ශරදාකාසේ -11

‘තමුසෙට වෙන මිනිහෙක් ඇති’ කියන වචන ටික නිශාමනී ගේ සවන් තුළ මතු නොව සිරුර පුරා ම දෝංකාර දෙන්නා සේ ය ඇය ට දැනුණේ. මුලින් ම ඈ සියුම් අභ්‍යන්තර ගැස්මකට ලක් වූවා ය. එය වූ කලී බරපතල චෝදනාවක් වේ. ගෙදර ට වී දරුවා බලා ගෙන ගෙදර සියලු වැඩ කර ගෙන ඉන්නා ගැහැනියකට පහර දිය හැකි ලොකු ම ආයුධය ශාරද විසින් පාවිච්චි කොට තිබිණි. පිහි තුඩක් දැවටුණ විට දැනිය හැකි තුවාල රිදුම නිශාමනී අත්වින්දා ය. ඒ වගේ නරුම කතාවකට ගැහැනු පපුවක් දෙදරවිය හැක්කේ බොහෝ විට එක වතාවක් පමණ ය. ඔහු මේ ආකාරයෙන් ඇයට ද්‍රෝහි වී හිඳිනා බව නො දැන සිටියේ වී නම් ඇය මීට වඩා බෙහෙවින් කැළඹෙන්නට ද තිබිණ. නමුත් පංචලී සමග ඔහු ගේ වන සම්බන්ධය ශාරද විසින් ම පිළි ගෙන තිබුණෙන්, ඇය ට නො වැටී නැගිට ගත හැකි විය.

“ඔයාගෙ ඔය ජරා චෝදනා වලට දැං මං බය වෙන්නෑ. ඔයා අන්න ඒක දැන ගන්න”

ඈ සිය මන්දස්මිතයෙන් ම කීවා ය. ශාරද ගේ මූණ කළු වී හැකිළී ගියේ ය. 

“තමුන්ට දැං එච්චර හයියක් ඇවිත් තියෙන්නෙ කොහෙන්ද කියල තමයි මාත් අහන්නෙ”

“නිර්දෝෂී ගෑනියෙක්ගෙ ආදරේ එක්කයි ඔයා සෙල්ලං කළේ ශාරද. ඔයා කියනවනං මගෙං අඩු පාඩුවක් වුණා කියල…මං ඒක පිළි ගන්නං. සම්බන්දකං වල හිස් තැන් තිබුණහම ඒ හිස් තැන් වලින් පෙරේතයො කුම්භාණ්ඩයො රිංගනව කියල මං අහල තිබුණා. ඒත් ඔයාට ආදරේ කරපු තරම නිසා…ඔයාව විශ්වාස කරපු තරම නිසා එහෙම දෙයක් අපිට වෙයි කියල මං හිතුවෙ නෑ. වෙන ගෑනු ළමයෙක් ළඟ දුක කියන්න කලින් ඔයා මට කිව්වනං…මගෙන් අඩුපාඩුවක් වෙනව කියල… මං ඒක හදා ගන්න බලනව. ඒත් ඔයා මගෙ අඩුපාඩු කතා කරල තියෙන්නෙ වෙන ගෑනියෙක් එක්ක. එතනදි ඔයා මාව කොතනටද දාල තියෙන්නෙ ශාරද…ඊට පස්සෙ මං ඔයාගෙ කවුද…”

“හරි හරි. ඒක මේ ඔච්චර කියවන්න තරං දෙයක් නෙවෙයි”

ඔහු රකුසු වෙසක් මවා ගත්තේ ය. ඒ ආවේශය යනු තමුන්ට ආදරය කරනා ගැහැනුන් බිය කොට පාලනය කරන්නට ඔවුන් ට දෙවියන් ගෙන් හෝ යක්ෂයන් ගෙන් ලැබුණ වරයක් වන්නට පුළුවන. නමුත් නිශාමනී ඒ තර්ජන වලට මෙල්ල වූවා නොවේ.

“ඩිවෝස් කේස් එක ෆයිල් කරන්නෙ ඔයාද නැත්තං මන්ද..”

“ශමී මේ..මගෙ යකා අවුස්සන්නනං එපා”

නිශාමනී නැවත ද සිනහවක් නගා ගත්තා ය. ඇය දියණිය වඩා ගෙන නැගිට ගත්තේ ‘යං පුතාට කුක්කු තේ පොවන්න’ කියමිනි. ශාරද අසරණ බව සඟවා ගත් බැල්මකින් බලා සිටියේ ය. 

ඇය ඔවුන් ගේ විවාහය අවලංගු කොට සිය සම්බන්ධතාවයෙන් නික්ම යන්නට සූදානම් වෙනවා කියන සිතිවිල්ල ම ශාරද වෙන ඇති කළේ භීතියකි. කවුරුන් එක්ක කවර සම්බන්ධයක් පැවැත්වී ද නිශාමනී ගෙන් වෙන් වෙන්නට ඔහු ට ඕන වී තිබුණේ නැත. විවාහය කියනා සුරක්ෂිත ස්ථාවර බව ඔහු ට සහනයක් විය. ඔහු තිගැස්මක් සෙව්වේ ඒ ස්ථාවර බව තිබියදී ය. පිටතදී මොනවා සිදු කර හෝ හවසට එන්නට ගෙදරක් තිබීම තරම් ආරක්ෂක කවචයක් පිරිමින්ට තවත් නැත. ඒ ආරක්ෂක කවචය බිඳ ගන්නට සිතීම හෝ බිය උපදවන්නකි.

නිශාමනී එසඳි ට කවා පොවා සෝදා ලා පැහැති ඇඳුමක් ඇන්දවූවා ය. ඇය ද සුදු ඇඳුමක් ඇඟ ලා ගත්තා ය. පහසුවක් ඇය තුළ වූවා නොවේ. සමහර වෙලාවල්, ඇස් කඳුළු හලන්නට ම බලා සිටියේ ය. ඒ වගේ හැඟීම් පොදියක් එක්ක සටන් කොට දිනනා එක පහසු නැත. ඇතැම් විට ඇය දිනුවා ය. ඇතැම් විට පැරදුණා ය.

“ඇයි අම්මි දැන් හැම තිස්සෙම අඬන්නෙ…ඕඩිකොලෝන් දැම්මෙ නැති වුණත් අම්මි අඬනවනෙ…”

එසඳි ඇගේ ළපටි දෑත් වලින් නිශාමනී ගේ විඩා බර මුහුණ පිස දමමින් සුරතල් බස් කීවා ය. 

“ඉක්මන්ට කඳුළු ඉවර වෙයි පුතේ”

ඇගේ ඇස් වල කඳුළුත් මුව මත සිනහවත් තිබිණි. දේදුණු පායන්නේ එහෙව් අහස් වල ය!

“කොහෙද යන්නෙ..”

ඈ ගෙයින් පිට වන්නට සූදානම් වත්දී ශාරද තදින් ඇසුවේ ය. 

“පන්සල්”

ඇය නො සැලකිලිමත් ලෙස පිළිතුරු දුනනේ පිළිතුරක් දෙනවා ද නැත් ද යන කල්පනාවේ තත්පර කිහිපයක් එකල මෙකල වෙමින් හිඳිමිනි.

“මං ලෑස්ති වෙලා එන්නං. ඔහොම ඉන්න”

“එපා”

නිශාමනී එකහෙළා කීවා ය. ශාරද ගේ මූණේ මස් පිඬු සැලී ගියේ ය.

