නිතරම කේන්ති යන එක පාලනය කරන්න පුලුවන්ද ??

කේන්තිය ඔබේ ජීවිතේ පාලනය කරනව වගේ ඔබට තේරෙනවද ? 

ඔන්න එහෙනම් අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබේ කේන්තිය පාලනය කරගෙන ඔබේ සිතුවිලි හරි විදිහට පිටකර ගන්න ඔබට කියල දෙන්නයි. 

මුලින්ම අපි බලමු තරහව එහෙමත් නැත්නම් කේන්තිය කියන්නෙ මොකක්ද කියල 

කේන්තිය කියන්නෙ හොඳක් නරකක් විදිහට අර්ථ දක්වන්න අපහසු ඉතාම සාමාන්‍ය නීරෝගී සිතුවිල්ලක්.

ඔබ මුහුණ දෙන යම් අවස්ථාවක් අවුල් සහගත නම්, අසාධාරණ නම් එහෙමත් නැත්තම් ඔබට තර්ජනයක් නම් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න ඉතාම ක්ෂණිකව  ඇතිවෙන හැඟීම තමයි කේන්තිය එහෙමත් නැත්නම් තරහව විදිහට  බොහෝවිට පිටවෙන්නෙ. 

ඉතිං කොතනකදී හෝ ඔබට වැරදි සැළකුම් ලැබෙනවා, අසාධාරණයක් සිදුවෙනවා නම් තර්ජනයක් නම් කේන්තිය ඇතිවීම ඉතාම සාමාන්‍යයි. 

නමුත් කේන්තිය එහෙමත් නැත්නම් තරහව ප්‍රශ්නයක් වෙන්නෙ ඔබට ඇතිවෙන කේන්තිය පිටකරගන්න ඔබ තෝරගන්න මාර්ගය අනුවයි. 

සමහරවිට ඔබේ කේන්තිය පිටකිරීම සාධාරණයි කියල හෝ ඔබට නීරෝගී බව ගෙන දෙනව කියල ඔබට හිතෙන්න පුළුවන්. ඔබ අවට ඉන්න අතිශය සංවේදී චරිත වලට ඔබේ කේන්තිය ප්‍රදර්ශනය කිරීම සහ ඒ ඔස්සේ ගෞරවයක් ලබා ගැනීමට ඔබ උත්සහ කරනවා වෙන්නත් පුළුවන්. 

නමුත් ඇත්ත තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. තරහව ඇතිවූ විට එලෙස අපි හැසිරෙන ආකාරය මත අපි අවට සිටින චරිත අපි ගැන සෘණාත්මක වගේම අවාසිදායක ලෙස සිතන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

අන්න ඒ නිසයි කේන්තිය ඇතිවීම පාලනය කිරීම සහ කේන්තිය පිටකිරීම කිසිවෙකුට හානිදායක නොවන ලෙස සිදුකරන්න අපි උත්සහ ගත යුත්තෙ. 

කේන්තිය එහෙමත් නැත්නම් තරහව නිසා ඔබට වන බලපෑම ගැන අපි ඊළඟට අවධානය යොමු කරමු. 

  • ශාරීරික බලපෑම 

නිතරම කේන්ති ගැනීමත් ඒ නිසා ඇතිවෙන මානසික පීඩනයත් නිසා හදවත් රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම වගේම නින්ද නොයෑම වැනි රෝගී තත්වයන් ඇතිවෙන්න පුළුවන්. 

  • මානසික බලපෑම 

ඔබේ මානසික ශක්තිය දුර්වල කරමින් ඔබේ සිතීමේ සහ අවධානය යොමු කිරීමේ ක්‍රියාවලියට බාධා ඇති කරන්න දීර්ඝකාලීන කේන්තියට පුළුවන්. එය පසුකාලීනව මානසික අවපීඩනය සහ මානසික ආතතිය වැනි මානසික රෝග ගණනාවක් ඇති කරන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩියි. 

  • වෘත්තීය ජීවිතයට සිදුවන බලපෑම්

නිර්මාණාත්මකව ඇතිවෙන විවේචන සහ සංවාද වෘත්තීය ජීවිතය තුළ ඉතාම සුලබ කාරණා ලෙස අපිට හඳුන්වාදෙන්න පුළුවන්. එකිනෙකාගෙන් ඉදිරිපත් වන විවිධ මත නිසා වෙනස් වෙනස් සංකල්ප බිහිවෙන්නත් නොසිතූ කෝණයන් දක්වා සිතන්නත් ආයතනයකට හැකියාව ලැබෙනවා. 

නමුත් ඔබ අදහස් හෝ අකමැත්ත ප්‍රකාශ කරනවා වෙනුවට කේන්තිය පිටකිරීමත් බැන වැදීමත් සිදු කලොත් ඔබව වෘත්තීය වශයෙන් කොන් වෙන්න පුළුවන් වගේම හොඳ සබඳතා අහිමිවී ඔබේ වෘත්තීය ජීවිතයේ දියුණුව අහිමි වෙන්නත් පුළුවන්. 

  • ඔබේ සබඳතා වලට ඇතිවෙන බලපෑම 

පරේක්ෂකයන් පෙන්වා දෙන්නෙ අපේ කේන්තියට බොහෝ විට ලක්වන්නේ සහ එයින් වැඩිපුරම පීඩාවට පත්වන්නේ අප වැඩිපුරම ආදරය කරන සහ අපිට වැඩිපුරම ආදරය කරන පුද්ගලයන් බවයි.

මේ නිසා ඔවුන් තුළ ඔබ ගැන සුව නොවන කැළලක් වගේම පීඩාකාරී සහ වේදනාකාරී මතකයන් ඇතිවෙන්න පුළුවන්. 

එයින් ඔවුන්ගේ අවංක අදහස් ඔබත් එක්ක බෙදා ගැනීම සීමාවීමත්, ඔවුන් ඔබෙන් ඈත්ව සිටීමත්, ඔබව අවිශ්වාස කිරීමටත් පෙළඹෙනවා. 

ඔබ නිතරම කේන්ති ගන්න කෙනෙක් නම් ඔබට හිතෙන්න පුළුවන් කේන්ති යාම ඔබේ පාලනයෙන් තොර සහ පාලනය කර නොහැකි කාරණාවක් කියල. නමුත් ඔබ සිතනවාට වඩා කේන්තිය පාලනය කිරීමේ හොඳ හැකියාවක් ඔබ සතුයි. 

අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන මේ කේන්තිය පාලනය කිරීමේ ක්‍රම එක්කම හොඳ විදිහට ඔබේ සිතුවිලි පිටකරන්නත් කේන්තිය පාලනය කරන්නත් ඔබට හැකියාවක් ලැබේවී. 

කේන්තිය පිළිබඳ මිත්‍යා මත

මට මගෙ කේන්තිය පාලනය කරගන්න බෑ. කේන්තිය පිටකිරීම තමයි ඇඟට හොඳ”

ඔබටත් මෙහෙම හිතෙන්න පුළුවන්. කෝපය නොසලකා හැරීම සහ යටපත් කිරීම ශරීරයට ගුණදායක නොවන බව සත්‍යක්. නමුත් කේන්තිය පිට කිරීමත් සෑමවිටම යහපත් වෙන්නෙත් නෑ. ඇත්තම කාරණාව නම් ආක්‍රමණශීලීව සහ අන් අයට හානිදායක ලෙස කේන්තිය පිටවීම සිදුවන බවයි. 

කේන්තිය පිටකිරීම නිසා ඔබට සහනයක් ලැබුනා වුනත් ඊළඟ මොහොතේදී ඔබ වටපිට බලන විට එයින් අවට පුද්ගලයන්ට ඊට වැඩි හානියක් සිදුවී තියෙන්න පුළුවන්. 

මගේ කේන්තිය අදාළ පුද්ගලයාට පෙන්වීම මඟින් ඔහු හෝ ඇය තුළ මා ගැන බයක්, පක්ෂපාතීත්වයක් සහ ගෞරවයක් ඇති කරගන්න මට ලේසියෙන්ම පුළුවන්”

නායකත්වය ලෙසත් පාලනය ලෙසත් බොහෝ දෙනෙක් වැරදියට වටහා ගන්න කාරණාවක් තමයි අපි ඔය ඉහතින් දක්වපු සිතුවිල්ල. 

ඇත්ත ! ඔබ ගැන බයක්, ගෞරවයක්, පක්ෂපාතීත්වයක් පෙනෙන්නට තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ පෙනෙන්නට තිබෙනවා පමණයි. ඔබට ඔවුන් පෙන්වනවා පමණයි. ඇතුළතින් ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කිරීම කොන් කිරීම සහ අවංක නොවීමත් සිදුවී අවසාන බව ඔබට බොහෝකල් යනතුරු වටහා ගන්නට නොහැකි වේවී. 

කෝපය පාලනය කරන්න මට බැහැ. ඒ ගැන මට උදව් කරන්න මටවත් බැහැ.”

කෝපය ඇතිවීම අතිශයින්ම සාමාන්‍ය කාරණාවක් බව අපි ඔබට කීවනෙ. කෝපය එහෙමත් නැත්තම් තරහව ඇතිවීම පාලනය කරන්න අපිට නොහැකි වෙන්නෙ ඒකයි. 

නමුත් කෝපය පිටකිරීමත් පිටකරන ආකාරය පාලනය කිරීමත් කරන්න අපිට පුළුවන්. ඒ වගේම මානසිකව, වාචිකව හෝ ශාරීරික හිංසනයකින් තොරව කෝපය පිටකරන්න, අපේ හැඟීම් ප්‍රකාශ කරන්න අපිට වගකීමක් සහ යුතුකමක් තියෙනව කියන එකත් අපි නිතරම සිහියේ තබාගත යුතුම දෙයක්. 

දැන් අපි බලමු පියවරෙන් පියවර සරලව කේන්තිය පිට කිරීම පාලනය කරගැනීම කරන්නෙ කොහොමද කියල

ඔබ හානිදායක ලෙස කේන්ති කරා යන බව ඔබේ සිරුරේ යම් යම් ලක්ෂණ වලින් ඔබට ඉඟි ලබා දෙනවා. ඒ ඉඟි ගැන සැලකිලිමත් වෙන්න.  

ඔබේ බඩ ප්‍රදේශයෙන් ගැට ගැසීමක් වැනි තත්වයක් දැනෙනවා නම්,

ඔබේ අත් මිට මිරිකී හකු තද වෙනවා නම්,

ශරීරයේ වේදනාවක් ඇතිවී කම්මුල් වැනි සංවේදී ප්‍රදේශ රතු පැහැයට හැරෙනවා නම්, 

වේගවත් ලෙස හුස්ම ඉහළ පහළ යාම සිදුවෙනවා නම්,

ඇවිදීම හෝ ඇවිදීමට අවශ්‍ය බව වැටහෙනවා නම්, 

අවධානය අඩුවෙනවා නම්,

හදවත වේගයෙන් ගැහෙනවා නම් සහ

උරහිස් හැකිලෙනවා නම් ඔබට කේන්තිය ඇතිවීම ආරම්භ වී ඇති බව වටහා ගන්න ඔබට පුළුවන්. 

ඊලඟට, ඔබට තරහව ඇතිකරපු හේතුව සොයාගන්න.

ඉතාම විශාල විනාශයන් ඇතිකරපු සිද්ධි, සටන් සහ හිංසනයන් ගැන අපිට නිතරම අහන්න දකින්න ලැබෙනව. මේ සිදුවීම් පිටුපස බොහෝවිට ඇත්තෙ ඉතාම සුළු කාරණාවක් වීම අතිශයින්ම සුලබ කරුණක්. 

සමහරවිට අපි අකමැති කෙනෙක් ගෙ නිවැරැදි මතයක් ඉවසන්න හෝ පිළිගන්න අපි සූදානම් නැති නිසා අපිට තරහව ඇතිවෙන්න පුළුවන්. 

අපිට අසාධාරණයක්, බැණ වැඳීමක්, හිංසනයක් සිදුවීම නිසා අපිට තරහව ඇතිවෙන්නත් පුළුවන්. 

නීති පිළිපඳින්න සිදුවීම, අපේ අදහස් වලට විරුද්ධ වීම, යම් වැඩක නිරත වන විට විටින් විට බාධා කිරීම වගේම අනවශ්‍ය විහිළු තහළු කිරීම් නිසත් කේන්තිය ඇතිවෙන්න පුළුවන්. 

අපිට යම් ගැටළුකාරී තත්වයන් ඇතිවෙන විට මොළය “පළායාමේ හෝ පහරදීමේ” / “fight or flight” ප්‍රතිචාර දක්වන්න සූදානම් වෙනව. 

මඟහැර පලා යා යුතු අවස්ථා වලත් සටන් කිරීමට අපි පෙළඹෙන්නෙ පලායන්නෙ බියඟුලු පුද්ගලයන් බවත් සෑම විටම සටන් කරන්නෙ ජයග්‍රාහකයන් බවත් කුඩා කල සිටම අපිට කාවද්දා ඇති සිතුවිලි නිසයි. 

ඒ නිසා අපි ඇත්තටම තරහ ගන්නෙ තරහ ගත යුතු කාරණාවක් සඳහාමදැයි සොයා බැලීම වගේම සුළුවෙන් සිතා අනවශ්‍ය කරුණු බැහැර කිරීමත් ඉතාම යහපත්.

කෝපය පාලනය කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම.

මේ සඳහා පරේක්ෂකයන් පෙන්වා දෙන ක්‍රම වලට අමතරව ඔබට අනන්‍ය ක්‍රම වුනත් තියෙන්න පුළුවන්. 

බොහෝවිට, 

ගැඹුරු හුස්ම වාර 05 ක් පමණ ගැනීම සහ පිටකිරීම, 

කුඩා දුරක් ඇවිදීම,

අවධානය වෙනස් කිරීම, 

ඔබේ උරහිස් කැරකැවීම, බෙල්ල සහ හිස සෙමින් පිරිමැඳීම,

එකේ සිට දහයට හෝ දහයේ සිට එකට ඉතා සෙමින් ගණන් කිරීම කරන්නත් පුළුවන්. 

ඒ වගේම දීර්ඝකාලීනව සහ නිතරම ඔබට කේන්තිය ඇතිවෙනව නම්, 

  • හොඳ නින්දක් ලබා ගැනීම,
  • සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම,
  • ව්‍යායාම කිරීම,
  • ඔබට කිට්ටු විශ්වාසවන්ත සහ හොඳින් සවන්දෙන පුද්ගලයෙක් සමඟ කතාබස් කිරීම, 
  • සිත එකඟ කරන විනෝදාංශ, යෝග අභ්‍යාස හෝ භාවනා වල නිරත වීම 

සහ

  • ඇල්කොහොල් භාවිතයේදී ප්‍රවේශම් සහගත වීම ඔබ සිදුකළ යුතුමයි. 

ක්ෂණික කෝපය නිසා ඔබ අවට සිටින අයට සහ ඔබේ ආදරණීයයන්ට ඔබ විසින් ඇතිකරන හානිදායක සුළුකොට තැකිය නොහැකියි වගේම හානියක් සිදුවී අවසාන වූ පසු ඒ පිළිබඳව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් හානිය සාධාරණීකරනය කිරීමෙන් ඇති ප්‍රයෝජනකුත් නැහැ. 

ඒ නිසා මේ පියවර අනුගමනය කිරීමෙන් ඔබට වෙනසක් නොදැනෙනවා නම් වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය වෘත්තීය සහය ලබා ගැනීම අනිවාර්ය බව අපි ඔබට ආදරෙන් මතක් කර සිටිනවා. 

ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් සිතන්න යමක් කිරීමට පෙර දෙවරක් සිතන්න. 

ඔබටත් අනුන්ටත් හානිදායක නොවන ක්‍රියාවල කතාවල නිරත වෙන්න ඔබට එමඟින් හැකියාව ලැබෙනවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles