මල් බිඟුන් – 44

ඒ වෙලාවේ තාත්තා කාමරයට එනු ඇතැයි අමාගී සිහිනයෙන් හෝ හිතුවේ නැත. කඳුළු කම්මුල් සේ ම ජංගම දුරකතනයේ වන ඡායාරූප තාත්තාගෙන් සඟවගන්නට තරම් සිහියක් ඒ කලබල මොහොතේ වූයේ ද නැත. දූවරුන් ගේ යහන මතින් හිඳගත් දුරේශ්, අමාගී ඉදිරියෙහි වන ජංගම දුරකතනය ගෙන බැලුවේ ය. ඒ සේයාරුව ඔහු ගේ හදවත පවා මඳක් සසලන්නට සමත් විය. සුසුමක් අත්හළ දුරේශ්, බාල දියණිය ගේ හිස මතින් සිය ලොකු අත තැබුවේ ය. අමාගී ට දැනුණේ තාත්තා යෝධ ගලිවරයෙකු වී ඈ කුරු කුහුඹු ගෑනු ළමයෙකු වන්නා සේ ය.

“සුදු පුතා”

ඒ හඬ මුණිවරයෙකු ගේ මිස සාමාන්‍ය පුරුෂයෙකු ගේ මුවින් නැගිය හැකි භාෂිතයක් නොවූ තරම ය.

“ඔයා දන්නවද මාත් දරුවො එක්ක ලෝකෙ තනිවෙච්ච පිරිමියෙක්. සුදු පුතා දැන් ලොකු ළමයෙක් නිසා මට මේව ඔයා එක්ක කතාකරන්න පුළුවං. ඒ වගේම ඔයාට තේරුං ගන්නත් පුළුවං වෙන්නෝනෙ”

“තාත්ති ඕන දෙයක් කියන්න”

අමාගී ඒ කියාගත්තේ නිසල වෙමින් යන ඉකියකට යටින් හෙමිහිට ය.

“නිරෝෂා මේ ගෙදරින් යනකොට ඕගොල්ලො අත දරුවො. මාත් තරුණ පිරිමියෙක්. ඔය ආර්ය වගේම…”

අමාගී ට බිම බැලිණ. ඇයිදෝ මන්දෝ ඇගේ උගුරෙහි පිළිස්සීමක් සංවේදනය විය.

“එක කසාදයක් අසාර්ථක වුණා කියල පිරිමියෙක් වුණත් ගෑනියෙක් වුණත් ජීවිත කාලයක් තනියම ඉන්න ඕන කියල එකක් නෑ සුදු පුතා. මොකද ඒ මනුස්සයගෙ ජීවිතේ එතනිං අවසාන වෙන්නෙ නෑ. තව මුළු ජීවිතයක් ම ඉතුරු වෙලා තියනව. හැබැයි ඒ දෙවෙනි කසාදෙ නිසා අලුත් ප්‍රශ්න දැලක පැටලිලා ඒ කෙනාට ඉතුරු මුළු ජීවිතේම ගත කරන්න වෙන්නත් පුළුවන්. අන්න එහෙම වුණොත් තමයි හිතෙන්නෙ ආයෙ බැන්දට වැඩිය දරුවො හදාගෙන තනියම හිටියනං හොඳයි කියල”

දුරේශ් මඳක් කල්පනා කළේ ය. තාත්තා කියන්නට යන්නේ කුමක් දැයි අමාගී නිශ්චිතව දන්නේ නැත. නමුත් ඒ ආර්ය ගේ යෝජනාව ගැන සිය අදහස වෙන්නට පිළිවන. අමාගී ගේ හදවත ඒ තරම් වේගයෙන් ස්ඵන්දනය වූයේ එබැවිනි. තාත්තා සමග යම් කිසි දිනයක මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්නට සිදු වනු ඇතැයි ඇය සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත. ජීවිතය කියන්නේ එහෙම දෙයකි. ඇතැම් විට අප කිසි සේත් නො සිතූ දෙයක් සිදු විය හැකි තැනකි.

” කලින් කසාදෙ දරුවො ඉන්නවනං තමයි ඔය ප්‍රශ්න මතුවෙන්නෙ. සුදු පුතා විවාහයක ප්‍රධාන බලාපොරොත්තුව දරුමල්ලො හදාගෙන අලුතෙන් පවුලක් ගොඩනැගෙන එකනෙ. ඉතිං ඔය දෙවෙනි කසාදයක් කරගන්න කෙනාගෙ අලුත් නෝනට හරි මහත්තයට හරි ඒ බලාපොරොත්තුව නැතුව මේ කසාදෙට එන්න කියල කියන්න බෑනෙ. මොකද ඒක ඒ මනුස්සයගෙ අයිතිය. ඔන්න ඔතනදි තමයි පුතා ප්‍රශ්න පටං ගන්නෙ. පළවෙනි කසාදෙ ළමයින්ට අලුත් නෝනගෙ හරි මහත්යගෙ හරි ආදරේ තියෙන්නෙ ගොඩක් වෙලාවට තමන්ගෙම කියල දරුවො හම්බ වෙනකල් විතරයි. ඊට පස්සෙ අර පරණ දරුවන්ට වෙනස්කං. ඒ දරුවන්ගෙ අම්ම හරි තාත්ත හරි අන්තෙට අසරණයි. ඒ ළමයිනුත් ඕනෙ. තමන්ගෙ අලුත් පවුල රැකගන්නත් ඕනෙ. ඔතනදි වැඩිම අසාධාරණේ වෙන්නෙ ඒ    දරුවන්ට. අන්න ඒකයි  කවුරු  කොහොම කිව්වත් මං ආයි කසාද බැන්දෙ නැත්තෙ”

“තාත්… ති…”

අමාගී ට අලුතෙන් ම හැඬෙන්නට ආවේ ය. ඒ සියල් උවදුරු හා පිරිපත වලින් ඔවුන් හතර දෙනා මුවහ කරගෙන තාත්තා කෙතරම් කටුක හා දීර්ඝතම වූ ශිශිරයක සීතලෙන් හුස්ම ගන්නට ඇත් ද? උණුහුමක අවැසිතාවයක් එක මොහොතකට හෝ අවැසි නොවූවා කියා සිතිය නො හැකි ය. නමුත් දරුවන් වෙනුවෙන් ඔහු ඒ කටුක සීතල ද හුදෙකලාව ද අමතක කර ගොරතර වනයක ජීවන ගමන පිය නගා යන්නට ඇත.

“මං දන්නව තාත්ති. ඒක කොච්චර ලොකු කැපකිරීමක්ද කියල අපිට කවදාවත් කිරල මැනල කියන්න බෑ. මගෙ තාත්ති දවසක බුදු වෙන්න ඕන තාත්ත කෙනෙක් කියල හැමදාම මං හිතනව. ඒ වගේම මං පසුතැවෙනව තාත්තිගෙ ජීවිතේ හොඳම කාලෙ අපි වෙනුවෙන් සැක්‍රිෆයිස් කරන්න වෙච්ච එක ගැන. තාත්ති කියනව වගේ… කුඩම්ම කෙනෙක් ආවනං අපිත් නපුරු කුඩම්මෙක් නිසා වෙනස්කං විඳපු දරුවො වෙන්න තිබුණ. ඒත් තාත්ති අපිට මදුරුවෙක් විදින්නවත් නොදී බලාගත්ත. සමහර විට අම්ම කෙනෙක්ටත් වැඩිය පරිස්සමට බලාගන්න ඇති. ඒවට වන්දි ගෙවන්න අපිට මුළු ජීවිතේමත් මදි කියල මං දන්නව තාත්ති”

“මං දන්නව ඔයා ආයු බබාට ආදරෙයි කියල. ඒත් පුතේ… අපි දන්නෑ ඒ හැඟීම් කොච්චර කාලයක් ඒ විදිහටම තියෙයිද කියල. එහෙම වුණ දවසක ඔය සතුට තියෙන්නෑ. මොකද පිරිමියෙක් විදිහට මං දන්නව තව පිරිමියෙක්ගෙ හිත ගැන. සතුටක් නැති ප්‍රශ්න වැඩි රණ්ඩු තියන ගෙදරක කාටවත් සැනසීමෙං ඉන්න බෑ. අද නො පෙනෙන දේවල් හෙට වෙන්න පුළුවං කියලයි මං මේ කියන්නෙ. ඔයාගෙ ජීවිතේ එහෙම ප්‍රශ්න ගොඩකට වැටිල ඔයා දුක් විඳිනව දකින්න මං කැමති නෑ සුදු පුතා. ආර්යගෙ යෝජනාව ගැන මට තාමත් හිත හදාගන්න බැරුව ඉන්නෙ ඒකයි”

“මට තාත්තිව තේරෙනව තාත්ති. අපි ඒ යෝජනාව අමතකම කරමු. ලොකයිය කවදාවත් එහෙම යෝජනාවක් කළේ නෑ කියල තාත්ති හිතාගන්න. හැබැයි අපිට පවුල් දෙකක් විදිහට වෙන් වෙලා ඉන්න බෑනෙ. කොහොමත් දැන් අපි එක පවුලක්නෙ. ඒක නිසා ඒ යෝජනාව ඔහොම ම යට ගියාවෙ. තාත්ති ඒ ගැන වචනයක්වත් කතා නොකර ඉන්නකො. මොකද තාත්තිට දැනෙන අපහසුව මට තේරෙනව. තාත්ති මං නිසා මෙච්චර කාලයක් දුක් වින්ද. ඉස්සරහටත් එහෙම වෙන්න ඕන නෑ. එහෙම වුණොත් මට පව් පිරෙයි. මගෙ ජීවිතේම තාත්ති. ඒක ඊයෙත් අදත් හෙටත් එහෙමයි. ඒත් තාත්ති ලොකයිය එක්ක කතා කරන්න ගත්ත දවසට දෙකට මට තේරුණා මගෙ ජීවිතේ සතුට තිබිල තියෙන්නෙ ලොකයිය ළඟ කියල. හරි මෙච්චර කාලයක් මං හිටියනෙ. ලොකයිය නිධීව බඳිත්දිත් මං හිටියනෙ. ඒ වගේ ඉස්සරහටත් ඉන්නං. මං ලොකයිය එක්ක එක වචනයක්වත් කතා නොකර ඉන්නං. ඒත් මං වැඳල කියන්නං තාත්ති. ආයුව මගෙන් ඈත් කරන්නෙපා. මට එයා නිසා ජීවත් වෙන්න දෙන්න. ලොකයිය ආයෙ කාවහරි බැන්දත්… මට පුළුවන්නෙ ආයුව බලාගන්න. එයා හරි ශෝක් බබෙක් තාත්ති. ගිය ආත්මෙක හරි එයා මගෙම වෙලා ඉන්න ඇති. එදා ලොකූට කිව්ව වගේ… මට වෙන කාවවත් බඳින්න හිත හදාගන්න බැරිවෙයි තාත්ති. මං මැරෙනකල්ම ආයුට අම්ම කෙනෙක් වෙලා මෙහෙම ඉන්න මට පුළුවන්. අනේ තාත්ති මට ඒක විතරක් කරන්න දෙන්න”

“දරුවො… දරුවො… සුදු පුතා දැං ඔය ඇති. ඔහොම අඬන්න එපා මගෙ මැණිකෙ”

අමාගී ගේ ඒ  හැඬුම දුරේශ් ට පවා දරා ගත නො හැකි වූයේ ය. ඈ තාත්තා ගේ පපුවෙහි ඉකිලමින් හැඬුවා ය. ඉකිළුම සන්සුන් වන තුරා දුරේශ් ඇගේ හිස පිරිමැද්දේ ය.

“ගිහින් ආයු එක්ක ටිකක් සෙල්ලං කරල එන්න. කෝ… මූණ හෝදගෙන ගිහින් එන්න”

ඒ අවසරය ම අමාගී ට මහමෙරක් සදිසි විය. ඇය තාත්තා ව තදින් බදාගත්තා ය.

“මගෙ හොඳ තාත්ති”

දුරේශ් ගේ අවසරයෙන් අමාගී ආයු සොයා ඉගිළුණා ය. ආලින්දයෙහි, ආර්ය දණගාමින් ආයු ව අස්සයා පිට ගෙනයමින් සිටියේ ය.

“ස්ටොප් ස්ටොප්. නවතින්න අස්සය”

කියමින්, අමාගී දුටු ගමන් ආයු ආර්ය ව නවතා ඇය වෙත දිවැවිත් ඇගේ දෙපා බදාගත්තේ ය.   

“මැණික් කැටේ හෝස් රයිඩ් එකක් ගියාද…”

කියමින් දරුවා වඩාගත් ඕ තදින් ඔහු සිපගත්තා ය. බොහෝ ළතැවුල් ඇසිල්ලකින් සිඳී ගියේ වසර ගණනාවකට පසු කතරකට වැස්සක් වැටුණ සෙයිනි.

අමාගී ප්‍රබෝධවත් වන්නට ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඇගේ සිනා කතා සරින් මහානාම ගෙදර යළි ප්‍රාණවත් විය.

“මාගිත් යනවලු මනමාලියක් වෙලා වෙන ගෙදරකට”

රුසිරු ආයු නො රිස්සුම් කරවන්නට එසේ කීවේ ය. එතකොට ආයු අමාගී ගේ ගෙල තදින් බදාගෙන “නෑ නේ…” යි ඇසුවේ ය. අමාගී සිනා සී සිටියදී රුසිරු නැවත ද “මොකද නැත්තෙ… එයා යන්න හදන්නෙ” යයි කීවේ ය.

“මා එන්නෙ බබාගෙ ගෙදර”

ආයු හැඬුම්බර ව මිමිණුවේ ය. ඊලඟට සිය සීතල සිඟිති දෝතින් ඇගේ මුහුණ අල්වාගෙන,

“ඔයා එන්නෙ බබා ගෙදර නේද…”

යයි ඇසුවේ ය. සිනහ වෙනවා මිස දෙන්නට පිළිතුරක් නොමැතිව අමාගී ආයු ට ද වැඩියෙන් අසරණ වී සිටියා ය. ඇගේ නිහඬ බවින් බිඳී ගිය පුංචි සිත රුසිරු කී දේ විශ්වාස කරගෙන වාගේ ක්ෂණික ව හැඬුවේ ය.

“අනා නා නා මැණික අඬන්නෙපා මගෙ පණ…”

“ළමයව අඬවන්නැතුව ඉන්නවකො”

ආර්ය රුසිරු ට සැර වූයේ ය. ආයු හඬමින් ම රුසිරු ට චෝදනා කළේ සුරතලයෙනි.

“රූ බාප්පි නලකය. ඔඳ නා නේ මා… ඔයා මනමාලි වෙලා එන්නෙ බබාගෙ ගෙදල නේද… ඔයා මගෙනෙ මනමාලි”

දුරේශ් ගෙට ගොඩ වූයේ ඒ වෙලාවේ ය. ඒ මීට ටිකකට පෙර තේ බොන්නට එන ලෙස මණී කළ ආරාධනය නිසාවෙනි. ඔවුන් තේ බොන අතරේ ආර්ය ගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය. ඒ ශාක්‍ය ගෙනි.

“සාන්වි හෙන අවුලෙන් ඉන්නෙ. මං ඉතිං තව ටිකකින් ගෙවල් පැත්තෙ එක්කං එන්න හිතං ඉන්නෙ ඕයි”

ආර්ය ට සිනා නැඟිණ. ඔවුන් ගේ මධු සමය දින කිහිපයක් ගත කොට ගෙදර පැමිණෙන්නට ශාක්‍ය මුලින් තීරණය කරගෙන සිටියේ ය.

“රෑට ගෙදරින් කාල එහෙම ආයෙ ඕන්නං ළඟ හොටේල් එකක නතර වෙනව”

“ඉතිං ආයෙ කොහෙවත් යන්නෙ මොකටද… උඩ නතර වෙනව. ඉන්නවකො මං ටිකක් අස්පස් කරල දාන්න”

“පිස්සුද පිස්සුද අස් කරන්නනං දෙයක් නෑ. හරි ඒක අපි බලමුකො ආවහම. මේ… මාගිටයි දුරේ අංකල්ටයි කියන්නෙපා. ඒගොල්ලංව සප්‍රයිස් කරමු”

“ඒ දෙන්නම දැං මෙහෙනෙ”

ආර්ය සිනහ වෙවී ඔවුන් දෙස බැලුවේ ය. ඒ අනුව නව යුවළ පිළිගන්නට සියල්ලෝ ම ලහි ලහියේ සූදානම් වූහ. ගෙදර ම කෑම පිසින්නට මණී ට උවමනා වී ද ආර්ය ඊට කැමති වූයේ නැත.

“මේ මහන්සි වෙලා ඉද්දි ආයෙ මහන්සි වෙන්න ඕන නෑ. කෑම ටිකක් ඕඩර් කරන්නං. නේද දුරේ අංකල්…”

“මේ කලබලේ ඒක තමයි හොඳම දේ නේද…”

“තාත්ති මං ලොකූටත් කියන්නද ඇවිත් යන්න එන්න කියල…”

දුරේශ් ගෙන් පිළිතුරක් ලැබෙන්නට පෙර ම අමාගී අශ්විනී ට ඇමතුමක් ගත්තා ය. ඇය එකවර පිළිතුරක් නොදී සිය සැමියා විමසුවේ ගෙදර ඇවිත් යන ආශාව ඇතිව ය.

“පිස්සුද දැන් බෑ. යන්න කලින් ඇවිත් යන්න එන්නං කියන්න”

අශ්විනි ගේ පමණකුදු නොව අමාගී ගේ සිත පවා හැකිළී ගියේ ය. කසුන් නරක ළමයෙකු නොවුණත් ඔහු මහානාම පවුලේ කොල්ලෙකු නොවෙන බවට සිතිවිල්ලක් දුරේශ් තුළ ඇති වී නැති වී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles