ශක්තිමත් බව මතකතබාගන්න.

“අවසර අපේ හාමුදුරුවනේ. සුධාරක ගේ අම්මා එන්න ඇත්තෙ මොකටද කියන්න මං දන්නෙ නැහැ.ඒත් ඔබවහන්සේ දන්නා සාස්තරයකින් මට මේ ලෙඩා බේරලා දෙන්න හැකියාවක් තියෙනවද කියල බලන්න.ඒක විශාල පිනක්”

මම එසේ කියද්දී ස්වාමීන් වහන්සේ මා දෙස ටික වෙලාවක් බලා සිටියා.

“නෝනෙ මං හොඳට හොඳයි නරකට බොහොම නරකයි.මං යක්කු එක්ක වැඩකොරනවා තමයි ඒත් යක්කුන්ටත් තියෙනවා ප්‍රතිපත්ති. ඔය රාලහාමිගේ අම්මන්ඩි ආවේ පුතාට බෙහෙතක් කොරගන්ට නෙවෙයි.ඔය නෝනෙව මරවලා දෙන්න කියල අහන්න”

මට බියක් හෝ චකිතයක් දැනුනේ නෑ.ඒ මම ඔවැනි කිසිවක් විශ්වාස නොකරන නිසා.අනෙක එවැනි දේ ඔවුන් කරන බවට කලින් තිබූ අත්දැකීම් නිසා.මම යාන්තම් සිනාසුනා පමණයි.

“අවසර මම උප්පැන්නයට බෞද්ධ වූවෙක් නොවෙයි.මට බෞද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. අපි කරපු කුසල් අකුසල් මත තමයි අපේ ජීවිතය දෝලනය වෙන්නේ. මම බාහිර බලවේග වලට බය නැහැ”

මම නොබියව පැවසුවා.

“නෝනෙ අර අම්මන්ඩි කිව්වා නෝනෙගෙන් හරි කරදරයි කියලා.කොහොම හරි මරවලා දෙන්න කිව්වා.ඊටපස්සේ මට සලකන්නං කිව්වා.මම ගුරුකම් අතේ වැඩ කරනවා තමයි නෝනේ ඒත්.මිනිස්සුන්ට යක්කුන්ගෙන් ගන්න බැරි වැඩ කරලා දීලා සෙතක් කොරනවා මිසක් පාපකර්ම කරන්නෙ නැහැ.මං ඒකිට හොඳවයින් දෙකක් කියලා එලෝගත්තා”

මේ ගැහැණිය සිය පුතුගේ විවාහක බිරිඳව සිටි මා ඒ කාලයේ දික්කසාද කර දමන්නට පියවර ගත්තා.එදා මට දැඩි තීරණයක් ගන්නට තිබුණා යැයි සමහරු මට මේ කතාවේ ඒ කොටස් වලදී දොස් නගා තිබුණා.ඒත් එදා සිටියේ අද සිටින අනුරාධා නොවෙයි.දශක දෙකකටත් මත්තේ සිටි අනුරාධා ගෙයින් එලියට හෝ නොබැස්ස කෙනෙක්. ඇය සුධාරකට ආදරය කලට දෙමාපියන්ට බයෙන් ජීවත් වූ පුංචි කෙල්ලක්.

ඒත් මා සුධාරක සමග විවාහ වී සිටින නිසා මට වෙනත් විවාහයක් කර දිය නොහැකි බව මේ අම්මාට මගේ දෙමව්පියන් සමඟ පවසා මේ ගැටලුව විසඳගන්නට උත්සාහයක් හෝ දරන්නට තිබුණා.

දිල්හානිගේ විවාහය මංගල දැන්වීමකින් සොයාගත් විවාහයක්. ඒ හැරත් එතැන විශාල ගැටලු විවාහයට පෙරදීම පැන නැගී තිබෙනවා.ඒවා වෙනත් පාර්ශ්වයකට අදාල දේ නිසා මා මේ කතාවට ඒවා ඈඳාගැනීම නුසුදුසුයි. නමුත් යෝජිත විවාහයකදී තමන්ට සුදුසු නුසුදුසු බවට දෙපාර්ශවයටම තීරණයකට එන්නට හැකියි.මේ අම්මා ඒ කිසිවක් සොයාබලා තිබුණේ නැහැ.විවාහයට පසු දිල්හානිගේ ක්‍රියාකලාපය යහපත් නොවේනම් ඇයගේ දෙමාපියන් හෝ ඒ ගැන දැනුවත්කර ගැටලු විසඳාගන්නට මැදිහත් වන්නට ඇයට තිබුණා.සුධාරක නම් දිල්හානිගේ නොසැලකිලිමත් බව ඇගේ මාපියන් කිහිප වතාවක් දැනුවත්කර තිබුනා. ඒත් සුධාරක ගේ මව කලේ දිල්හානිට වස්කවි කියා මා ළං කරගැනීමත් මට වස්කවි කියා ඊටපසු ඇගේ හිතේ තිබූ මොනවා හෝ කූඨ අදහසක් වෙනූවෙන් ක්‍රියා කිරීමයි.

මා මේ සිතිවිලි අතර ගිලී ඉන්නා අතරතුර ස්වාමීන්වහන්සේ මට මෙසේ පැවසුවා.

“දැන් ඕවා ගැන හිතල වැඩක් නෑ නෝනෙ.රාලහාමි ගොඩ දාගන්න විදියක් බලමු.මම තෙල් ටිකක් දෙන්නම්.ඒක ගාලා බලමු”

තෙල් ගාන්නට යන්නේ කවුද? සුධාරක බලන්නට කිසිවෙකුටත් අවසර නැහැ.මා එය උන්වහන්සේට පැවසුවා.උන්වහන්සේ එවිට කෝපයට පත් වුණා.උන්වහන්සේ සුධාරකගේ නැගනිය දෙස බලා

“මේක මහ පුදුම පවුලක්.මිනිහ බලන්න ගෑණිට යන්න බෑ අයිය බලන්න නංගිට යන්න බෑ.දැන් ඕකා බලන්න යන්න පුලුවන් මොකාටද. අන්න එහෙම එකෙකුට කතාකරන්න මට නොම්මරයක් දීපං”

එවිට සුධාරක ගේ නැගණිය ඇගේ මව ගේ දුරකථන අංකය ලබාදුන්නා. උන්වහන්සේ තම දුරකථනයෙන් ඒ අංකයට ඇමතුමක් ගත්තා.

හාමුදුරුවෝ සුධාරකගේ අම්මාට පැවසුවේ මොනවාද කියලා අපි හෙට කතා කරමු.ඒ වගේම මගේ කතාවේ මා අත් විඳි ඛේදනීයම දවස් ගැන නුදුරේදීම ඔබට කියන්නට මට සිදු වෙන බවත් අමතක කරන්න එපා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles