මල් බිඟුන් – 51

අමාගී ත්‍රිරෝද රියෙන් බැස ගෙට ගොඩ වෙන විට දුටු දර්ශනයෙන් වික්ශිප්ත වූවා ය. බුෆේ කට්ටළයක් කදිමට සකසා ඒවායේ කේටරින් සේවයකින් ගෙනෙනා ලද ආහාර ද්‍රව්‍ය අසුරා තිබුණේ සාදයකට සේ ය. මේ හදිසියේ ගෙදර සාදයකට සූදානම් වූයේ කෙසේ ද? ඒ ඇයි? ඊට හෝරාවකට දෙකකට පෙර දුරේශ් ඈ අතට මුදල් දුන්නේ ගෙදර මාසික පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන ලෙසයි. ඒ කාලාන්තරයක්    තිස්සේ මේ දිනය ආශ්‍රිතව මල්වත්තගේ ගෙදර සිදු වන ක්‍රියාවලියකි. වෙනදාට මාසේ බඩු ගේන්නට යන්නේ අශ්විනී ය. අමාගී ඇගේ තනි නොතනියට යන්නී ය. එබැවින් බඩු ලැයිස්තුව ගැන අවබෝධයක් වේ. අශිවිනී ගෙදරින් නික්මුණාට පස්සේ මාසයක දෙකක තිස්සේ ඒ වගකීමට උර දෙන්නේ ද අමාගී ය. මුලින් සති අන්තයේ දිනෙක දුරේශ් සමග ඒ කඩපිලේ යාම කළේ වී ද ඔහු ගිලන් වී සිටි පසුගිය මාසයේ දී සේ ම මේ මස ද කඩේ යාමට අමාගී රුසිරු ට කතාකොට ගත්තී ය.

“මේ මොකද තාත්ති මේ…”

සිදු වෙන්නට යන්නේ කුමක් දැයි ඇත්තට ම ඇයට සිතාගත හැකි වූයේ නැත. දුරේශ් මුව මඳහසක් නගාගෙන දියණිය වෙත පැමිණියේ ය.

“පොඩි පාටියක්”

“පාටියක්… ඇයි ඒ…”

“සතුටට ඉතිං”

“සතුටට… මොකද්ද සතුට…”

“ඇයි ළමයො… මැරෙන්න ගිහිං ආයෙ මං ජීවිතේ පැත්තට හැරිච්ච එකම සතුටක් නෙවේද… ඕගොල්ලො හැම කෙනෙක්ම ඒ දවස් ටිකේ කොච්චර මහන්සි වුණාද… ඒ වෙනුවෙන් මං පුංචි සංග්‍රහයක්  කරන්න ඕනෙ කියල හිතුණ”

“හරි නරකයි. හොරා වගේ මේ වෙලාවෙ මාව ටවුන් යැව්වෙ ඕක තමයි”

දුරේශ් හඬ නගා සිනහ වූයේ ය. ඔහු මහානාම ගෙදර අය රෑ කෑමට කැඳවූයේ ද එසේ ම පවසමිනි. ඒ වූ කලී කදිම සතුටු සාදයකි. කවුරුත් කෑමෙන් බීමෙන් ද සතුටු සාමීචී වලින් ද විනෝද වූහ. ආයු ගේ හුරතල් කතා වලට සිනහ වූහ. අමාගී ආර්ය දෙස නො බලන්නට ප්‍රවේසම් වූවා ය. නමුත් ඇයට දැනුණේ හැම තැනෙක ඔහු ගේ දෑස් ඈ ලුහුබඳිනා බවකි.

ඒ හදිසි කැඳවීම කුමක් අරබයා ද යන්න ගැන දුරේශ් විවෘත ව කතා කළේ කෑමෙන් පස්සේ ය. ඒ වෙලාවේ සන්දේශ් අශ්විනී ට වීඩියෝ ඇමතුමක් ගෙන ඇය සියලු දෙනා සමග කතා බහ කරමින් සිටියා ය.

“මහා… මණී… මේ සතුටු වෙලාවෙ මට කියන්න වැදගත් කාරණේකුත් තියනව. ඇත්තටම මේකට මං ටිකක් කල් ගත්ත වැඩිද කියලත් හිතෙනව. ඒ වුණාට… සමහර දේවලට අපි කල් ගන්න තරමට හොඳයි මණී. මං හිතන්නෙ ඒ කාලය අපි හැම කෙනෙක්ටම අපිව තව තවත් තේරුං ගන්න හේතුවක් වෙන්න ඇති. අපි ගැන තව තව ගෞරවෙන් හිතන්න හේතුවක් වෙන්න ඇති. අපිට කොච්චර අනිත් අයගෙ මත ඉවසන්න පුළුවන්ද කියල බලන්නත් ලැබුණ අවස්ථාවක් වෙන්න ඇති. අපි දෙගොල්ලො දැන් කොහොමත් නෑයොනෙ. මහා… වෙන්න පුළුවං හැම විදිහටම අපි මස්සිනාල වුණාවෙ. ආර්ය පුතාව මගෙ බෑණා කරගන්න ඔන්න මං නිල වශයෙන් කැමැත්ත දුන්න… මගෙ නෙවෙයි අපේ පවුලෙ කැමැත්ත”

එක මොහොතකට මුළු මල්වත්තගේ ගෙදර ම මහා නිහැඬියාවක ගිලී ගියේ ය. හුස්ම ගන්නා හඬවල් පවා එකිනෙක පැටලී ඇහුණ තරම ය. අමාගී ගේ හදවත මැද දෙමෝලෙන් පිටි කොටනා මහ ඝෝෂාවක් වූයේ ය. තාත්තා ගේ පුරුදු මුණිවර හඬ මේ වෙලාවේ සිය කන් අඩි පුපුරුවන්නට හදන්නේ කෙසේ දැයි ඇයට තේරුණේ නැත. කිසිදු හේතුවක් හිතා ගත නො හැකි ව අමාගී ගේ දෑස් වලින් දිය ඇලි සේ කඳුළු කඩාගෙන වැටිණි. සන්දේශ් ඇගේ හිස් මුදුන පිරිමදිමින් ජංගම දුරකතන තිරය ඇය වෙත පෑවේ ය.

“ඉතිං මොකටද ඔය අඬන්නෙ… ඕන වෙලා තිබුණෙ ඕකනෙ”

අශ්විනී ඇයට සරදම් කළා ය. එතෙක් ඒ සිදු වූ දේ අදහාගත නො හැකිව පාෂාණිභූත වී සිටි මණී නැගිට අමාගී වෙතට විත් ඈ තදින් බදාගත්තා ය.

“අනේ දෙයියනේ… දෙයියන්ට විතරක් නෙවෙයි දුරේ දුරේටයි ආශ්ටයිත් පින් සිද්ධ වෙන්න ඕනෙ මේ දීපු සතුටට. මේ මගෙං කිරි බීපු එකම කෙල්ල. කොයි කල්පයක් ගත වෙලා හරි ඒ කෙල්ලව මටම ලැබෙන්න අපි කොච්චර පිණක් කරල ඇද්ද දෙයියනේ…මට මේක හීනයක් වගේ”

අමාගී මණී වැළඳගෙන ඉකිබින්දා ය. ඊලඟට ඇගෙන් මිදී දුරේශ් වෙත ගොස් තාත්තා බදා ඔහු ගේ පපුවෙහි මුහුණ හොවා ගත්තා ය. කියන්නට දහසක් දේවල් ඇගේ මතකයට විත් එසැනෙන් අමතක ව ගියේ ය. ඇය නො දැන සිදු වූ එක ම දෙය නො කඩවා කඳුළු ගැලීමයි.

දුරේශ් එක දිගට ම දියණිය ගේ හිස පිරිමැද්දේ ය. අමාගී ගේ කඳුළෙන් ඔහු ගේ කමිස පපුව තෙත බරිත වෙමින් තිබිණ. සන්දේශ් අතින් සිය ජංගම දුරකතනය ආර්ය අතට මාරු වූයේ අශ්විනී ගේ ඉල්ලීම පිටයි.

“ඔන්න අපේ ගෙදර මැණික අපි ඔයාට දෙනව ආර්ය”

අශ්විනී සිනහ වෙන උත්සාහයක් දැරුවාට ඇගේ උගුර පාමුල ගිනියම් ගුලියක් හිර වී තිබිණ. සිනහ වෙනවාට වඩා ඒ වෙලාවේ හඬන එක පහසු බව ඇයට දැනිණ.

“අපිට මොන ප්‍රශ්න තිබුණත්… මොන අඩුපාඩු තිබුණත් ඒ කිසි දෙයක් දැනෙන්නවත් නොදී අපි මලක් වගේ හදපු අපේ චූටි නංගි. එයාව අපි බලාගත්තටත් වැඩිය ආදරෙන් බලාගන්න කියල විතරයි මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ”

“ඒ ගැන සැකයක් තියාගන්න එපා අශ්විනී”

ආර්ය කතා කළේ ද උගුර යටිනි. මේ හදිසි ප්‍රහර්ෂය දරා ගන්නා විදිහක් ගැන සැබවින් ඔහු දැන සිටියේ නැත. එනිසා ම කඳුළක් පිසගන්නට තරම් ආර්ය සංවේදී වූයේ ය. සන්දේශ් ඔහු ගේ පිටට තට්ටුවක් දැමුවේ ය.

“සුදූව විතරක් නෙවෙයි. මං වෙනුවෙන් ඕගොල්ලො හැමෝම අපේ පවුලම බලාගන්න. දැන් ඒගොල්ලොන්ට ඉන්නෙ ඕගොල්ලො. හදිස්සියකදි එන්න ඕන වුණත් මං ඉන්නෙ දුවං එන්න පුළුවං දුරක නෙවෙයිනෙ”

අශ්විනී නාසය උඩට අදිමින් කඳුළක් පිස්සා ය. ශාක්‍ය නැගිට ආර්ය වෙත විත් දුරකතන තිරයට එබුණේ ඒ වෙලාවේ ය.

“අයියෝ මොකද අප්ප මේ මළ ගෙයක්  වෙලා වගේ කට්ටියම අඬන්නෙ…”

අශ්විනී කඳුළු අතරින් සිනහ වූවා ය.

“දුකට විතරක් නෙවේ සතුටටත් ඇඬෙනව ශාක්‍ය”

“හරි හරි ඉතිං දැං අඬල සතුට සැමරුව ඇති. දැං තියෙන්නෙ බීල සතුට සමරන වෙලාව”

“අන්න ඒක මරු අයඩියා එක”

පූජන නැගිට ගත්තේ උනන්දුවෙනි.

“අද වැටෙන්න බොන්න ඕන දවසක් ආශ්”

“බීහල්ල උඹල ඉතිං හිතේ අමාරුව යන්නත් එක්ක”

අශ්විනී අදහස් කළ දේ අයිය මලෝ සියලු දෙනාට ම වැටහිණ. ඔවුන් ඊට සිනහ වන්නට වූයේ බඩවල් අල්වා ගනිමින් කොක් හඬලමිනි.

“දුලේ සීය නෝටිය. හොඳ නා. මගෙ මාව ඇඬෙව්ව. පව්…මා…අඬන්නෙපා මා… දුලේ සීයට දෙන්නං මං පාලක්”

ඒ අතරේ ආයු අමාගි වෙත විත් හැඬුම්බර සරකින් ඇගේ ගවුම් කොනක් අල්වා ගත්තේ ය. දුරේශ් වෙතින් මිදුණ යුවතිය ආයු දෙස බැලුවා ය. ඔහු සිය පිවිතුරු නිල් දෑස් ඉහළට ඔසවාගෙන ඇදෙස බලා හිඳී.

“මැණික”

කියමින් අමාගී ඔහු වඩාගත්තා ය.

“මා පව්. ආදෙයි මං…”

කියමින් ආයු ඇගේ කඳුළු කම්මුල් පිස දැමුවේ ය.

“කොහෙද දුරේ අංකල් අපිට විස්තරේ කිව්වෙ නෑනෙ කලින්. කිව්වනං අපි මොනාහරි ලෑස්ති කරගන්නවනෙ අප්ප. ශිහ්. මෙච්චර වැදගත් දවසක අමුවෙන්ම කෑවනෙ අපි”

“මුං බලන්නකො මහා. බේබද්දො වගේනෙ”

“හරි හරි ලොකයිය ගානෙ හෙට ඕනෙ පාටියක් හරිද…හැබැයි එතකං අද තව කෝපි එකක් බිව්වනං මොකද…”

“ඒකනං හොඳයි තමයි. කොහොමත් අද දැන්ම නිදියන එකකුත් නෑනෙ”

කා බී විසිර යන්නට සිතා සිටි අයට තව දුරටත් රැඳී සමරන්නට තරම් අලුත් සතුටක් ඉපිද තිබිණ. සාන්වී අමාගී ද සමගින් මහානාම ගෙදරට ගියේ කෝපි හදාගෙන එන්නටයි. යටගිය මතක අලුත් කරමින් නිදි වරණා මෙහෙව් රැයක් ඉඳහිට මේ ගෙවල් දෙකේ ඇත්තන්ට උදා වේ.

“ලොකූ හිත වෙනස් කරගත්ත එකම ඇති සුදූ. කොහොමටත් නොදන්න යක්කුන්ට වැඩිය මේ දන්න යක්කු හොඳයි කියල අන්තිමට එයා තීරණේ කරන්නැති”

“අනේ මන්දා පොඩී… මට තාම හිතාගන්න බෑ. හරියට නිකං… බලාපොරොත්තු අතෑරල හිටපු වෙලාවක ආපු සුබ පැතුමක් වගේ…”

“මේ ආයු ඔයාව හොයනව සුදූ”

කියාගෙන, ආයු ද වඩාගෙන ආර්ය මහානාම ගෙදර මුළුතැන්ගෙය වෙත ආවේ අක්ක නගෝ කෝපි හදන්නට සූදානම් වෙත්දී ය.

“තුදූ… හොලා වගේ මාව දාල ආව නේද”

කියමින් ආයු ආර්ය අත හිඳියදී ම අමාගී ගේ ගෙල වැළඳගත්තේ ය.

“වතුර උතුරනකොට මං එන්නංකො”

කියාගෙන සාන්වී මතු මහළට නැගුණා ය. ආයු ආර්ය අතේ හිඳියදී ම අමාගී ගේ හිස ඔවුන් වෙත නැඹුරු කරගත්තේ ය. එක අතකින් ආයු වඩාගත්වන අනිත් අත අමාගී ගේ බඳ වටා යවා ආර්ය ඈ තවත් ඔහු ට ලං කරගත්තේ ය. අමාගී ආර්ය ගේ පපුතුර මඳකට මුහුණ හොවාගත්තා ය.

“මේක ඇත්තක් නේද සුදූ…”

ආර්ය ගේ හඬ ඇගේ හද ස්වර සුසර කරනා ලදී. තව තවත් ඔහු ගේ උණුහුමට ගුලි වනු විනා ඇය වදනකුදු දෙඩුවේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles