මල් බිඟුන් – 54

සාන්වී ට ගර්භණී සමයේ මුල් අවධිය ඉතාමත් අපහසු එකක් වූයේ ය. දැඩි ආහාර අරුචිය නිසා ඇය කෑවේ බීවේ බොහෝ පෙරැත්ත කිරීම් වලින් අනතුරුව ය. නමුත් ඒවා එකෙනෙහි අනිත් පැත්තට වමනය කරයි. ක්ලාන්ත ගතිය ද ඇඟට ප්‍රාණයක් නොමැති වීම ද නිසා දවසෙන් වැඩි කාලයක් ඇය වැතිරීගෙන ම සිටියා ය. අඩු තරමින් නාගන්නට, හිස පීරාගන්නට තරම්වත් උනන්දුවක් ඇයට වූයේ නැත. රැකියාවට දිගට ම නොයා සිටීම නිසා ඈ වෙනුවට වෙනත් කෙනෙකු සේවයෙහි අනුයුක්ත කළ යුතු බව ආයතනයෙන් දැනුම් දිණි. එබැවින් රැකියාව අමතක කර දමන්නට ඇයට සිදු විය.

දුරේශ් ගේ හදවතේ  මල් යායක් පිබිදී තිබේ. ලෙඩ නිවාඩු වලින් පසු නැවත රැකියාවට යන හෙතෙම හවසට එත්දී සාන්වී වෙනුවෙන් විශේෂ කෑමක් අරගෙන එන්නේ හදවත පුම්බා ගත් තාත්තා කෙනෙකු ගේ ප්‍රීතියෙනි. ඒ ඔහු ගේ පළමු මුණුපුරා හෝ මිණිපිරිය වේ.

“දැං මාව අමතකයි. පොඩීයි එයාගෙ බබායි තමයි හැම වෙලේම හිතේ ඉන්නෙ”

එතකොට අමාගී හුරතල් නෝක්කාඩුවක් පායි. දුරේශ් තරමක් හඬ නැගෙන්නට සිනහ වෙයි.

“ඔයාටයි පොඩි එකාටයි එක්ක තමයි ගෙනත් තියෙන්නෙ”

මොන කෑම නො කෑවත් සාන්වී තාත්තා ගෙන එන යමක් අසීරුවෙන් හෝ කන්නට උත්සාහ කරයි. නැත්නම් ඔහු ට දුක හිතේවියි ඈ බිය බැවිනි.

“අනේ දුරේ මෙයාට කියන්න කොහොමහරි බත් මාළු ටිකක් කන්න කියල. ඔහොම හාමතේ ඉඳල කොහොමද දරුව නිරෝගීව හැදෙන්නෙ…”

මණී දවස පුරා ම වෙහෙසෙන්නේ සාන්වීට කත හැකි වෙතැයි සිතෙනා ආහාර පාන වර්ග සකසන්නටයි. ඇතැම් ඒවා ඇය විසින් ඉල්ලා සිටිය ද කන්නට ගිය විට අප්පිරියා කරයි. මණී කෙසේ හෝ ඇවිටිලි කොට කටක් දෙකක් හෝ කවාගන්නට බලයි.

“මටත් ඔහොම වමනෙ ගියා ලොකු පුතා හම්බවෙන්න ඉන්කොට”

මණී පරණ මතක පීරයි. එතකොට ඒ ගැන වැඩිපුර උනන්දු වන්නේ සාන්වී නොව අමාගී ය.

“ඉතිං එතකොට… පොඩී වගේම කෑවෙ නැද්ද…”

“මට ඩොක්ටර් කිව්ව වමනෙ ගියාට කමන්නෑ කොහොමහරි පුළුවන් තරමක් කන්න කියල. කන ඔක්කොම වමනෙ යන්නෑ ටිකක් හරි බඩේ ඉතුරු වෙනව කිව්ව. අමාරුවෙන් තමයි ඉතිං මුල් මාස ටික ඇදගත්තෙ”

“ඊට පස්සෙ…”

“පස්සෙ පස්සෙ ඉතිං කන්න පුළුවං වුණා. හැබැයි ඔය ඔක්කෝම කෝලං තිබුණෙ ලොකු පුතාට විතරයි. ඊට පස්සෙ ගාණක්වත් නෑ. ඔය චූටි පුතා හම්බ වෙන්න ඇවිත් මාස හතරකට පස්සෙයි දැනගත්තෙත් ආයෙ බබෙක් කියල”

“හරි ශෝක්”

“ඒක තමයි රූගෙ මොළේ වර්ධනය වෙලා නැත්තෙ. ෆෝලික් ඇසිඩ් අරං නෑ මණී ආන්ටි”

අමාගී ගේ විහිළුවට සාන්වී සිනහ වූයේ අසීරුවෙනි.

“හිනස්සන්නැතුව ඉන්නවකො. බඩත් රිදෙනව”

“මේ… ඕක හම්බුණගමන් තව එකක් හදාගන්නව”

අමාගී ඒ කීවේ මණී ට නෑසෙන සේ සාන්වී ට රහසිනි.

“ඈ…”

“එතකොට අමාරු නෑලුනෙ. දෙයියනේ කියල හම්බෙන ඔක්කොම ජාති කකා ඉන්න පුළුවං එතකොට. මොකද බඩේ ළමයෙක් නැත්තං ඕව ඔහොම හම්බ වෙනව කියලයැ… එහෙනං මේ අපිටත් හම්බෙන්න එපැයි”

“මෙයාගෙ කටනං…”

ගෙවල් දෙකේම අය සාන්වී ට සැලකුවේ විශේෂ දයාවකිනි. දිනෙන් දින ඇගේ කුස මෝරා වැඩෙනු බලා සිටීම පවා අසිරියක් විය. සන්දේශ් දැන්ම ම සෙල්ලම් බඩු ගෙනාවේ ය. සාන්වී පුංචී ගේ කුසයෙහි වැඩෙනා බබා ගැන ආයු දැක්වූයේ ද අධික උනන්දුවකි.

“තූති බබාල ඉන්නෙ අම්මලගෙ ටමී එක ඇතුළෙද…”

දිනක් අමාගී විසින් ආයු නිදිගන්වන්නට සූදානම් වූ වෙලාවේ ඔහු ඇගේ දෙපා මත වූ කොට්ටයට ආවේ එසේ විමසමිනි.

“ඔව්නෙ. සාන්වි පුංචි මල්ලි බබෙක් ගෙනාවම ඔයා එයා එක්ක සෙල්ලං කරනව නේද…”

“මං හිටියෙත් මාගෙ ටමී එකේද…”

ආර්ය කාමරයට එමින් සිටියේ        ඔහු ගේ ජංගම දුරකතනය ගෙන යන්නටයි. නමුත් ආයු ගේ ප්‍රශ්නය නිසා ඔහු යහන ළඟ එහෙම ම නතර වූයේ ය. අමාගී ගේ මුහුණේ වූයේ අනපේක්ශිත බවකි. ආයු ගේ ප්‍රශ්නයට ආර්ය ගෙන් පිළිතුරක් ඉල්ලා සිටිනවා සේ ඇය ඔහු දෙස දෑස් දල්වාගෙන සිටියා ය.

“ඔව් මැණික. ඔයා හිටියෙත් මාගෙ ටමී එකේ තමයි”

මුළු සිරුර ම පණ නැති වී යන්නා සේ අමාගී ට දැනිණ. ආර්ය ආයු ට එසේ කියාවියි ඇය කොහෙත්ම බලාපොරොත්තු නොවූවා විය හැක. මේ ටික දවසට ආයු ට හදවතින් අම්මා කෙනෙකු වී සිටියාට, ක්‍රියාවෙන් අම්මා කෙනෙකු වී සිටියාට, සැබවින් ඔහු ගේ ජීව විද්‍යාත්මක මව නිධී බව හැම මොහොතක ම ඇයට සිහි වේ. මතු යම් දවසක ආයු ඇය කෙරේ දක්වන මේ ළෙංගතු බව ක්ෂය වී යන්නට එය හේතුවක් වනු ඇත්දැයි ඈ ට සිතී නැතිවා නොවේ. දිනෙක නිධී ඇවිදින් ආයු ට අයිතිවාසිකම් කීවොත් ඔහු සිය සැබෑ මව් වෙනුවෙන් ඈ ව ප්‍රතික්ශේප නො කරනු ඇත්ද? අමාගී යනු සිය සැබෑ මව් බව ඔහු දැනුම් තේරුම් ඇති වයසේදී දැනගත හොත් ආයු ඈ ගැන කවරක්  සිතනු ඇත්ද?

“කෝ මාව ආයි ටමී එකට දාගන්න සාන් පුංචි වගේ”

ආයු අමාගී ගේ කම්මුල් දෙපසින් අල්වා හුරතලයෙන් කීවේ ය. හදවත ගැලවී යන්නට තරමින් දැනෙනා ඒ  වේදනාව කුමක්දැයි අමාගී ට සිතා ගත නො හැකි විණි.

“එහෙම කරන්න පුළුවන්නං ඇත්තටම මං කරනව පුතේ”

ඕ සිඟිත්තා ඉතා තදින් තුරුලු කොටගත්තා ය. ඇස් වලින් කඳුළක් ගිලිහුණේ ඇගේ උවමනාවට නොවේ. ආර්ය ඇගේ කොපුලක් මතින් අත තබා මහපටැඟිල්ලෙන් කඳුළ දොවාහළේ ය. ඈ සිය කොපුලත් උරයත් අතරේ ඔහු ගේ අත තද කොට ගත්තා ය.

“එහෙම කරන්න බැරි වුණාට ඔයා තමයි එයාගෙ අම්ම”

“අම්ම…”

ආර්ය ගේ අන්තිම වචනය අල්වාගත් ආයු යළි යළිත් ඒ පුනරුච්චාරණය කළේ ය. ඔහු එසේ කියත්දී අමාගී ගේ මව්වත් හදවත වෙඬරු සේ හුණු වී වැගිරිණි.

“ඒත් දවසක නිධී ආවොත්…”

“ළමයෙක්ව මාස නමයක් බඩේ තියං ඉඳල එළියට දාපු පළියට ගෑනියෙක්ට අම්ම කෙනෙක් වෙන්න බෑ සුදූ. ඔක්කෝටම කලින් අම්ම කෙනෙක් වෙන්න ඕනෙ හදවතින්. ඒ අතිං ඔයත් එක්ක බලනකොට එයා කවුද… “

“මං මෙයාව දෙන්නෙනං නෑ ලොකයියෙ. මගෙ හුස්මත් නතර වෙයි එහෙම වුණොත්…”

“මං එහෙම වෙන්න දෙන්නෑ”

ඔහු සිය අතක් ඇගේ උරහිස මතින් දමා ඇයව ඔහු වෙතට නැඹුරු කරගත්තේ ය. අමාගී ආර්ය ගේ පපුතුර සිනිඳුවට කම්මුලක් තියාගත්තා ය. අනිත් අතින් ආර්ය ආයුව ඔහු වෙතට තුරුලු කොට ගත්තේ ය. ආයු තාත්තා ට තුරුලු වී අමාගී ගේ ගෙල වට අත දමාගත්තේ ය.

“ඔය දෙන්නව ඇස් දෙක වගේ බලාගන්නව සුදූ. ඔයාගෙ හිත රිදෙන කිසිම දෙයක් වෙන්න දෙන්නෑ”

එය හදවතින් වූ පොරොන්දුවකි.

“අනිත් එක ඔයා හිතනවද ඔයා දෙන ආදරේ අමතක කරන්න තරං අපේ පුතා නරුම වෙයි කියල… තාත්තගෙ අවංක හිතත් එක්ක එයා ලොකු වෙයි. ඔයාගෙ අසාමාන්‍ය ආදර හිතත් එක්ක එයා ලොකු වෙයි. මටත් වැඩිය එයා ඔයාට ආදරේ කරයි. මට ඒක දැනෙනව”

අමාගී ගේ හදවත සැනසිලි සුවයක් වින්දේ ය. ඈ ආයුව උකුලට ගෙන නින්ද වෙත අවතීර්ණ වීම සඳහා දෙපයේ හොවා නැලවූවා ය. ආර්ය ඔවුන් ට ළඟින් යහන මත හිඳ දුරකතන තිරය දෙස බලා සිටියේ ය. අමාගී ඔහු ගේ හිස කේ තුළින් අතැඟිලි යවා මෘදු ලෙස හිස පිරිමැද්දා ය.

“ඔයාට තවත් කාලෙ ඕනද…”

ආර්ය එසේ ඇසුවේ ආයුගේ දෑස් පියවී ඔහු නිදි ලොව වෙත අවතීර්ණ වූවාට පසුයි.

“මොනාටද…”

“දැං දුරේ අංකල්ට සනීපයිනෙ. අපි පොඩි වෙඩින් එකකට දවසක් දාගමුද…”

ඈ දෙස යන්තම් හිස හරවා බැලූ ඔහු ගේ දෑස් සිහින් වූයේ ය. දෑස් අතරින් දෙබැමත් නළලත් රැලි නැංවී තිබිණ. ඒ බැල්ම අතිමහත් ආදරයක සලකුණක් සේ ඇගේ හදවතට දැනිණ.

“හා”

ඒ වචනය පිට වූයේ උගුරෙහි හිර වීගෙන වාගේ ය. අනියත ගැස්මක් ඇගේ හදවතෙහි විය. යහනෙන් නැගිටගත් ආර්ය,  ඇගේ දෙකොපුලින් අල්වා නැඹුරු වී රතදර මත උණුහුම් සිහිලැති හාදුවක් තැබුවේ ය. අතින් අල්වා නතර කරගන්නට ඇයට සිතුණේ වී ද ඔහු ට යන්නට හැර හිත අවනත කරගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles