මලක් වී යළි පිපෙන්නම් – 15

0
226

චාරුක නානකාමරයට වැදී විනාඩියක් දෙකක් ගත වූ තැනදී නුලාරා ඔහුගේ ජංගම දුරකථනය අතට ගත්තේ වෙනදා පුරුද්දටමය. ඔහුගේ පුද්ගලික දුරකථනය බොහෝ  විට තමා හා පවුලේ අයවලුන් වෙනුවෙන් හිතවත් මිතුරන් කිහිපදෙනෙක් වෙනුවෙන් පමණක් වෙන් වූ එකක් බව ඇය දනී. එනිසාම නුලාරා ඒ පුද්ගලික දුරකථනයට වඩා පරීක්ෂා කරන්නේ ඔහුගේ කාර්යාලීය දුරකථනයය. වරදක් කලත් එය වසා ගන්නට හේතු කාරණා පවසන්නට මේ ජංගම දුරකතනය භාවිතා කිරීමෙන් හැකියාව වේ.

මන්දස්මි ලිහන්සා හා විනාඩි දා හතරක කාලයක් ඔහු ඇමතුමක රැඳී සිටි බවට වූ සලකුණ ඇගේ දෑස් මත්තේ නතර වූයේ යළිත් අමුතු රිදුමක් දනවාලමින්ය. ඊයේත් ඔහු ඇයට ඇමතුමක් ලබාගෙන තිබිණ. මන්දස්මි අදටත් ක්⁣ෂේත්‍රයේ  නමක් තබාගෙන සිටින අංක එකේ නිරූපිකාවකි. ඇගේ චරිතය පිළිබඳව බොහෝ අය විවිධ දෑ කතා කරන බව නුලාරාට රහසක් නොවේ. ප්‍රසිද්ධ සන්නාමයක් වූ සුවඳ විලවුන් වර්ගයක වෙළඳ දැන්වීමක් සඳහා චාරුක පෙනී සිටියේ ඇය සමඟය. මින් වසර කිහිපයකට එහා පටිගත කෙරුණු එය අදටත් රූපවාහිනී තිරය මත දිස්වන සෑම විටකම නුලාරාගේ හදවතට දැනෙන්නේ රිදුමකි. නාන කාමරයක බේසමක් මත වැතිර සිටින මන්දස්මිගේ අඩ නිරුවත් ජවනිකාවකින් පටන් ගන්නා වෙළඳ දැන්වීමෙහි චාරුක සිටින්නේද උඩුකය නිරුවත්වය. නාන කාමරයේම විසල් කන්නාඩිය ඉදිරිපස සිටින ඔහු සුවඳ විලවුන් බිඳු  කිහිපයක් තම වතේ තවරා ගනිද්දී මන්දස්මි පැමිණ පිටුපසින් ඔහුව වැළඳ ගන්නේ යාන්තමින් විලි වසා ගෙන ඉන්නා බිකිණි වර්ගයේ ඇඳුම පිටින්මය. ඉන්පසු දිස්වන්නේ චාරුක ඇයව තම දෝතට ගන්නා දර්ශනයකි. 

ජංගම දුරකථනය තිබූ තැනම තබා ඇඳමතින් වාඩි වූ නුලාරා කිහිප වරක්ම ඇසිපිය සැලුවේ තම දෑස් වලට උනා ආ කඳුළු සඟවා ගන්නටය. තමා කී වරක් ඔහුව මේ අයුරින් පසු පසින් ගොස් වැලඳ ගත්තාදැයි සිතද්දිත්, ඔහු තමාව කී වරක් මේ අයුරින් දෝතට ගත්තාදැයි සිතත්දීත් ඇගේ ලය යළි යළිත් ඇවිල යන්නට විය. ඒ ස්පර්ෂය, අත්දැකීම ඔහුගෙන් විඳගත් ප්‍රථමයා තමා නොවේයැයි සිතත්දී දැනෙන හැඟීම වචන වලට පෙරලන්නට ඔහු දැන සිටියේ නැත.

“ඒක රස්සාවක් නුලාරා. මිනිස්සු කැමරාව ඉස්සරහ ඒ කරන්නේ තමන්ගේ රස්සාව. ඒගොල්ලෝ කිස් කරන්නේ, ආදරේ කරන්නේ, පවුල් ජීවිත ගත කරනවා කියලා පෙන්නන්නෙ, එක ඇඳේ නිදාගන්නෙ ඊටත් එහා ගියපු සමහර දේවල් සිද්ධ වෙන්නේ කැමරාවක් ඉස්සරහ ටීම් එකක් ඉස්සරහ විතරයි. ඒ එයාලගේ ප්‍රේක්ෂකයෝ තෘප්තිමත් කරන්න. ඒ විතරක් නෙමෙයි,  මිනිස්සු ඒ තැන්වලදී ගහ මරා ගන්නවා, බැණ ගන්නවා.. ඒ රඟපෑම තාත්වික වෙන තරමට තමයි ඒ මිනිසුන්ගේ රස්සාවත් පැවැත්මත් රැඳිල තියෙන්නේ.   එහෙම මිනිස්සු කැමතියිලු තමන්ගේ පුද්ගලික ජීවිතයේ එක්කෙනෙකුට සීමා වෙලා හරි ආදරෙන් විඳින්න. ඒක ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ.”

ඊයේ දහවල පැමිණි යෙහෙළිය පැවසූයේ ඒ අයුරින්ය. එහෙත් එසේ සිතා සැනසෙන්නට තරම් හැකියාවක් නුලාරාට වූයේ නැත. ඊයේ පෙරේදා  සිට කවදා හෝ චාරුක තමාට අහිමි වේයැයි සිතා විඳවූ තරම දන්නේ ඇගේ සිත පමණි. පැරැණි පින්තූර ඇල්බමය පෙරළ පෙරලාත් නුලාරා සෙව්වේ ඔහුගේ දෑස් වල බැල්මය. තමාගේ අඩුපාඩුකම්ය. පිට්ටු බම්බුවක් සේ මහත් වී ඇති දෙපා, තරව කළු වී ඇති ගෙල, අනවශ්‍ය ලෙස පිරී තිබූ කොපුල් දෙස බලා ඕ  හීල්ලූ වාර ගණන අනන්තය. 

ඇඳ පසෙක වූ කුඩා ලාච්චුවක යටම තට්ටුවේ තැන්පත් කර තිබූ ඇල්බමය ඉන් පිටතට ඇදගත් නුලාරා මන්දස්මිගේත් චාරුකගේත් සේයාරුවක් සොයා ගත්තාය. යළිත් ඒ පපුව ඇවිල ගියේ පුදුමාකාර වේදනාවක් දනවමින්ය. 

“ගිනි ගොඩක් කියල දැන දැන මට මේ ගිනි ගොඩට නොපැන ඉන්න තිබුණා…”

චාරුක හා විවාහ වීමට ගත් තීරණය පිළිබඳව ප්‍රථම වතාවට පසුතැවීමක් ඒ සිතෙහි ඇති වෙමින් තිබිණ. 

අවසන ඕ පින්තූර ඇල්බමය වසා යළිත් ඒ ලාච්චුවටම දැමුවාය. චාරුක නාන කාමරයේ සිට පිටතට පැමිණියේත් එවේලෙහිය. සුදු පැහැ තුවායක් පමණක් ඇඳගෙන උන් ඔහුගේ වත මත්තේ දෑස් ගෙන ගිය නුලාරා හිස් බිත්තිය සැරසූ තමාගේත් ඔහුගේත් මංගල සේයාරුව දෙස බැලුවේ සුසුමක් පිට කරමින්ය. 

“ඇයි මැණික කවදාවත් දැකලා නැති කෙනෙක් දිහා බලනවා වගේ මගේ දිහා බැලුවේ.”

චාරුක එසේ ඇසුවේ ග්‍රැනයිට් ඇල්ලූ පොළොව මත වාඩි වී  ඉදිමුණු දෙපා තම උකුලටට ගෙනය. 

“බබා සොහාන් කිව්වේ පුළුවන් තරම් කකුල් දෙක තමන් වාඩිවෙන උසට සමාන්තරව තියාගෙන ඉන්න කියලා. ඔයා ඇද උඩ වාඩිවෙලා මෙහෙම කකුල් දෙක බිමට එල්ලගෙන ඉන්න එපා. එතකොට ඉදිමුම වැඩි වෙනවා.”

ඔහු ඒ දෙපා අත ගෑවේ පරිස්සමටය. මේ ආදරය මහා මෙරක් තරමට විසල් එකක් බව නුලාරා දැන සිටියාය. මේ ලෝභකමත්, රිදුමත් එනිසාවෙන්ම උපන් එකක් බව විශ්වාසය. 

“මැණික ඔයා බයවෙලාද ඉන්නේ..හැම තැනකදිම හැම වෙලාවකදිම මම ඔයත් එක්ක ඉන්නවා.”

ඇඳ විට්ටමට හේතු කළ කොට්ටයට ඇගේ හිස බර කළ චාරුක ඒ දෙපා ගෙන ඇඳ මතින් තැබුවේත් අර පරිස්සමටය. සිහින් රිදුමක්වත් තම බිරිඳගේ ගතට දැනෙනවාට චාරුක කැමති වූයේ නැත. සවස ට නෝනාගේ කකුල් උණු වතුරෙන් තවන්නයැයි ඔහු සෝමාට කතා කර පැවසූයේත් එනිසාය. 

“මං කැත වෙලාද අයියේ…”

අවසන ඇය ඇසුවේ තම මුහුණට එබී සිටින සැමියාගෙන්ය. චාරුක ඒ නළලත මත මෘදු හාදුවක් තැබුවේ කිසිවක්ම කතා නොකරය.

“ඇයි උත්තරයක් දෙන්නේ නැත්තේ…”

“ඔයා හරි ලස්සන වෙලා බබා. මොකක්දෝ කියාගන්න තේරෙන්නේ නැති හරි අමුතු පින්පාටක් දැන් ඔයා ළඟ තියෙනවා. මේ බන්ඩි  ගෙඩියත් උස්සගෙන ඔයා ගාර්ඩන්  එකේ එහෙට මෙහෙට ඇවිදිද්දී බලන් ඉන්න ආස හිතෙනවා. ඒක මට කියාගන්න තේරෙන්නේ නැති හැඟීමක් බබා. මගේමයි කියලා දැනෙන හැඟීම….”

යළිත් ඒ අකීකරු දෙතොල් තම බිරිඳගේ කොපුල් පුරා රටා මවන්නට විය. නුලාරාගේ සිතට දැනෙන්නට වූයේ උදාසීන හැඟීමකි.

තමාගේ හිත හදන්නට පමණක් ඔහු එසේ පවසනවා යැයි යන සිතුවිල්ල දරාගෙන නිහඬව සිටියා හැරෙන්නට නුලාරා කිසිවක් පවසන්නට නොගියාය. එහෙම්මම දෑස් පියාගත් ඇය ඔහුට ඇඟෙව්වේ තමා නින්දේ පසුවන බවය. ඒ විනාඩි කිහිපයේම ඔහුගේ අතැඟිලි ඇගේ හිසකෙස් පුරා ඇවිද ගියේය. අවසන  විනාඩි කිහිපයක් තම බිරිඳව තුරුලු කරගෙන නිහඩව උන් චාරුක ඇඳෙන් බැස්සෙය.  ඉන්පසු සැහැල්ලු වර්ගයේ කොට කලිසමකුත්,  ඉස්කිනි වර්ගයේ ටී ෂර්ට් එකකුත් ඇඳගෙන කාමරයෙන් පිටවන තුරුත් නුලරා  ඒ අයුරින්ම සිටියාය. වෙනදා සේ ඒ පහස රිසි සේ විඳ ගන්නට, තුරුළුව සිටින්නට හෝ ඔහේ සිතට එන දෙයක් කියවන්නට තරම් ඇගේ  මනස සන්සුන් වූයේ නැත. විනාඩි දහ අටක් පුරාවට මන්දස්මි හා කුමක් කිය වූයේදැයි අසන්නට සිත් උනත් ඊට ඈ තුළ වූයේ බියකි. ඔහු තමා වරදවා වටහාගනීයැයි සැකයකි.

                                      ************

ධනුක නිවසේ නොරැඳුණු දිනක් නිසා සංකල්පනී සවස කඩේට ගොස් ගෙන ආ රෝස පාන් කාලෙහි බටර් ස්වල්පයක් තවරාගෙන ඒ මත සීනි ඇට කිහිපයක් ඉස ගත්තාය. මඳක් එහාට වන්නට වූ ජංගම දුරකථනය නාද  වූයේ වීදුරුවක්  පිරෙන්නට සාදා ගත් කිරි තේ එකත් අතැතිව ඕ කාමරයට පැමිණෙද්දීය. ඇමතුමෙහි වූයේ නුලාරාය. කිරි තේ එකත්, රෝස්පාන් කාලත් පසෙක තැබූ සංකල්පනී ඇඳෙහි වැතිරුණේ දුරකථනයට පිළිතුරු දීගෙනමය. 

“ඔයා මොකද කරන්නේ…”

“දැන් කන්න ලෑස්ති වුණේ,  අද ධනුක  එනකොට රෑ එක දෙකවත් වෙනවා.”

“හොටෙල් එකට යන දවසක්ද..”

“හ්ම්…අද, හෙට, අනිද්දා තුනම.”

“ඔයාට පාළු නැද්ද පාළුව කෙසේ වෙතත් බය නැද්ද…”

“මං ඔයාට කිව්වනේ අපි ඇනෙක්ස් එකක් හොයාගෙන නතර වුණේ මේ ප්‍රශ්නෙ නිසාම තමයි. මේ ඇනෙක්ස් එක අයිති ගෙදර අය හරි හොඳයි. බල්ලෙක් බිරුවත් බලනවා. ධනුක එයාගේ ගෙදර නොයින්නේ මගේ ආරක්ෂාව ගැන හිතලා”

“අපරාදේ ඔයාට තිබුණේ ධනුක හොටෙල් එකට යන දවසට අපේ ගෙදර එන්න.”

“ඒක එහෙම හරි නෑනෙ නුලාරා.”

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඔයා කාලා මට කෝල් එකක් ගන්නවද…?”

“නෑ… නෑ මං මේ බඩගින්නකට කන්න ගත්තා නෙමෙයි. ඉස්සර වෙලා ඔයාගේ කතාව කියලා ඉන්නකෝ.” 

“ඔයා දන්නව නේද අර මන්දස්මි කියන කෙනාව..”

“ඔව් අර මොඩ්ල් නේද?  ඉස්සර මිස් ශ්‍රී ලංකා එහෙමත් ගියේ.”

“මං ගැන වැරදියට හිතන්න එපා.  මගේ හිත කියනවා එයත් එක්ක චාරුකගේ මොනවා හරි තියෙනවා කියලා.”

“මොනවා හරි කිව්වේ..”

“මොනවා හරි කිව්වේ අද නැතත් ඉස්සර හරි එයාලා අතර එෆෙයා එකක් තියෙන්න ඇති.”

“ඔයා එහෙම සැක කරන්නේ මොනවා හරි දෙයක් දැකලද නැත්නම් කවුරු හරි කියලද..”

“මං චාරුකගේ ෆෝන් එක බැලුවා.”

“ගොඩක් දවස් වලට කතා කරල තියෙනවද…?”

“දැක්කෙනම් ඊයෙයි අදයි විතරයි. එක කෝල් එකක් විනාඩි අටක්. අනිත් එක විනාඩිදහ නවයක්.” 

“කම්පැනි  එකේ වැඩකට කතා කළා වෙන්න බැරිද…?”

“මං දන්නෙ නෑ මට මේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ. එයාට මේ ගෙදරින් එළියට බැස්සට පස්සේ මොනව කරන්න බැරිද. කා එක්ක කොහේ යනවා ඇද්ද? කාගෙන් තහනමක්ද..?එයා වගේ කෙනෙක් මේ ෆීල්ඩ් එක ඇතුලේ සිල් රැක්කා කියලා අපි කොහොමද හිතන්නේ. අනේ මන්දා මේවා හිතනකොට මගේ ඔලුවට විකාරයි වගේ.”

“නුලාරා…නුලාරා….ඉස්සර වෙලා හොඳ ළමයා වගේ ටිකක් රිලැක්ස් වෙන්නකෝ. මෙහෙමයි කෝල් එකක් අරන් තිබ්බ පලියට අපි කොහොමද හිතන්නේ එහෙම ඒ දෙන්න අතරේ සම්බන්ධකමක් තියෙනවා කියලා.”

“එහෙම නෑ කියලත් අපි කොහොමද හිතන්නේ..මගේ හිත තදින්ම ඒක කියනවා. මමයි චාරුකගේ වයිෆ් මට ඒක දැනෙනවා. එයා දැන් වෙනදා වගේ…අනේ මට ඔයාට ඒක කියන්න තේරෙන්නේ නෑ. ප්ලීස් ඔයා තේරුම් ගන්න මං මේ කියන දේ..”

“එච්චර බරපතල වෙලාද…දැන් වෙනසක් එයාට පෙන්නන්න එපා. මං හෙට එනවනේ අපි මේ ගැන කතා කරලා මොනවා හරි කරන්න බලමු. මන්දස්ම්  කියන්නෙ කවුද කියලා මේ ලංකාවේ හැමෝම දන්නවනේ. ඒ මනුස්සයා සල්ලි වලට ඕනෙම දෙයක් කරන කෙනෙක්. ඔය වගේ ගෑණු බලන්නේ මිනිස්සුන්ගේ හිස්තැන් වලින් ප්‍රයෝජන ගන්න. මේ වෙලාවේ මේ කිසි දෙයක් හිතට බරක් කරගන්න එපා. අපි චාරුකට නොදැනෙන්න මොනවද අපිට කරන්න පුළුවන් කියල බලමු.”

සංකල්පනී දුරකථනය විසන්ධි කර පාන් පෙත්තත් කිරි තේ වීදුරුවත් අතට ගත්තේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. 

යෙහෙළිය මේ සා විශ්වාසයෙන් යමක් පවසද්දී  එය එසේ නොවේ යැයි කියන්නට හැකියාවක් සංකල්පනීට වූයේ නැත. චාරුක එසේ නොවේ යැයි සහතික කරන්නට තරම් යමක් ඈ ඔහු ගැන දැන සිටියේද නැත. එනිසාම නුලාරා ගැන සංකල්පනීගේ සිතෙහි වූයේ දුකකි. නුලාරලාට යමක් කමක් වුවද රඹුක්වැල්ලලාට තරම් සල්ලි හෝ දේපළ වූයේ නැත. චාරුක රඹුක්වැල්ලට ඊටවඩා වත්කමක්, ලස්සනක් ඇති යුවතියක කසාඳ බදින්නට හැකියාව තිබියදීත් නුලාරාවන් යුවතියක බිරිඳ කර ගැනීමට  තීරණය කිරීම තුලම කුමක් හෝ රහසක් ඇතැයි සංකල්පනීට සිතුනේ දින කිහිපයක සිටය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here