දොස්තර නෝනා

අවුරුද්ද ට වින්දනලා  අම්මලාගේ ගමේ යන්න තීරණය කරලා තිබුණේ මාර්තු මුලම ඉඳන්. වින්දනගෙයි ප්‍රහර්ශාගෙයි විවාහයට පස්සේ  පවුල් කිහිපයම එක තැන මුණ ගැහෙන්නේ පලවෙනි වතාවට නිසා දෙන්නා කට්ටියට දෙන්න පුළුවන් විදියට තෑගි බෝගත් එකතු කරගත්තා. මඟින් අම්මවයි තාත්තවයි දෙන්නාත් නංවාගෙන වින්දනලා මාතර යන්න පිටත් වුනේ අධිවේගී මාර්ගය හරහා. ඒ වෙනකොට වින්දනගේ අක්කලා මාතර මහ ගෙදරට ගිහිල්ලා තිබුණේ. 

ලොකු අම්මලා, පුංචිලා,  මාමලා වගේම ඒ අයගේ පවුල් වල දරුවනුත් ඒ වෙනකොටත් මහ ගෙදර ට ඇවිල්ලා හිටියේ. ඒ නිසාම මහ ගෙදර පිරිලා තිබුණේ මදි නොකියන  හිනා වලින්.

වින්දන ප්‍රහර්ශා එක්ක ඇඳුම් මාරු කරගෙන සාලෙට ආවා. එතකොට සාලේ හිටියේ ලොකු අම්මායි අම්මයි  විතරයි.

”  ලේලි කුලෑටියි නේද නංගී …? 

ලොකු අම්මා එක පාරටම එහෙම අහනකොට ප්‍රහර්ශා කිසි දෙයක් හිතාගන්න බැරුව් නැවතුණා. වින්දන බලාගෙන හිටියෙත් ඒ කිව්ව එක වටහා ගන්න බැරුව. 

අම්මා ලොකු අම්මා ඊළඟට මොකක් කියාවිද කියලා හිතාගන්න බැරුව වගේ බලාගෙන හිටියේ. 

” ආව වෙලේ ඉඳන් රන් පුතාගේ පස්සෙන්මනේ.. ඒකට බලන්නකෝ අර මිහිරි … ආව වෙලේ ඉඳන් කුස්සියේ වැඩ .

 අපේ කලනි.. බඩදරු අම්මෙක් කියලා නෑ.. ආං කට්ටියට තේ හදනවා…… “

” මොනවද අක්කේ මේ කියන්නේ… ? ප්‍රහර්ශා දවස් ගානක ඉඳන් නයිට් ඩියුටි කරලා ඉන්නේ… ඊයේත් ගෙදර එනකොට පාන්දර කිව්වා නේද පුතේ…?  ..”

ලොකු අම්මාගේ මූණේ තිබුණේ සරදම් බවක්

” මහ ලොකුවට දොස්තර නෝනෙක් කසාද බැඳගත්‍තාට මොකෝ රන් පුතා තවම කඩෙන් කෑම වෙන්නැති …”

ප්‍රහර්ශා වින්දන දිහා බලන්නවත් ඉන්නේ නැතුව කාමරේට ගියා. අම්මා ලොකු අම්මා එක්ක කතා කරන හඬ ඇහෙද්දී වින්දනත් ආපහු හැරිලා කාමරේ පැත්තට ගියා. ඒ යනකොටත් ප්‍රහර්ශා ඇඳේ පෙරලිලා ඉකි ගහනවා. 

වින්දන කිසිම දෙයක් නොකියා බලාගෙන හිටියා. 

” මං කාමරේට වෙලා ඉන්නම්.. ඔයා යන්න…”

ප්‍රහර්ශා ඉරියව්ව වෙනස් නොකරම එහෙම කිව්වට පස්සේත් වින්දන කලේ නිහඬව හිටපු එක. පැය බාගෙකට විතර පස්සේ ප්‍රහර්ශා නැගිට්ටා. 

” ලොකු අම්මට මොකද්ද මාත් එක්ක තියෙන ප්‍රශ්නේ ?”

මීට කලිනුත් මුණ ගැහුණ දෙතුන් වතාවකම වින්දනගේ ලොකු අම්මා තමන්ව අපහසුතාවයට පත් වෙන විදියට හැසිරුණ බව මතක් කරගෙන ප්‍රහර්ශා ඇහුවා.  

” ඔව්වා ඉතින් එක එක එව්වානේ … ඔයා දන්නවනේ…”

වින්දනගේ ලොකු අම්මට ඕනි වුණේ ඇයගේ  ස්වාමිපුරුෂයා ගේ නෑදෑ වෙන ගැහැණු ළමයෙක් වින්දනට ජෝඩු කරන්න. ඒත් වින්දන ප්‍රහර්ශා ව තෝරගත්ත කෝපය තමයි මේ විදියට ප්‍රහර්ශා පිටින් යවන්නේ කියලා වින්දන ප්‍රහර්ශා ට කිහිප වතාවක්ම කියලා තිබුණේ.  

වින්දනව අපහසුතාවයට හෙලන්න ඕනෑ නැති නිසා ප්‍රහර්ශා මුහුණ සෝදගෙන ආයෙම  පිරිස අතරට ගියා. ලොකු අම්මගෙන් දැනෙන වෙනස්කම අනෙක් කිසිම කෙනෙක්ගෙන් දැනෙන්නේ නැති නිසා ප්‍රහර්ශා පිරිස අතරේ ඉතාම ඉක්මනින්  සුව පහසු වුණා. 

සැරෙන් සැරේ කුස්සියට එබිලා යන වින්දන ප්‍රහර්ශා ඉන්නේ කලබලෙන් , නොරිස්සුමෙන් නෙවෙයි කියලා දැනෙගන් සැනහුණා. වෛද්‍යවරියක් විදියට ප්‍රහර්ශා ලබන සැනසීම, ඇය කරම සේවය ගැන වින්දනගේ හිතේ තිබුනෙත් ලොකු ගෞරවයක්. සමහර වෙලාවට හීනෙකින්වත් බලාපොරොත්තු නොවන තැන් වල ප්‍රහර්ශා නිසා සුවපත් වුණ මිනිස්සු ඇවිල්ලා ප්‍රහර්ශා ට කතා කරලා යනකොට වින්දනටත් පපුව පිරෙන ආඩම්බරයක් දැනෙනවා. ඒ හින්දාම ලොකු අම්මගේ ඇණුම් පද වලට රිදෙන යමක් කරන්නම ඕනි කියලා වින්දන ආයෙම වතාවක් හිතුවා.

” ඇත්තටම බං පරිණත කියන්නේ නාකි කියන එක නෙවෙයි නෙහ්.. බලපං දැන් උඹලෑ  ලොකු අම්මා… දැක්ක තැන කාගේ හරි අඩුවක් හොයන එකමයි වැඩේ… “

එක දවසක් විතරක් ලොකු අම්මව මුණ ගැහුනට පස්සේ තමන්ගේ පාසැල් මිතුරෙක් කියපු විදියත් වින්දනට මතක් වුණා. 

රෑ කාලා බීල අවසාන වෙලා කට්ටියම සින්දු කියන්න වාඩි වුණා. ප්‍රහර්ශා ට අතෙන් ගිටාර් එක තියපු වින්දන ඇය ළඟින්ම ඉඳගෙන වාදනය කරන්න ඉඩ හැදුවා.

“අනේ.. අක්කා ගිටාර් ප්‍රැක්ටිස් කලාද ?”

“ඔන්න බලන්නකෝ.. ආයේ දැන් සුපිරි ගිටාරිස්ට් …”

වින්දන කට්ටියටම කිව්වේ හිනාවෙලා. කට්ටිය එහෙන් මෙහෙන් වාඩි වෙනකල් ප්‍රහර්ශා තත් බිඳිමින් තාල තිව්වා. 

“ආහ්.. එච්චරයි අඩුවකට තිබ්බේ… කොල්ලෝ වගේ මෙව්වා ගහන්නත් තියාගෙන .. අපේ පරම්පරා වල කෙල්ලෝ හීනෙකින්වත් කරපුවද මේ … ඔන්න බලපන් නංගිගේ දොස්තර ලේලි හොඳ අඩව්වක් අල්ලලා නවතින්නේ …”

ලොකු අම්මා එක පාරටම ඇවිල්ලා වින්දනලා පේන් මානෙන්ම වාඩි වෙලා එහෙම කියනකොට කාටවත් කිසිම දෙයක් කියාගන්න බැරුව ගියා. 

ඒත් වින්දන සිහි එලවගත්ත ගමන්ම ලොකු අම්මට එරෙහිව අවි අමෝරා ගත්තා. 

” මොකක්ද ඒකේ වැරැද්ද ලොකු අම්මේ ?”

” උඹට ඔව්වා තේරුම් යනකොට කල් වැඩියි රන් පුතේ …”

“හරි ඉතින් දැන් තේරුම් කරන්නකෝ … ඉවරයිනේ…”

” ඔව්වා ගෑණුන්ට හරියන දේවල් නෙවෙයි … ගෑණි සුද්ද කරන්න කියලා ඇත්ත නොදැක්කා වගේ ඉන්න එපා රන් පුතේ.. ඔය දොස්තර කම් කරනවා කියලා පිරිමින්ගේ ඔක්කොම අත පත ගාලා ඇවිල්ලා උඹේ අස්සේ ඉන්න එක උඹට ඉවසන්න පුළුවන් උනාට අපිට නම් හිතන්නවත් බෑ….”

ප්‍රහර්ශා ගේ ඇස් වලින් කඳුළු බේරෙන්න ගත්තා. 

කලනි නැගිට්ටා. 

” මොකද්ද අම්මේ ඒ කියන කතාව … එහෙම නම් දැන් මේල් ඩොක්ටර්ස්ලා අපිව අත පත ගාන්නේ මේ බබා ලැබෙන්න ආව දවසේ ඉඳලා.. ඒම ක්ලිනික් ගිහින් ආවහම  සඳුන්ලාත් ඔහොම කියනවා නම් මොකක් වේවිද ? … අම්මට අක්කා එක්ක පුදුම ඉරිසියාවක්නේ අනේ තියෙන්නේ.. රන් අය්යට අක්කවම තමා ගැලපෙන්නේ … ඒම නැතුව කවින්දි නෙවෙයි … ආයේ ඔය නොකෙරුණ මඟුලක් ඔලුවේ තියාගෙන අක්කට එක එක එව්ව කියනවා නම් ඒම තැන්වලට මට නම් එන්න කියන්නෙපා… ඒක මහ අප්‍රසන්නයි …”

ලොකු අම්මා ඇස් විසල් කරගෙන  බලාගෙන හිටියා වින්දන දැක්කා. සඳුන් ඇස් දෙක ලොකු කරගෙන කලනි දිහා බැලුවා. ප්‍රහර්ශා ගේ කඳුළු වේලිලා තිබුණා.

ගිටාර් එකේ තත් ලස්සනට බිඳුණා. 

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles