වැරදිකාරි

තක්ෂිලා කාර්යාලයේ මිතුරියක් උන අංජලී එක්ක හිනාවෙමින් ඇය බලපු චිත්‍රපටයක් ගැන කතා කරන හැටි මදාරා බලාගෙන හිටියේ අප්‍රසාදයෙන්

” කොහොමද තක්ශිලා ඔයා ඔහොම හිනා වෙලා ඉන්නේ ? “

මදාරා උස් හඬින් එහෙම අහනකොට තක්ෂිලා හිනාව නවත්තලා ඇය දිහා බැලුවා

” ඇයි මදාරා ? “

” නෑ ඉතින් , ඔයා ගිය සතියේ නේද හස්බන්ගෙන් ඩිවෝස් උනේ ? කොහොමද අනේ ඉතින් ඔහොම හිනා වෙවී ඉන්නේ ?”

මදාරා අහපු අසාධාරණ කතාවට තක්ෂිලාටත් වඩා තරහ ගියේ ඇගේ යෙහෙළිය වෙච්ච අංජලීට

” තක්ෂිලා ඩිවෝස් වුන එක එයාට හිනා නොවී ඉන්න හේතුවක් වුණේ කොහොමද මදාරා ? “

අංජලීගේ කටහඬේ කෝපය ඕනාවටත් වඩා තැවරිලා තිබුණා

” ඩිවෝස් එකක් කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නෙමෙයි නේ. මටනං පේන්නේ මෙයා ඩිවෝස් වෙන්න කැමැත්තෙන් ම ද කොහෙද ඉඳලා තියෙන්නේ. ඒකනේ ඔහොම හිනා වෙවී ඉන්නේ “

සමච්චල් සහගත විදිහට කතා කරන මදාරාට , තක්ෂිලා අනුකම්පා කලා. තව කෙනෙකු විනිශ්චය කරන්න මිනිස්සු මොන තරම් ඉක්මන් වෙනවද කියල ඇයට හිතුනා

” ඔයා කියන්නේ ඇත්ත මදාරා.ඩිවෝස් එකක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි.එහෙම එකකින් පස්සේ මම මේ විදිහට හිනා වෙලා ඉන්න එක ගැන හරිනම් ඔයා සතුටු වෙන්න ඕනේ “

බොහොම සන්සුන් විදිහට එහෙම කියපු තක්ෂිලා ඇගේ වැඩ වලට අවධානය යොමු කරා.අංජලීත් ඇගේ පරිගණක තිරය මතට දෑස් යොමු කරේ මදාරා දිහා රවලා බැලුවට පස්සේ.වැඩ කරන අතරේ තක්ෂිලා කල්පනා කලේ විවිධ අරගල වලට මුහුණ දීලා අසීරුවෙන් පහුකරපු පසුගිය කාල සීමාව ගැන

” ඉරිදාට මගේ යාළුවෝ කීප දෙනෙක් එනවා.ගේ හොඳට අස් කරලා තිබ්බා නම් හොඳයි “

සිකුරාදා දවසක උදේ අර්ජුන කිව්වේ රැකියාවට යන්න සුදානම් වෙන අතරේ

” ගේ ඉතින් මම හැමදාම අස්කරනවනේ අර්ජුන. වෙන මොනවද ලෑස්ති කරන්න ඕනේ ? “

” මොකුත් නෑ. කෑම මම එළියෙන් ඕඩර් කරනවා “

කිව්වා වගේම මිතුරන් එන දවසේදී ඕන කරන කෑම බීම සියල්ලම අර්ජුන ඇණවුම් කරලා තිබුණා

” කෑම ටික නං හොඳට තියෙනවා “

කෑම කන අතරේ මිතුරෙකුගේ බිරිඳක් වුන කල්පනී කිව්වේ සතුටෙන්

” එළියෙන් ඕඩර් කලේ කල්පනී. දහයකට පහළොවකට උයන්න ඉතින් මෙයාට බැහැනේ “

අර්ජුන කතා කළේ තක්ෂිලා ගැන අවතක්සේරු කරමින්.තක්ෂිලා ගේ මුහුණ අදුරු වලාකුළු වලින් වැහිලා යන හැටි අර්ජුන දැක්කෙ නෑ

” කෑම හදන්න කියලා ඔයා මට කිව්වේ නැහැනේ අර්ජුන නිකංවත් ? අර මිනිස්සු ඉස්සරහා එහෙම කියන එක කොච්චර කැතද? ඒ මිනිස්සු හිතන්න ඇති මම උයන්න බැරි ගෑනියෙක් කියලා “

” ඒ මිනිස්සු මොනව හිතුවත් ඔයාට මොකද ? ඔයාට උයන්න පුළුවන් උනාට ඒව කන්න නේ බැරි. මගේ යාලුවෝ ඉස්සරහ මට ලැජ්ජ වෙන්න බැරි නිසා තමයි එළියෙන් කෑම ඕඩර් කරේ “

අර්ජුන එහෙම කියලා සමච්චලයට හිනාවෙනකොට පොලොස් ඇඹුලක් ,අඹ මාළුවක් උයා ගෙන ගිහින් කාර්යාලයේ මිතුරියන් එක්ක බෙදා ගන්න කොට ඔවුන් ඒවා මොන මොන තරම් ආසාවෙන් රස විඳිනව ද කියලා තක්ෂිලාට මතක් උනා

” ඔයාට බෑ “

” ඔයා කොහෙද ඕක කරන්නේ “

” ඔයා දන්නෙ නෑ “

බොහෝ කාරණා වල දී අර්ජුන ඒ විදිහට තක්ෂිලාව අවතක්සේරු කළා.තක්ෂිලා ට කාර්යාලයේ උසස්වීමක් ලැබුණේ ඔය අතරේ

” බොස්ලට කේලම් කියන ගොට්ට අල්ලන අයට තමා ඔහොම ප්‍රමෝෂන් ලැබෙන්නේ. එහෙනම් මම මේ වැඩ කරන විදියට මෙලහට ඔෆිස් එකෙන් මට ප්‍රමෝෂන් දහයක්වත් දෙන්න එපැයි “

තමන්ට සතුටු හිතෙන ආරංචියක් මුලින්ම අර්ජුනට කිව්වට පස්සේ අර්ජුන ගේ ප්‍රතිචාරය උනේ ඒක

” මොන තරම් කැත මිනිහෙක් ද එයා ? “

උසස්වීමට සැමියාගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන සෑහෙන්න කම්පා උන තක්ෂිලා ඒ ගැන කිව්වෙ කාර්යාලයේ හොඳම මිතුරිය උන අංජලීට විතරයි

” තාම මොකුත් වෙනසක් නැද්ද ? “

සති අන්තයේ හවසක අර්ජුන ගේ අම්මා ගෙට ගොඩ උනේ එහෙම අහගෙන

” වෙනස්කම් නං ගොඩක් තියෙනවා අම්මේ ඉතින් “

” හප්පේ ඇති යන්තම් “

අර්ජුන ගේ අම්මා පුටුවකින් වාඩි උනේ සැනසිලිදායක හිනාවක් මූනට නගා ගෙන

” වෙනස්කම් තියෙන්නෙ මගේ නෙමෙයි අර්ජුනගේ. ඒ නිසා ඉතින් අම්මා ඔය හිතනවා වගේ වෙනස්කම් ගැන දැම්ම බලාපොරොත්තු වෙන්න එපා “

” ඔයාලගේ ප්‍රශ්න ඔයාලා විසඳ ගන්න. දරුවෙක් නැති එකට නං හේතුව ඔයාගේ වැරද්දක් වෙන්න පුලුවන්.මොකද අපේ පරම්පරාවේ කිසිම කෙනකුට එහෙම ප්‍රශ්න තිබිලා නැහැ “

නැන්දම්මා බොහොම අසාධාරණ විදිහට දීපු තීන්දුව ගැන තක්ෂිලා ට ඇති වුණේ පිළිකුලක්

” ඒ පාර ඔයා අම්මට කේලම් කියන්න තියා ගත්තද ? “

සති අන්තයේ වත් ගෙදර නොඉඳ රෑ වෙලා ගෙදර ආව අර්ජුන කෝපය පිට කළේ ඒ විදියට

” ඔයත් මහ පුදුම ගෑනියෙක් තමයි.ලැජ්ජ නැද්ද ගෙයි ගින්දර පිටට දෙන්න ? “

” ආ.. අම්මා ඔයාට කිව්වේ මම කියපු ඒවා විතරද? අම්මා කියපුවා කිව්වේ නැද්ද ? “

” තමුසේ ඒ පාර හදන්නේ අම්මා ගැන මට කේලම් කියන්න ද ? “

අර්ජුන එක්ක වාද කිරීම පලක් නැති දෙයක් කියලා තේරුම් අරගෙන හිටපු තක්ෂිලා ඔහුව මග ඇරලා කාමරයෙන් එලියට ආවා

” ඔයාගේ අගයක් නැති මනුස්සයෙක්ගෙන් දරුවෙක් නැති එකමයි හොඳ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද තක්ෂිලා ? “

” මට ඕක හිතිලා ගොඩක් කල් අංජලී “

තක්ෂිලා කතා කළේ කම්පාවෙන්.සමහර වෙලාවට මග ඇරෙන කාර්යාලයේ වැඩ සම්පූර්ණ කරන්න තක්ෂිලාට සහයෝගය දුන්නේ අංජලී.නොගැළපෙන විවාහයක් නිසා පීඩා විඳින මිතුරියව කිසිම වෙලාවක තනි නොකරන්න අංජලී වගබලාගත්තා.

තමන් අවිවාහකයකු බව කියමින් අර්ජුන තවත් සම්බන්ධයක පැටලිලා කියලා තක්ෂිලා දැනගත්තේ ඒ අතරෙදි.කාර්යාලයටම තමන්ව හොයාගෙන ආව තරුණියගේ දුක් ගැනවිල්ල තක්ෂිලා අහගෙන හිටියේ එවැනි දෙයක් කලින් බලාපොරොත්තු වෙලා හිටියා වගේ. විවාහකයෙකු ට රැවටුන තරුණිය අර්ජුන කෙරෙහි තිබුන කෝපය නිසාම ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පවා අංජලීට ලබා දුන්නා

” අර්ජුන වෙනස් වෙන එකට, එක එක හේතු හිතුනත් හරියටම හේතුව මං දැනගත්තේ අදයි අංජලී “

කාර්යාලයෙන් නිවාඩු අරගෙන වෙනදටත් කලින් ගෙදරට ගිය තක්ෂිලා කාලයක් තිස්සේ හිතේ එක්රැස් වෙලා තිබුන කෝපය සහ දුක මුසු වුණ හැගීම් සියල්ලම කඳුළු වලින් පිට කරලා ඇරියා.විවිධ අරගල වලට මුහුණ දුන්න කාලසීමාවකට පස්සේ රැවටුණු විවාහයකට වඩා තමන්ගේ මානසික නිදහස වටිනා බව තක්ෂිලා තීරණය කළා.

” මදාරා වගේ ගෑනු අය හිතන්නේ කොච්චර කරදර මැද්දෙ වුණත් අඬ අඬා හරි ඒ කසාදෙම එල්ලිලා ඉන්න ඕනේ කියලා. බැරිවෙලා හරි දික්කසාද වුණත් ඒ ගැන හිත හිත අඬ අඬා ඉන්න ඕනේ කියලා “

මදාරා දවල් කෑමට පිටවෙලා ගියාට පස්සේ ඒ වෙනකනුත් කෝපය නොසන්සිදිලා තිබුනු නිසා අංජලී කතාව පටන් ගත්තා

” ඕක ඉතින් මිනිසුන්ගේ හැටිනේ අංජලී. වරද කාගේ වුණත් ගොඩක් වෙලාවට අන්තිමට දික්කසාදෙට වැරදිකාරයා වෙන්නේ ගෑනු අය “

” ඒ උනාට මෙතැනදී කවුරුත් කරපු වැරදි ඔයා බාරගන්න ඕනෙ නැහැ තක්ෂිලා.ඔයා දැන් හිතන්න ඕනේ ඔයා ගැන “

” මං ගැන හිතන නිසාම තමයි අංජලී වටිනාකමක් නැති තැනකින් මං අයින් උනේ “

එහෙම කියපු තක්ෂිලා හිතට දැනුනු හැඟීම් වල බර ,ලොකු සුසුමකින් පිට කලා

More Stories

Don't Miss


Latest Articles