එකම එක හාදුවක් – 38

0
2888

“ආදරය කියන දේ අපේ හිත රිද්දන එක, බ්‍රේක් අප් එකක් එහෙම කියන්නෙ ලේසියෙන් මනුස්සයෙක්ට රිකවර් වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඕනම මනුස්සයෙක්ට ඒ වේදනාව දරාගන්න අමාරුයි. එහෙම එකේ ඔයා වගේ පොඩි ගෑණු ළමයෙක් ඒ වගේ දේකින් මෙච්චර දවසක් රිග්‍රෙට් කරපු එක මෙන්ටලි වැටිලා උන්නු එක නෝමල්. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. හැබැයි දැන් ඔයා ඉන්නෙ වෙච්ච දේවල් තේරුම් අරගෙන නිසා මං හිතන්නෙ අපිට හරිම ඉක්මණින් ෆුලි රිකවර් වෙන්න පුලුවන් වෙයි ශාර්වරී” 

කොළඹ ඉන්න මනෝ වෛද්‍යතුමිය තමන් නුවර ගියයින් පස්සෙත් වට්සැප් ඔස්සේ සම්බන්ධ කරගන්න පුලුවන්කම තිබුන හන්දා ශාර්වරී ඇත්තටම උන්නේ වෙනදට වඩා සැහැල්ලු හිතකිනි. ඒ මීට මාස කිහිපයකට පෙර අම්මාගේ තුරුලේ කිරිල්ලියකගේ සැහැල්ලුවෙන්ද නෙවින් තුරුලේ වාසනාවන්ත ප්‍රේමවන්තියකගේ සැහැල්ලුවෙන්ද ගෙවූ කාලය තරම්ම යැයි කියන්නට නොහැකි බව ඇත්තක් වුනත් “මං උන්නු හැටියට මේ කොච්චර හොඳ ද?” කියා ශාර්වරීම හිතන තැනකට ඇය ඇවිත් උන්නාය.

“ජීවිතේ කිසිම දවසක කිසිම මනුස්සයෙක් නොකල විදියට ඔයා මාව සම්පූර්ණ පිරිමියෙක් කරලා තියෙන්නෙ. මට දැන් ඔයා නැති ජීවිතයක් ගැන හිතාගන්න බෑ. මං ඉක්මනට එනකම් පරිස්සමෙන් ඉන්න. මේ වතාවෙ මං ඔයාව තනියම ඔහෙ දාලා මෙහෙ ආව එකට මට සමාවෙන්න.එහෙම වෙන්නෙ මේ වතාවෙ විතරයි, ආයෙ කවදාවත් මම ඔයාව තනි කරන්නෙ නෑ. මේ වතාවට විතරක් මට සමාව දෙන්න බබා.

මුලු ලෝකෙ මොන දේ වෙනස් වුණත් මමවත් මගෙ ආදරේවත් වෙනස් වෙන්නෙ නැති බව අමතක කරන්න එපා.

මං ආදරෙයි. Till we meet again I love you and I am all yours and yours only” කියා අවසාන වට්සැප් පණිවිඩය එව්ව දවසින් පස්සේ නෙවින්ගේ දුරකතන අංකය වැඩ කලේ නැත. ඔහු වට්සැප්, මැසෙන්ජර් වැනි කිසිම සමාජ මාධ්‍යයකින් ඔන්ලයින් ආවේද නැත. කොටින්ම ඔහු ආයෙ එනවා යැයි කිව්ව දවස් වෙද්දි අපාට්මන්ට් එක වෙත ඒ යැයි හිතුවත් ඒ ආවේද නැත.

සුලඟ සමග මුසු වී හමා ආ මල් සුවඳක් සුළඟ එක්කම ඉවත්ව යන්නා සේ නෙවින් මාධූර්‍යය සේනාරත්න අතුරුදහන් වී තිබුණි. ඔහුව දන්නවා යැයි තමන් සිතූ කිසිවෙකුගේ ගිණුම් වලවත් කිසිත් තොරතුරක් හොයාගන්න බැරි උනා වගේම නෙවින්ගේ අක්කා වුන අයෙන්ද්‍රි සේනාරත්නගේ ෆේස්බුක් ගිණුමද තිබුනේ ලොක් කර නිසාවෙන් ඒ ඔස්සේවත් කිසිම දෙයක් හොයාගන්න පුලුවන්කමක් තිබුනේ නැත.

“ඒ මිනිහා තමුසෙවත් රවට්ටලද කොහෙද ඕයි? ඇත්ත කියනවා මුකුත් කරදරයක් කරගත්තෙ නෑ නේද? එච්චර ගොං ගහනෙ” කියා නංගි අයේශ්වරී බනිද්දිවත් ශාර්වරී නෙවින් තමන්ව රවට්ටා ගොස් ඇතැයි පිළිගන්න හිතුවේ නැත. 

“නෑ නෑ එයා කවදාවත් මට බොරුවක් කරන්නෙ නෑ. මගේ නෙවින් එහෙම කෙනෙක් නෙවෙයි. එයා කවදාවත් මාව රවට්ටන්නෙ නෑ. මොකටද මට බොරු කරන්නෙ. අනික මං වගේ කෙනෙක්ට එහෙම බොරුවක් කරලා එයා ඔන්ලයින් එන්නෙ නැතුව ඉන්න මම එච්චර කෙරුමෙක් නෙවෙයිනෙ” කියා මුල් දවස් ටිකේ හිතුවත් නංගි එක්ක රණ්ඩු කරගෙන ගියත් දවසෙන් දවස මාසයක් දෙකක් ගෙවී යද්දී “නෙවින් ඇත්තටම මාව රැවැට්ටුවද? ආයෙ එනවා කියලා එයා ඔස්ට්‍රේලියා ගියේ ආයෙ එන්න වෙන්නෙ නෑ කියලා දැනගෙනද?” කියන හිතුවිල්ලට හිස නොනවා ඉන්න ශාර්වරීට පුලුවන් උනේ නැත. හිත රිදුණේත් අවසානයේ මානසිකව වැටෙන්නට හේතු උනේත් ඒ සිතුවිල්ලය. ඒ සියලු වේදනා දෙගුණ තෙගුණ වුනේ අම්මා හිටිහැටියේ තමන්වත් නංගිවත් තනිකර තාත්තා සොයා ගිය එකෙන් ය. අම්මාත් තාත්තාවත් කවුරුවත් නැතුව තරුණ කෙල්ලන් දෙන්නෙක්ට ජීවිතේ කොච්චර අමාරුද කියා ශාර්වරීටත් අයේශ්වරීටත් තේරුණේ අම්මාගේ මරණයෙන් පසුව ගෙවුණ පලමු රැයේම ගෙදර දොරට තට්ටු කරන්න පිරිමින් ආ දිනයේය. අම්මා ඉන්න කාලයේ වචනයක් කිව්වෙ නැති මිනිස්සු පවා “නංගි, දුවේ” කියාගෙන ලංවෙන්නෙ හොඳකට නොවන බව තේරිච්ච තැන සුපුරුදු විදියට පිහිටට ආවේ මොරටුවේ උන්නු මාමා ය.

“උඹල අපෙ ගෙවල් දැකල තියෙනවනෙ කෙල්ලෙ. මායි නැන්දයි කොල්ලො දෙන්නයි ඉන්න තැනක මට තරුණ කෙල්ලො දෙන්නෙක් ගිහින් තියන්න බෑනෙ. ඒ හන්දමයි මං උඹලව අපේ අම්මලගෙ නංගි කෙනෙක් ඉන්නව පේරාදෙණියෙ එහෙ නතර කරන්න හිතුවෙ. උඹේ විශ්ව විද්‍යාල ගමන තමයි පරහා” කියා උදව්වට ආවෙ නැතිනම් තමන්ට ඇත්තටම කොතෙන්ට වැටෙන්න වෙයිද කියන එක ගැන සැකයක් අයේශ්වරීගෙත් ශාර්වරීගෙත් හිතේ නොතිබ්බා නොවේ.

අවශ්‍ය කරන ඇඳුම් පැලඳුම් ද අත්‍යවශ්‍ය ලියවිලි ආදියද රැගෙන නුවර එන්නට කලියෙන් උන්නු ගේ අස්පස් කර තවත් කුඩා පවුලකට කුලියට දෙන්නට උදව් වුනේ මාමාය. ඒකෙනුත් මාස්පතා පොඩි ගානක් හෝ එන හන්දා වගේම අම්මා ඇති හැකි විදියට නංගිගෙත් තමන්ගෙත් පොත් වල එක්කහු කර තිබ්බ සල්ලි නිසා පලවෙනි අඩි දෙක තුන බයක් නැතුව ඉස්සරහට යන්න පුලුවන්කමක් තිබ්බ එක ඇත්තකි.

එහෙත් හිත තිබුනේ එහෙම ලේසියෙන් අඩියක්වත් ඉස්සරහට යන්න පුලුවන් තැනක නොවේ. නෙවින් සේනාරත්න හුලඟක් වගේ අතුරුදහක් වෙන්නට කලින් හිත ඇතුලේ පුරවාගිය ආදරය චුට්ට චුට්ට මහා වේදනාවකට පෙරළෙමින් හිඳින යථාර්තය බයෙන් සැකෙන් උනත් පිළිගන්න වන බව ශාර්වරී දැන උන්නාය. 

පේරාදෙණියේ ආච්චිලාගෙ ගෙදර හිඳ නංගිට විශ්ව විද්‍යාලයට යන්නට පහසු වීම ශාර්වරීට හිතට සහනයක් උනේ “මොන දේ උනත් නංගි හරි ලඟ ඉන්නවනෙ” කියා හිතපු එකය.මීට කලින් කිසිම දවසක මුණ ගැසී නැති තරුණ කෙල්ලන් දෙන්නෙක්ව පිළිගන්න එක වෙනුවෙන්ම උඳුවැල් තැනූ ආච්චි අම්මා කෙනෙක් ළඟ ශාර්වරිත් අයේශ්වරිත් ජීවිතේ කිසිම දවසක වින්දේ නැති ආදරබර අත්තම්මෙකුගේ සෙනෙහස පමණටත් වඩා තිබුණාය.

“තරුණ කෙල්ලො ආම්බාම් කරන එක එහෙම ලේසි දෙයක් නෙවෙයි පුතේ. ඒ උනාට තට්ට තනියෙන් උන්නු එකේ මේ ගෙවල් අස්සෙ මූසල කම යන්නත් එක්ක උඹල වගේ තරුණ උන් ගැවසෙන එක හොඳයි” කියා ආච්චි කියද්දි ඒ තමන්ගේම කෙනෙක් ලෙස ඇයව පිළිගන්න අයේශ්වරීටත් ශාර්වරීටත් අමාරු උනේ නැත.

රිදුණ තැලුණ හිත තවා සනසන්න හේතු වුණේ ඒ ලෙංගතුකමය. ඒ ලබැඳියාවය.

“පුතා මොකක් හරි දෙයක් හන්දා හිත රිද්දගෙන ඉන්නෙ කියන එක මට නොතේරෙනවා නෙවෙයි. ඒ කාරණාව මොකද්ද කියන එක මම ආයෙ අහන්නෙ නෑ. ඒ උනාට සමහර දේවල් තියෙනව පුතේ හිතෙන් එලියට ඇදල විසි කරලා දැම්මම තමයි හිත නිදහස් වෙන්නෙ. තමන් කාලයක් බෝම ආසාවෙන් ලං කරගත්ත දේවල් තමා කවදහරි තමන්ගෙ හිත දරුණුවටම රිද්දන්නෙ”  කියා කියද්දී ශාර්වරී ඇත්තටම උන්නේ හෙමින් හෙමින් හිත හදාගන්න උත්සහ කරන ගමන් ය. 

නෙවින් ගැන හොයන හිතටරැකවල් ලාමිනි. ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉවත් කර, දුරකතන අංකය වෙනස් කර, කිසිදා උන්නේ නැති හිත හයිය ශාර්වරී කෙනෙක්ව හදන්නට තනමිනි.

එහෙත් ඒ නෙවින් සේනාරත්නව හිතෙන් ඉවත් කල නොවේ. ඔහුව හිතේ කෙලවරක සදහටම සඟවාලමිනි.

—————————————————————————————————————————–

“මට ආදරෙයි නේද?” 

“ම්ම්ම්ම්, ආදරෙයි” 

“මගේ විතරයි නේද?” 

“ම්ම්ම්ම්ම්” 

නෙවින් ගැස්සී ඇහැරුනේ මෙච්චර වෙලා ලඟින් ඇසුණ ඒ හඬ ටිකෙන් ටික ඈතට යනවා දැනෙනවාත් එක්කමය.  දැන් බොහෝ දිනක් තිස්සේ පෙනෙන ඒ එකම සිහිනය මානසික වදයක් බව නෙවින් දනී.

එහෙත් කල යුත්තේ කුමක්ද කියා පැහැදිලි අදහසක් නෙවින්ට නැත. මේ මානසික පීඩනයෙන් මිදෙන්නේ කෙසේද යන්න ගැන අදහසක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here