ආර්ය නිර්වාන් මහානාම රියෙන් බැස්සේ සම්පූර්ණ නිදහස් මිනිසෙකු ලෙසයි. ඔහු ගේ මුව මත ඔහු ම නොදන්නා ලා හසරැල්ලක් සරැලි නැගුවේ ය. ඇතැම් දේවල් තමන්ගේ ම ජීවිතය මත්තෙහි සිදු වන තුරු එවන් දේවල් විය හැකි යයි සිතීම පවා දුෂ්කර වේ. දික්සාදය යනු ආර්යට ද එවැන්නකි. ඔහු එකී තීරණය ගන්නට තරම් හිත දැඩි කරගත්තේ නිධී විසින් සටහනක් ලියා තබා ගෙදරින් පලා ගියාට පස්සේ ය. ඔහු ගේ සහෝදරයෙකු සේ ළමා වියේ පටන් එකට හැදුණු සන්දේශ් සමග නික්ම යනවා යි ඇය ම ලියා තිබෙනු දුටුවාට පස්සේ ය. ඇගේ කුසයෙන් බිහි කළ ඔහු ගේ ම සිඟිති පුතු ද අතැර ඇය නික්ම ගිය බව දැනගත් වෙලාවේ ය.
ඉන් පෙරාතුව ද ඒ විවාහය තුළ ඔහු නිදහසක, සතුටක හෝ සැනසීමක සේයා දුටුවා නොවේ. නිධී යනු නිරන්තර අතෘප්තිමත් හැඟීම් ගොන්නක් සමග පොරබැදූ ගැහැනියකි. ඉල්ලා සිටින සියල්ල දෙපා පාමුලින් ගෙනැවිත් තැබුව ද ඇය තෘප්තිමත් වූ දිනයක් සිහි කරගත නො හැක. ඕනෑ ම දෙයක අඩුපාඩු දැකීමෙන් ඈ සතුටු වූවා ය. විවාහ ජීවිතය යනු දෙදෙනෙකු ගේ ආත්ම පරිත්‍යාගයන් සමග සාර්ථකත්වය කරා ගමන් කළ හැකි ගමනක් බව පිළිගන්නට ඇයට උවමනා වූයේ ම නැත. අඩු තරමින් ඔවුන් ගේ දරුවා සිය වගකීමක් සේ සිතීම පවා ඇයට වදයක් විය. ආයු මව්කිරි ඉල්ලීමත් කරදරයක් කරගෙන ඈ ඔහු වෙත කඩාපැන ඇති අවස්ථා අපමණ ය. එවන් වෙලාවක ආර්ය ඇයට දොස් කීවොත් නිධී ඔහු ගේ ඇඟට කඩා පනින්නේ යක්ෂාවේශයෙනි. එහෙම වෙලාවක මොර දී හඬනා ආයු නලවා ගන්නට ආර්ය ට විශේෂ වෙහෙසක් දරන්නට සිදු විය. ඔහු ගේ පවුලේ අයව ද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඇයට පෙනෙන්නට බැරි තත්වයක් තිබිණ. ඔවුන් දෙදෙනා අතරේ ඇතිව තිබූ මේ විෂ පිරි සම්බන්ධය තුළ ආර්ය සිටියේ දැඩි වෙහෙසකට පත්වයි. ඒ විෂ බැඳීම කඩා බිඳ දමාගෙන පිටතට යන්නට හිතුණ හැම වෙලාවක ම රාහුලයෙකු සේ ආයු ඔහු ඉදිරියෙහි පහළ වූයේ ය. කිසිදු වරදක් නැති ඒ අසරණ අවිහිංසක ආත්මයට අම්මා හෝ තාත්තා නැති කිරීම ආනන්තරීය පාපකර්මයක් සේ දැනෙනා නිසා ආර්ය සිය ස්වයං යෝජනාව රහසේ ම හකුළාගත් වාර ගණන අනන්ත ය. නිධී ආයු අතැර ගෙදරින් පලා යාම යන වරද නොකර සිටියේ වී නම් අදටත් ඔහු සිය විවාහය තුළ අසීරුවෙන් හෝ හුස්ම ගන්නා ස්වාමි පුරුෂයෙකු වන්නට තිබිණ.
“අම්මේ…”
ආර්ය කතා කළේ ඉතාමත් මෘදු ලෙස ය. ඒ, සෝෆාවේ කෙටි නින්දකට පිවිස සිටින මණී දෙස මඳ වෙලාවක් දයාවෙන් පිරි බැල්මක් හෙළාගෙන සිටීමෙන් අනතුරුව ය. ඇය ඉක්මන් හුස්ම ගනිමින් සිටියා ය. ඒ හුස්ම ගැනීම තුළ අමුතු හඬක් ද පිට විය. ආර්ය ඈ අවදි කරවන්නට හිතුවේ ඒ අමුතු හඬ නිසා ඇති වූ බියට ය. ඔහු කුඩා සාවියේ දී, මණී ගිලන් වූ දාක තද හුස්ම ගනිමින් නිදා උන් වෙලාවක ඈ මිය යාවියි ඇති වූ අනියත භීතිය මේ මොහොතේත් ඇති විණි ද?
මණී කළබලයෙන් අවදි වූවා ය.
“ලොකු පුතා ඇවිත්නෙ. මට චුට්ටක් ඇහැ පියවුණා”
“අම්මට මහන්සිනං ඇඳට වෙලා ටිකක් නිදාගන්නකො. මෙතන වකුටු වෙලා අමාරුවෙන් නිදියන්නෙ මොකටද…”
“නෑහ්. නිදිමතක් නෑ පුතා. නිකමට මේ හාන්සි වෙලා හිටියෙ”
“අම්ම ගොරෝ ගොරෝ නිදං හිටියෙ” යයි ආර්ය නො කියා සිටියේ ය.
“පුතා නිදිද අම්මෙ…”
“මාගි එක්ක එහේ. කෙල්ලට ගෙදර වැඩ වගයක් කරගන්න තියනව කියල පොඩි එකාවත් අරංම ගියා”
“නඩුව ඉවර වුණා අම්මෙ”
ආර්ය ඒ කීවේ ලොකු හුස්මකින් ළය පුරවා ගෙන ලොකු බරක් බිමින් තැබුවා වන් හැඟීමකිනි. මණී කුමක් කියන්න දැයි නො දැන පුත්‍රයා දෙස බලාගෙන ම සිටියා ය. ඔහු ගේ විවාහය දික්සාදයකින් කෙළවර වීම හොඳ ය කියා අම්මා කෙනෙකු ලෙස පුතෙකුට කෙසේ පවසන්න ද?
මොහොතක් බිම බලාගෙන හුස්ම අල්වාගෙන සිටි ආර්ය ඇසිල්ලකින් නැගී සිටියේ ය.
“පුතාව බලල එන්නං”
කියාගෙන මිදුලට බැස්සේ ය. අමාගී ඉන්නේ තනිව බව දන්නා නමුත් ඒ හේතුව මත ඔහු ට එහි නොයා ඉන්නයි කියන්නට මණී ගේ මුව විවර වූයේ නැත. ඔවුන් එක ගොඩේ එකට වැටී හැදුණ ළමයින් ය. ඔවුන් දෙදෙනා අතරේ ජීවිතයේ නොයෙකුත් සන්ධිස්ථාන පසු කරගෙන පැමිණි ඉක්බිති එහෙව් ඇසුරක් ඇති වීම දෛවයේ කවර සරදමක් ද කියා පමණක් ඇයට සිතිණ. දුරේශ් මේ වෙලාවට ගෙදර එන්නට විදිහක් නැත. ආවොත් මණී ගැන වුව අහිතක් හිතන්නට පිළිවන. නමුත් අමාගී සේ ම ආර්ය ද සිය සීමාවන් නො දන්නා ළමයින් නොවෙන බව මණී ට විශ්වාස ය.
අමාගී හිටියේ මුළුතැන්ගේ ඇගේ ක්‍රමයට යළි සකසමිනි. අශ්විනී ගේ වන්නේ ඉක්මන් ක්ෂණික වැඩ ය. වැඩ කිරීමේ දී ඇය තරමක් කලබලකාරී ද හදිසි ද වේ. අමාගී අක්කාට වැඩිය සියුම් ය. ඉවසිලිවන්ත ය. වැඩක් කරන්නට වැඩි කාලයක් ගත විය හැකි වී ද ඒවා මනා නිමාවකින් යුක්ත ය. ඇය ඕනෑ ම දෙයක් තමා විසින් විඳින්නට කැමති කෙනෙකි. එවන් වින්දනයක් නොලැබෙන දෙයක් නම් කරන්නට අකමැති කෙනෙකි.
ගේට්ටුව විවර වන හඬ අමාගී ට ඇසිණ. මණී යයි ඇය සිතුවා ය. එබැවින් දිගට ම සිය කාරියෙහි නිරත වූවා ය. ඈ සිටියේ බංකුවක් තබා හිඳගෙන පැන්ට්‍රි කබඩ් එකක බඩු භාණ්ඩ නැවත අසුරමිනි.
“ආයුවත් බලල එන්න මණී ආන්ටි. ඇඳේ අයිනට ඇවිත්ද දන්නෑ”
ඇය ඒ කබඩ් එකේ කටයුතු අවසන් කොට දොර වසා නැගී සිටියේ අදට ඒ ඇති යයි සිතමිනි. ආයු ළඟින් ම වැතිරී ටිකක් නිදනා දොළක් ඈ තුළ ඇති වෙමින් තිබිණ. සින්ක් එක ළඟට වී ඇය දෑත් සෝදනා විට ආර්ය මුළුතැන්ගෙයට ආවේ ය. ඈ හිස කේ හිස් මුදුනට වන්නට බැඳගෙන සිටී. එබැවින් සිහින් දිගු සුසුදු ගෙල නග්න වී ඇත. ඒ ගෙල බදාගෙන සිටිනා දුඹුරු පැහැති ඉසියුම් කියඹු වැල් යන්තම් සැලේ. තද කොළ නිල් පැහැති ඉසිහින් කේෂ නාලිකාවක් ගෙලෙහි විසිර ගොසිනි.
“තාම හොඳට නිදි නේ…”
කියා ඈ අසනා විට ආර්ය සින්ක් එක ළඟ ඈ පිටුපස ය. ඇයට ඔහු සුවඳ දැනුණේත්, හැරී බලන්නට හදත්දී ආර්ය සිනිඳු ලෙස ඒ ගෙල පාමුල සිපගත්තේත් එකට ම ය. අමාගී වෙව්ලා ගිහින් උරහිසේ නිකට ගාවමින් ඇස් පසෙකට හැරවූවා ය.
“මං බය වුණා”
වචන එහෙම කීවාට හිත බිය නොවූ බව ඈ දනී. හාදුවට පෙර ඇයට ඔහු ගේ පුසුඹ දැනුණ බැවිනි. ආර්ය ඇගේ උරහිස් වලට මත්තෙන් දෑත් යවා වඩාත් තදින් ඇගේ කොපුලක් සිපගත්තේ ය. රැවුල් කොට ඇනෙනා සුවයට ඇගේ ඇස් යන්තම් පියවිණි.
“මං ළඟ දා… ඩිය…”
නමුත් ඈ වෙනකක් කීවා ය.
“මට සුවඳයි”
ඔහු ගේ අත් බාහුවක් සිය අතැඟිලි වලින් සිනිඳුවට පිරිමදිමින් ඇය ටික වෙලාවක් එහෙම ම හිටියා ය. ඒ තුරුලෙන් මිදෙන්නට ලෝබ හිතෙනා හැඟීම හරි මිහිරි ය. තාත්තා හෝ අයියා හෝ මණී ආන්ටි ආවොත් කියා හිතෙනා හිතිවිල්ල බිය මුසු ගැස්මක් දනවයි. ඒ ගැස්ම පරයා අර මිහිර ඇස් ඉස් මස් ලේ විනිවිද ආත්මයට කාවදිමින් ඉසිර විසිර යයි.
“ආදරෙයි”
ඔහුගෙන් ඒ වචනය අසා ගන්නට බාල වියෙහි පටන් පිරූ පාරමී ඇස් තෙත් කරයි. ඒ කාලය කල්පයක් වාගේ ය. සියල් හැඟීම් පිටාර යන මොහොතේ ඈ සිය දෑතින් ඔහු ගේ දෑත් බාහු අල්වා දෙතොල් එහි තද කොට ගත්තා ය.
“තේ එකක් හදන්නං”
ආර්ය සිය ග්‍රහණය ලිහිල් කළේ ය. අමාගී කේතලය වතුරෙන් පිරවූයේ හිතාමතාම ය. උතුරන්නට පමා වනු පිණිස ය.
“ඩිවෝස් එක හම්බුණා. මාසෙකට දවසක් නිධීට ආයුව දෙන්න ඕනෙ”
“එයා ආපහු ආයුව ගෙනෙයි නේද…”
ඇගේ හඬ වෙව්ලා ගියේ ය. ඒ ඇස් මත්තට බියක් කාන්දු වූයේ ය. ආර්ය ගේ පපුව, ස්නේහ හැඟීම උහුලාගත නො හැකි තරමින් බර විය. ඇය ආයු ට අම්මා වී හිඳී. ඒ සවන් පෙති වැසෙන සේ මුහුණ දෙපසින් අල්වා ගත් හෙතෙම ඇගේ රතදර සිය ලවන් මතින් තදකොට සිපගත්තේ ය. අමාගී ගේ හද ගැස්ම කෙතෙක් වැඩි වී ද යත් ඈ සිය පපුව අල්වා ගත්තේ නිරායාසයෙනි. ඒ දෙකොපුල් වලට ලේ පුරා ඇසිල්ලකින් රක්ත වර්ණ විය. දෑස් මත්තෙන් ආදරය මේ යයි ගලා හැලෙනා කාන්තියක් ඉහිරිණි. ඕ හෙමිහිට දෑස් පහළට හරවා ගත්තා ය. මහපටැඟිල්ලක් පොළොව තද කරගෙන සිටියේ ය. ආර්ය සිය දෑසින් මේ පුංචි පිනි බිංදුව උරා ගන්නට තැත් කළේ ය.
“මට තියන ලොකුම වස්තුව ආයු සුදූ. මං දැනටමත් එයාව ඔයාට දීල ඉවරයි. ඒකට මට ඔයාට වැඩිය විශ්වාස කෙනෙක් වෙන නෑ”
“අනේ ලොකයියෙ”
“ආයුට විතරක් නෙවෙයි මටත් ඔයා ඕනෙ. ඒත් දුරේ අංකල් එක්ක ෆයිට් කරන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. මං තව එක සැරයක් එයා එක්ක මේ ගැන කතා කරල බලන්නද… දැං මං නිදහස් මිනිහෙක්. එයාට මට අකමැති වෙන්න තියන එකම හේතුව ආයු”
අමාගී වහා ආර්ය ගේ දෙතොල් මතින් සිය අතැඟිලි තැබුවා ය.
“ආයු කියන්නෙ මගෙ හුස්ම කියල තාත්ති දන්නව. මොනා වුණත් මං ඔයාගෙයි ආයුගෙයි විතරයි ලොකයියෙ. සමහර විට අපිට කවදාවත් එක ජීවිතයක් ගෙවන්න ලැබෙන එකක් නෑ. කාගෙවත් හිත් රිද්දන්නෑ කියල දැං මං මටම පොරොන්දු වෙලා ඉන්නෙ. ඒ වුණාට ඔය දෙන්නව දාල මං වෙන කාගෙවත් ළඟට යන්නෑ. මට පුළුවං ආයු හදාගෙන මෙහෙම ඉන්න. ඔයා මට ආදරේ නෑ කියල හිතාගෙන මෙච්චර කාලයක් ජීවත් වුණ මට… ඔයා ආදරෙයි කියල දැනගත්තට පස්සෙ වෙන මොනා නැති වුණත් මොකද… මට ඔයාව හුඟාක් දැනෙනව ලොකයියෙ. කොච්චරක්ද කියල වචන වලින් කියන්න නොතේරෙන තරං ඔයාගෙ ආදරේ දැනෙනව”
වතුර උතුරන බවට කේතලය උරුහම් බෑවේත්, “මා” කියා ගෙතුළින් ආයු හඬගෑවේත් එකට ය. ඔවුන් දෙදෙනා ගේ ඇස් හතර එකට හමු විය.
“මං බලන්නං”
කියමින් ආර්ය අඩියක් පෙරට තැබුවේ ය. අමාගී බෙලෙක් කෝප්පයට තේ කුඩු දැමුවා ය. ගේට්ටුව විවර වන හඬ ටිකක් වැඩියෙන් ඇසිණ. අමාගී කේතලයෙන් ජෝගුවට උතුරන වතුර වත් කළා ය. තේ සුවඳ වායු අංශු වලට මුහු විය.
ආර්ය ආයු වඩාගෙන කාමරයෙන් පිටතට එත්දී මණී හමු විය. අමාගී ගේ තේ සුවඳ එදුර ගෙවාගෙන එමින් තිබිණ.
“මං මේ තේ හදන්න කලින් කතා කරල යන්න ආවෙ”
“මෙහෙං බොමු ඉතිං”
අමාගී ලස්සනට සිනහ වූවා ය. ආර්ය ආයු වඩාගත්වන ඈ ළඟට වූයේ ය. ආයු අමාගී වෙත බර වී ඇගේ ගෙල බදාගත්තේ ය.
“මා ඕනෙ”
“මැණික ඉතිං තාත්ති ළඟින් ඉන්නකො. මං කුක්කු හදන්නං හොඳේ… මේ කුක්කු බණ්ඩිය හිස් වෙලානෙ හොඳටම”
ඈ සිඟිති බණ්ඩිය සිපගත්තා ය. ඒ ගමන් ආර්ය ගේ පපුවේ ද යන්තම් කම්මුලක් තැවරෙන්නට හැරියා ය.