රන් මල් දම් – 56

ජිනේන්ද්‍ර පැමිනෙන විට රාත්‍රී අට පසු විය. ඔහු  මන්දාරම් සිදුවීම පවසන කලබලය අසා උන්නේය. මන්දාරම් එවර වෙස් පෙරලා ගෙන ඇත්තේ කොයි දෙසටදැයි ජිනේන්ද්‍රට වැටහුණේ නැත. මන්දාරම්ගේ කලබලය ගැන විශේෂයෙන් නොවිමසාම අසා උන්නේය.

” දිලුම්ට කතා කරලා මේක කියලා ඉන්න අයියේ ….”

” පිස්සුද බං … එහෙම කොහොමද කියන්නේ.. ඌ මට කතා කරලා අර ටික කිව්වා මිසක්, මම  ඌ එක්ක එහෙම මුකුත් කතා කරන්නවත් ගියේ නැහැ…මං ඌ එපාම කියලා කීව සීසීටීවී ෆුටේජස් උඹට ගෙනල්ලා දුන්නේ.. මං ආයේ කොහොමද මෙච්චර ඉක්මනට ඌට කතා කරලා මෙහෙම කතාවක් කියන්නේ..ඌ මොනවා හිතාවිද ?.”

” හරි…. මේක බොරුවක් නෙවෙයි ..මාව විශ්වාස නැද්ද ?… උඹ කතා කරලා කියහං …. දිලුම් තේරුම් ගනියි.උගත් මිනිහෙක් නේ .. මෝඩයෙක් නෙවෙයි නේ ….. ඌ හිටියේ පිස්සෙක් වගේ…  මෙලහකටත් නිම්නාවීව ෆලෝ කරනවාද දන්නේ නෑ …”

මන්දාරම් ඉතා ඉක්මන් වචන කීවේය.

” හරි බං .. ඇයි මේ උඹ කලබල … නිම්නාවීව බලාගන්න එහෙ මිනිස්සු ඉන්නවා.. උඹ දැන් නිම්නාවී ගැන  හොය හොයා නටන්න තියාගන්න එපා … උඹ ඒකිව පොලිසි ගානෙත් තියලා, දැන් ආයේ මෙහෙම ඒකි ගැන හොය හොයා දේවල් කියන්න තියාගන්න එපා බං .. ඒක උඹටත් හරි නෑ … අපිටත් හරි නෑ… “

ජිනේන්ද්‍ර එවෙලෙහි එලෙස කීවේ මන්දාරම් සැබැවින්ම බලාපොරොත්තු වන්නේ කුමක්දැයි වැටහීමක් නැතිවය. චානක ද ජිනේන්ද්‍ර හා යම් තරමකින් එකඟ වෙමින් කතා කල අතර, සීමාව ඉක්මවා ඇය වෙත අත පොවන්නට තරම් කාලයක් ගත නොවූ බව කීවේය.

” හරි … තොපි දෙන්නා හිටහං ….”

මන්දාරම් එක්වරම අසුනෙන් නැගිට, අවන්හලෙන් පිට වූයේය. ඉන් පසුව අනෙක් දෙදෙනාට සිතා ගන්නට නොහැකි වේගයෙන් මෝටර් රියට ගොඩවී පිට වූයේය. චානක එක දිගටම ඔහුට ඇමතුම් ගනිද්දී මන්දාරම් එක්වරම ඇමතුමට පිළිතුරු දුන්නේය.

” පික් මී එක්ක දාගෙන ගෙදර පලයං .. මං එන්නම් …”

” පිස්සුද උඹට මිනිහෝ .. කුළු හරකෙක් වගේ වැඩ කරන්න තියාගන්න එපා … තෝ හරි වේගෙන් ටර්න් ගන්නවා මතක තියාගනින් …. වරෙන් ආයේ මෙහෙට …”

” හරි .. මගේ ටර්න් වැරදුනොත් මං කුඩු පට්ටම් වෙලා යාවි .. කමක් නෑ …මමනේ ..උඹලා පාඩුවේ හිටහං .. මට පාඩුවේ මේ ගමන යන්න දීලා ෆෝන් එක තියහං …”

මන්දාරම්ගේ ඇමතුම එන විට දිලුම්, නිම්නාවී සහ ඩයස් උන්නෙ එලිමහන් සඳලුතලයට වී බියර් කෑන් කිහිපයක් හිස් කරමිනි. දිලුම් රන්දුලා සහ ඔහුගේ හමුවීමේ පටන් සියළු දෑ ඩයස් සමඟ පවසමින් උන්නේය. එක්වරම මන්දාරම්ගේ ඇමතුම ජංගම දුරකතනයට සම්බන්ධ වෙද්දි දිලුම් විමතියට පත් වූයේය.

” මොකෝ මල්ලී ?…”

ඔහු ඇමතුම අනෙක් දෙදෙනාටද පෙනෙන සේ ජංගම දුරකතනය හැරවූයේය. නිම්නාවී ගත් හුස්ම හෙලා ගන්නට නොහැකිව නැවතුණාය.

” ආන්සර් කරලා බලන්න දිලුම් …”

ඩයස් කීවේ කුමක් සිදු වූවත්  ඒ සියල්ල නිම්නාවී හමුවීමට පෙර තමා පසු කල යුතුය යන විශ්වාසයෙනි.

” හෙලෝ …”

” ඩොක්ටර් ..”

” ඔව් මිස්ටර් මන්දාරම් …”

” මම දැන් ඉන්නේ පානදුර ඉඳලා මොරටුව පැත්තට එන ගමන්… මට කොහේදීද ඩොක්ටර්ව මුණ ගැහෙන්න පුලුවන් ..?”

දිලුම් පියා සහ අක්කා දෙස විමතිය පිරුණ බැල්මක් පා කලේය.

” මට තේරුන් නෑ …”

“ඩොක්ටර් හොස්පිට්ල්ද ?.. ගෙදරද ?..”

” ගෙදර මිස්ටර් මන්දාරම් ….”

” මේ වෙලාවේ මම ආවොත් කරදරයක්ද ?….”

” ඒ කිව්වේ ..අපේ ගෙදරද?..”

” ඔව් …”

” නැහැ .. එන්න … මම ලොකේශන් දාලා තියන්නම් …”

” තෑන්ක්ස් ….”

මන්දාරම් ඇමතුම විසන්ධි කලේය. දිලුම් එවා තිබූ මඟ සලකුණු ඔස්සේ මෝටර් රිය ගෙන ගියේය. මන්දාරම් පැමිණෙන බව දැනගත් නිම්නාවී පත් වූයේ නොඉවසිල්ලටය. යළිත් අවසන් වතාවට හෝ ඔහු දකින්නට ඉඩක් ඕ ඉල්ලමින් උන්නාය.  ඔහු ඉදිරියේ සිටගෙන සමාව අයදින්නට ඇයට මහා උවමනා විය. යළි කවදාවත් සෙත් මන්දාරම් වර්ණකුල තමා වෙත නොහෙලන ඇස් කැල්මේ බලෙන්ම තත්පරයක් හො ගිලෙන්නට අවැසියැයි ඕ ගෙවුණු දින කිහිපයේම සිතමින් උන්නාය.

එහෙත් මෙතරම් රෑ බෝවී මන්දාරම් මෙහි පැමිණෙන්නේ ඇයිදැයි නිම්නාවීට වැටහුනේ නැත. එය කිසිලෙසකින්වත් සිතා ගත හැකි වූයේ නැත.

” මං හරි වාසනාවන්තයි සෙත් .. ඔයා නැතිවුණා කියලා මම හිතාගෙන ඉන්නකොටම ඔයා ආයේ එනවා …  මම ඔයාට ආදරේ දුන්නේ ආයේ ආදරේවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි .. ඒත් ඔයා මට ජීවිතේම දුන්නා සෙත් .. ජීවිතේම දුන්නා ඔයා මට …..”

නිම්නාවී කණ්ණ්ඩාඩිය ඉදිරියේ හිඳගෙන තමාටම පවසා ගත්තේය. බන්ධනාගාර ගත වීමට සිදුවීම, සෙත් යළි කිසිදා මුණ නොගැසි සිටීමේ හැඟීම දරා ගන්නට තරමේ ප්‍රබල ශක්තිය නිම්නාවී තනාගෙන උන්නේ පියා තමා වෙනුවෙන් ,තමා ඉදිරියෙන් සිට ගැනීම නිසාය. පියා පසන්ගේ උගුල වටහා ගැනීම, තමාට නොවූ සවිය එක්වරම තමා මත හෙලා පසන් කෙරෙන් තමා ගලවා ගැනීම නිම්නාවීට මහා ප්‍රාමාණික සැනසීමක් වී තිබුණි.

එක්වරම රෝලර් ගේට්ටුව විවෘත වෙනුද, වාහනයක් මිදුලේ නැවතෙනනුද ඇසෙද්දී නිම්නාවී කාමරයේ දොර අසලට විත් නැවතුණාය.

” ඉඳගන්න …”

පියාගේ හඬ ඇසුනත් පිළිතුරු හඬක් ඇසුණේ නැත. නිම්නාවී තවත් අඩියක් දොර දෙසට වූවාය. ළය පිරිමැද ගත්තාය.

” ටයිම් එක ඕෆ්  .. සොරි ….”

මන්දාරම්ගේ හඬ එලෙසින් ඇසෙද්දී, නිම්නාවි එහි සෙත්ගෙ පරාසය සෙව්වාය.

” ඒකට කමක් නෑ පුතා .. “

ඩයස් ගේ හඬ නිම්නාවීට ගෙන ආවේ පියා ගැන තවත් සෙනෙහසින් බැඳුණාය.

” අංකල් .. මේ ගමන හෙට උදේට කල් දාන්න ඕනි නැහැ කියලා හිතුන නිසයි මේ ආවේ…. පසන් රණවීර කියන්නේ මගේ බිස්නස් පාර්ට්නට් කෙනෙක් …”

නිම්නාවී ළය මිරිකා ගත්තාය. එලෙස නම් ඔහු තමා ගැන සියල්ල සොයාගෙනය. තමා කිනම් තරමේ යුවතියකදැයි සිතනවාට සැක නැත.

” පසන් එක්ක යාලු වෙලා ඉන්න ගමන් , මම එයා එක්කත් පැටලැවෙන්න ආවේ මගේ සෙල්ලක්කාරකමට හිතනවා ඇති .. සල්ලිකාර කෙල්ලෝ ඔහොමම බව කියලා යන්න එන්න ඇත්තේ .. අනේ සෙත්, මං ගැන එහෙම හිතන්න නම් එපා.. මගේ පපුව පැලිලා මාව මැරේවි සෙත් .. අනේ …”

නිම්නාවී එතැනම බිම හිඳගත්තේ දොරෙන් එපිටට වන සේ තිබූ බිත්තියට පිට දීගෙනය. ඉන් පසු කතාවේ කිසිවක් නෑසුණි. හෙමින් ඇරඹුණු ඉකිය ඕ වසාගෙන පැතිරෙමින් තිබුණි.

“අනේ ..සුදු අත්තම්මේ ..මාව ඔයා ළඟට ගන්න දෙය්යනේ .. මට සැනසීමක් නෑ ..මට කවදාවත් සැනසීමක් නෑ… සෙත්.. අනේ සෙත් එහෙම හිතාවී සුදු අත්තම්මේ …. එයා හිතාවි මම එයා එක්ක ටයිම් පාස් කරන්න ලෑස්ති වුනේ කියලා.. එයා එහෙම හිතන එක ඉවසන්න බෑ මට …”

ඕ දෙදණේ මුහුණ ඔබාගෙන දෑතින් හිස බඳාගෙන හඬා වැටුණාය. තවත් වාහනයක් නවතන හඬ යන්තමින් ඇසුනද, ඒ ගැන සිතන සිහියක් ඇයට වූයේ නැත.

චානක සහ ජිනේන්ද්‍ර හිතේ සැකයට දිලුම්ගේ නිවසට පැමිණ උන්නෝය. දිලුම් ඔවුන් දෙදෙනා පිළිගත්තේ එටෙහ්ක් කල් තිබුනාට වඩා ප්‍රාමාණික බැඳීමක් ඔවුන් වට දවටමිනි.

” අංකල් …කාලෙකින් …”

ජිනේන්ද්‍ර ඩයස් වැළඳගත්තේය. රාජිකා පසෙකට වී සියල්ල බලා උන්නාය.

” පසන් පුතාට විරුද්ධව කේලම් කියන්න ඇවිල්ලා ඉන්න උජාරුව …  මං මේ ගත්ත ෆොටෝ එක පසන් පුතාට දැන්ම යවන්නෝනා …. පසන් පුතා එක්ක හෙටම ආයේ හම්බෙලා කතා කරලා, රෙජ්ස්ටාර් කෙනෙක් ගෙදරට ගෙන්නවලා මේක ඉවර කරාම ඉවරයි .. හෙට ඩයස් කොහොමත් සයිට් එකේ වැඩ බලන්න අනිවාර්‍යෙන් යනවනේ … මෙච්චර අවුරුදු දෙක තුනක් කරපු හැමදේම ඉවර වෙනවා මේ නිම්නාවීගේ හිතුවක්කාරකම් නිසා .. ඒ මදිවට තව හිඟන්නෝ තුන්දෙනෙකුත් මැදට පැනලා…”

පසන් නිම්නාවීට සැබැවින්ම පෙම් කරතැයි නොසිතෙන බවත්, අහම්බෙන් ඇසුණු ඇමතුමකින් පසන් කිසිවෙකුට කවුරුන් හෝ පැහැරගැනීම සඳහා උපදෙස් දෙනු තමාට ඇසුණු බවත්, ඒ නිම්නාවී බවට තමාට සැක බවත් මන්දාරම් පවසන අයුරු රාජිකා උන්නේ හොඳින්ම අසාගෙනය.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles