මා හිස පිරිමැද 16

“ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන රණවීර මහතා ඝාතනය වී තිබෙන්නේ නාඳුනන කුවක්කුකරුවෙකු ගේ වෙඩි ප්‍රහාරයකින්. එම ඝාතනය සිදු කළ අය සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙන බවට පොලිස් මාධ්‍ය ඒකකය දැනුම් දෙනවා”

මම දෙසවන් ද දෑස් ද අයාගෙන රූපවාහිනී තිරය දෙස බලා සිටියෙමි. මාධ්‍යවේදී චන්දන රණවීර! ඔහු විදුර වරදත්ත වාගේ ම මෙරට දේශපාලනය විවේචනය කරමින් සිය පෑන මෙහෙයවා සාමාන්‍ය ජනතාවගේ ඇස් පෑදීමට අපමණ වෙහෙසක් දැරූ මාධ්‍යවේදියෙකි. මගේ ඇස් කෙවෙනි දවමින් තිබූ කඳුළු මහෝඝය ඉහිරිණි. චන්දන රණවීර ගේ බිරිඳ ද දරුවන් ද හඬා වැලපෙනු රූපවාහිනී තිරය මත දර්ශනය වන්නට විය. මගේ අතුණුබහන් වල පිච්චීමක් මට දැනිණ. ඒ ගිනි රස්නය පපුව රිදවූයේ ය. මට ඉකි ගැහී හැඬිණි. මා හැඬුවේ චන්දන රණවීර වෙනුවෙන් ද? නො එසේ වී නම් විදුර වරදත්ත නමින් ද? සමහර විට ඔවුන් දෙදෙනා ම අරබයා වන්නට ඇත. 

“ආ…මේ මොකද මේ…මෙයා අඬන්නෙ…හරියට එයාගෙ මිනිහ මැරිල වගේ…”

අම්මා මදෙස බලා සමච්චලයෙන් එසේ කියත්දී මගේ ආවේගය පුපුරා ගියේ ය. මම වහ වහා පඩිය මතින් නැගිට ගතිමි.

“මේ මැරිල තියෙන්නෙ කවුරුහරි ගෑනියෙක්ගෙ මිනිහෙක් තමයි අම්මෙ. බලන්නකො අර පොඩි උන් අඬන දිහා. ඒ දරුවන්ගෙ තාත්තව මේ විදිහට මරල දැම්මෙ ඒ මනුස්සයගෙ දරු පවුල ගැන විතරක් බලා ගෙන ඉන්නැතුව ජරා දේශපාලකයො රටට කරන අපරාදෙ ගැන මිනිස්සුන්ට දැනගන්න ලියපු නිසා. ඕගොල්ලොන්ට දවසක ඒ ළමයින්ට උත්තර දෙන්න පුළුවන්ද අම්මෙ…ඒ ළමයි ලොකු වෙලා නිකං ඉඳියිද…සාප වෙනව මේ කරන අපරාද වලට. ඕගොල්ලොන්ට ඕනෙ මේ ජරා පාලනේට විරුද්දව නැගිටින මිනිස්සු ඔක්කොම ම ර ල දාල මෝඩයො ටිකක් ඉතුරු වෙන රටක ජවුසන් නටන්න”

“මෙයාට මේ මොන යකෙක් වැහිලද…”

අම්මා මගෙන් තරමක් ඉවතට වූයේ දෙගිඩියාවකින් සේ ය. සැබවින් මම වෙව්ලමින් සිටියෙමි. අද චන්දන රණවීර ට වූ දේ හෙට විදුර වරදත්තට නොවේ කියා කියන්නේ කොහොමද?  එහෙම හිතෙත්දී මගේ සිරුර පණ නැති වී යන්නේ ය. ඉතින් මේ වියෝව අකාලයේ කණවැන්දුම් වූ අර ගැහැනිය කෙසේ ඉවසා දරා ගන්න ද?

“හරියට මේ මිනිහව මං මැරුව වගේනෙ මෙයා මේ මගෙ ඇඟට ගොඩ වෙන්නෙ…”

අම්මා තව දුරට ද කීවා ය. 

“ඕගොල්ලොංගෙ අය නෙවේද ඕව කරන්නෙ…චන්දන රණවීර වගේ වටින මනුස්සයෙක් මරල දාන්න ඕගොල්ලංගෙ අයට මිසක් වෙන කාටද ඕනෙ…”

“ඔය මිනිහ හරියට උඩ පැන්න. කවුරු කොහොම කළත් මන්නං කියන්නෙ ඕනවට වඩා දඟලන උන්ට ඔහොම වෙන්න ඕනෙ. එකෙක්ට දෙන්නෙක්ට වෙනකොට අනිත් උං මීක් නැතුව වල්ග අකුලගනී”

අක්කා මා ළඟට විත් මා සැනසීමේ උත්සාහයක් දැරුවා ය. මේ කඳුළු ද මේ ආවේගය ද විදුර වෙනුවෙන් බව ඇය දනී.

“අපි උඩට යං නංගි. වැඩක් නෑ ඕව අපි කොච්චර කතා කළත්”

“මේ ලිස්ට් එකේ මුලින් හිටිය කෙනා. ඊළඟට ඉන්නෙ අර විදුර වරදත්ත කියන එකා. ඌටත් ඉක්මනටම මාධ්‍ය සගය ළඟට යන්න පුළුවන් වෙයි මෙහෙම ගියොත්”

එහෙම කියා අම්මා කොක් හඬ ලා සිනහ වෙන්නට පටන් ගත්තා ය. සියොළඟින් ගින්දර පිට වෙනවා සේ මට දැනෙන්නට ගති. ඒ මගේ ම අම්මා නොවූවා නම් මා කෙසේ හැසිරෙනු ඇත්ද කියා සිතා ගත නො හැකි ය. දත් ඇඳි දෙක ටකස් ගා එකට හැපිණ. මම පිය ගැට පෙළ දිග ඉහළට දිව ගියෙමි. අක්කා මා පසු පස ආවා ය.

“නාඬා ඉන්න නංගි. මේක තමයි ඇත්ත. කොච්චර තිත්ත වුණත් අපිට ඒ ඇත්තට මූණ දෙන්න වෙනව”

යහන මත හිඳ ගත් මා දුරකතනය අතට ගත්තේ විදුර ට ඇමතුමක් ගන්නට ය. නමුත් ඊට පෙර, ඔහු ගෙන් පැමිණ තිබූ කෙටි පණිවිඩය මගේ නෙත ගැටිණ.

“ඔයා බය නැතුව ඉන්න. මං පරිස්සමට ඉන්නව. පුළුවන් වෙච්ච ගමං කතා කරන්නං”

එහි ලියැවී තිබුණේ එමණකි. එහෙම ම මම ඔහු ගේ දුරකතනය අංකනය කළෙමි. නමුත් එය ක්‍රියා විරහිත ව තිබිණ. මට මහ හයියෙන් හැඬුණේ ය.

“අනේ නංගි. ඔහොම අඬන්න එපා ඉතිං. ඔයා ඔහොම අඬන්න ගත්තොත් අම්මට සැක හිතෙන එක වලක්වන්න බෑ. අර කොල්ලට ඒක අමතර ප්‍රශ්නයක් වෙන එකයි වෙන්නෙ. මේ වෙලාවෙ අපි හිතන්න ඕනෙ එයාගෙ පරිස්සම ගැන”

අක්කා කියන්නේ සැබෑවකි. මම ඉක්මන් කොට කඳුළු පිස දා ගතිමි. අම්මලා ට තියෙන්නේ කඳුළු වලට උණු වෙන හිත් නොවේ. තරුණ ගැහැනියක හා දරු දෙදෙනෙකු හඬා වැටෙත්දී ඒ දැක හඬ නගා සිනහ වන්නට තරම් ඇය දරුණු හදවතක් ඇත්තියක වූවා ය. ඔවුන් එය සිදු කොට පෙන්වා තිබේ. චන්දන රණවීර යනු දේශපාලන ක්ශේත්‍රයට හිසරදයක් වී උන් ජ්‍යේෂ්ඨයෙකි. මුලින් ම ඔහු ගේ ගමන නතර කිරීම තුළින් ඒ පිටුපස එමින් සිටින අයට ද අනතුරු ඇඟවීමක් සිදු කොට තිබේ. ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ විදුර යයි පාරම් බාන්නට තරම් ඔවුන්  මැරකම් ප්‍රසිද්ධියේ කරන්නට පටන් ගෙන තිබේ. ජීවිතයක් යනු බලය ඉදිරියේ කෙතරම් සුළු කොට තැකිය හැක්කක් දැයි ඔවුන් රටට හඬ ගා කියන්නට පටන් ගෙන තිබේ.

විදුර ගේ දුරකතනය දිගට ම ක්‍රියා විරහිත ව තිබිණ. එය මහා අඳුරු ශෝක කාලයක් වූයේ ය. ඇස් තෙත් වෙන්නට නොදී මම හැකි තාක් හිත හයිය කර ගෙන සිටියෙමි. මා නො දන්නා රෑ මැදියමක, “බය වෙන්න එපා හොඳේ. මං පරිස්සමෙන්” කියා පණිවිඩයක් පමණක් ඔහු තියා තිබිණ. නමුත් මම ලියුම් වාගේ දිග පණිවිඩ ලීවෙමි.

“ඉන්න තැනක ඔයා හොඳින් නෙවෙයි කියල මං දන්නව. ඒත් දැනට පරිස්සමෙන් විතරක් ඉන්න. දන්න නොදන්න හැම දෙවි කෙනෙකුගෙන් ම හැම මොහොතකම මං ඉල්ලන්නෙ ඔයාව මට පරිස්සං කරල දෙන්න කියල විතරයි. මේක යක්ෂයගෙ කාලය. උං ලේ සුවඳ ඉව කරනව. අනේ ඔයාව මං ඇතුළෙ හංගගන්න පුළුවන් නං මං එහෙම කරනව. මේ වෙලාවෙ මං ඇරෙන්න මට වෙන කවුරුවත් විශ්වාස නෑ. ඒත් ගිලෙන්න යන අපිට පිදුරු ගහත් වටිනව. ඒක නිසා ඔයා දැනට පිදුරු ගහක හරි එල්ලිල ඉන්න. මං හරි අමාරුවෙන් දරා ගෙන ඉන්නව. ඔයා කොතනක කොහොම ඉන්නවද කියල නොදැන මට බත් කටක් ගිලෙන්නෑ. ඔයා දන්නවද මට හුස්ම ගන්න අමාරු වෙනව සමහර වෙලාවට. රෑ එළි වෙනකල් නින්ද යන්නෑ ඔයා නින්දක් නැතිව ජීවිත බයෙන් ඉන්නව ඇති කියල හිතෙනකොට. ඒත් මේ වෙලාවෙ අඩු ගානෙ ඔයාගෙ හිත ගාව ඉන්න ලැබුන එක ගැන මට සතුටුයි. ඔයා නොදන්න තරං මං ඔයා ගැන ආඩම්බරයි. ඒත් ඇත්තම ඇත්ත නං, මං ඔයා ගැන බයයි. හැම හුස්මක් ගානෙ ම මට ගින්දරක් දැනෙනව. පරිස්සමෙන් ඉන්න රත්තරං. උන්ගෙ ලිස්ට් එකේ ඊළඟට ඉන්නෙ ඔයා කියල ඇහුන වෙලේ දන්නවද මං පණ පිටින් පිච්චුණා. ඔයා දන්නව මං ඔයාට කොච්චර ආදරේද කියල. ඒක අවුරුදු ගාණක් තිස්සෙ හෙමි හෙමිහිට ඇති වෙච්ච ආදරයක්. ඔයාගෙ මූණවත් දැකල නැතුව..ඔයාට කවද හරි ලං වෙන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුවක්වත් නැතුව..පුදුම විදිහට දරං හිටිය ආදරයක්. ඒත් ඔයාව මුණගැහුණට පස්සෙ  ඒ ආදරේ හිතේ හිර කරං ඉන්න මට බැරි වුණා. ඇස් වලින් පවා ඔයා ඒක දකින්න ඇති. ඒත් මං දන්නව මට වඩා ඔයා රටට අයිති මිනිහෙක්. එහෙමයි කියල මට හීන නොදැක ඉන්න බෑ. මේ මොහොතෙත් මං හීන දකිනව දවසක ඔයාගෙ වෙලා ඔයාගෙ ගෙදර ඔයාගෙ ඇඳේ ඔයාගෙ පැත්තකින් උදේට නැගිටින්න. ඔයා පරිස්සමට ඉන්න. හැම මොහොතකම මං හිතන්නෙ ඔයා ගැන. මගෙ ආදරේ ඇත්තක්නං ඔයාට කරදරයක් වෙන්න එපා කියල මං සත්‍යක්‍රියා කරනව. හිනා වෙන්න එපා ඔයා. අක්කයි තාත්තයි එක්ක මේ දවස් වල හවසට පන්සල් ගිහිං මං බෝධි පූජා තියනව. මේ වෙලාවෙ මට පිදුරු ගහත් වටිනව. 

මං ඔයාට මහ හුඟක් ආදරෙයි!”

ඒ ලියුම් පිළිවෙලට අග මුල ගලපා ලියූ ඒවා නොවේ. මට හිතෙනා දේවල් ඔහේ ලියා ගෙන ගියා පමණකි. නමුත් ඒවායේ තිබී ඔහු ට මගේ ආදරයත් මගේ හදවතත් හමු වෙන්නට ඇත. විදුර ඒ දිග පණිවිඩ දුටුවේ පවා දින ගණනකට පස්සේ ය. ඒ වෙනුවෙන් නෝක්කාඩු වන බොළඳ කෙල්ලක වීමේ අවස්ථාව, දේශපාලනය විසින් මගෙන් උදුරා ගෙන තිබිණ.

විදුර පුවත්පත් කාර්යාලයට ආවේ නැත. ඔහු කොතැනක සැඟවී ඉන්නවා දැයි කිසිවෙකු දැන සිටියේ නැත. නමුත් ඔහු ගේ දේශපාලන ලිපියක් පුවත්පතේ අනිවාර්යයෙන් පළ වූයේ ය.

“කාලයක් අම්ම මාව රටෙං පිට කරල ඉද්දිත් කාටවත් හිතා ගන්න බැරි විදිහට මං පත්තරේට ආටිකල්ස් එව්ව”

මීට පෙර ඔහු මට කියා තිබිණ. නමුත් මේ ඉතා අවාසනාවත් බිහිසුණු කාලයක් විය. යක්ෂයාගේ සෙවනැලි හැම තැන ම සැරුවේ ය. මුළු රට ම ගොළු ගැහී සිටියා සේ ය. මිනිස්සු සිය ගෙවල් තුලදීත් කතා කළේ බිත්ති වලට කන් තිබෙතැයි බියෙන් හා සැකයෙනි. ප්‍රසිද්ධ ස්ථාන වලදී නම් කිසිවෙකුට ඇස් කන් හෝ කටක් වූයේ ම නැත. මාරයා කොතැන සිට කොයි මොහොතක කළඑළි බසිත්දැයි දැන සිටියේ මාරයා මෙහෙයවූ අය පමණකි.

එක රාත්‍රියක මැදියම් යාමයේ දුරකතනය  ළඟින් තියාගෙන බිත්තියට ගුලි වී යහන මත හිඳ ගෙන සිටියදී, නාඳුනන දුරකතන අංකයක් මගේ දුරකතන තිරය එළිය කළේ ය. මොකක්දෝ ගැස්මක් එකවර හදවතට දැනිණ. ඕනෑ ම මොහොතක ඕනෑ ම දෙයක් විය හැකි බවට හදවත පෙර සූදානමක සිටිය ද නාඳුනන අංකයකින් එන ඇමතුමකට පවා හදවත කෙතරම් සසල කළ හැකි දැයි දන්නේ එවන් අත්දැකීමකට මුහුණ දුන් කෙනෙකු පමණි. වෙන දෙයක් වුණාවේ යි හිත හයිය කර ගෙන මම දුරකතනය සවනට ගතිමි.

“තිසූ”

දෙවියනි විදුර! ඇට මස් ලේ නහර කකියවාගෙන පුදුමාකාර වේදනාවක් මා තුළින් ඉහළ නැංගේ ය. ඒ වේදනාවේ අනිත් කෙළවර නිම් හිම් නැති ප්‍රීතියක් ද එල්ලී ගෙන සිටියේ ය. මම බිත්තිය කොනට තව තවත් ගුලි වීමි.

“ඔ…යා”

මගේ උගුර හිර වී තිබිණ. පිට කර ගත හැකි වූ එක ම වචනය පවා වෙව්ලා ගියේ ය. හරි හරියට කතා කළේ කඳුළු ය. කඳුළු පේලි දෙකක් මගේ කොපුල් නිම්න ඔස්සේ ගලා යමින් තිබිණ.

“නිදාගෙනද හිටියෙ මැණික…”

“නෑ…මට නින්ද යන්නෑ. මං කොහොමද සනීපෙට නිදා ගන්නෙ…ඒකට කමක් නෑ. මට පුළුවන්. මට…ඕන දේකට ෆේස් කරන්න පුළුවන්. ඒත් දන්නැති නම්බර් එකක් නිසා සැකෙන් ආන්සර් කළේ”

“මේක යාළුවගෙ නම්බර් එක. මගෙ එකෙන් ගන්නෑ තිසූ කෝකටත්”

“අනේ එපා එපා. කතා නොකළට මට මෙහෙම බලං ඉන්න පුළුවන්. ඔයා පරිස්සමට ඉන්නයි ඕනෙ”

“එක තප්පරේකට හරි ඔයාට කතා කරන්න ඕන වුණා”

මම අතින් මුව වසා ගතිමි. නො එසේ වී නම් මට ඉකි ගැසී හැඬෙන්නට තිබිණ. ඊට පස්සේ මා හුස්ම ගත්තේ මුව විවර කොට ගෙන ය. මුළු ශ්වසන පද්ධතිය ම හිර වී ගෙන තිබිණ.

“මං දන්නෑ තිසූ මොනා වෙයිද කියල. මොනා වුණත් ඔයා අඬන්න බෑ. හරිද…ඒත්..මට දැන් මැරෙන්න බෑ වගේ තිසූ…ඔයත් එක්ක ජීවත් වෙන්න ඕනෙ. මං ඔයාට හරි ආදරෙයි තිසූ”

“මුකුත් වෙන්නෑ. ඔයාට මුකුත් ම වෙන්නෑ”

කඳුළ ද සුසුම ද ගිල ගෙන මහා ගැහැනු පෞරුෂයකින් යුතුව මම හිස කෙළින් කොට ගෙන කීවෙමි. 

“මේ උණුහුම ටිකක් අඩු වෙනකල් ඔයා ඔහොමම ඉන්න”

විශ්වාසයෙන් යුතුව ඊට වඩා යමක් කිව හැකි වූයේ නැත. අප ජීවත් වෙමින් සිටියේ ඒ තරමට ම අනාරක්ෂිත හා අස්ථාවර වූ දේශයක ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles