“අනේ මන්දා මල්ලි ඔයාගෙ බල කිරීමට යනවා මිසක මම ඇත්තටම කැමති නෑ ලංකාවට යන්න. ගිහින් එන ගමනක් නෙවෙයිනෙ. මම ආයෙ තනියෙන් එන්න ඕන ඔයාව එහෙ තනියෙන් තියලා. ලක්ශාන් මල්ලිලා උන්නට ඒ මිනිස්සුන්ටත් තමන්ගෙ කියලා ජීවිතයක් තියෙනවනෙ. එහෙම එකේ ඔයා ගැන පැය විසි හතරෙම ඒ මිනිස්සුන්ට ඇහැ ගහගෙන ඉන්න බෑනෙ. ඔයා කොහොමද තනියෙන් හැමදේම කරගන්නෙ?” අක්කා ඔස්ට්‍රේලියාවේ ගෙදරින් පිට වෙන්න කලියෙන් පටන් ගත්ත ඔය කතාව ගුවන් යානයෙදී නතර කරගනු ඇතැයි සිතුවත් අයෙන්ද්‍රි උන්නේ ඒ කතාව නතර කරන අදහසක නොවේ. අනික් අතට මොක උනත් මේ තමන්ට කියා ඉන්න පවුලේ සාමාජිකයාය. අනෙක් අතට මල්ලි වෙනදාක වගේ සාමාන්‍ය අයුරෙන් උන්නා නම් මේ ගමන තමන්ට ඔහුව බේබි සිට් කරන්න එන්න වෙන්නෙ නැති බව දන්නවා උනත් තමන් කවුද කියන එක පවා අමතක වෙච්ච මල්ලිට තමන් වට කොට උන්නු ඔස්ට්‍රේලියාවේ ජීවිතය පවා අපහසු වෙද්දි ලංකාවේ තනියෙන් ජීවිතේකට මල්ලි කොහොම මූණ දේවිද කියන බය අයෙන්ද්‍රිට ඇතිවෙච්ච එක සාධාරණය.
“ඉතින් අක්කෙ අක්කටත් පැය විසි හතරෙම මං දිහා බලාගෙන ඉන්න බෑනෙ. එහෙම බැලුවම මම කොහෙ හිටියත් මට තනියෙන් මගෙ වැඩ කරගන්න වෙලාවක් එනවම තමයි. අනික කොහොමත් මම ආපහු ජීවිතේට පුරුදු වෙන්න ඕනනෙ අක්කෙ. මම කරපු ඔක්කොම වැඩ ලංකාව බේස් කරගෙන කරපුවා. ඉස්සරත් මම එහෙමද කියන්න මම දන්නෙ නෑ අක්කෙ ඒ උනාට මට ඔස්ට්‍රේලියාවෙ ජීවිතේ සෙට් වෙන්නෙ නෑ. මට ඒ වයිබ් එක සෙට් වෙන්නෙ නෑ.
මට ලංකාවෙ වෙදර් එක තියා මං මොනවද ලංකාවෙ කරේ කියන එකවත් මතක නෑ. ඒ උනාට මගෙ හිත කියනවා මම ලංකාවට යන්න ඕන කියනවා.
අනික අනික මට අර හීනෙන් තව කල් වද විඳින්න බෑ අක්කෙ. මට ඕන එයාව හොයාගන්න. එයාට මගෙ ජීවිතේ තිබ්බ තැන, මම එයා එක්ක ඉඳියෙ මොන විදියටද, එයා මගෙ කවුද කියලා හොයාගන්න”
“ඔයා ඔය කියන එක මම නම් තාම කියන්නෙ ඇක්සිඩන්ට් එකෙන් ඔයාගෙ නර්ව්ස් වලට වෙච්ච බලපෑම නිසා වෙන දෙයක් වෙන්නැති කියලා මල්ලි. අනික ඔයාට ඔච්චර අනික් හැමදේම අමතක වෙලා තියෙද්දිත් ඔහොම ගෑණු ළමයෙක්ව විතරක් පේනව කියන්නෙ එහෙම කෙනෙක් ඉන්නවනම් එයාව ඔයාගෙ හිතට මාර තදට වැදිලා කියන එකනෙ. එහෙනම් එහෙම කෙනෙක් පහුගිය මාස ටිකේ මතුවෙන්න ඕනනෙ.අඩුම ගානෙ සෝශල් මීඩියා පෝස්ට් එකක් හරි දාන්න ඕනනෙ මල්ලි. අපි ඔයාගෙ ඇක්සිඩන්ට් එක ගැන විස්තර මුකුත් සෝශල් මීඩියාවල එහෙම දැම්මෙ නැත්තෙ ඒක ඔයාගෙ ප්‍රයිවසි එකට ප්‍රශ්නයක් වෙයි කියලා.
මම නම් ඒ නිසා හිතන්නෙම නෑ එහෙම කෙල්ලෙක් ඉන්නවා කියල. මොකක් හරි මානසික දෙයක් වෙන්නැති. හරි ඉඳියමයි කියමුකො? ඔයා කොහෙන්ද එයාව හොයාගන්නෙ? මොකෝ අර කුස කුමාරයට බිසවක් හොයන්න එයාගෙ අම්මා පබාවතිගෙ පිළිමයක් හදලා රට වටේ යැව්ව වගේ ඔය කෙල්ලගෙ පිළිමයක් හදලා රට වටේ හොයන්නය? එහෙම කෙනෙක් ඉන්නවනම් එයා එන්නෙ නැතෑ ඔයාව හොයාගෙන” කියා අක්කා කිව්වද නෙවින් උන්නේ හීනෙන් පේන කෙනා ඇත්තටම ලංකාවේ කොහේ ජීවත් වුණත් ඇයව හොයගන්නවාය කියන අදිටනිනි. අනෙක් අතට ලංකාවට ඇවිත් තමන්ගේ සුපුරුදු නවාතැනේ නැවතුනද නෙවින්ට ඒ සුපුරුදු බවම දැනුනේ නුපුරුදු බවකිනි. මොකක් හෝ අඩුවක් එහි තිබෙන ආකාරයකිනි.
“මොක උනත් උඹේ අක්කා කියන කතාව අපිට පිළිගන්න වෙනවා බං. එහෙම කෙල්ලෙක් උන්න නම් මම දැනගන්නෙ නැතුව ඉන්න බෑනෙ. උඹේ ජීවිතේ මොනවද කියපංකො උනේ මම දන්නෙ නැතුව. එහෙම එකේ ඔය කියන විදියෙ කෙල්ලෙක්ව මට පොඩ්ඩක්වත් මතක නෑ. හරි මම දන්නෙ නැතුව එහෙම කෙනෙක් ඉඳියමයි කියමුකො. ඇයි ඒ කෙල්ල මෙච්චර කල් ගිහින් අපිට මැසේජ් එකක්වත් තිබ්බෙ නැත්තෙ? ඇයි උඹ ගැන හෙව්වෙ නැත්තෙ?
මේ බං ආදි කාලෙ නෙවෙයිනෙ? උඹේ පෝස්ට් එකකට හරි මොකක් හරි කමෙන්ට් එකක් දාලා තිබ්බ නම් අපි කවුරුහරි රිප්ලයි එකක් හරි මැසේජ් එකක් හරි නොදා ඉන්නෙ නෑනෙ? ඒත් එහෙම දෙයක් උනේ නෑ කියන්නේ එහෙම කෙනෙක් නෑ කියන එක නෙවෙයිද?” කියා ලක්ශාන් අහද්දිත් නෙවින්ගෙ හිත කිව්වේ එක දෙයකි.
“ඔයා කවුද, ඔයාගෙ නම මොකද්ද කියන්න මම දන්නෙ නෑ. ඒ උනාට මම කොහොමහරි ඔයාව හොයාගන්නවා. ඔයා කියලාකෙනෙක් නැත්තම් මම කොහොමද ඔයාව විතරක්ම හීනෙන් දකින්නෙ? මට වෙන කිසිම දෙයක් මතක නැතුව මට ඇයි ඔයාව විතරක්ම පේන්නෙ? ඒ කියන්නෙ ඔයා කියල කෙනෙක් ඉන්නවා කියන එකනෙ”
ලංකාවට ආපසු ආව නෙවින් සේනාරත්න අලුත්ම නෙවින් සේනාරත්න කෙනෙකු වී ජිවිතයට පටන් ගත්තෙ එහෙමය. සති කිහිපයක නිවාඩුවකට පස්සෙ අයෙන්ද්‍රිට ආපසු ඔස්ට්‍රේලියාව බලා යන්නට වීම අයෙන්ද්‍රිගෙ හිතට වේදනාවක් උනත් නෙවින් උන්නේ වෙන දෙයක් වෙච්චාවෙ මං කොහොමහරි තනියෙන් ඉන්නවා කියන අදිටනිනි.
“මට හැමදාම කතාකරන්න මල්ලි හොඳේ, මම අයියයි පුතයි එහෙ උන්නෙ නැත්තම් මෙහෙ නතර වෙන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒත් ඔයා දන්නවනෙ මට ඒක කරන්න පොසිබිලිටි එකක් නෑ කියලා. එ නිසා මගෙ හිතට ගින්දර දෙන්නෙ නැතුව පරිස්සමෙන් ඉන්න.
අනික අනේ ප්ලීස් මල්ලි ආයෙ වාහනේ නම් දැන්ම ඩ්‍රයිව් කරන්න යන්න එපා. ඩොක්ටර් ඒත් කිව්වා ඔයාට අවුරුද්දක් දෙකක් යනකම් වාහනේක ඩ්‍රයිවින් සීට් එකක වාඩිවෙන්නවත් දෙන්න එපා කියල ශොක් එකක් ඒවි කියල. ඒ නිසා ලක්ශාන් මල්ලි එක්ක හරි වෙන ගමනක් යනවනම් හරි කැබ් එකක් දාන් යන්න මල්ලි” කියා යන්නට කලින් අක්කා දාහක් අවවාද දී ගියත් නෙවින් සේනාරත්න උන්නේ කොහොමහරි තනියෙම ජීවිතේට මූණ දෙන්න හිතාගෙනය. අවුරුදු හතලිහකට කිට්ටු වෙච්ච මනුස්සයෙක්ට ආයෙම ජීවිතේ දිහා අලුතෙන් බලන්නටත්, අලුත් ජීවිතයක් අරඹන්නටත් අමාරු බව නෙවින් දැනගත්තේ එහෙම කරන්න පටන් ගත්තයින් පස්සේය. ඒත් මොන දෙයක් කර හෝ තමන් ජීවත් වෙන්න ඕන බව දන්න හන්දාම නෙවින් හිත හයිය කරගෙන උන්නේය.
ජිම් යන්න පටන් අරගෙන, ආපහු මොඩ්ලින් කෝච් ට කතාකර තමන් ආ බව දැනුම් දී වැඩ කටයුතු පටන් ගත්තයින් පස්සේ ජීවිතේ පොඩ්ඩක් විතර සුපුරුදු ට්‍රැක් එකකට වැටුණ බව නෙවින්ට තේරුණේ තමන්ට ඔවුන්ව නුපුරුදු වුණත් සුපුරුදු හිතවත්කමින් තමන් පිළිගන්න ඒ වැඩ රාජකාරි අස්සේ බොහෝ දෙනා කටයුතු කල නිසාවෙන්මය.
“වී මිස්ඩ් යූ අ ලොට් නෙවීන්. ඉට්ස් ගුඩ් යු ආ බැක්” කියා බොහොමයක් රූමතියන් වී බදා වැළඳගනිද්දී ඒ වත්සුණු තැවරූ සියලුම මූණූ අස්සෙ නෙවින් හෙව්වේ හීනෙන් පේන ඒ රූපයමය. “මගේ විතරයි නේද?” කියා තමන් දිහාට යොමු කල මීන දෑසමය. එහෙත් අටෝ රාසියක් වැඩ රාජකාරිද, පාටි ද, ක්ලබින්ද අස්සේ පවා හමුවන හැම සොඳුරු රුවති යුවතියකගේ මුහුණ අස්සේ පවා නෙවින්ට ඒ රූපය හමුවුනේ නැත.
ප්‍රේමණීය හදවත් එක්කරන්නේත් වෙන්කරන්නේත් දෛවයයි. නෙවින්ට ශූට් එකකට නුවර යන්නට සිදුවුණේත්, මොඩ්ලින් ඒජන්සි එකෙන් “නෙවින් සේනාරත්න ඊස් බැක් ඉන් ස්‍රී ලංකා” කියා දැමූ ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එක අයේශ්වරීගේ නෙත ගැටුණේත් ඒ දෛවය නිසාවෙන්මය.
“අර ජරා මිනිහා ආයෙ ලංකාවට ඇවිත් අක්කෙ? රෙද්දක් ඇඳගෙනද දන්නෙ නෑ ඕකා ඇවිත් තියෙන්නෙ. අම්මපා මට අහු උනොත් නම් මම ඕකව මරනවා” කියා අයේශ්වරී කෝපයෙන් කිව්වේ ශාර්වරීටය. එහෙත් ශාර්වරීට දෙන්නට තිබුණේ ඊට වඩා වෙනස් උත්තරයකි. ශාර්වරී ඒ දිහාව බැලුවේ වෙනස් විදියටය.
“ඔයා එයා ගැන කිසිම දෙයක් මට කියන්නවත්, පෙන්නන්නවත් එපා නංගි. මං සදහටම එයාව මගෙ හිතෙන් අයින් කරලා ඉවරයි.
කොටින්ම ආයෙ එයාව මගෙ ඇස් ඉස්සරහට ආවත් එයාව නොදැක්කා වගේ, අඳුරන්නෙ නැතුව ඉන්න පුලුවන්”