මල් බිඟුන් – 50

අමාගී සහස්‍යා මල්වත්තගේ, විනිවිද පෙනෙනා වීදුරු බඳුනකට සේපාලිකා මල් ඇහිඳ එකතු කළා ය. මේ මල් වාරයේ ආරම්භක දවස් මේ ය. ඒ නිසා සේපාලිකාවන් වඩාත් ලොකු හා නිරෝගී ය. සුවඳින් ද වැඩිය කියා අමාගී ට සිතේ. ගිම්හානයේ අග මල් වරා එත්දී ඈ අතු කප්පාදු කරවාගත්තේ රුසිරු ලවා ය. වස්සානයේ දී යළි දලු නගා හනි හනිකට අතු ඉති වඩාගත් ගස අලුතෙන් මල් පුබුදන්නට පටන් ගෙන තාම දිනක් දෙකක් ගෙවුණා පමණකි.

අමාගී ගේ හිත පුදුම තරම් සැහැල්ලු ය. දුරේශ් වෙනුවෙන් කළ යුතු වූ බයිපාස් සැත්කම ඉතා හොඳින් සාර්ථක වී දැන් ඔහු සුවය ලබමින් හිඳීම ඊට ප්‍රධාන ම හේතුවයි. ඉතා ඉක්මනින් පෞද්ගලික අංශයෙන් සැත්කම කරගන්නට ලැබීම හැම කෙනෙකුට ම හිතට සහනයකි. එය සිදු කරගන්නා තුරු කාගේ හිත් වලත් වූයේ ගින්දරකි. දුරේශ් වූ කලී ඔවුන් ගේ හදවත් වලට ඒ තරම් බැඳී සිටිනා පුද්ගලයෙකු වන බැවිනි.

අශ්විනී ගේ විවාහයෙන් පසු, උනුන් මුවින් පිට නොකළ ද කාගෙ කාගේත් හිත් වල කසුන් පිළිබඳ කුකුසක් රැඳී තිබිණ. ඔවුන්ට පුරුදු මහානාම පවුලේ පිරිමි ළමයින් වාගේ කසුන්, මල්වත්තගේ පවුලට ළෙංගතු හා සමීප නොවීම ඊට හේතුවයි. මේ දීගය නිසා අශ්විනී ගේ ජීවිතය අතෘප්තිකර එකක් වේවිද යන දෙගිඩියාව දුරේශ් වෙත ද නො වූවා නොවේ. නමුදු ඉල්ලීමකින් පවා තොර ව සැත්කම සඳහා අවශ්‍ය කරන මුදල කසුන් විසින් ලබා දීම මත ඔහු ගැන නැවත වරක් අලුතෙන් සිතන්නට හැම කෙනෙකු පොළඹවනු ලැබී ය. ඔවුන් සමග වැඩිපුර මුහු නොවී ද කසුන් එහෙම පරිත්‍යාගයක් කරනු ලැබූවේ අශ්විනී කෙරේ වන බැඳීම නිසා බව නො   රහසකි. ඉතින් ඔහු ඇයට ආදරණීය පුරුෂයෙකු වීම පමණක් ප්‍රමාණවත් කියා සිතන්නට හදවත් කැමති විය.

“කොහොමත් ආශ් දැං වෙනම පවුලක්. ඒ දෙන්න හොඳින් ඉන්නවනං එච්චරයි. අපි වෙනුවෙන් ආශ් නැහුණු තරම හොඳටම ඇති. දැන් එයා ඒ දෙන්නගෙ ලස්සන ජීවිතයක් හදාගත්තනං ඇති”

අශ්විනී ගැන කතා කළ වෙලාවක දුරේශ් වුව කීවේ එසේ ය. බැඳීම් යනු කඩා බිඳ දැමීමට නොව ඈත් කිරීමට වුව පහසු දෙයක් නොවේ. ඒ ඒ පුද්ගලයන් හදවතෙහි අත්පත් කරගෙන ඉන්නා වර්ග ප්‍රමාණය මත ඒ අපහසුව වෙනස් විය හැක. අශ්විනී යනු මල්වත්තගේලාට මුළු හදවත ම ය. නමුත් තරුණ වියට එළඹුණු දරුවෙකු තමන්ගේ ම කැදලි තනාගන්නා එක සොබාදහමේ නීතියයි. ඒ දෙස උපේක්ශාවෙන් බලා හිඳීම වැඩිහිටි මිනිසුන්ගේ ස්වභාවය විය යුතු ය.

අමාගී දැන් අලුත් ජීවිතයට හුරු වීගෙන එයි. අශ්විනී ගිය දින වල ඇයට සියල්ල අවුලක් වාගේ දැනිණ. අක්කා ඉද්දී ඈ කළේ පොඩි පොඩි දේවල් ය. සේපාලිකා මල් ඇහිඳීම දවසේ ප්‍රධාන කාරිය වේ. නමුත් අශ්විනී ගිය පසු මුළු ගෙදරක වැඩ කරගත යුතු විය. එහිදී සේපාලිකා වලට වෙන් වූ කාලය අහෝසි වී ගියේ ය. අත්‍යවශ්‍ය වැඩ ටිකවත් කරගත යුතුව තිබූ බැවිනි.

නමුත් දැන් එහෙම නැත. දවසට දෙකට ඇය පළපුරුදු ගෘහණියක සේ වී තිබේ. සේපාලිකා මල් ඇහිඳීමේ සිට ගෙදර සියලු කටයුතු කලට වෙලාවට සැලසුම් කිරීමට ඇය සමත් ය. ඒ අතරේ දුරේශ් ගේ කටයුතු කරන්නේ පළපුරුදු හෙදියක මෙනි. සියල්ල අතරේ ආයු බිඳකටවත් අමතක නොවේ. පුංචි පැංචාගේ මුළු ලෝකය දැන් අමාගී කේන්ද්‍ර කොට ගෙන වර්ධනය වෙමින් තිබේ. ඈ ඒ සියලු කටයුතු කරන්නේ සතුටෙනි. සියලු බර දරන්නේ සැහැල්ලුවෙනි. ජීවත් වෙනවා කියා වැඩියෙන් ම දැනෙන්නේ වැඩ කරමින් ජීවත් වන විට ය!

මල් පහන් පුදා අමාගී සන්දේශ් ගේ කෑම එක ඔහු ගේ අතට දෙත්දී ආයු වඩාගත් ආර්ය ගෙට ගොඩවූයේ ය.

“මෙන්න මෙයාට එන්න ඕනෙ කියනව. මං කිව්ව මා වැඩ ඇති කියල”

එහෙම කීවාට ආර්ය ගේ දෑස් කෑ ගසා කීවේ ඔහු ට ද මෙහි එන්නට අවැසි වී තිබි බවයි.

“සන් මාම යනව පැට්ටෝ”

කියා ආයු ගේ හිස සිපගත් සන්දේශ් යතුරු පැදියට නැගුණේ ය. අමාගී ආයු වඩාගෙන සන්දේශ් ගේ යතුරුපැදිය වෙතට පියවරක් තැබුවා ය.

“පරිස්සමෙං අයියා… බුදු සරණයි!”

“උවමනාවක් වුණොත් කෝල් කරනව හරිද… හවසට මොනාද ගේන්න තියෙන්නෙ කියල වට්සැප් එකට ලිස්ට් එක දාල තියනව”

ආර්ය ට හිසෙන් යන බව ඉඟි කරමින් සන්දේශ් නික්ම ගියේ ය. අමාගී ආයු ගේ මුහුණ රිදෙන්නට සිප ගත්තා ය.

“කුක්කු අම්තා බූවද මගෙ මැණික…”

“මා එක්ක බොනෝ”

කියමින් ආයු ඇගේ ගෙල වැලඳ උරහිසෙහි මුහුණ හංගාගත්තේ ය.

“බබා දොයියං නැගිටිනකොට මා එන්නකො ළඟට…”

ඔහු අඩ නින්දක නෙතු පියවාන හුරතලයෙන් කීවේ ය. අමාගී වහා  ආර්ය දෙස බැලුවා ය. ඔහු ගේ දෙඅදර අඩ සිනහවකින් හැඩ විය. ඒ සිනහව මනමාල පාට ය. දෑස් දඟකාර ය. ස්ලිම් ෆිට් සුදු කමිසයට ඔහු කඩවසම උතුරනා පිරිමියෙකි. ඒ පිරිමි සුවඳ විලවුන් වලට ඔහු සරාගය වෑහෙනා පිරිමියෙකි.

“ඒකනෙ මාත් කියන්නෙ. අපි නිදාගෙන ඇහැරෙනකොට අපේ ළඟින් ඇඳේ ඉන්න කියල”

 කර්ණිකා කෝෂිකා වල රුධිර පොම්ප කිරීම සීඝ්‍ර වී හදවත උණුහුම් වූ සෙයක් අමාගී ට දැනිණ. කම්මුල් රක්ත වර්ණ වෙත්දී ඇය යන්තම් හැරී බැලූයේ දුරේශ් ඇහෙනා මානයක වේ ද කියා ය.

“ඒ වුණාට ඉතිං මේ ආත්මෙ දුරේ සීයා වෙනුවෙන් වෙන් කරලලුනෙ පුතේ. අපිට ලබන ආත්මෙ තමයි”

“මොනා කියනවද මන්ද ළමයට…”

අමාගී ගේ නෝක්කාඩුවෙහි වූයේ ද උතුරා පිටාර ගලනා ආදර සරකි.

“ඉතිං මං බොරුද කිව්වෙ… ඔයානෙ එහෙම කිව්වෙ”

“මං මෙයාට ආත්ම ගාණකට බැඳිලයි ඉන්නෙ”

ඈ එහෙම කියමින් ආයුව සිරුරට තද කරගත්තා ය.

“මගෙ ඇඟේ තියන හැම ලේ බින්දුවකම ඒ හැඟීම දියවෙලයි තියෙන්නෙ. ඒක මෙයාට දැනෙනව ඇති”

“එයාව විතරයි නේ…”

“දන්නෑ වගේ බොරුවට අහන්නෙපා ඉතිං. මං ඔයාට සංසාරෙටම බැඳෙනකොට මීට වැඩිය ටිකක් ලොකු චූටි කෙල්ලෙක් වෙන්නැති. ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නැති…”

“මං යන්නද මැණිකෙ එහෙනං… දැනටමත් ටිකක් ලේට්ද මන්ද”

ඔහු ඒ මැණිකේ කීවේ ආයුට නොව ඇයට වග අමාගී ගේ හදවතේ ගැඹුරු පත්ලට දැනිණ. ඇය පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය.

“තාත්ති යනවලු බබා. පරිස්සමෙං ගිහිං එන්න කියන්න. බුදු සරණයි කියන්න”

“පයිස්සමෙං ගීං එන්න තාත්තී…බුදු සලණයි”

“බුදු සරණයි මගෙ මැණික් කැට දෙකටත්”

ආයු ගේ කුස සිපගන්නා ගමන් ආර්ය “ආදරෙයි” කියා කීවේත් දෙදෙනාටම පොදුවේ ය.

“මාත්”

අමාගී ඇහෙන නෑහෙන ගාණට මිමිණුවා ය. ආර්ය ගේ  රිය නික්ම ගිය පසු ඈ ආයු සිප ගනිමින් ගෙට ගොඩ වූයේ පතිනියක ගේ හදවතක් දරාගෙනයි. ඔවුන් ට එක් වීමේ වරම් නොලැබෙනු ඇත කියා නොව ඇයට දැනුණේ ඔවුන් දැනටමත් පති පතිණියන් සේ ය. ආදරයෙන් ඈ සන්තෘප්තව සිටියා ය. ආයු ඇගේ හදවතේ මව්වත්කම් යළි යළිත් උරගාමින් සිටියේ ය. එක අතකට ආදරය කියන්නේ ස්ත්‍රී පුරුෂ ශරීර දෙකකට එකාත්මික වෙන්නට පරපුරෙන් හා නීතියෙන් ලැබෙනා අවස්ථාවට පමණක් ද? සැබවින් ප්‍රේමය වූ කලී කවරක් ද? අමාගී ට මේ දැනෙනුයේ ප්‍රේමයයි. කවදාවත් ආර්ය සමගින් එක්වීමක් නො සිදු වූවත් ප්‍රේමය පවතිනු ඇත. එය පෙරත් පැවතිණ. දැනුත් පවතී. මතුවටත් පවතිනු ඇත.

දවාලේ අශ්විනි දුරේශ් ට කතා කළා ය. ඇය හැමදාමත් ඒ ඇමතුම දෙයි. වචනයෙන් නො කීවාට දුරේශ් ද ඒ ඇමතුම එන තුරු දහස් වාරයක් ඔරලෝසුව දෙස බලයි. විටෙක තත්පර කටුව නතර වී ඇත්ද කියා ඇස් වඩාත් කුඩා කොට බලයි.

හැමදාමත් වාගේ තාත්තා ගේ සුව දුක් විමසීමෙන් පසු ඇය මල්ලිලා නංගිලා ගැන කතා කිරීම ඇරඹුවා ය.

“මල්ලිවත් පිළිවෙළක් කරන්නෝනෙ නේද තාත්තෙ… මොනා වුණත් අපිට ලොකු පවුලක් තිබුණ එක මටනං මාර හයියක් වුණා තාත්ති අසනීප වුණ වෙලාවෙ”

“නැත්තං ඉතිං… ඒක හයියක් තමයි. මාත් ඒ යන්ත්‍ර සූත්‍ර ගොඩකට හයි වෙලා ඉද්දි හිතුවෙ මගෙ එවුං කොහොමහරි මාව ගොඩදාගනී කියල තමයි”

“මාත් නැති එකේ… අපේ ගෙදර ඉතිං කොහොමත් එක කොල්ලෙක් වෙච්චි එකේ…මහා අංකල්ලගෙ කොල්ලො හතර දෙනා යෝධ ශක්තියක්”

“හ්ම්”

“ආර්යගෙ යෝජනාව ගැන තාත්ති දැං මොකද හිතන්නෙ…”

වටේ ගසා අශ්විනී ඔතැනට එනු ඇතැයි දුරේශ් සිතුවේ ම නැත. ඔහු මඳ තත්පර වීමක පසු වූයේ අශ්විනී ට කෙබඳු පිළිතුරක් දිය යුතු ද කියා ක්ෂණික අදහසක් නැතිව ය.

“අපි අකමැති දෙයක් කරන්න ඒ ළමයි දෙන්නගෙ අදහසක් ඇති කියල මං හිතන්නෑ. ඒ දෙන්නම හිතුවක්කාර වෙන්නැතුව බොහොම ඉවසීමෙන් ඒ ප්‍රශ්නෙට මූණ දීපු දරුවො. මට වෙලාවකට සුදූ ගැන පුදුමයි. ඒ අපේ චූටි කෙල්ලද කියල හිතාගන්න බෑ. එයා දැන් තනිකර ම හදවතින් අම්ම කෙනෙක්. ඔයා වගේම තමයි ආශ් පුතා. එයාලගෙ අනාගතේට ආර්යගෙ මුල් කසාදෙ ගැටළුවක් වෙන්නැත්තං… මට ඒ දෙන්නගෙ බැඳීම කඩල දාන්නයි කියන්න ඕනකමක් නෑ ආශ් පුතා”

“අපි ආර්යට කැමති වෙමු තාත්ති”

“ආශ් පුතා…”

“එහෙම නැතුව… මට මෙහෙට වෙලා කවදාවත් සැනසීමෙං ඉන්න බැරි වෙයි තාත්ති. සුදූ ආර්යට කොච්චර ආදරෙයිද කියල මං දන්නෙ අද ඊයෙක නෙවෙයි. මගෙ ජීවිතේ මං බලාපොරොත්තු වෙච්ච දේවල් ලබාගෙන සුදූගෙ හීන කුඩු කරල දාන එක කොච්චර වැරදිද කියල සමහර වෙලාවට මට හිතෙනව තාත්ති. ආර්ය නොගැලපෙනව කියල අපි හිතන්නෙ අපේ පැත්තෙන්. අපේ ඔළු වල තියන මාන්නෙ නිසා. එතනදි සුදූගෙ සතුට අමතක කරන එක මහ ආත්මාර්ථකාමී කමක් කියල මට දැන් හිතෙනව. ඒ දෙන්නට සතුටෙන් ඉන්න පුළුවන්නං අපි ඇයි අනිත් දේවල් ප්‍රශ්න කරගන්නෙ”

“ආශ් පුතා එහෙම හිතනවනං මොනතරං හොඳද…”

“මල්ලිත් මාත් එක්ක ඔය ගැන ගොඩක් කතා කළා. මල්ලි කියන විදිහට ආර්ය සුදූට ගොඩක් ආදරෙයි. මල්ලි කියන විදිහට අපේ පවුලට ආර්ය ඕනෙ”

අශ්විනි කතා කළේ මඳ ආවේගයක් එක්ක ය.

“කසුන් ටිකක් වෙනස් තාත්ති. මන් දන්නෑ ඒක තාත්තිට තේරුං කරන්න. ගෙදර දේකට දුවං එන දුරක මං නැති එකේ… සුදූව විතරක් නෙවේ තාත්තිවත් බලා ගන්න දන්න කොල්ලෙක් සුදූට ඕනෙ කියල විතරක් දැන් මං හිතනව. ඒක මගෙ අසරණකම නිසාම නෙවෙයි. නංගිලයි මල්ලියි ගැන හැමදාම මං හිතුවෙ මට වැඩිය හොඳ දේවල් ලැබෙන්න ඕන කියලයි. ඉතිං ආර්ය කියන්නෙ මල්ලි කියන විදිහට අපේ පවුලට ඕනෙම විදිහෙ කොල්ලෙක්නං… මගෙ මේකට අකමැත්තක් නෑ තාත්ති. ඕගොල්ලො ඔක්කොම සතුටෙන් හිටියොත් තමයි මට සැනසිල්ලෙ මෙහේ ඉන්න පුළුවං. මං මේකට හිත හදාගත්තෙ ලේසියෙන් නෙවෙයි තාත්ති. ඒත් වෙන්න ම ඕනෙ ඒකනං… ඇයි මං විරුද්ධ වෙන්නෙ…”

“ආශ් පුතා…”

එතෙක් දරාගෙන උන් සියල්ල බිඳී අශ්විනී දියාරු වී ගියා ය. ඒ කඳුළු වලට ඇයව දිය වී යන හැටි පසෙකට වී ඈ බලාගෙන සිටියා ය.

“පොඩි එවුන්ගෙ අම්ම ඔයා තමයි ආශ් පුතා. මට ආර්යගෙ යෝජනාවට එකඟ වෙන්න බැරුව හිටියෙ සුදූගෙ අම්ම වෙච්චි ඔයාගෙ හිත කඩන්න බැරි කමට. එහෙනං අපි ආර්යව අපේ කොල්ලෙක් විදිහට බාරගමු”

විරුද්ධත්වයක බර දරාගෙන හිඳීමට වඩා එකඟත්වය මත ලිහිල් වීම කෙතරම් සැහැල්ලු හැඟීමක් දනවන්නේ දැයි දුරේශ් අත්විඳිමින් සිටියේ ය. ඔහු ගේ ඇස් කොනකට තෙතමනයක් දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles