බිම්මල් – 43 කොටස

වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට කෘතිම ශ්වසනය ලබා නොදෙන බවත්, ඔහු මගේ මුවට උඩින් පහත් වී කිසිවක් සෙමෙන් පවසන බවත් මගේ යහන අසළට පාවෙමින් ගිය මම දුටුවෙමි. ඔහු බොහෝ සෙමෙන් පවසන වදන් කිසිවක් මට නොඇසිණ. ඇතැම් විට එය ඔවුන්ගේ අදහන ආගම අනුව මරණාසන්න රෝගියකු වෙනුවෙන් ගායනා කරන්නක් විය යුතුය. මම නොඉවසිල්ලෙන් බලා සිටිමි. හාට් බීට් මොනිටරය මත තවමත් සෘජු රේඛාවක් සටහන් වී ඇති ආකාරය දෙසත්, මගේ සිරුර දෙසත් බලා සිටින නොඉවසිලිමත් මුහුණු දෙසත්, කෙමෙන් අඳුරු පැහැයට හැරෙමින් තිබු වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ දෙසත් මම බලා සිටිමි.

වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිය කාර්යය නිමා කර අසළ සිටි වෛද්‍යවරයෙකුට කිසිවක් පවසන අයුරු මා බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඔවුන් නැවත නැවතත් මගේ සිරුරට විදුලි සැර වද්දා පණ ගැන්වීමට උත්සාහ කරන්නේ පුදුමාකාර කාර්යක්ෂමතාවයකිනි.

එක්වරම වෛද්‍ය පීහු සතුටින් කෑගසන හඬත්, හාට් බීට් මොනිටරය මත මෙතෙක් සටහන් වූ සෘජු රේඛාව, යළිත් රිද්මයානුකූල ලෙස සටහන් වීම ආරම්භ වීමත් සමගම මා නැවතත් මගේ සිරුර කරා ඇදී යන අයුරු මට දැනිණ.

                    *

මම දෙනෙත් හරින්නට තැත් කළෙමි. බරැති ඇසි පිය විවර කිරීම බොහෝ අපහසුය. යන්තමින් විවර වූ ඇස් වලට මේ රාත්‍රිය ද, එසේත් නැත්නම් දහවල ද යන්න හඳුනා ගත නොහැකිය. මගේ යහන ඉදිරියෙහි දෙදෙනකු සිටගෙන සිටින අයුරු යන්තමින් මට හඳුනා ගත හැකි විය.

“ඩිනාලී…”

කිසිවෙකු මා අමතන හඬ ඇසෙයි. එය වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ කටහඬ බව මම හඳුනා ගතිමි.

“ම්…”

“ඩිනාලී… මගෙ දූ…”

ඊළඟට ඇසුනේ අම්මාගේ කටහඬයි. 

“ම්…”

මුවට වදනක් නගා ගත නොහැකිව මම පවසමි. මගේ දෙනෙත් අගින් උණු කඳුලු ගලා යන බව මට දැනේ. කිසිවකු ඇඟිලි තුඩු වලින් මගේ කඳුලු පිසින බව මට දැනේ. එහෙත් ඒ ස්පර්ශය අම්මාගේ නොවේ. 

“දැන් කොහොමද ඔයාට?”

ඒ හඬ බෙහෙවින් හුරුපුරුදුය.

“හොඳයි…”

මම පිළිතුරු දෙමි. අනතුරුව කිහිප වතාවක් ඇසි පිය සලා මම දෑස් හරින්නට සමත් වීමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද, අම්මා ද, ජ්‍යෝති ද හඳුනා ගත් මම සිනාසෙන්නට තැත් කළෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං අසළම සිටින තැනැත්තා ද වෛද්‍යවරයෙක් විය යුතුය. ඔහුගේ මුහුණ ද හුරුපුරුදු මුහුණක් ලෙස මට දැනේ. වෛද්‍ය කුෂ්වාන්ත් සිං යහන අසළින් මෑත්ව ඔවුන්ගේ භාෂාවෙන් ඔහු සමග කතා කරන හඬට මම සවන් දී සිටියෙමි. එහෙත් ඔවුන් පවසන කිසිවක් මට නොවැටහෙයි.

“ඩිනාලී…”

අම්මා සෙමෙන් මගේ හිස පිරිමදියි.

“මං ආවා මගෙ දූ… මේ දවස් ටිකේම මං හිටියෙ ඔයා ළඟ.”

මම අත දිගු කරන්නට තැත් කරත්ම අම්මා මගේ අතැඟිලි අල්ලා ගත්තාය. මට මහා සුරක්ෂිතතාවයක් දැනිණ.

“කෝ සුදු?”

“සුදුටත් මෙහේ ඉන්න බෑනෙ. මං එයාව ගෙදර යැව්වා. මං අද කෝල් එකක් දෙන්නම් එන්න කියලා.”

“මට මොකක්ද වුනේ අම්මා?”

“පොඩ්ඩක් අසනීප වුනා පුතේ. ඒ හැටි අමාරු වුනේ නෑ.”

අනෙක් වෛද්‍යවරයා සමග මගේ යහන අසළට පැමිණි වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ මහත් සතුටින් පිරී ඇතැයි මට සිතිණ.

“මං මැරුණා නේද?”

මම ඇසුවෙමි. ඔහු සිනාසුනේය.

“මැරුණා? එහෙම වෙන්නෙ කොහොමද? ඔයාට හීන පෙනිලා.”

“ඒක හීනයක් නෙමෙයි. මං උඩ ඉඳගෙන බලා හිටියා. ඩොක්ට මගේ මූණට ළං වෙලා මොනවදෝ කිව්වා. ජ්‍යෝති, පූනම් ඇඬුවා. ඩොක්ට ඇඳගෙන හිටියෙ ක්‍රීම් කලර් ෂර්ට් එකක්. අම්මා ළඟ හිටියෙ නෑ.  මේ… මේ ඩොක්ට…”

මම යහන අසළට වී බලා සිටින තරුණ වෛද්‍යවරයා දෙසට අත දිගු කළෙමි.

“මේ ඩොක්ට තමයි මට කරන්ට් වැද්දුවේ.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං සහ අසළ සිටි වෛද්‍යවරයා මුහුණින් මුහුණ බලා ගන්නා අයුරු මම බලා සිටියෙමි.

“හරි… හරි… ඒ හැමදේම මං පස්සෙ ඔයාට කියන්නම්. මේ ඩොක්ට ගුන්ටාජ්. ඔයා වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.”

“ඒක මගේ වගකීම සහ යුතුකම.”

තරුණ වෛද්‍යවරයා පැවසුවේ ලජ්ජාශීලී හඬිනි. .

“ඉක්මනින් සනීප වෙන්න.”

මගේ උරහිසට තට්ටු කළ වෛද්‍ය ගුන්ටාජ් පිටව ගියේය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ වාර්තා සහත ලිපි ගොනුව ගෙන එය පෙරලමින් බලද්දී අම්මා මා අසළට ළං වූවාය.

“මේ ඩොක්ට පුදුම මහන්සියක් ගත්තෙ පුතේ ඔයා වෙනුවෙන්.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං දෙස බැලූ අම්මා පැවසුවාය.

“කෑමක් බීමක් නැතිවම ඔයා වෙනුවෙන්ම කැප වෙලා හිටියා කියලා මට ජ්‍යෝතියි, ඩොක්ට පීහුයි කිව්වා.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිංට අම්මා පැවසූ වදන් ඇසෙන්නට ඇතැයි මට සිතුණේ ඔහු ලිපි ගොනුවෙන් යන්තමින් දෙනෙත් ඉවත් කර මා දෙස බලද්දීය. ඔහුගේ මුවග මඳ සිනාවක් රැඳී ඇතැයි මට සිතිණ. වෙනදා මා දුටු ඔහුගේ පිරුණු මුහුණ තරමක් ඇදී ගොස් තිබුණද, දෑස් වෙනදාටත් වඩා දීප්තිමත්ය.

.“මට වැව බලන්න ආසයි.”

මම අම්මාට පැවසුවෙමි.

“තව ටිකක් සනීප වුනාම බලන්න යන්න පුලුවන්.”

එවර ද අම්මා වෙනුවට පිළිතුරු දුන්නේ කුෂ්වාන්ත් සිං ය. ලිපි ගොනුව හරවා බලමින් සිටියද, ඔහුගේ සවන්පත් යොමුව ඇත්තේ අප කතා බහ කෙරෙහි බව සිහිපත් වූයෙන් මගේ මුවග සිනාවක් ඇඳිණ. ඔහු කළ ඉඟියෙන් යමක් වටහා ගත්තාක් මෙන් ජ්‍යෝති ජනෙල් තිර රෙදි ඇද දැමුවාය. මුළු පරිසරයම අඳුරු වී තිබෙන අයුරුත් මහා වැසි ඇද හැලෙන අයුරුත් මම දුටුවෙමි.

“වහිනවා.”

මම පැවසුවෙමි.

“ඊයෙ දවල් ඉඳලා එක දිගටම වැස්ස.”

අම්මා පැවසුවාය.

“අපරාදෙ.”

“මොකක්ද ඩිනාලි අපරාදෙ කිව්වෙ?”

ලිපි ගොනුව පසෙක තැබූ වෛද්‍ය කුෂ්වාන්ත් සිං මා අසළට පැමිණියේය.

“වැස්සට මෙරිගෝල්ඩ් මල් යායම කඩා වැටිලා ඇති.”

“ඒ ගැන වොරි වෙන්න එපා.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිනාසුනේය.

“මල් පිපෙනවා. පර වෙනවා. ඒ තමයි ලෝකයේ ස්වභාවය. ඒ වෙනුවට අලුත් ගස් හැදේවි. අලුත් මල් පිපේවි. සතුටින් ඉන්න. මං ආයෙම එන්නම්.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං ජ්‍යෝති කැඳවා ඔවුන්ගේ බසින් ඇයට උපදෙස් ලබා දී නික්ම ගියේය.

“පුදුමාකාර ඩොක්ට කෙනෙක්.”

ඔහු නික්ම ගිය පසු අම්මා පැවසුවාය.

“ඔයා ගැන පුදුම විදියට වද වුනා. මට හිතාගන්නත් බැරි වුනා ඩිනාලි. ගොඩක් වෙලාවල හිටියෙ ඇස් වල කඳුලු පුරවගෙන.”

“මං මැරේවි කියලා හිතන්න ඇති. ඩොක්ටට ජාන්සිව මතක් වෙන්න ඇති.”

“මට ජ්‍යෝති කිව්වා ඒ කතාව. පව්.”

අම්මා දිගු සුසුමක් හෙලුවාය.

“අම්මා… හේෂාන්…”

අම්මා මගේ මුව අතින් වැසුවාය.

“ජීවිතේ කවදාවත් එහෙම කෙනෙක් හිටියෙ නෑ කියලා දැන්වත් හිතන්න පුතේ. එයා නිසා සිද්ද වෙච්ච හරිය හොඳටම ඇති. තව ටිකෙන් වෙන්නෙ මට ඔයාවත් නැති වෙන එකයි.”

“එයා ලංකාවෙන් ගිය එක ඇත්තක්ද?”

“එහෙම ආරංචියි. ඔයා ගොඩක් කතා කරා ඩිනාලි. දැන් ටිකක් නිදාගන්න.”

මට නිදාගන්නට සිතක් නොවීය. යහනෙන් නැගී සිට ජනේලය අසළට ගොස් වැසි දියෙන් පිරී ඇති ජාන්සි වැව දෙස බලා සිටින්නට සිතුණද, ඒ සඳහා මට ඉඩක් ලබා නොදෙන බව පැහැදිලිය. තවමත් මා සිටින්නේ දුර්වල තත්වයෙන් බව දැනටමත් මට පසක් වී යමින් තිබේ. මම සේලයින් බෝතලයෙන් සෙමෙන් සෙමෙන් වෑස්සෙන සේලයින් දියර දෙස බලා සිටියෙමි.

හිටිහැටියේම බොහෝ සෙමෙන් හින්දි ගීයක හඬ ඇසෙන්නට විය. මම දෑස් පියාගෙන වශී වූවාක් මෙන් එයට සවන් දී සිටියෙමි.

සුහානී රාත් ඩල් චුකී

නාජානේ තුම් කබ් අඕගේ

ජහාං කී රුත් බදල් චුකී

නාජානේ තුම් කබ් අඕගේ

මීට පෙර බොහෝ වතාවක් මෙම ගීතයේ රස විඳ ඇතත් මේ මොහොතේ එම ගීතය හද පතුළටම කිඳා බැස ඇත්තේ මන්දැයි මම කල්පනා කළෙමි. මෙතෙක් වේලාවක් ඈතින් හිඳ අපට නිදහසේ කතා බහ කරන්නට ඉඩ ලබා දී සිටි ජ්‍යෝති මගේ යහන අසළට පැමිණෙන්නට ඇතැයි මට සිතුනේ ඇගේ කටහඬ ඇසෙද්දීය.

“මැඩම්…”

මම දෙනෙත් විවර කළෙමි. ජ්‍යෝති සිනා පිරි මුවින් යුතුව මදෙස බලා සිටියාය.

“මැඩම්… සින්දුව අහගෙන නේද ඉන්නෙ?”

“ඔව් ජ්‍යෝති. මොන තරම් ලස්සන සින්දුවක්ද කියලයි මං මේ කල්පනා කළේ…”

මම පැවසුවෙමි. අම්මා ද එය අනුමත කරන ලෙසින් හිස සැලුවාය.

“මාත් අහගෙන හිටියෙ. හරිම ලස්සනයි.”

“අපේ ඩොක්ට කුෂ් ආසම සින්දුවක්. හිත සතුටින් ඉන්න වෙලාවට ඩොක්ට දාන්න කියන්නෙම මේ සින්දුව. දන්නවද මැඩම්? ඩොක්ට කුෂ් දවසක් හොස්පිටල් එකේ තිබුන උත්සවයකදි මේ සින්දුව කිව්වා. හැම කෙනෙක්ම වශී වෙලා අහගෙන හිටියෙ.”

“ඩොක්ටට සින්දු කියන්නත් පුලුවන්ද?”

අම්මා ඇසුවාය.

“නැතිව? ළඟදිම දවසක ඩොක්ට සින්දු කියන දවසක් ඒවි. මැඩම්ලත් එදාට ආවොත් ඩොක්ට කුෂ් සින්දු කියනවා අහන්න පුලුවන්.”

ජ්‍යෝති කිසියම් රහසක් සිත තුළ සඟවාගෙන එසේ පවසනු ඇතැයි මට සිතිණ. මීට පෙර දිනක ද ඇය මෙසේම පැවසූ අයුරු මට සිහිපත් විය.

ගීතය අවසාන වුව ද ස්වල්ප වේලාවකින් නැවතත් එයම වාදනය වන්නට වූයේ ජ්‍යෝති පැවසූ වදන් සනාථ කරමිනි.

“ජ්‍යෝති ඒ සින්දුවේ තේරුම කියන්න පුලුවන්ද?”

මම ඇසුවෙමි. ජ්‍යෝති පුලුල් සිනාවක් නැගුවාය.

“කියන්නම්.”

අම්මා ද දෙවැළමිටි වලට බර වී ජ්‍යෝතිට සවන් දී සිටියාය.

සුන්දර රාත්‍රිය ගෙවී ගොස් හමාරය

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි

ලොව වටා සෘතු වෙනස් වී ඇත

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි

විසිතුරු දසුන් තම චමත්කාරය පෙන්වා නින්දට ගොසිනි

බැබලෙමින් තිබූ තාරුකා තම රශ්මිය රැගෙන නින්දට ගොසිනි

සෑම ඉටි පහනක්ම දැල්වී නිවී ගොසිනි

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි

නුඹ එන මග බලමින් 

මා මෙහි ආශාවෙන් හා නොසන්සුන්ව හිඳිමි 

සරත් සමයේ පැහැයෙන් 

වසන්තය වර්ණවත් වී ඇත

සුළඟද එහි දිශාව වෙනස් කොටගෙනය

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි.

ජ්‍යෝති විස්තර කළාය.

“ඒක ෆිල්ම් සෝංග් එකක් නේද?”

අම්මා ඇසුවාය.

“ඔව් මැඩම්. දුලාරි ෆිල්ම් එකේ සින්දුවක්. මධුබාලා, ගීතා බාලි, සුරේෂ් ඇක්ට් කරේ. මාත් බලලා තියෙනවා.”

මම මඳ සිනා නැගුවෙමි. දෙනෙත් නිදිමතින් පියවෙද්දීද තෙවන වරටත් එම ගීතය වාදනය වන්නට වූයේ මගේ සිත මන්මත් කරමිනි. දුලාරි චිත්‍රපටය නරඹා නැතත් මගේ මනසෙහි දිග හැරුණු චමත්කාරජනක දසුන් අතර මා ද විය. දහස් පෙතියා මල් යාය අතරින් ඇවිද යද්දී සුහානී රාත් ගීතය ගායනා කරමින් ඉදිරියට පැමිණි තැනැත්තා අන් කිසිවෙක් නොව වෛද්‍ය කුෂ්වාන්ත් සිං විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles