මවකගේ ලෝකය -11

මං හිටියෙ ඇඳුම් අල්මාරිය අස් කරන ගමන්. එළියට ගිහින් වැඩක් කර ගන්න අපහසු මේ වගේ විවේකී දවස් වල, කාර්ය බහුල දින වලදි අතපසු වෙලා ගිය අප්‍රමාණ වැඩ තියෙනව ගෙයි ඉඳල කර ගන්න. අල්මාරි ලාච්චුවක් අදිනකොට දුව ඉපදුණ දවස් වලට අයිති සිහිවටන එකතු කරපු පුංචි පෙට්ටියක් මගේ නෙත ගැටුණා. මං ඒක අතට ගත්තෙ සිසිල් වෙලා ගිය හදවතකින්. හරියට මීට අවුරුදු දොළහකට කලින් කුළුඳුළේ ම දූව අතට ගද්දි දැනුණ හැඟීම ම වෙන්නැති ඒ. 

දුවගෙ පෙකණියට ගහපු නිල් පාට ප්ලාස්ටික් කටුව, වියළිලා ගිය පෙකණි කොටසත් එක්ක ම ටිෂූ එකක ඔතල තිබිල මං අතට ගත්තා. ඒ හැඟීම කොහොම විස්තර කරන්නද කියල අම්මට තේරෙන්නෑ දුවේ. ඔයා මගෙ ශරීරයේ ම කොටසක් වෙලා හිටිය බවට තියෙන ජීවමාන බලවත් ම සාක්ෂිය….මං ඒක මගෙ පපුවට තුරුළු කරගෙන විනාඩි කීපයක් ඇස් පියා ගෙන හිටියා. 

“ලස්සන රෝස පාට බබෙක්”

දූ ඉපදිලා අම්මව රෝහලේ කුටියට කැටුව ආව ගමන් එතනට දුවං ආපු දූගෙ තාත්තටයි මගෙ අම්මටයි මං කියපු හැටි මට මතක් වෙනව. ඒ වෙලාවෙ මගෙ ඇස් වල විතරක් නෙවෙයි ඒ දෙන්නගෙ ඇස් වලත් කඳුළු තිබුණා. හෙදියක් රෝස පාට ෆ්ලැනල් එකක ඔතාගෙන දූව අරං ඇවිත් මගෙ දෝතට දුන්නෙ ඒ වෙලාවෙ.

“දැං ෆීඩ් කරන්න”

ඔයා මගෙ පපුවට තුරුලු කර ගෙන මගේ ම කිරෙන් කුස පුරවපු ඒ මුල් ම මොහොත හීනයක් වගෙයි මගෙ දුවේ. අම්මා කෙනෙක් වෙනව කියන්නෙ මහ පුදුම හැඟීමක්. ඒ හැඟීම විඳ ගන්නනං අම්ම කෙනෙක් වෙලා ම බලන්න ඕනෙ. මං මගෙ අම්ම දිහා බැලුවෙ දරා ගන්න බැරි තරං ආදරේකිං. මං උපන් මොහොතෙ ඉඳං මේ මොහොත වන තුරුත් මගෙ අම්ම මං වෙනුවෙන් කොයි තරං දුක් විඳල අත්ද? වෙහෙසිලා ඇත්ද? තවමත් ඒ වෙහෙසීම නිම වෙලා නෑ. මගෙ දරුවා වෙනුවෙනුත් එයා එක සීරුවට වෙහෙසෙනව. අම්මා කෙනෙකුගෙ පදවිය කවදාවත් විශ්‍රාම ලබන එකක් නෙවෙයිද මන්දා.

ඒ පුංචි පෙට්ටිය ඇතුළෙ දූගෙ මුලින් ම කපපු කෙහෙ රොද වගේ ම හැළුණ පළවෙනි දතත් සුරක්ෂිත ව දවටලා තිබුණා. මීට අවුරුදු ගණනාවකට කලින් ඒ සිදුවීම් වෙත්දී මතකය මගෙ හිතේ සිනමා පටයක රූප රාමු වගේ ඇඳෙන්න ගත්තා.

දූ ඉස්සර කොණ්ඩෙ කපනවට හරි බයයි. ටිකක් ලොකු වෙන තුරුත් ඒ බය තිබුණා. සැලොන් කීයකටනං ඔයාව අරං ගිහිං ඇද්ද ? කතුර දකිනකොට ඔයා අඬන්න ඇඬිල්ල පාලනය කර ගන්න අම්මයි ආච්චයි මොන තරං වෙහෙසිලා ඇද්ද ? 

“මොනාද අම්ම කරන්නෙ…”

කියල අහන ගමන් ඔයා කාමරේට ආව. මගෙ ඇස් දිළිසෙමින් තියෙන්න ඇති. ඒ සතුටට. ඔයා රත්තරං වස්තුවක්. මාව අම්මෙක් කරපු, මට මේ තරං ලස්සන මතක ගොන්නක් තිලිණ කරපු මිල කරන්න බැරි වස්තුවක්.

“මේ…”

මං ඒ සිහිවටන ඔයාට පෙන්නුව. 

“මේ තමයි ඔයාලෙ බූ එකට ගහල තිබුණ කටුව”

දුව චූටි කාලෙ පෙකණියට කිව්වෙ බූ එක කියල.ඒ වචනෙත් මේ මොහොතෙ මගෙ මතකෙට ආවෙ හදිස්සියෙමයි.

“මේ ඔයාගෙ පළවෙනි කොණ්ඩෙ කපපු දවසෙ මතකය. මේ ඔයාගෙ හැළුණ පළ වෙනි කිරි දත”

මං ඒව අතට අරං ඔයාට පෙන්නුව ධාතූන් වහන්සේල තරමට බැති බරව. ඒත් ඔයා ඒව දිහාට හෙළුවෙ එක ම එක බැල්මක් විතරයි.

“විසි කරල දාන්නකො අනේ. ඕව මොකටද තාමත් තියං ඉන්නෙ…”

ඔයා ලාච්චුවෙ තිබුණ ෆයිල් එකක් අතට ගත්තා. ඒකෙ තිබුණෙ ඔයා කුසට ආව බව මුලින් ම අපි දැන ගත්ත දා ඉඳල මතක සටහන්. පොසිටිව් කියල කලබල ඉංග්‍රීසි අකුරෙන් ඩොක්ටර් අංකල් ලියපු සටහන ඒ ලිපි ගොනුවෙ මුලින් ම තිබුණා. මගේ මතකෙ ඒ දවසට දිව ගියේ අසරු වේගයෙන්.

“මට මේක හීනයක් වගෙයි රමී. අපි අම්මල තාත්තල වෙන්න යනව කියන එක”

තාත්තා තදින් මගෙ අත් දෙක අල්ලගෙන මං දිහා බලං හිටිය හැටි මට තාම මතකයි.

“දැං ඉතිං ඉස්සර වගේ බෑ. වගකීමෙන් වැඩ කරන්න ඕනෙ”

මං ආදරණීය තරවටුවක් කළා. තාත්තා ගෙ ඇස් වල තිබුණෙ පොරොන්දුවක්. එයා අදටත් ඒ පොරොන්දුව නොබිඳ රකින හැටි මට ම හිතා ගන්න බැරි තරමයි දුවේ. ඔයාට ඉන්නෙ මේ ලෝකෙ හොඳ ම තාත්ත ද කියල අනන්ත වාරයක් මට හිතෙන්නෙ ඒකයි.

“මේ මොකද්ද දන්නවද…ඔයා මගෙ ටමි එක ඇතුළෙ හිටිය හැටි”

දූ මගෙ කුසේ ඉද්දි කරපු ස්කෑන් එකක පින්තූර මං එයාට පෙන්නුව. ඒත් දූගෙ මූණෙ කිසි උනන්දුවක් තිබුණෙ නෑ ඒවා ගැන.

“අයියෝ… පරණ දේවල් එකතු කරං ඉන්න එපා අම්මි. ඩෝන්ට් බී ඉන් ද පාස්ට්”

දූ ඇඳෙන් නැගිටල කාමරෙන් යන්න ගියා. මං බලං හිටියෙ තැති ගත්ත හිතකින්. මේ සිදුවීම ගැන දූගෙ තාත්තා එක්ක කිව්වහම එයා අඩ සිනාවක් පෑවා.

“දැං හැදෙන ළමයි එහෙම තමයි රමී. එයාල අපේ කාලෙ විදිහට නෙවෙයි හිතන්නෙ. තාක්ෂණික ලෝකෙ විදිහට. ඔයා ඒ ගැන දුක් වෙන්න එපා”

ඒ වුණත් අම්මගෙ හිතේ දුකක් තියෙනව දුවේ. මේක තාක්ෂණික ලෝකයක්ද නැද්ද කියන එක නෙවෙයි කාරණය. මගෙ දුව සංවේදී දරුවෙක් ද නැද්ද කියන එකයි මට වැදගත් වෙන්නෙ. ඔයා කියන විදිහට අපි අතීතයෙ ජීවත් වෙන්න ඕන නෑ තමයි. අපි ජීවත් වෙන්න ඕනෙ වර්තමානයෙ. ඒ වුණත් හැව ඇරල යනව වගේ අපිට අතීතය අත් ඇරල අමතක කරල යන්න බෑ දුවේ. හදවතක් ඇති මනුස්සයෙකුට එහෙම කරන්න බෑ.

මගෙ දුව දක්ෂ දරුවෙක්. ඉගෙනීම අතින් පන්තියෙ මුලින් ම ඉන්න දරුවෙක්. තාක්ෂණය අතින් අපිවත් අභිබවා ගිය හැකියාවන් ඇති දරුවෙක්. ඒත් ඒ මොන දේටත් වඩා හදවත කියන දේ වටිනව මගෙ මැණික. අපි හදවතක් ඇති මිනිසුන් විදිහටයි ජීවත් වෙන්න ඕනෙ. හදවතේ ගැස්මට සවන් දෙන්න පුළුවන් මිනිසුන් විදිහටයි සමාජය ඉදිරියට යන්න ඕනෙ. සංවේදී කමක් නැති උගත් කම වටිනව කියල මං හිතන්නෑ පුතේ. උණු වෙන හිතක් නැති මනුස්සයෙකුට මොන තරං සියුම් මොළයක් තිබුණත් පලක් නෑ.

සමහර දේවල් පරණ වුණා කියල විසි කරල දාන්න බෑ පුතේ. පරණ වෙන්න පරණ වෙන්න තමයි ඒ දේවල් වටින්නෙ. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියල ඉංග්‍රීසි කියමනක් ඔයා අහල ඇති. 

වටින දේවල් වල වටිනාකම දන්න කෙනෙක් වීමත් අතිශයින් වැදගත්. මැණිකක වටිනාකම දන්නෙ මැණික් ගැන අවබෝධයක් ඇති කෙනෙක් විතරයි. එහෙම නොවෙන කෙනෙක්ට මැණිකක් කියන්නෙත් මිදුලට විසි කරල දැමිය යුතු ගල් කැටයක් විතරයි.

මගෙ දුවගෙන් අම්මා බලාපොරොත්තු වෙන්නෙ  සංවේදී දරුවෙක්. ජීවිතයේ සංවේදී නිමේෂයන් අත් නොහැර විඳ ගන්නා දරුවෙක්. හිනා වෙන්නත් අඬන්නත් පුළුවන් දරුවෙක්. මගෙ මැණික එහෙව් දරුවෙක් වෙන්න ඕනෙ. 

More Stories

Don't Miss


Latest Articles