“එහෙම දේකට මං පොඩ්ඩක්වත් තරහා වෙන්නෙ නෑ. හැබැයි මං ඊලඟට කියන්න යන දේ හන්දා ඔයා මාත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ?”
“මොකද්ද?”
“මට ටික කාලෙකට ඔයාගෙන් ඈත්වෙන්න වෙනවා”
“ඒ කිව්වෙ? ඇයි ඒ?”
“මට හිතුනා ආයෙ පාරක් අපි දෙන්න ගත්තෙ මේ තීරණේ හරිද කියල හිතලා බලන්න. මං ඒ නිසා හිතුවා පොඩ්ඩක් ඔයාගෙන් ඇත්වෙලා මේ ගැන හිතන්න” නෙවින් කිසිම ගාණක් නැතුව එහෙම කිව්වයින් පස්සේ තමන් බයවෙච්ච බයවිල්ලට හිතේ ඇතිවෙච්ච ගැස්ම, “පිස්සුද කෙල්ලෙ, මං විහිලුවක් කරේ” කිව්වයින් පස්සෙවත් එකපාර අඩුවෙච්ච නැති එක ඉතින් සාධාරණ බව ශාර්වරී හිතුවාය.
“ඔයා හැම තිස්සෙම අනේ මහ ජරා විහිලු තමයි කරන්නෙ”කියා නෝක්කාඩු කිව්වේත් ඒ ගැස්ම හිතේ ඇතිකල ප්‍රේමවන්ත අමනාපය හන්දාමය.
“ඉතින් එහෙම වෙන්න එපාය” කියන ගමන් දුරකතනය ඔස්සේ නැගෙන නෙවින්ගේ උස් සිනා හඬ හිත ඇතුලේ දහසක් මල් පුබුදුවන්නකි.
“ඇයි ඒ?”
“මං ඉතින් ජරා මිනිහනෙ. ජරා මිනිහා ඉතින් කොහොමත් කියන්නෙ ජරා කතන්දරනෙ නේද? දැන් ඉතින් මේවට මුකුත් කියන්නෙ නෑ කියල මම දන්නවා. මම කට වහන විදිය පෙන්නල දුන්නනෙ” කියා ඒ සිනාව වඩා උස්ව නැගෙද්දී හිත පුරා පිපිච්ච ඒ මල් වඩ වඩාත් හොඳින් පෙති විදාලන බව බඩ අස්සේ සමනලුන් දඟලනවාක් වැනි හැඟීමෙන් ශාර්වරී දනී.
“විහිලු නෙවෙයි, මං කියන්න ගියේ මට ඇත්තටම ඔයාගෙන් ටික කාලෙකට ඈත්වෙන්න වෙනවා ශාරා” කියා අවසානයේ නෙවින් නැගූ සුසුම් හඬ දුරකතනය ඔස්සේ ඇවිත් තමන්ගේ සවන් හරහා ගොස් හදවත රිද්දද්දී උනත් ශාර්වරී කලේ අහන් උන්නු එක විතරය.
“ඔයාට මම කිව්වනෙ, අපේ අක්කා ඉන්නෙ ඔස්ට්‍රේලියා වල කියල. ඒ වගේම ඔයා දන්නවනෙ මගේ බිස්නස් එක ගැන, වෙහිකල් පාට්ස් අරගෙන ඇවිත් කරන. ඉතින් ඒකෙ වැඩ ටිකකට මට මාසෙකට එකහමාරකට වගේ ඔස්ට්‍රේලියා යන්න වෙනවා. පොඩි පාට්නර්ශිප් සීන් එකක් ගැන කතාකරන්න.