“පන්සල් යන්න අපි ඔයා එනකල් බලං හිටපු දවස් තිබුණා. ඒ බලං හිටියේ ඔයා තව කෙනෙක් එක්ක ඒ වෙලාව ගත කරනව කියල දැන ගන්න කලින්. ආයෙත් ඒ දේවලට ඔයාව ඕන වෙන එකක් නෑ”

ශාරද සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“දැං ඩිවෝස් වෙලා ජීවත් වෙන්න තමුන්ට ජොබ් එකක් තියනවද…ඉන්කම් එකක් තියනවද…බොරුවට උඩ පනින්නෙ නැතුව හිටියොත් නේද හොඳ…”

“ඉස්සර මට දරුවෙක් හිටියෙත් නෑනෙ ශාරද…ඕන කමක් තියනවනං ඔයා කියපු ඔය දේවලුත් ඇති කර ගන්න බැරි වෙන්නෙ නෑ. මොකද මගෙ අත පය හයිය තියනවනෙ තාම”

එසඳි ව වඩා ගත් ඇය සිය සැමියා ගේ ව්‍යාකූල- හැඟීම් තෙරපෙන මුහුණ දෙස බැලුවා ය. 

“මං පන්සල් යන්නෙ හිත ටිකක් සන්සුන් කර ගන්න. ඔයත් එක්ක ගිහිං ඒක කරගන්නව කොහොම වුණත් තවත් ඔළුව අවුල් කර ගන්නයි වෙන්නෙ”

ඔහු ට ආදරය කළ පුංචි බොළඳ කෙල්ල ඒ තරම් දැඩි ගැහැනියක වූයේ කෙසේ දැයි ශාරද ට සිතා ගත හැකි වූයේ නැත. නමුත් ඇය ට එරෙහි ව යාමේ ශක්තියක් කොහෙත් ම ඔහු කෙරේ වූයේ නැත. ශරීරයේ අප්‍රාණික බවක් දැනුණෙන් ඔහු කාමරයට ගොස් යහනට වැටුණේ ය.  ඈ යළි පැමිණෙන තෙක් ම ඔහු අඩ නිද්‍රාවක පා වෙමින් සිටියේ ය.

පන්සලට වී බෝ වෙලාවක් වැලි මළුවෙහි හිඳ ගෙන උන් නිශාමනී, දියණිය නො සන්සුන් වන්නට ගත් විට පන්සලෙන් පිට වූවා ය. ගෙදරින් පිට වන්නට පෙර සිට ම ඇගේ හිතේ යමක් වැඩ කරමින් තිබිණ. ඒ කොල කැබැල්ල අතේ ගුලි කර ගෙන ඇය සන්නිවේදන මධ්‍යස්ථානයක් වෙත ගියා ය. ජංගම දුරකතනයෙන් ඒ ඇමතුම නො ගත යුතු යයි ඇගේ යටි හිත ඇය ට කොඳුරා කී බැවිනි.

දෙතුන් වරක් හැඬවීමෙන් පසු, නිශාමනී ගේ දිවියේ දී ඇය ව ප්‍රථම වරට තිගැස්සූ ගැහැනු හඬ ඇසිණ.

“හෙලොව්”

උගුර හිර වී ඇති බවක් නිශාමනී ට දැනිණ. ඇය එකතකින් සිය උගුරු දණ්ඩ අල්ලා ගත්තා ය. එසඳි අම්මා ගේ ගවොම් සායේ එල්ලී ගෙන හිස ඔසවා ඇදෙස බලා සිටියා ය. ඒ කුඩා දුරකතන කුටියෙහි ඇය හිර වී ඇති බවක් නිශාමනී ට දැනුණේ ය. 

“පං..චලී ද…”

එක මොහොතක, දැඩි පීඩන තත්වයක් යටතේ පැවති යමක් පුපුරා ගියා සේ ඒ වචනය පිට වූයේ ය. 

“ඔව්..”

පංචලී ඉතාමත් නිසංසල ලෙස පිළිතුරු දුන්නා ය. නමුත් ඇගේ ගැහැනු හදවත ඇතුළේ කුණාටුවක් නො තිබුණා යි කීවොත් මුසාවකි. 

“මං නිශාමනී”

අර කුණාටුව පංචලී ගේ අභ්‍යන්තර පටක තෙරපුවේ ය. මිරිකුවේ ය. ඇඹරුවේ ය. ඇය සිය අතක් පපුවෙහි තබා ගත්තා ය.

“අ..නි..ශාම..නී..”

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන”

“කියන්න..”

“මෙහෙම නෙවෙයි. මට ඔයාව මීට් වෙලා කතා කරන්න ඕන. හැබැයි ඇවිත් යනකල් මේක ශාරදට කියන්න එපා”

දුරකථන දෙකක් ඔස්සේ දෙදෙනා සම්බන්ධ කරන ලද ශබ්ද තරංග වලට වඩා වැඩි සංඛ්‍යාතයකින් මේ ගැහැනුන් දෙදෙනා ගේ ම හදවත් ගැහෙමින් තිබිණි. මේ ඔවුන් දෙදෙනා ම අපේක්ෂා කළ මොහොතක් නොවේ. නමුත් මේ මොහොතට මුහුණ දෙන්නට දෙදෙනා ම ශක්තිය එක් රැස් කරන්නට වූහ.

“මට ඕනෙ ඔයත් එක්ක රණ්ඩු කරන්න නෙවෙයි. කතා කරන්න. ඔයාගෙන් දැනගන්න කාරණා කීපයක් මට තියනව”

“මං එන්නං”

“ප්ලීස්…දැන්ම මේක ශාරදට කියන්න එපා”

“මං කියන්නෑ”

ඔවුන් දෙදෙනා ගේ ම හදවත් එක ම වේදනා කලාපයක සුසර වෙමින් තිබිණ. නිශාමනී පන්සල අසල ප්‍රකට බොජුන් හලට ගොස් දියණිය ට කෑමට යමක් ගෙන දුන්නා ය. කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් ගෙන ත්‍රීරෝද රියකට ගොඩ වූ පංචලී විනාඩි පහළොවක් තුළ එතැනට පැමිණියා ය. පංචලී ඡායාරූප වලින් නිශාමනී හා එසඳි ව දැක තිබිණ. සිය ජංගම දුරකතනයේ වූ ඒ සේයා රූ ඇය ට පෙන්වූයේ ශාරද ම ය. නමුත් මේ නිශාමනී ඇය ව දකිනා ප්‍රථම අවස්ථාවයි. ඈ හා තමන් ව ඕ සිතින් සසැඳුවා ය. තමන් ට වඩා පංචලී ලස්සන ද ළපටි ද දඟකාර ද කියා අනුමාන කළා ය. නමුත් ඇය පිරිමින් වසඟ කර ගන්නා අඟර දඟර කාරියක සේ පෙනුණේ නැත. ඕ අහිංසකයි කියා නිශාමනී සිතුවා ය.

“ගෑනු මොනා කරන්නද…පිරිමිංගෙ චාටු වලට රැවටෙනව. ඊළඟට පණ ඇරගෙන ආදරේ කරනව”

ඒ සිතිවිල්ල නිශාමනී ගේ සිතේ උපන්නකි. ඒ සිතිවිල්ල වචන බවට පත් කරන්නට ඇය පෙළඹුණේ නැත.

“මං දන්නව ඒක වරදක් කියල. ඒත් ඔයා කලබල වෙන්න එපා නිශාමනී. ඔයාට ශාරද නැති වෙන්නෑ. එයා කවදාවත් ඔයාව අතෑරල මං ළඟට එන්නෑ”

ඉතා අමාරුවෙන් හුස්ම අල්ලා ගෙන පංචලී එවදන් තෙපලා ගත්තේ අමතක වේ යයි බියෙනි. මේ නිශාමනී ට කිව යුතු ම දේ යයි මගදී ම ඇය සිතා ගත්තා ය. නිශාමනී ගේ මුව කොනක් සිනහවකට ඇද විය. නමුත් එය වේදනා භරිත සිනහවක් බව හැඳින ගන්නට පංචලී අපොහොසත් වූයේ නැත.

“මට එයා නැති වෙලා ඉවරයි”

ඇය ඉතා ම මෘදු ස්ත්‍රී භාෂිතයකින් කොඳුළා ය. තමන් ඉතා කුඩා අංශු වලට බිඳී යන බවක් පංචලී ට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -226

හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා...

නිබ්බුත ගීත -21

ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ....

යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව

Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති...

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...