මතක දිගහැරුම 53 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පනස් තුන්වන දිගහැරුම ,

හෂාන් ඩුබායි පැමිණි විට මා සහ මගේ මිතුරියන් එක්ව ඔහු සමඟ සාද පැවැත්වූ අතර සියලු දෙනාම එක්ව විනෝදයෙන් කාලය ගත කළෙමු .හෂාන් නැවත ලංකාවට පැමිණෙන විට මා ද නිවාඩු ලබාගෙන ඔහු සමගම ලංකාවට පැමිණියෙමි.මා සහ මගේ පවුලේ නුවරඑළිය බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ වලට විනෝද චාරිකාවක් ගිය අතර ඒ චාරිකාව සඳහා හෂාන් ද අප සමග එක් විය.ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ජීවිතය කෙබඳු දැයි දැන ගැනීමට ඔහුව ඇසුරු කළ දිනයන්හිදී මට හැකි විය.අළුයම් කාලයේ ව්‍යායාම සඳහා යාමද ,සවස් කාලයේදී පුහුණුවීම් වල හොඳින් නිරත වීම ද ඒ අතරතුර කාලයේදී කාර්යාලයේ වැඩ වල නිරත වීම ද හෂාන් ගේ ජීවන රටාවේ අනිවාර්ය කොටස් බවට පත්වී තිබුණි. පුහුණුවීම් වලට අවශ්‍ය නිවාඩු ලබා දෙමින් ,ඔහුට සේවා ස්ථානයෙන්ද විශාල සහයෝගයක් සහ ශක්තියක් ලබා දුන්නේය.හෂාන් පුහුණුවීම් වල නිරත වන සමහර අවස්ථාවන් වලදී මම ද ඒ ස්ථානවලට ගොස් පුහුණුවීම් නැරඹූ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීමට ද මට අවස්ථාව ලැබුණි.

හෂාන් වැඩි වශයෙන් ආශ්‍රය කළේ ඔහුගේ ගම වූ පිළියන්දල ප්‍රදේශයේ සිටි ඔහුගේ මිතුරන් ය.ඔහු පුහුණු වීම් සඳහා යන විට ඔහුගේ වාහනයේ මිතුරන් කිහිප දෙනෙකු සිටීම නොවැරදීම වාගෙ සිදු වූ අතර ඔවුන්ව ද හඳුනා ගැනීමට මට හැකියාව ලැබුනි.හෂාන්ගේ මහ ගෙදර පිහිටා තිබුනේ පිළියන්දල ප්‍රදේශයේය.ඔහුගේ තාත්තගේ සහ අම්මාගේ ගම ඇල්පිටිය වු නමුත් තාත්තගේ තාත්තා පසු කලෙක පිළියන්දල ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති අතර පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ හෂාන්ගේ තාත්තා සහ අම්මා ඉගෙනුම ලබා ඇත.හෂාන්ගේ මහගෙදර පිහිටා තිබුණේ අක්කර කිහිපයක විශාල වත්තක ය.එම වත්තෙහි හෂාන්ගේ තාත්තාගේ නෑදෑයන් බොහෝ දෙනා ද පදිංචි වී සිටියහ.

හෂාන්ගෙත් මගේත් සම්බන්ධය පිලිබදව මුලීක අවස්තාවේ හෂාන්ගේ දෙමාපියන් කිසිඳු විස්තරයක් නොදැන සිටි අතර එක් දිනක් හෂාන් ඔහුගේ මහගෙදර ආසන්න ප්‍රදේශයට මා කැඳවා ගෙන ගොස් ඔහුගේ මහ ගෙදර පිහිටා තිබූ වත්ත පෙන්වීය.විශාල වත්තක් මැද පිහිටි ඉපැරණි මහගෙදර සහ ඒ ආසන්නයේම ඇති හෂාන්ගේ දෙමපියන්ගේ නිවස විය. ඒ ආසන්නයේම අලුතින් ඉදිවෙන නිවසක්ද දුටිමි. ඒ හෂාන් ඉදි කරමින් තිබුනු ඔහුගේ අලුත් නිවසයි.

හෂාන්ට විශාල මිත්‍ර සමාගමක් වූ අතර ඒ වන විට ඔහුගේ ජීවිතයට එම මිතුරන්ගෙන් ලැබෙමින් තිබුණේ අති විශාල සහයෝගයකි.කුඩා කල පටන් සිටි මිතුරන් ඔහුව අත් නොහැර ඔහුගේ සෑම කටයුත්තකටම සහයෝගය දෙමින් ඔහු හා අත්වැල් බැඳගෙන සිටියහ.බොහෝ විට ඔවුන් හැඳ සිටියේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාවිතා කරන ඇඳුම්ය.හෂාන් සමග වැඩි වශයෙන් ආශ්‍රය කළේ පිළියන්දල මිතුරන් කීප දෙනෙකු සහ සජී , තිස්ස සහ ශම්මි යන මිතුරන් තිදෙනා ය.පසු කලෙක ඔවුන් තිදෙනා මා සමග ද අතිශයින් ම හිතවත් විය.සජී නමැති මිතුරා වයස අවුරුදු 40 දී , දරුණු පිළිකාවකට ගොදුරු ව ජීවිතයෙන් සමුගත් අතර ඒ වනවිටත් ඔහු අවිවාහකයකු ව සිටියේ ය.හෂාන් සමග නොබිදෙන මිත්‍රත්වයකින් සිටි ඔහු ගැන මතකය කිසිදාක අපගේ සිත් වලින් නොමැකෙන මතක සටහනකි.

හෂාන්ගේ සහ මගේ හමුව සිදු වන විට ඔහු ගත ගත කරමින් සිටියේ ජීවිතයේ ඉතා අසීරුම කාලයකි.ඔහු ඉදිරියට පැමිණි සෑම ගැටලුවකටම ඔහුට මුහුණ දීමට සිදුවී තිබුණේ තනිවමය.
මගේ ජීවිතයට ඔහු හමුවීම මගේ දෛවයේ කෙසේ හෝ ලියැවී තියෙන්නට ඇති බව මා අදටත් විශ්වාස කරමි.අප දෙදෙනාගේම ජීවිත වල විශාල වෙනසක් සිදු වීම පිණිස මේ හමුවීම සිදුවන්නට ඇතැයි මට සිතේ.කෙසේ හෝ ඔහු ජීවිතය ගත කළ ආකාරය ඉදිරියේදී ඔහුගේ අනාගතයට සහ ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ ඔහු යන මාර්ගයට බලපෑම් ඇති කළ හැකි බව මට දැනුනු අතර ජීවිතයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සදහා මානසික ඒකාග්‍රතාවය ඔහුට අත්‍යවශ්‍යම දෙයක් බව මට වැටහිණි.එම නිසා ඔහුගේ ජීවිතයට ශක්තියක් වන සහ ඔහුගේ ඉදිරි ගමනට ධෛර්යය දෙන සහකාරියක් වීමට මට හැමවිටම උවමනා විය.රටට අත්‍යවශ්‍යම, දක්ෂ ක්‍රීඩකයෙකු වූ හෂාන්ගේ ජීවිතය ඒ වන විට මුහුණ පා සිටි අසීරු අවස්ථාවෙන් මුදවාගෙන ඔහුගේ ජීවිතයට ආලෝකමත් කිරීමට මා තදින්ම ඉටා ගත්තේ ඉන්පසුවය.ඒ වෙනුවෙන් කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට පවා මා සූදානම් වී සිටියෙමි .ඔහු මුණගැසුනු කෙටි කාලය තුළදී එතරම්ම ඔහු කෙරෙහි මගේ සිත බැඳි තිබුනි.

මතු සම්බන්ධයි

More Stories

Don't Miss


Latest Articles