පෙමාතුර 18

අප හමු වූයේ වසන්ත කාලයක නොවේ. රට පුරා වූයේ ප්‍රශ්න ය. සිව් දෙසින් අසන්නට ලැබුණේ මිනිස් වර්ගයා සිය පැවැත්ම හෝ තහවුරු කර ගත නොහී හෙළනා සුසුම් ය. ඖෂධ නොමැති වීම මත සමීපතමයන් මිය යනු ඇකැයි  බියපත් මිනිසුන් ගේ අඳෝනා ය. ජීවත් වෙන්නට ඇති අයිතිය තහවුරු කර ගනු වස් කරනා අරගල ය. හැම පැත්තෙන් ඇසුණේ සටන් පාඨ ය. ඉල්ලීම් ය. ඒ කිසිත් නෑසූ කන් ව බල ලෝභී දේශපාලකයන් කරනා පාරම් බෑම් ය.

 ජීවත් වීමේ අවම අවශ්‍යතා ටික වෙනුවෙන් හෝ මිනිස්සු සටන් වදිමින් සිටියහ.

“මේ වෙලාවෙ අපි පුළු පුළුවන් විදිහට ළඟ පාතකින් ම අමාරුවෙන් ඉන්න කීප දෙනෙක්වත් බලා ගන්න ඕන. මිනිස්සු වෙනුවෙන් මිනිස්සු විතරයි ඉන්නෙ”

අම්මා අතිශය සහකම්පනයෙන් යුතු ව අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මලු පිළියෙල කළා ය. පුංචී ගේ රියෙහි පටවා ගෙන අප ඒවා බෙදා දෙන්නට සූදානම් වෙත්දී විසල් ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් වූයේ ය. ඒ අනුව අප මෝටර් රථ දෙකෙහි ම බඩු මලු පටවා ගෙන ගොස් ඒවා අත්‍යවශ්‍ය පුද්ගලයන් සොයා බෙදා දුන්නෙමු. 

“ලංකාවෙ වැඩිය හිඟන්නො නෑ. හිඟන්නො කියන්නෙ ඉල්ලගෙන කන මිනිස්සු. ලංකාවෙ දුප්පත් ම මිනිස්සු වුණත් දෑතෙ මහන්සියෙන් මොනා හරි කරල රටටයි ගවන්මන්ට් එකටයි බරක් නොවී ජීවත් වුණා. ඒ මිනිස්සු කාගෙන්වත් මුකුත් ඉල්ලුවෙ නෑ. ඒ මිනිස්සුන්ටත් අභිමානයක් තිබුණ නිසා. දේශපාලකයො රටේ පුරවැසියන්ගෙ අභිමානයත් එක්කයි සෙල්ලං කළේ”

භාණ්ඩ මලු බෙදා දීමෙන් අනතුරුව ගෙදර විත් තේ බොන ගමන් අපේ කට්ටිය සිය කම්පනය වචන බවට පෙරලන්නට වූහ.

“එහෙම අභිමානවත් ජාතියකට අද වෙන රටවල හිඟන්නොත් ආධාර කරනව. මිනිස්සු කැට එකතු කරල ලංකාවෙ මිනිස්සුන්ට බෙහෙත් අරං දෙන්න හදනව. මේවා පුංචි දේවල් නෙවෙයි. සරල දේවල් නෙවෙයි. පපුව පිච්චිලා යන ඛේදවාචක”

“ලංකාවෙ මිනිස්සු හොඳට කාපු බීපු මිනිස්සු. ඉස්සර අපේ ගෙවල් වල දවස පුරාම කෑම මේසෙ ඇරල. ගෙදර අය කෑවට පස්සෙ වුණත් තව හත් අට දෙනෙක් ආවත් කන්න කෑම තියෙනව. එහෙම මිනිස්සුන්ට මෙහෙම ලෙවකන්න වෙච්ච එක දරා ගන්න අමාරුයි”

රටෙහි ඉරණම කෙසේ විසඳේවි  දැයි අවිනිශ්චිත කමක සියල්ලෝ සිටියහ. ඒ අතරේ මානව දයාව කියන දේ කෙසේ වැපිරිය යුතු දැයි ගැහැනු ගෙදර ගැහැනු නිතර කතා බහ කළහ. හැකි හැම විට ම හැකි හැම දේ ම කළහ. එහෙව් පසුබිමක් තිබියදී මම ආදරය කියන හැඟීම හද නිධානයෙහි රහසිගත වස්තුවක් සේ සුරකිමින් සිටියෙමි. විසල් ගේ ඇස් හමු වෙන වෙලාවක ලෝකයට රහසේ අපේ ඇස් අතරේ අප විතරක් දන්නා යමක් සංසරණය වූ මුත් ඒ සීමාව තරණය කොට යන්නට කිසි සේත් මා උත්සුක වූයේ නැත.

රූපලාවන්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා එහි පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු ඉෂිනි නදීරා ගේ රූපලාවන්‍යාගාරයේ සේවයට බැඳුනා ය. ඉන් පසු ඇය අපේ ගෙදර ද නිතර දැකිය හැකි විය. ඈ දකිනා හැම වතාවක ම ගින්දරක් මා දවමින් උගුර දිගේ පහළට කිඳා බැස්සේ ය. ඒ දැවීම මා විසල් මල්වැන්න ගෙන් දුරස් කොට තබන්නට බරපතල ලෙස හේතු වූවා කියා සිතමි.

ඉෂිනි වූ කලී යහපත් කෙල්ලකි. නො තේරුම් වියෙහි දී ම වැඩිහිටියන් විසින් හිතට ඇතුළු කරනා ලද අදහසක් මත ඇය විසල් හා විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටියා ය. ඇතැම් විට ඒ ආදරය ද නැත් ද කියා හෝ ඈ නො දැන ඉන්නට ඇත. 

“විසල් උඹව කෙයා කරන්නෙ නැත්තෙ වෙන කෙල්ලෙක් ඉන්නවද දන්නෙ නෑනෙ”

දවසක් නදීරා අපේ ගෙදර දී ඇය ට කීවා ය. දඩස් ගා මගේ පපුව ගැහුණත් මම බිම බලා ගෙන සිටියෙමි. ඉෂිනි දෙස බැලුවා නම් ඇය දෑසින් මගේ හිත කියවා ගනිතැයි බිය මුසු සැකයක් මවෙත වන්නට ඇත.

“ඒව කොහෙද…එයා බඳින්න ඕන මාවනෙ”

එවර නම් මට ඇදෙස නො බලා බැරි විය.

“ඒක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ අම්මල තාත්තල නැන්දල මාමල තීරණේ කරපු දෙයක්”

“අම්මල තාත්තල නැන්දල මාමල නෙවේනෙ කෙල්ලෙ බඳින්නෙ. උඹල දෙන්නනෙ. ඒකට තියෙන්න ඕන උඹල දෙන්නගෙ කැමැත්ත”

“මං කැමතියි ඉතිං”

“කසාදයක් කියන්නෙ තනියම යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හරියට තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ. ඒකට දෙන්න අත් අල්ලගන්න ඕන. එහෙම කරන්න බැරි වුණ දාට වෙන්නෙ අත් අතෑරිලා දෙපැත්තකට වෙන්න සිද්ද වෙන එකයි”

ගැහැනු ගෙදර ගැහැනුන්ට ප්‍රේමය හා විවාහය පිළිබඳ අටෝරාසියක් අත්දැකීම් තිබුණේ ය. මට ඒවා පුරුදු වී ද ඉෂිනි ට එහෙම සමාගමයක අත්දැකීම් නොවන්නට ද ඇත. ඇය නදීරා දෙස බලා සිටියේ තරමක විශ්මයකිනි.

“ඇයි…මට අකමැති වෙන්න එයාට තියෙන හේතු මොනාද…”

ඇය ඒ මොහොතේ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරිය වූවා ය. 

“අපි එක ම පවුලකට අයිති අය. පවුල් පසුබිම එකයි. ඇයි මං ලස්සන නැද්ද…ඇයි මං ඉගෙන ගෙන මදිද…එයාට එයාගෙ තත්වෙට මං මදිද…මාව තැනකට එක්කං යන්න බෑ කියලද…මොකද්ද මගෙ තියෙන අවුල…”

“නෑ නෑ ඒ මොකක්වත් නෑ”

එතෙක් නිහඬ ව සිටි සනෝජා පුංචි ඉදිරිපත් වූවා ය. කවදාවත් විවාහ නොවූවා ට ඇය ආදරය ගැන විශේෂඥ වරියකි. 

“ඔයා ඇත්තටම ලස්සනයි. ඔයා කියපු අනිත් දේවලුත් හරි ඇති ඉෂිනි. ඒත් ආදරේ කරන්න ඒ ඇතිද…”

පුංචි ගේ මුවග හැම මොහොතක ම වන මඳහස පිපී තිබිණි. ඇගේ ඇස් දිස්නෙ දුන්නේ ය. ඉෂිනි ගේ ඇස් හැකිළෙනු මම දුටිමි.

“ආදරේ කරන්න ආදරේ දැනෙන්න ඕන”

මම යටි තොල සපා ගෙන මොහොතකට ඇස් පියා ගතිමි. මගේ හදවත සුසුමින් පිරී තිබිණි. නමුත් ඒ සුසුම් පිට කොට නිදහස් වන්නට හෝ මට අවසර නොවුණේ ය. පපුව රිදුණේ ඒ නිසා කියා සිතමි. 

“මං විසල් අයියට ආදරෙයි. බැන්දට පස්සෙ හරි එයාට සිද්ද වෙයි ආදරේ කරන්න”

“අනේ මෝඩ කෙල්ල”

නදීරා ඉෂිනි ගේ හිස මත සිය අතක් තැබුවා ය.

“එහෙම හිතල කසාද බඳින කෙල්ලො තමයි ඉෂී ළමයි බමයිනුත් උස්සගෙන උසාවි ගිහින් දික්කසාදෙ ඉල්ලන්නෙ. බැන්දට පස්සෙ ආදරේ කරයි කියල හිතාගෙන කසාද බඳින එක තරං හරක් වැඩක් තව නෑ කියලයි මන්නං හිතන්නෙ. ලව් කරල බැන්ද අපිටත් ආදරේ පරිස්සං කර ගන්න බැරි වුණා බං”

චිරාත් කාලයක් තිස්සේ ගැහැනු හද මඬලෙහි නිදන් ගත ව තිබි වේදනාවක් නදීරා ගේ වචන වල දෙදරුම් කමින් තිබුණා ය කියා මම සිතමි. 

“බය හිතෙනවනෙ අනේ ඕගොල්ලො කියන ඒවට”

ඉෂිනි මවා ගත් සිනහවක් පෑවා ය. සිනහවකින් වසන් කරන්නට බැරි ගැස්මක් ඈ තුළ වූ බව ය මට නම් දැනුණේ. 

එක අතකට කිසිදු ලෙසකින් ආදරය නිර්වචනය කළ නො හැකි යයි මම දැන් සිතන්නට පටන් ගෙන සිටිමි. ආදරය දැනී විවාපත් වූවන් ට ද පසු කලෙක ඒ ආදරයෙහි අඩුවක් දැනෙන්නේ ය. එක් කෙනෙකු ආදරය කරත්දී තවත් කෙනෙකුට එසේ කළ නො හැකි වන්නේ ය. ඒත් සමහර අය ආදරයක් නැති ව ම විවා පත් ව ජීවිත කාලයක් එක් ව ජීවත් වෙති. සමහර විට ඒ තැන් වල ද ආදරයක් නොවෙනවා වන්නට පුළුවන. ඊටත් වඩා ගැඹුරු වූ යමක් තිබෙනවා වන්නට ද පුළුවන.

ඉරිදා ගාළු මුවදොර පිටිය බලා යන්නට කට්ටිය කතිකා කර ගත්හ. ඉෂිනි ද ගමනට සහභාගී වන්නට සිටියෙන් මෝටර් රථ දෙකෙහි යන්නට පුංචී යෝජනා කළා ය.

“දෙකක යන්න ඕන නෑ අක්ක. මගෙ කා එකේ යමු”

විසල් වහා වෙනත් යෝජනාවක් ගෙනාවේ ය. නමුත් ඉෂිනි වහා ඊට එකඟ නැති බව ප්‍රකාශ කළා ය.

“ඉඩ මදිනෙ. හිර වෙලා යන්න වෙන්නෙ. මං ඉස්සරහ ඉඳ ගත්තහම මේ හතර දෙනාටම පිටිපස්සෙ සීට් එකේ යන්න පුළුවන්ද…”

“ඔයා මොකටද ඉස්සරහ ඉඳ ගන්නෙ…ආන්ටි ඉස්සරහ ඉඳගන්න. අනිත් හතර දෙනා එච්චර මහත නැති නිසා අවුලක් නෑ. යන්න පුළුවන්”

ඉෂිනි කර බා ගත්තා ය. ඉෂිනි ට විසල් දොස් කීවා කියා හෝ ඔහු ඇය වනො සලකා හැරියා කියා සතුටක් මා කුළ ඇති නොවූ බව දිවුරා කිව හැක. නමුත් විසල් සිය තීරණය ක්‍රියාත්මක කිරීමෙහි ලා ඍජු ව පැවතීම ගැන සතුටක් මට දැනිණ. 

සයුරු තෙර මිනිස් පහසින් නැහැවී ගොස් තිබිණි ද එහි වූ නිසල බව ඒ නිසා මඳකිනිදු අඩු වූ බවක් නොපෙනිණ. බටහිර අහස රක්ත වර්ණ සළු හැඳ සිටියේ අවසන් ගමන් යන හිරු ට සමු දෙන්නට ය. ඈතින් දිස් වන වරාය නගරය දෙස මම නෙතු යොමා ගෙන සිටියෙමි. අපේ පිරිස ගසක් වට කොට ඉදි වූ හතරැස් බැම්ම මත අසුන් ගෙන සැඳෑ සිරි විඳ ගත්හ. 

නදීරා ගෙන ආ අයිස් ක්‍රීම් එකක් කමින් මා වෙරළ සීමා කරන ගල් බැම්ම වෙත ඇවිද ගියේ තනි ව විඳ ගත යුතු තනි කමක් මා පෙළමින් තිබි නිසා ය. ඒ හැඟීම වචන කරන්නට කිසජ දා ක මා පොහොසත් නොවනු ඇත. ඇතුළාන්තයේ සිට නැගී ආ ඉකියක් මගේ පාලනයෙන් මිදී, එක් වර දෑසින් කඳුළු පිට කළේ ය. ඒ තරම් ආත්ම අසරණ කමක් දැනෙන්නට හේතුවක් හෝ ඒ වෙලාවේ මට සිතා ගත හැකි වූයේ නැත.

මම කඳුළු පිසින්නට ඉක්මන් නොවුණෙමි. අනිත් අතට කඳුළු  පිසින්නට ගිය හොත් මා හඬනා බව අනිත් අයට දැනෙනු ඇතැයි ක්ෂණික සිතිවිල්ලක් ද එහෙ මෙහෙ වෙන්නට ඇත. 

පිරිස සිටියේ පිටුපසිනි. මා හැඬුවේ මුහුද දෙස බලා ගෙන ඉදිරියේ සිටිමිනි. මුහුදු සුළඟ මා වට කොට ගෙන කඳුළු පිසිමින් හැමුවේ ය. අහේතුක කඳුළු ගැන මා වැළඳ තැවුණේ ය.

“මං වැරදියි කියලද හිතන්නෙ ඔයා…”

මට දකුණු පසින් විසල් මල්වැන්න ගේ හඬ ඇසුණේ ය. මම යන්තම් හිස හරවා බැලුවෙමි. ඔහු සිටියේ අප ඉදිරියේ වන අනන්ත සයුර දෙස කෙලින් බලා ගෙන ය. 

යළිත් ඉදිරිය බලා ගත් මම නැතැයි හඟවන්නට හිස සැළුවෙමි. ඔහු ඒ දකින්නේ නැත. නමුත් ඔහු ට එය දැනෙනවා යි මට දැනිණ.

“එක පාර කීප දෙනෙක්ට වුණත් ආදරේ කරන්න පුළුවන් කියල කෙනෙක් කිව්වත්…දැන් මං ඉන්නෙ ඒක විශ්වාස කරන තත්වෙක…”

ඔහු ට ඇසුණාද නැත්ද කියා හෝ නො දන්නා මන්ද්‍ර ස්වරයකින් මම මිමිණුවෙමි. 

“මං දන්නව එදා ඒ කා එකේ හිටිය කෙනාට ඔයා ආදරේ කරන්නෙ නෑ කියල”

තව තවත් හඬන්නට  ඕනෑ වූයේ ඇයි කියා කිසි සේත් මට සිතා ගත නො හැකි ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -226

හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා...

නිබ්බුත ගීත -21

ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ....

යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව

Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති...

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...