ගෙදර ප්‍රශ්න තිබ්බෙ නැත්තම් තනියෙන් යන්නෙ නෑ ශාරා, බැඳලා නැතත් මම එහෙනම් ඔයාව අරගෙන තමයි යන්නෙ. මට දැනුත් ඒක කරන්න බැරිකමක් නෑ. ඒ උනාට ඔයාට මම එදා කිව්වනෙ මම ඔයාට ට්‍රීට් කරන්නෙ අනිත් කෙල්ලෙක්ට වගේ නෙවෙයි කියලා. ඒ නිසා මං එනකම් ඒ මාසෙ එකහමාර පරිස්සමෙන් ඉන්නවා නේද?” කියා නෙවින් අහද්දී මේ ආදරේ කොච්චර හයියද කියා පෙන්වන්න ආ තවත් එක් අවස්තාවක් බව හිතාගත්ත ශාර්වරී “හිත හයිය කරගෙන කතාකරන්න ඕන. එයා දුරින් ඉන්න එක කොච්චර දුකක් උනත් ඔය වගේ සිටුවේශන් තව ගොඩක් එන්න පුලුවන් නෙ ඉස්සරහට” කියා හිතෙන් හිතපු හන්දාම “ඒකට කමක් නෑ. මාසයයිනෙ. ඔය මාසෙ ඉක්මනට ගෙවිලා යාවි” කියා කිව්වාය.
“ඔය වීරයා වගෙ කිව්වට මං දන්නවනෙ ඔයාගෙ හැටි. හැබැයි ඔන්න ඒ මාසෙ පොඩි පොඩි ඒවට තරහා අරගෙන ෆෝන් ඕෆ් කරන් ඉන්න බෑ හොඳේ. මට එන්න පුලුවන් දුරක නෙවිනෙ. මට ඔයා ගැන අහන්න කතාකරන්න කෙනෙකුත් නෑ” කියා නෙවින් කියාගෙන කියාගෙන යද්දිත් ශාර්වරීට අහන්න තිබ්බේ වෙන ප්‍රශ්නයකි.
“ඔයා කවද්ද යන්නෙ?”
“ම්ම්ම් තව සති එකහමාරකින් දෙකකින්”
“ඊට කලින් අපි හම්බෙනවා නේද?”
“ඔව් නැතුව, මම රෙස්ටුරන්ට් එක පැත්තෙ එන්නම්, අනිත් එක මම යන්න කලින් පුලුවන් හැම දවසකම එන්නම් ඔයාව යුනි එකෙන් ගන්නත්”
“එහෙම නෙවෙයි මං කියන්නෙ”
“මංකි යන්නෙ ගස් උඩ, එහෙනම් කියන්නකො කොහොමද කියලා?”
“අපි ආයෙ ඔයාගෙ අපාට්මන්ට් එකේදි හම්බුවෙන්නෙ නැද්ද?”
“හම්බෙනවා, ඇයි එහෙම එකපාර ඇහුවෙ?”
“ඔයාව මට මාසයක් දකින්න, ඔයාගෙ සුවඳ ඉඹින්න වෙන්නෙ නැ. මට පාලුයි අයියෙ. යන්න කලින් අර එදා වගේ මට දිගම දිග කිස් ගොඩක් දීලා යනවද? මම මාර කැමතියි ඔයා එදා අර මාව වඩාගෙන වටයක් කැරකෙව්වෙ? අන්න ඒ වගේ කරනවට” කියා කියන්න වෙන දවසක නම් තමා අනන්ත වාරයක් ලැජ්ජ වෙන්න තිබුණත් නෙවින් මාසෙකට තමන්ගෙන් ඈත්වෙනවාය කියන හැඟීම හිත බොහෝ මුදු කර තිබෙන බව ශාර්වරී පවා තේරුම්ගත්තේ ඒ වචන කටෙන් පිටවුනයින් පස්සේය. එහෙත් තමන් එහෙම කියා විනාඩියක් විතර ගෙවෙන තුරුත් නෙවින් උන්නේ නිහඬවය.
“මං එහෙම කිව්වට තර…”
“නෑ, මං ආදරෙයි එහෙම කිව්වට. ඒ උනාට මට දැන් ඔයාව මාරෙට මිස් වෙනවා. ඔය ටික කියද්දි ළඟ උන්නා නම් මම අතාරින්නෙ නැතුව තුරුල් කරගෙන කිස් කරගෙන කිස් කරගෙන යනවා”
එදා ඒ කතාව දුරකතනයෙන් අවසන් කර නෙවිනුත් ශාර්වරිත් මග බලමින් උන්නේ නෙවින් ඔස්ට්‍රේලියා යන්නට කලින් ආයෙම එකම එක දවසක් තුරුල් වී එකිනෙකාව සිප වැළඳගනිමින් එකිනෙකාගේ සිත් සනසගන්නා මොහොතක් එන තුරුය. ඒ දවස ආවේ ඉක්මණින් ය. ඒ නෙවින් ඔස්ට්‍රේලියා යන දවසට කලින් දවසේ හවසය.
“ඔයා ගෙනියන්න ඕන ඒවා ලෑස්ති කරලා දෙන්නත් එක්ක මම රෙස්ටුරන්ට් එකෙන් නිවාඩුවක් ගත්තා. ඒ උනාට මම අම්මට වැඩට යනවා කියල එන්නෙ. ඒ නිසා ටිකක් රෑ වෙනකම් ඉන්න පුලුවන්” කිව්ව හන්දා ශාර්වරීටත් එක්ක රෑ කෑම හදන්න බඩු අරගත්ත නෙවින් එදා නිවාඩු දමා ගෙනියන්න ඕන කරන ඔක්කොම ජාති සූදානම් කරේ ශාර්වරී ආ පසු එතකොට බොහෝ වෙලාවක් නිදහසේ කතා කරන්න ඉඩ ලැබෙන හන්දාය.
හැමෝගෙම ඇස්වලට හොරා වගේම එදා වගේ අපාර්ටමන්ට්ස් වලට කාටවත් නොපෙනී එන්න හැකි ලෙස සකසා තිබෙන ලිෆ්ට් එකේ උඩට එන එක ශාර්වරීට මහ අමුත්තක් උනේ නැත. දොර සීනුව නාද වී පලමු තප්පරයේම දොර විවර වුන එකවත් අමතක වෙන ලෙවල් එකක් තිබුනේ දොර ඇරිච්ච හැටියේ ඉණ වටා අත යවා, තමන්ව තුරුලට අරගෙන උණුසුම් හාදු වැස්සක් දොර වහන අතරෙදිම දෙන්න නෙවින් සැදී පැහැදි උන්නු හන්දාය.
“ඇයි එකපාර?”
“එකපාර නෙවෙයි ඉතින්, ආයෙ මාසෙකින් නේ. ඒකයි. මං බලන් හිටියෙ ඔයා එනකම්”
“මොනව හරි කරන්න දෙයක් තියෙනවද?”
“මුකුත් නෑ, මං ඔක්කොම රෙඩි කරගත්තා. මට ඔයා එක්ක ගොඩක් වෙලා ඉන්න ඕන ඒකයි. අපි ඉස්සෙල්ලා කාලා ඉමු?මට බඩගිනියි. ඔයත් කාලා නැනෙ” කියාගෙනම නෙවින් ශාර්වරීව අපාට්මන්ට් එක ඇතුලට එක්කරගෙන ගියේ වඩාගෙනය. පුරුදු පරිදිම එදත් ශාර්වරී නෙවින්ට බත් කැව්වේ “ඔස්ට්‍රේලියාවෙ ගිහින් බත් කවන්න කෙනෙක් හොයාගන්න වෙයි නේද?” කිය කිය විහිලු කරන ගමන් ය.
විහිලු කතා දහසක් අවසානයේ පුරුදු සෙටිය උඩටම වී නෙවින්ට තුරුලු වී ආදර වැස්සක තෙමෙමින් උන් ශාර්වරී ගැස්සුනේ අකුණු ගසමින් වැටෙන්න වෙච්ච මහ වැස්ස හන්දාමය. නෙවින් උන්නේ දෙනෙත් පියාගෙන තමන්ගේ පපුව උඩ හාන්සි වී ඉන්න ශාර්වරීගේ සුමුදු හිස කෙස් අතර ඇඟිලි යවමින් කල්පනා කරමිනි.
“වහිනවනේ?”
“ම්ම් අකුණු ගහනවට බයද?”
“නෑ ඔයා ඉන්නවනෙ, මං කල්පනා කලේ හයියෙන් වහිද්දි අපේ ගෙදරට වතුර දානවා. අදත් එහෙම වෙයිද කියලා?”
“ම්ම්ම්ම්, නංගිට කතා කරලා බලනවද? එහෙම නැත්තම් මං ඔයාව ගෙනිහින් ඩ්‍රොප් කරන්නද?”
“නෑ එහෙම ඕන නෑ. සාමාන්‍යයෙන් දවස් කීපයක් වැස්සම තමා එහෙම වෙන්නෙ. අද වහින්නෙ ගොඩ දවසකින් නෙ. ඒ නිසා අවුලක් වෙන එකක් නෑ”
“එහෙම වතුර දැම්මම මොකද කරන්නෙ?”
“අපේ මාමා කෙනෙක් ඉන්නවා මොරටුවෙ, එහෙ ගිහින් ඉන්නවා. පෑයුවම ඉතින් ආයෙ ඇවිත් අස් කරලා ඉන්නවා” කියා ශාර්වරී කිව්වේ හිනාවෙමින් උනත් ඒ හිනාව අස්සෙ කොච්චර නම් දුක් කරදර තවරී තිබෙනවද කියා නොහිත ඉන්න නෙවින්ට නුපුලුවන.
“මං ඇත්තටම අහන්නෙ, මං ඔස්ට්‍රේලියා ගිහින් ආවයින් පස්සෙ අම්මට කතා කරමුද අපි මේ ගැන? මට පුලුවන් එතකොට ඇත්තටම ඔයාලා වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න. අපිට එක ගෙදරකට හරි යන්න පුලුවන් නෙ නේද?”
“එහෙම ඕන නෑ අයියේ. ඔයා මට ආදරෙයි කියල අපේ පවුලෙ ප්‍රශ්න ගැන එහෙම කරදර වෙන්න එපා” කියා ශාර්වරී නෙවින්ගේ පපුව උඩින් හිස ඔසවා නෙවින්ගේ ලස්සන ගැඹුරු ඇස් දෙක අස්සේ තමන්ව හොයන්න මහන්සි උනෙත්, කාල්ටන් අපාට්මන්ට්ස් වල කරන්ට් ගියෙත් එකම වෙලාවේය.
සවි කර තිබෙන ජෙනරේටර් පද්ධතිය ඔස්සේ කරන්ට් එක ආපසු එන්නත්, අපාට්මන්ට් එක ආලෝකවත් වෙන්නත් ගියේ තප්පර කිහිපයක වෙලාවකි.
ඒත් ඒ තප්පර කීපය තිබ්බේ නෙවිනුත් ශාර්වරීත් අතර ආදර වැස්ස එළියෙ වැස්ස තරම්ම වේගවත් කරමිනි.
“මට ආදරෙයි නේද?” ශාර්වරීගේ කට හඬ ඒ තප්පර ගාණක අන්ධකාරයේ නෙවින්ගේ සවන් සිපගත්තේ සමුය නමුත් රෝම කූප පුබුදුවන හැඟීමකිනි.
“ම්ම්ම්ම්, ආදරෙයි” ඒ කියවීමකට වඩා කෙඳිරි ගෑමකි. රහස හඬකිනි කල පිළිතුරු දීමකි.
“මගේ විතරයි නේද?”
“ම්ම්ම්ම්ම්” කියමින් නෙවින් ශාර්වරීව වඩාගෙන සෞම්‍ය සඳ පහනකින් අඩ ආලෝකවත් ව තිබූ තමන්ගේ නිදන කාමරය වෙත යද්දිත් ශාර්වරී කලේ ඒ ගැඹුරු දෙනෙත් දිහා විතරක්ම බලාගෙන උන්නු එකය.
සමහර සිල්පද කැඩෙන්නේම ආදරේ හන්දාමය.
(මං හිතන්නෙ කතාව ඇත්තටම පටන් ගන්නෙ මෙතනින්. ලස්සන කතා විතරක් මේ ලෝකේ නෑනේ. ඉතින් මේකත් අපි බලමු නේද මොකක් වෙයිද කියල)