එකම එක හාදුවක් – 44

0
2445

වැස්සෙන් බේරෙන්නට සෙවණකට දුවගෙන යද්දී නෙවින් තමන්ගේ පස්සෙන් එන්නෙ නැතුව කෙල්ලෙක්ගෙ අතෙන් අල්ලගෙන වෙන තැනකට දුවගෙන ගියේ ඇයිද කියන එක ලක්ශාන්ට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නැත. නෙවින් උන්නේ ඒ කෙල්ලගේ අතින් අල්ලාගෙන ඒ මූණ වෙතටම එබීගෙනය. එහෙත් ඒ කෙල්ල උන්නේ නෙවින්ගේ අත අතාරින්න දන්න තරමං දහං ගැට දමමිනි. 

“මේ යකා මේ කෙල්ලෙක්ගෙ ගුටි කාලා විතරක් බේරුණොත් ඇති” කියා හිතිච්ච හිතුවිල්ලම වැස්ස අස්සෙත් නෙවින් උන්නු තැනට ලක්ශාන්ව මෙහෙයවන්න හේතුවක් වෙච්ච බව කියන්න ඕනය. 

“මොකද්ද බං කරන්නෙ? ඔය ළමයගෙ අත අතාරින්න” කියා නෙවින් සේනාරත්න ලඟට ඇවිත් කියූ කෙනා ලක්ශාන් බව ශාර්වරීට අමතක වී තිබුණේ නැත. නෙවින්ට ජරා මිනිහා කිව්ව දවසේ නෙවින්ගේ අපාට්මන්ට් එකට ඇවිත් උන්නේත් මේ මනුස්සයාම බව ශාර්වරීට අමතක වී තිබුණේ නැත. ලක්ශාන් තමන් කවුද කියන එක නොදන්න එක සාධාරණය. එහෙත් මෙච්චර දෙයක් තමන් අතර වෙලා තිබුණයින් පස්සෙත්, කිසිම සද්දයක් බද්දයක් නැතුව අතුරුදහන් වී ගියාට පස්සේත්, ආයෙ එකපාර මෙහෙම පේන්න මතු වුණායින් පස්සෙවත් රිදෙන තරම් හයියෙන් තමන්ගෙ අත අල්ලගෙන ඉන්නවා හැරෙන්න අඩුම තරමේ අඩුම තරමේ “සොරි” කියන්නෙවත් නැතුව බලන් ඉන්න නෙවින්ට සමාව දෙන්නෙ නැති බව ශාර්වරී ගෙවුණ මාස කිහිපයේ දහස් වන වතාවටත් හිතුවාය.

“හිත හදාගන්න යද්දිම ඇයි ආවෙ? ඇයි ආයෙ ආවෙ? මාව අමතක කරල උන්නු පහුගිය කාලෙ වගේ ඉන්නෙ නැතුව ඔයා ආයෙ ආවෙ මම අමාරුවෙන් නග්ග ගත්ත හිත ආයෙ විනාස කරල ආතල් එකක් අරගෙන අතැරල දාන්නද?” කියා අහද්දිත් ඇස්වලින් කඳුලු විදියට වැක්කුරුණේ පසුගිය මාස කිහිපය පුරාවට ගල් කරගෙන උන්න හිත දියවෙමින් තෙත කොණ්ඩයේ සිට කම්මුල් දිගේ බේරෙන වැහි වතුර බින්දු හා මුසුවෙමිනි. අමාරුවෙන් උනත් නෙවින් තදට රිදෙන්න අල්ලගෙන උන්නු අත අතෑරවාගෙන ශාර්වරී දුවගෙන ගියාය. නෙවින් ඒ වෙලාවෙත් උන්නේ ගල් ගැසීමෙනි.

“කවුද බං ඒ? උඹ දන්න කෙනෙක්ද?” ලක්ශාන් ඇහුවේ ඇත්තටම මේ වෙච්ච දේවල් හිතාගන්න බැරිවෙච්ච හන්දාය. මෙහෙම සිදුවීම් පොත්වල කතන්දර වල චිත්‍රපට වල කියවා අසා රසවිඳ තිබ්බාට ඇත්තටම එහෙම දේවල් වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ ලක්ශාන්ට එවෙලෙත් හිතුණේය.

“නෙවින්, නෙවින්” කියා ලක්ශාන් උරහිසට අත තබා සොලවද්දීය නෙවින් ආපහු පියවි සිහියට ආවේ. 

“එයාව නවත්තන්න මචං” කියා නෙවින් වැස්සේම ඒ කෙල්ල පස්සේ දුවගෙන යද්දී එතනට වී ඉන්න බැරි හන්දාම ලක්ශාන් වැස්ස නොතකා නෙවින් පස්සේ දුවගියේය.

“උඹ දන්නවද ඒ කෙල්ල?” කියා නෙවින් පස්සේ දුවගෙන යන ගමන් ලක්ශාන් ඇසුවේ කෑගසමින් වගේය. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉස්සර තරම් ලොකුවටම ජිම් යන්න බැරිවෙච්ච, මාස කීපයක් එක දිගටම රෝහල් ඇඳක ඉන්න වීම නිසා මෙන්ම කකුල තවමත් රිකවර් වෙමින් පවතින හන්දා තමන්ට ඉස්සරහින් දුවගෙන ගිය නෙවින්ට ලංවෙන එක ලක්ශාන්ට අපහසුවක් උනේ නැත. 

ඒ වෙද්දිත් දළදා වීදිය දිගේ අර කෙල්ල දුවගෙන යනවා ලක්ශාන්ට නොපෙනුනා නොවේ. නෙවින්ගේ දෙනෙත් පවා එක එල්ලේ යොමු වී තිබුණේ ඒ වෙතමය. වැස්ස හන්දා නෙවින්ගේ මූණ පුරා රැඳී තිබුන වැසි වතුර බිඳු අතරින් කඳුලු බිඳු වෙන් කර හඳුනාගන්න ලක්ශාන්ට නොහැකි උනත් නෙවින්ගේ ඇස් මුල තැවරී තිබුණ රත නෙවින්ගේ හිත අස්සේ තිබ්බ වේදනාව ලක්ශාන්ට පෙන්නා දුන්නේය.

“උඹ ඒ කෙල්ලව දන්නවද බං?”

“ඒ තමයි අර කෙනා. මං කිව්වෙ හීනෙන් පේනවා කියලා. ඒ එයා. අනේ බං එයාව නතර කරපංකො. එයා මට බැනල කිව්ව දේවල් මොනවද කියන්න මම දන්නෙ නෑ. ඒ උනාට එයා ඒ දේවල් කිව්වෙ එයයි මමයි අඳුරන හන්දා නේද?” කියා නෙවින් අහන්ද්දී ලක්ශාන් දුවගෙන ගියේ ඒ කෙල්ලව නතරකරන්නය. ඒත් කලබල වෙච්ච හිත අස්සෙන් උනත් “බස් එකක ගියොත් එයාට මාව අල්ලගන්න ලේසියි” කියා හිතිච්ච හන්දාම ශාර්වරී තෙමීගෙන, තෙත බරිත වීගෙනම ගොස් ත්‍රීවිල් එකකට නැග්ගාය.

“අයියේ ගලහා පාර පැත්තට යන්” කියා කතාව අවසන් කරද්දිත් ශාර්වරීගේ ඇස්වල පිරිච්ච කඳුලු කම්මුල් දිගේ වැක්කෙරෙන්න පටන් ගත්තාය. නන්නාදුනන ත්‍රිරෝද රියක මෙහෙම කෙල්ලෙක් අඬ අඬ යන එක තමන්ට හොඳ නැති බව දන්න හන්දාම ශාර්වරී බෑග් එකේ තිබ්බ ලේන්සුව ගෙන මූණට තද කරගෙන කඳුලු එක්ක සමෝසමේ එළියට එන්නට දඟලන ඉකිය වළක්වා ගන්න අසීරු උත්සහයක් ගත්තාය. නෙවින් දන්නවාය කිව්ව කෙල්ල පස්සේ දුවගෙන ඇවිත් අඬ අඬ උන්නු ඇය රැගත් ත්‍රීවිල් එක තමන් පසුකර යද්දී ලක්ශාන්ට කරන්න තිබිච්ච එකම දේ අත් දෙක ඉණට තබාගෙන වැස්සේ කල්පනා කරමින් එතන හිටගෙන ඒ දිහා බලාගෙන උන්නු එකය.

“මහත්තයා ටුක් එකක්ද? නගින්න” කියා වෙන ත්‍රිවිල් රියදුරෙක් ඇවිත් කතා කරද්දිය ලක්ශාන් ආපහු තමන් ගතෙන් හිටගෙන උන් තැනට හිතෙන් ආවේ.

“අනේ අයියෙ අර ගෑණු ළමයෙක්ව අරගෙන මෙතනින් ගිය නිල් පාට ත්‍රිවිල් එක අයියල අඳුරනවද?”

“නිල් පාට ත්‍රිවිල් එක කිව්වේ…

ආහ් කුසුම් මල්ලිගෙ වීල් එක.ඔව් මහත්තයා ඇයි මොනවහරි දාලා ආවද?”

“නෑ නෑ අයියෙ අපෙ නංගි කෙනෙක් පොඩි කේස් එකක් වෙලා ගියා ඒකයි. ගියෙ කොහෙටද කියලා දන්නෙ නැ.”

“ආහ් මාත් දැක්ක කවුද ගෑණු ළමයෙක් අඬ අඬ එනවා. කෝල් එකක් දීලා බලන්න නම් පුලුවන් මහත්තය. හැබැයි කුසුම් මල්ලි වීල් එක එලවද්දි ෆෝන් එක ගන්නෙ නෑනෙ. අද කොහොමත් වැස්ස හන්දා ගන්න එකක් නෑ මහත්තයා”

“එයා ආයෙ මෙතනට ඒවිද ඒ හයර් එක ඉවර කරලා?”

“අපෝ ඔව් ඔව්, අපි හත අට වෙනකම් මෙතන ඉන්නවනෙ කොහොමත් මහත්තයා බයවෙන්න එපා. මං කෝකටත් කෝල් එකක් දීලා තියන්නම් මහත්තයා ඉන්නකො. ඒ ගෑණු ළමයා අඬ අඬ යද්දිම මට ඒත් හිතුණා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තමයි කියලා. ඒත් ඉතින් අහන්න කියලය. අනික ඉතින් ඕනතරම් ඔය වගෙ අඬ අඬ මෙතනින් බස්වලයි ටුක් වලයි නැගලා ගෑණු ළමයි යනවා” කියා ත්‍රිරෝද රියදුරා හිනාවෙද්දිත් ලක්ශාන් කලේ හිනාවෙන අතරම හීන් සැරේ තමන් දිහාවට ඇවිදගෙන එන නෙවින් දිහා බලා අතෙන් “වරෙන්” කියා කිව්ව එකය.

දළදා මාළිගය අද්දර වීල් පාක් එකේ එහෙම වෙද්දි ගලහා පාරේ අත්තම්මලාගේ ගෙදර ඇතුලේත් එළිය තරම්ම මහ වැස්සක් ඇද වැටෙමින් තිබුණි. ඇඳට වැටී අඬ අඬ උන්නු අක්කාගේ අත අල්ලාගෙන උන්නු අයේශ්වරී නම් කලේ අක්කාට හොඳට බැණ වැදිච්ච එකය.

“දැක්කත් නොදැක්කා වගේ අහක බලාගෙන යනවා කිව්ව එක්කෙනා අන්තිමේ ඔය කරගෙන තියෙන්නෙ. මොන මගුලකටද අක්කෙ ඔයා ඒ මිනිහා එක්ක කතා කරන්න ගියේ. අතෙන් අල්ලගත්ත වෙලේ අත ගසාදාලා එන්නෙ නැතුව තව ඌ උස්සරහ කඳුලු වක්කරන්න ගියේ. දන්නෙ නෑ වගේ එන්නනෙ තිබ්බෙ. ඔයත් නිකන් අර බොළඳ ගෑණි වගේ අඬන්න තියාගෙන. මං හිතුවා මෙච්චර කල් ගෙවුණට පස්සෙත් ඔයා හිත හදන් ඇති කියල. අර මූසල මිනිහටත් මෙතන වෙන ගෑණු නැති උනාම ආපහු එනවා” කියා අක්කට බැන්නට අයේශ්වරී හිත ඇතුලෙන් ඇත්තටම දුක් වුණාය. 

“හැංගිල ගිය විදියටම ඉන්නෙ නැතුව මේ මූසලයා ආයෙ ආවනෙ මේ මෝඩිගෙ හිත කඩලා යන්න. අම්මපා අහු උනොත් නම් මං මරණවා ඕකව” කියා හිතුවට නෙවින් සේනාරත්න වැනි රටේ බොහෝ දෙනා දන්න හඳුනන කෙනෙක්ගෙන් පළිගන්න තමන්ට හැකියාවක් නැති විත්තිය අයේශ්වරී නොදැන උන්නා නොවේ. 

අඬ අඬ ඉද්දීම අක්කාට නින්ද ගොස් තිබෙනු තේරිච්ච හන්දා අයේශ්වරී ඉස්තෝප්පුව පැත්තට ආවේ ආච්චි හදා දුන් තේ කෝප්පය අතට අරගෙනය. “තරුණ කාලෙ හිත් කැඩුණම ඉතින් සමහර ළමයින්ට හිත් හදාගන්න කල් යනව පුතේ. අඬල දොඩල හරි හිත හදාගන්න කාලෙ ගන්න වෙනවා” කියා තේ කෝප්පෙ අතෙන් තියන ගමන් ආච්චි කිව්ව වෙලේ අයේශ්වරී කලේ සිහින් සිනාවක් නගන එකය. හිත් කැඩෙන එක ඇත්තකි. ඒත් අවංක මිනිස්සුන්ගේම හිත් කැඩෙන්නෙ ඇයිද කියන එක ප්‍රශ්නයකි.

“බරාස්” හඬින් වාහනයක් විත් ගේ ඉස්සරහ නතර කරනු ඇසුණේ බී අහවර වෙච්ච තේ කෝප්පය තියන්නට යන්න ආපහු ගේ ඇතුලට හැරෙද්දිය.

ඒ කවුද කියා බලන්නට අයේශ්වරී ආපහු හැරුණේත් ලක්ශාන් වාහනයෙන් බැස්සෙත් එකම වෙලාවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here