ලෙක්චර්ස් වලට ගියත් ශාර්වරී උන්නේ හිතේ සැනසීමක නොවේ.
“දෙවනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මට ඇත්තටම හේතුවක් නෑ තමයි ඔයා එක්ක යාලුවෙන්න. ඔයා කිව්ව දේ ඇත්ත” කියා නෙවින් කිව්ව වචන ආයෙ ආයෙ මතක් කර කර හිත රිද්දගන්න එක පවා ඒ වෙලාවේ ශාර්වරී දැක්කේ සැනසීමක් විදියටය.
“මං මෝඩයා වගේ එදා ආදරෙයි කිව්වම එයා හිතන්න ඇත්තෙ මම මහ ලේසියෙන් අල්ල ගන්න පුලුවන් කෙල්ලෙක් කියලා වෙන්නැති. මොනතරම් ලැජ්ජාවක්ද? මම කතාකරන හැම පාරකම වගේ එයා මං දිහා බලනවා ඇත්තෙ මහ ගොනෙක් තාලෙට දාලා. මම නිකන් අපරාදෙ ලැජ්ජ උනා. ගණන් උස්සගෙන ඉන්නෙ නැතුව නිකන් දෙන්න ගිහිල්ලා. එයා හිතන් ඇති මමත් මේ එයා පස්සෙ එන අනිත් කෙල්ලො වගේ එයාගෙ ලස්සනටයි සල්ලි වලටයි පිස්සු වැටිලා එනවා ඇත්තෙ කියලා” කල්පනා කරන ගමන් උන් ශාර්වරී දේශන ශාලාවේ උන්නෙ ශරීරයෙන් පමණකි. සිතුවිලි තිබුනෙ දේශන ශාලාවෙන් බොහෝ ඈත තැනක රැඳි ඉබාගාතේ යමිනි.
“මොන ලෝකෙද යකෝ ඉන්නෙ?” කියා එහා පැත්තෙ වාඩි වී උන් මධූශා අතට තට්ටු කරන තුරුත් ලෙක්චර් එක අවසන් වී ඇති බවවත් නොතේරෙන තරමට තමන් හිඳ තියෙන්නේ වෙන ඉසව්වක බව ශාර්වරීට තේරුණාය.
“ඔලුව චුට්ටක් බරයි බං”
“චුට්ටක් නෙවෙයි මං මෙච්චර වෙලා කතා කරපු එක ඇහිච්ච නැති තරම හිතද්දි සම්පූර්ණයෙන්ම බරයි කියල තමා හිතෙන්නෙ. උඹ මේ දවස් ටිකේම ඉන්නෙ වෙන සිහියක. ගෙදර අවුලක්ද?” කියා අහන ගමන්ම ඉඳගෙන උන්නු බංකුවෙන් නැගිට්ට මධූශා එතනින් පිටව යද්දිත් ශාර්වරී කලේ මුකුත් කියන්නේ නැතුව හීනියට හිනාවෙච්ච එකට.
තමන් බැඳී හිඳින්නේ නෙවින් සේනාරත්න එක්ක නොවී වෙන සාමාන්‍ය පිරිමි ළමයෙක් ගැන උනානම් හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න යාලුවෙක්ට හරි නංගිට හරි කියා හිත සැහැල්ලු කරගන්න පුලුවන්කම තිබ්බා නේද කියා උඩු හිත කිව්වත් යටි හිත කිව්වේ වෙන කතාවකි.
“ඒ නෙවින් නොවී වෙන කොල්ලෙක් උනානම් මේ වගේ ප්‍රශ්න ඔලුවට ඒවි කියල ඔයා හිතනවද?” කියා හිත අහද්දි නම් ඒ කතාව ඇත්ත නොවේද කියාත් හිතන ගමන් ශාර්වරී කැන්ටින් එක පැත්තට ඇවිද ගියේ ඊලඟ ලෙක්චර් එකට කලින් තේකක්වත් බඩට දාගන්න ඕන කියා සිතාය.
මෙච්චර වෙලා විසන්ධි කර තිබුණ දුරකතනය ශාර්වරී පණ ගැන්වුවේ කැන්ටිමේ මුල්ලේ මේසෙකට වී ප්ලේන් ටි එකක් බොන අතර වඩයක් කන ගමන් ය. තමන්ට එහෙමකට කියා කතා කරන්න කෙනෙක් නැති බව ඇත්තක් උනත් දුරකතනය ඔන් කල විගස ටිං ටිං ටිං හඬ නගමින් දුරකතනට ෆේස්බුක් එකෙන්ද ඉන්ස්ටග්‍රෑම් එකෙන්ද මැසෙන්ජර් එකෙන්ද නොටිෆිකේශන්ස් එන්න පටන් ගත්තා නෙවින් ගේ අංකයෙන් තමන්ට මිස්ඩ් කෝල්ස් ඇලට්ස් හතරක් තියෙන බව පෙන්නන ගමන් ය.
“ආදරේ කරන මිනිහෙක් නම් මිස් කෝල් හතරක් විතරක් දීලා ඉන්නෙ නෑනෙ. අර මධූශාගෙ බෝයි එයාලා පොඩි දේකට තරහා වෙලා මධූෂා ෆෝන් එක ඕෆ් කරාමත් මිස් කොල් පහලවක් විතර ගහනවනෙ. ඒ ආදරේ හන්දනෙ. අනික නෙවින්ට මොකෝ මම ලෙක්චර්ස් යන වෙලාවට ගේ ළඟ පාරට ඇවිල්ලා බලන්නවත් බැරිද මම මැරිලද කියලවත්? එහෙම කරන්නෙ නැත්තෙ එයා ඊයෙ කිව්ව කතාව ඇත්ත හන්දනෙ. මං තමයි නිකන් බූරුවා වෙලා තියෙන්නෙ” කියලා හිතෙන් බැනගත්තත් හිත ඇතුලේ නම් තිබුනේ එන්න එන්න පිරෙමින් තිබුන කඳුලු විලකි.
“ශාරා, දෙයක් කිව්වම ඒ කතාව සම්පූර්ණයෙන්ම අහන්නෙ නැතුව කලබල වෙලා තීරණ ගන්න එපා කියල මම එදත් ඔයාට කිව්වා. කලබල වෙලා තීරණ ගන්න එකෙන් අන්තිමේ වෙන්නෙ ඔයා තනියම සෆර් කරන එක විතරයි. ඔයා මම ඊයෙ කතාව ඉවර කරන්නත් කලින් ෆෝන් එක කට් කරා. කට් කරා විතරක් නම් කමක් නෑ ෆෝන් එක ස්විච් ඕෆ් කරලත් එක්ක.
මම ඔයාට වඩා අවුරුදු ගාණක් වැඩිමල් මිනිහෙක් බව ඇත්ත. මගෙ ජීවිතේ ඕන තරම් ගෑණු ඉඳපු බවත් ඇත්ත. ඒ වගේම තමයි මම අපි දෙන්නගෙ අෆෙයාර් එක පටන් ගනිද්දිම ඔයාට කිව්වා මම කවදාවත් ඔයාට රිද්දන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියල. ඒ කතාවත් බොරුවක් නෙවෙයි. එහෙම එකේ ඊයේ ෆෝන් එක අර විදියට ඕෆ් කරල කෝල් එක කට් කරලා දාන්නත් කලින් පොඩ්ඩක් මම මගේ කතාව් ඉවර කරන තුරු ඔයාට ඉන්න තිබුනා නේද?
අද උදේත් මම ඔයාට කෝල් එකක් ගත්තට ඔයාගෙ ෆෝන් එක ඕෆ්. ඔයා මට කිව්වට මට තමයි ඔයාට ආදරේ කරන්න හේතු නැත්තෙ කියල ඔයා මට ආදරේ නම් ඔහොම කරන්නෙ නෑනෙ නේද? අනික මං වයසක් මනුස්සයෙක් ශාරා. පෙනුමෙන් කොල්ලෙක් වගේ උන්නට මගෙ ඔලුව වැඩ කරන්නෙ අවුරුදු හතලිහකට කිට්ටු මනුස්සයෙක්ගෙ විදියට. එහෙම එකේ මට මේ වගේ හාට් ඇටෑක් දෙන්නෙ නැතුව හොඳ ළමයා වගේ මට මැසේජ් එකක් එවන්න.
ඔයාට අද ලෙක්චර්ස් නෙ. මට ලෙක්චර්ස් ඉවර වෙලා කියන්න. අපි මීට් වෙලා කතා කරමු.
ටිල් දෙන් ලව් යූ” කියා නෙවින් එව්ව මැසේජ් එක කියවද්දි නම් මෙච්චර වෙලා තරහෙන් උන්නු හිත චුට්ට චුට්ට මෙල්ට් වෙන්න අරගන්න බව තේරුණත් ශාර්වරී උන්නේ නෙවින්ට සම්පූර්ණයෙන්ම සමාව දෙන අදහසක නොවේ.
“ඒයි සෙකන්ඩ් ලෙක්චර් එක කැන්සල් වෙලා. ශානි මැඩම් අද එන්නෙ නෑලු” කියාගෙන පංතියේ සෙට් එකක් තමන් උන්නු මේසය වෙත ආවේ ආන්න ඒ වෙලාවේය.
“අප්පා එහෙමත් එකක්ද? අපරාදෙ කලින් දැනන් උන්නා නම් මට අද පාට් ටයිම් එකක් දාගන්න තිබ්බා” කියන ගමන් ශාර්වරී තේ කෝප්පයේ තිබ්බ අන්තිම තේ උගුරත් කටට හලාගෙන කෝප්පෙ කැන්ටිමේ ගැට්ට උඩින් තිබ්බාය.
“අනේ බං මෙහෙම අයිස් ගහන්න පාරක් එනවද ලේසියෙන්? අපි ගෝල් ෆේස් පැත්තෙ රවුමක් දාන්න යන්න කියල හැදුවෙ. උඹත් යන්” කියන ගමන් මංජරී අතින් අදිද්දී උනත් ශාර්වරී හිතුවේ මධුර අයියට කතා කර මොකක් හරි විදියකින් පාට් ටයිම් එකක් හදාගත්තා නම් අද නෙවින්ගේ මූණ බලන්න චාන්ස් එකක් එනවා කියාය.
“අනේ බෑ බං, දන්නවනෙ ගෙදර තියෙන ප්‍රශ්න, අද එකක් හරි වැඩිපුර පාට් ටයිම් එකක් කරගන්න පුලුවන් උනොත් කීයක් හරි වැඩිපුර ගන්න පුලුවන්. උඹල යන්න. මට බැරිය පස්සෙ දවසක එන්න”
“අයියෝ බං, තව දවස් කීයද අපි මෙහෙම එකට ඉන්නෙ. මෙහෙම දවස් එන්නෙත් කලාතුරකින්. එහෙම එකේ අද යන්කො” කියා කීප දෙනෙක්ම පෙරැත්ත කරත් ශාර්වරී උන්නේ කොහොමහරි විදියකින් නෙවින්ගේ මූණ බලාගන්න හදිස්සියකිනි. ඉතින් මිතුරු ඇරයුම් ප්‍රතික්ශේප කරන්න ආදරය දෙවතාවක් හිතුවේ නැත.
“අද අපේ සෙකන්ඩ් ලෙක්චර් එක කැන්සල් වෙලා. මම අද රෙස්ටුරන්ට් එකට යන්න කියල හිතුවෙ. මධුර අයියට කිව්වොත් අදත් එන්න හදාගන්න පුලුවන්. ඔයාට කීයටද වැඩ ඉවර වෙන්නෙ?” කියා නෙවින්ට කෙටි පණිවිඩය යැව්වේ ආන් ඒ ආදරේ හන්දාමය. කොහොමත් දෙන්න දෙමහල්ලන්ගේ තරහ බත ඉදෙන තුරු පමණක් බව කියන එකේ මේ අලුතෙන් ජෝඩු වෙච්ච කුරුල්ලන්ට එක තප්පරයක්වත් එකිනෙකා නොදැක ඉන්න අමාරුය.
“හෝව් හෝව්. ඉන්න ඉන්න. ඔයාට අද රෙස්ටුරන්ට් එකට යන්නම ඕනද?”
“ඒ කිව්වෙ?”
“මං දන්නවා මං මෙහෙම අහන එක වැරදි කියල. මට බයයි ඔයාව සෙනග ඉන්න තැනකට එක්කරගෙන ගිහිල්ල ප්‍රශ්නයක් වෙයි කියලා. ඔයා අවුලක් නැත්තම්, අපි චුට්ටක් කතා කරන්නත් එක්ක අද මගේ අපාට්මන්ට් එකට යන්ද?
මම රෙස්ටුරන්ට් එකේ කාටවත් පේන්නෙ නැති වෙන්නෙ ඔයාව එක්කරගෙන යන්නම්. ඔයා බයද? මාව අවිශ්වාස නැත්තම් විතරක් එන්න”
හිත ගැහුනේ කවදාවත් නැති විදියටය. ඒ බයත් ආශාවත් දෙකම එක්කහු වෙච්ච හැඟීමකි.
“යාලුවෙලා දවසයි දෙකයි, මම ඇත්තටම එයා ගැන දන්නෙ පොඩ්ඩයි. එහෙම එකේ එයාගෙ අපාට්මන්ට් එකට යන එක හරිද?”
ඒ ප්‍රශ්නය ඇසුවේ මොලයද හිත ද කියා හිතාගන්න බැරි තැනක හිරවී තමන් කල යුත්තේ කුමක්ද කියන දේ ගැන ශාර්වරී කල්පනා කලේ ඒ බයත් ආශාවත් දෙකම එක්කහු වෙච්ච හැඟීම මත්තෙන් කවදාවත් විඳ නුපුරුදු හැඟුම් ගොන්නම් හිත පුරා ඉහිර යද්දීය.