මල්වත්තගේ නිවසත් මහානාම නිවසත් අතරේ ඊලඟට ඇති වූ ප්‍රශ්නය නම් අමාගී හා ආර්ය ගේ විවාහය කවදා සිදු විය යුතු ද යන්නයි. විවාහයකට යන්නට තවමත් ඇයට වයස තිබිණි ද, ආර්යගේ සේ ම මණී ගේ ද හිත් වල ඉක්මනින් ඒ කටයුතු අවසාන කිරීමේ ආශාවක් නො තිබුණා නොවේ.
“වැඩේ කියන්නෙ මගුල් දෙකකටම අතේ තිබුණ සන්තකේ වියදං වෙලා ඉන්න වෙලාවෙ… මට ආවට ගියාට සුදූව දෙන්න බැරි එක. ආයෙ පොඩ්ඩක් යථා තත්වෙට පත් වෙනකල්… මහාට තේරෙනව ඇතිනෙ මං කියන දේ…”
“මොකද දුරේ මට නොතේරෙන්නෙ…”
“අනිත් එක පවුලෙ බඩපිස්සි… අනිත් දෙන්නට වගේම මෙයාටත් මං යුතුකං ඉෂ්ටකරන්න ඕනනෙ මහා”
“දුරේ අංකල් ඒ ගැනනං වද වෙන්නෝනෙ නෑ. මට සුදූව විතරක් දුන්නහම ඇති”
ආර්ය එසේ පවසත්දී පපුව මැද හිරවීමක් අමාගී ට දැනිණ. ඇස් වල දැවීමක් සංවේදනය වූයේ ය.
“අනේද කියන්නෙ… අපි දුරේට ඇතෙක් බරට වස්තුව දීල ගෙනියන්න ඕනෙ මේ කෙල්ලව. අනික කොහොමත් අපි එක පවුලක්නෙ දුරේ. ලස්සන චූටි මනමාලියක් විදිහට අන්දල පොඩි වෙඩින් එකක් අරං ඕක ඉවරයක් කරමු අනේ”
ඒ මණී ගේ අදහසයි.
“අනේ ඉතිං දැම්ම වෙඩින් එකක් ගන්න ඕන නෑ. තාත්තිට තාම හොඳටම සනීප වෙලත් නැති එකේ… මං තාත්තිව බලාගන්න ඕනෙ”
අමාගී ට එසේ නො කියා බැරි විය. ඇයි දැයි නො දන්නා හේතුවක් මත ඇගේ උගුර රිදෙමින් තිබිණ. එතෙක් දැවුණු ඇස් වලට තෙතමනයක් කාන්දු වී තිබිණ. මූණ රතු කරගෙන ඕ බිම බලාගත්තා ය. අමාගී ගේ ඒ ප්‍රකාශයට සාන්වී ආදරයෙන් විරෝධය පෑවා ය.
“ආ… මෙයා විතරයිනෙ එතකොට තාත්තිගෙ දුව. අපි දුවල නෙවේනෙ… අපි තාත්තිව බලාගන්නෙ නෑනෙ”
“එහෙම නෙවේ ඉතිං… ඕගොල්ලො දැං බැඳලනෙ පොඩී”
“බැන්දයි කියල කිසි දෙයක් වෙනස් වෙන්නෑ මාගි. තිබුණ කිසිම දෙයක් නැති වෙලා යන්නෑ. අලුතෙන් බැඳීම් එකතු වෙයි. වගකීම් වැඩි වෙයි. හැබැයි තිබුණ බැඳීම් වලටවත් වගකීම් වලටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. ඔයා ඒක සාන්විගෙන් දැනගන්න”
ශාක්‍ය කතා කළේ අමාගී කෙරේ කුඩා කල පටන් පැවති දයාවෙන් ම ය. ඇගේ සොයුරිය හා විවාහ වූවාට, ඉස්සර වාගේ ඇගේ කොණ්ඩෙන් ඇද කරට අතක් දමා නො ගත්තා ට, අමාගී කෙරේ ඔහු ගේ ළෙංගතුකම බිඳුවකිනිදු වෙනස් වී නැත.
“අනික දුරේ අංකල්ව බලාගන්න අපි ඔක්කොම ඉන්නව”
“මෙයා නොබැඳ හිටියයි කියල මොකද අනේ කළේ එදා අසනීප වුණ වෙලාවෙ… මතකද… මෙලෝ සිහියක් නෑ. කඳුළු පෙරාගෙන ඇඬුව විතරයි”
ඒ විහිළු තහළු හා සිනා අතරෙන්, එතෙක් නිහඬව සිටි සන්දේශ් මුණිවත බින්දේ ය.
“තාත්තෙ. තාත්ත විතරක් නෙවේනෙ වගකීම් ගන්නෝනෙ. දැන් අපිත් ලොකුයිනෙ. සුදූට අයිය කෙනෙකුයි අක්කල දෙන්නෙකුයිත් ඉන්නවනෙ. සුදූ දැන්ම බඳින එකනං හොඳ… තාත්ත ඒ ගැන හිතේ බරක් තියාගන්න ඕන නෑ. අවශ්‍ය දේවල් ටික අපිට කරන්න පුළුවං. මං ලොකූ එක්කත් ඒ ගැන කතා කරන්නං”
“අනිවාර්යෙන්. සාන්විව බැන්දත් නැතත් කොහොමත් මාගි මට නංගි..මාගි වෙනුවෙන් කරන්න පුළුවං හැම දේම මාත් කරනව”
“එතකොට තමුසෙ අයිය වෙච්ච මං වෙනුවෙන් මුකුත් කරන්නැද්ද….”
“තමුසෙට කරපු ලොකුම දේ තමයි මාගිව දීපු එක”
“ආ…”
ඒ කතා බහ, හදවත් මත පිරිත් පැන් ඉහිනා තරම් සුවදායී වූයේ ය. වෙනදාට දඟකාර, කටකාර, හිතුවක්කාර අමාගී ආදරය විසින් මෙල්ල කරනු ලැබ ලැජ්ජාශීලී තරුණියක වී සිටියා ය. වෙනදාට පුංචි කෙල්ලක සේ කවුරුන් අසලත් හුරතල් වන ඕ ආර්ය ගේ ආදර දෑස් අභියස වඩාත් තැන්පත් වී සිටියා ය.
කෙසේ වෙතත් හරි හදිසියේ ජීවිතයේ රිද්මය වෙනස් වූ බව අමාගී ට දැනෙමින් තිබේ. ආර්ය ඇසුරු කිරීමේ නිදහස නිල වශයෙන් ම ඇයට ලැබී තිබිණ. පවුල් දෙකේම ආශිර්වාදය ඇතිව ඇය ආයු ට අම්මා වෙමින් සිටියා ය. මව් පදවිය ලැබීමට දරුවෙකු කුසයෙන් බිහි කළ යුතු ම නැති වග ලේ මස් විනිවිද අත්විඳිමින් සිටියා ය.
ඒ සතුටු ආරංචිය ලද හැකි වූයේ පිනිබර හිමිදිරි උදයකයි. සන්දේශ් වෙනුවෙන් පමණක් අමාගී උදයට ආහාර පිසිය යුතු නැති බව අවධාරණය කොට, දුරේශ් ගිලන් වූ දා පටන් සන්දේශ් ට ගෙන යාම සඳහා බත් පත සකසා දුන්නේ සාන්වී ය. මේ උදයේත් ඇය මණී සමග මුළුතැන්ගෙයි වැඩ වල නිරත වෙමින් සිටියා ය.
ඒ වෙලාවේ තේ පිළියෙළ කරන අමාගී ට තාප්පය අයිනෙන් ඔක්කාර හඬක් ඇසිණ. ඒ සාන්වී ගේ හඬ බව හැඳින ගන්නට ඇයට අපහසු වූයේ නැත. තේ හැදීම පසෙක ලා ඕ මහානාම ගෙදර කුස්සිය මිදුලට ම දිව ගියා ය. සාන්වී වමනය කරමින් සිටි අතර මණී ඇගේ උගුර ද පිට ද පිරිමදිමින් සිටියා ය.
“පොඩී…”
අමාගී නතර වූයේ හති දමමිනි. ඇගේ දෑස් විසල් වී තිබිණ.
“ඇයි අනේ…”
“කලබල වෙන්න දෙයක් නෑ මාගි”
මණී අත්දැකීම් බහුල පරිණත සරකින් කීවා ය.
“අපි ඩොක්ටර් ළඟට ගිහින් පොඩ්ඩක් බලෝගමුකො. මන්නං හිතන්නෙ සුබ ආරංචියක්”
“හානේ පොඩී…”
අමාගී සාන්වී ව වැළඳගත්තේ ඉහ වහා ගිය ස්නේහයකිනි. හරියට ඈ අම්මා කෙනෙකු වෙන්නට යනවා කියා දැනගත්තා බඳු සතුටකින් අමාගී දෑස් වලට කඳුළු පුරවාගත්තා ය.
“ගෑස් වලටද දන්නෑ අනේ”
සාන්වී ලැජ්ජාශීලී ව මිමිණුවා ය. නමුත් වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඈ ගැබ්ගෙන ඇති බවයි. විවාහ වූ යුවළකට එවැනි ආරංචියක අරුමයක් නැත ද ඒ සතුටු වෙන්නට හේතුවකි. විවාහයකින් පසු අඹු සැමි යුවළක ගේ ඒකායන පැතුම වනුයේ ඔවුන් ගේ සෙනෙහස කළලයක් ලෙස වැඩෙනු දැකීම ය.
ඒ හැන්දෑවේ අමාගී සාන්වී වෙනුවෙන් වෙරළු තම්බා අච්චාරුවක් තැනුවා ය. වෙරළු සොයාගෙන ආවේ රුසිරු ය.
“මේ… මං පවුලෙ බාලය කියල තුන් දෙනෙක්ටම ඇඹුල් හොය හොය ඉන්න බෑ හරිද…”
ඔහු අමාගී ට නෝක්කාඩු කීවේ ය.
“හරි එහෙනං ඔයා ඉක්මන් වෙන්න. එතකොට අපි ඔයාගෙ වයිෆ්ට අච්චාරු හදල දෙන්නං”
“අනේ මේහ්”
අමාගී හඬ නගා සිනහ වූවා ය. දැන් යළිත් ඇය වෙතට පරණ පුරුදු සැහැල්ලුව පැමිණ තිබේ. සැහැල්ලුවෙන් ඉද්දී සතුට කියන්නේ ඉබේ පැමිණෙන දෙයකි. ඔවුන් පවුලක් වශයෙන් ගත කරගෙන පැමිණියේ ඉතා කටුක අතීතයකි. නමුත් ඒ දුෂ්කර කුණාටු සමයේත් ආදරයෙන් උනුන් තරයේ අල්වාගෙන සිටි නිසා දැන් දැන් සතුට ම හමා එන්නට පටන් ගෙන තිබේ. අච්චාරු කන ගමන් සොයුරියෝ අශ්විනී ට වීඩියෝ ඇමතුමක් ගත්හ. ඔවුන් බලා සිටියේ ඇගේ පැය කිහිපයක කුඩා රැකියාව නිමා වී ගෙදර එන වෙලාව වන තුරු ය. ආරංචිය අසා අශ්විනී ට සතුට දරාගත නො හැකි තරම් විය. ඇගේ ඇස් රතු වී ඒවා කඳුළින් දිළිසෙන්නට ගති.
“අනේ පොඩී මට ඔයා ළඟ ඉන්න පුළුවං වුණානං…”
“සුදූත් ඔයා වගේම මං ගැන බලනව ලොකූ. ඒ ගැන ඔයා දුක් වෙන්නෙපා”
“අනේ මට ආ…සයි අනේ… ඒ කියන්නෙ මං ලොකු අම්ම කෙනෙක් වෙන්න යනව”
“මං පුංචා කෙනෙක්”
“ශාක්‍යට සතුටුද…”
“ඔව්ව්… උදේ එකපාරටම මේක ඇහුවම ඇඬුවත් එක්ක”
“අනේ”
“ඔය දෙන්න ළඟටත් ඉක්මනට බබෙක් එයි. ඒත් ඔයා ඔහේ තනියම කොහොම කරගන්නද…”
“දැනගත්ත ගමංම මෙහෙ එන්න ලොකූ. මං ඔයාව බලාගන්නං. එතකොට බබාල දෙන්නෙක්ම මට පුංචි කියනව”
“ඕව වෙන්නෑ සුදූ”
අශ්විනී එසේ කීවේ ලොකු හුස්මක් ගනිමිනි. ඇය මඳහසක් පෑවාට එහි ලියැවී තිබුණේ සංතාපයක් ගැන කතාවකි.
“මොකද්ද ලොකූ ඒ කතාවෙ තේරුම… වෙන්නෑ කියන්නෙ…”
“කසුන් කියන්නෙ අපි දැන්ම බබෙක් ගැන හිතන්නවත් ඕන නෑ කියලයි. එයා කියන්නෙ අපි මෙහෙ ස්ටැබ්ලිශ් වුණාට පස්සෙ බබෙක් ගැන හිතමු කියල. අපිටම කියල ගෙයක් එහෙම ගන්නකල් දෙන්නම ටිකක් මහන්සි වෙලා වැඩ කරමුලු. මං ඕව ගැන තර්ක කරන්න යන්නෑ පොඩී. ඒ එයාගෙ විදිහ. එයා කියන දේවල ඇත්තක් නැත්තෙත් නෑ ඉතිං. ඒත් බබෙක් කියන්නෙ මොන තරං සතුටක්ද දෙයියනේ…”
ඒ ගැන අදහසක් දෙන්නට තරම් සාන්වී හෝ අමාගී අත්දැකීම් අතින් පරිණත වී නො සිටියහ. ඔවුන් මුණිවත රැක්කේ එබැවිනි. කෙසේ වෙතත් සාන්වී ගේ දරු පැටියා යනු මල්වත්තගේ පවුලට කුළුඳුළේ ම එන්නට සිටින අමුත්තා ය. එබැවින් දුරේශ් ද සන්දේශ් ද සතුටෙන් පිනා ගොස් සිටියහ. සැබවින් මේ පවුල් දෙකට ම මංගල කාරණා ය. හැන්දෑවේ ගෙදර එන ගමන් මහානාම මධු විත බෝතලයක් ගෙන ආවේ සීයලා දෙදෙනා එක් වී සව්දිය පුරා සතුට සමරන්නටයි.
“ගේ හදන වැඩේ දැන්නං පොඩ්ඩක් පස්සට දාන්න වෙයි නේද දුරේ… බබාල හම්බවෙන්න ඉන්නකොට ගෙවල් හදන්නෑනෙ”
ශාක්‍ය ගේ අලුත් ගේ හැදිල්ල ගැන මණී ට සිහිපත් විය.
“මන්නං හිතන්නෙ මණී ඔය කතාවෙ පදනම වෙන එකක්. ගෙදර කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට ඒ ගේ හදනවනං අර කුසේ ඉන්න දරුවට ඔය අමිහිරි සද්ද බද්ද ඇහෙන එක කරදරයක් නිසා වෙන්න ඕන ඔහොම මතයක් ඇතිවෙන්න ඇත්තෙ”
“ඒ වුණත් නරකයි කියල කියන කිසිම දෙයක් අපි නොකර ඉමුකො නේද දුරේ…”
“ඔව් ඉතිං ඒක අපේ හිතට හොඳයිනෙ මහා. මොකද මේ ජෝඩුවට ඉන්න තැනක් නැතුව නෙමේනෙ. ඒ ගෙදර ඉන්න බැරිද මේ ගෙදර ඉන්න බැරිද…නැද්ද…”
“නැත්තං… ඔය බරෙන් නිදහස් වෙලා හෙමිහිට බැරියෑ කරන දෙයක් කරන්න”
“ඒ වුණාට ඉතිං ලොකයිය බැන්දහම උඩ ඉඩදෙන්න ඕනනෙ. ඒ එයා නිදහසේ ඉන්න හදාගත්ත තැනනෙ”
“පිස්සුද ඕයි…”
ශාක්‍ය ගේ කතාවට ආර්ය වහා විරෝධය පෑවේ ය.
“දැං මේ හදිස්සියෙ ඕව කරන්න ඕන නෑ”
“ඔය කතාව ආපු නිසා මං මේක කියන්නෙ”
සන්දේශ් දෙසට කාගේත් නෙතු යොමු වූයේ ඔහු කුමක් කියන්නට යන්නේ ද කියා සිතා ගන්නට හෝ බැරිව යි.
“ජොබ් එකට යන්න ගත්ත මුල ඉඳලම මං ලෑන්ඩ් සේල් එකකින් ලෑන්ඩ් එකක් වෙන් කරන් පොඩි ගාණක් මන්ත්ලි ගෙවනවනෙ. ඒක ගෙවල ඉවර වුණහම ඉතිං මගෙනෙ. කොහොමත් තාත්ත දවසක ඉන්න ඕන සුදූ එක්ක. මං එහෙම කියන්නෙ තාත්ත කැමති එහෙමයි කියල දන්න නිසා. නැතුව මටවත් පොඩීටවත් තාත්තව බලාගන්න බැරි නිසා නෙවෙයි. ඉතිං අපේ ගේ සුදූට තමයි. එයා කොහොමත් ගෙදර පොඩි එකානෙ. ආර්ය සුදූ එක්ක අපේ ගෙදර නතර වෙනවනං අපි කැමතියි ඉතිං. නේද තාත්තෙ…”
“අනේ මට ඉතිං ඔය කොහේ වැටිල ඉන්න බැරිද මේ ඉතුරු පොඩි කාලෙට… ළමයි සතුටෙන් එකමුතුව ඉන්න එක තමයි දැන් අපිට තියන ලොකුම සතුට”
“ඒක ඇත්ත දුරේ. අපිටත් ඉතිං ඉන්නකල් මේ ගෙදර වැටිල ඉන්න තිබුණොත් ඇති. ශාක්‍යත් ගෙයක් හදාගන්න එකේ…පූජනයි රුසිරුයිනෙ ගෙදර ඉතුරු වෙන්නෙ”
“අනේ මන්නං තව වැඩි කාලයක් ලංකාවෙ ඉන්නෑ. කොහොම හරි හොඳ රටකට පැනගන්න එක තමයි දැං මගෙ එකම ටාගට් එක. ඊට පස්සෙ මට ඔය ගෙවල් අරව මේව වැඩක් නෑ”
පූජන සිය තීරණය ද නිල වශයෙන් ම දැනුම් දුන්නේ ය. ඒ කියන්නේ මේ ගේ මට යයි හඟවන්නට මෙන් රුසිරු සිනහවකින් ඔබ මොබ බැලුවේ ය. ඒ අතරේ දෑත් පපුවේ බැඳගත් ආර්ය හෙමිහිට අමාගී ට ලං වූයේ ය.
“දැං ඔයාටත් මොනාහරි තියනවද කියන්න…”
ඔහු එසේ විමසූයේ විහිළුවට ය. නමුත් අමාගී “හ්ම්” කීවේ ඇත්තටමයි.
“මොකද්ද සුදූ…”
“ආයුයි ඔයයි එක්ක ඉන්න ගමන් මට තාත්තිව බලාගන්න ඕනෙ… මට ඒක විතරක් කරන්න දෙන්න”
“පිස්සුද ළමයො. ඔයා විතරක් නෙවෙයි මාත් දුරේ අංකල්ව බලාගන්න ඕනෙ. ඔහොම කියනව කාටහරි ඇහුණොත් හිතයි මං ඒකට කැමති නෑ කියල”
“අපි බඳිනවනං ඊට කලින් මේක ඔයාට කියන්නම ඕන කියල හිතං හිටියෙ”
“ඔයා තාම මාව තේරුං අරං නෑ සුදූ”
“කසුන් අයිය වගේ අන්තිමට ඔයත් හිතුවොත් කියල මට බයයි”
“ඔයා ඔය විදිහට හිනා වෙලා සතුටෙන් ඉන්නෙ ඔයාගෙ පවුලෙ අයත් එක්ක නිදහසේ ඉන්න ලැබුණොත් විතරයි කියල මං දන්නව. මට ඕනෙ ඒ සතුටෙන් ඉන්න නිදහස් සුදූව මිසක්… මාත් එක්ක කේන්තියෙන් මූණ එල්ලං ඉන්න සුදූ කෙනෙක් නෙවෙයි”
“අනේ තෑන්ක් යූ ලොකයියෙ”
“ඔයා හිනාවෙලා ඉන්න ඕන තැනක මටයි මගෙ කොල්ලටයි සතුටෙන් ඉන්න පුළුවං කියල මං දන්නව”
“අඬවනවනෙ ඉතිං ඔයා මාව”
අමාගී සිනහ වෙමින් ම ඇස් පිසදා ගත්තා ය. ඒ වෙලාවේ ඇය වෙතින් දැකිය හැකි වූයේ සන්තෘප්තිමත් හා පූර්ණ වූ ගැහැනියකි.