ළපෙති මල් -7

“මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?”

තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව කොපමණ සිහින තිබේදැයි ඔහු සිතී ය.

“ලබන අවුරුද්දෙ අපි මැරි කරල ඇමරිකා යනවනෙ.මං තාත්තට කියන්නං.අපි දැන්ම යං.”

මන්දාරා අයදින්නට වූවා ය.යමක් කමක් ඇති පවුලක තරුණයන්ට වැළඳෙන සුලබම රෝගය වූ “”තාත්තාගේ මුදලින් ඉදිමීම”නම් රෝගය නැති තේජනට මේවාට එකඟ වීම අපහසු ය.ඔහු මන්දාරා සන්සුන් කරන ආකාරය සිතමින් අසරණ වූවේ ය.

“අපි දැන් හුඟක් කලබල වෙලා ඉන්නේ මන්දි..අපි මේක හෙමින් කතා කරමු..හොඳේ.මං ආපහු ඔයාව ආච්චම්මා ගාවට ඇරලවන්නද?”

ඒ සන්සුන් ස්වරය මන්දාරා නිවාලන්නට සමත් විණි.ඇය තේජනගෙන් සමුගත්තේ තම නිවසට ගොස් ඇඳුම් බෑගයත් රැගෙන ආච්චම්මා වෙත යන බව කියමිනි.

තේජන නිවසට ආවේ රෑ කළුවර වැටෙද්දී ය.සිහින් සරකින් ඇසෙන පිරිත් හඬ කියන්නේ අම්මා බුදුන් වඳින බව ය.ඔහු මුළුතැනගෙයට එබී බැලුවේ ගෘහ සේවිකාව හෝ ඇතිදැයි බලන්නට ය.වෙහෙසකර දවසක මහන්සිය මැකී යන්නට තේ කෝප්පයක් ඕනෑ බව තේජනට දැනෙන්නට විය.

තේජනගේ අම්මා,වජිරා පහත මාලයට ආවේ පෑ බාගයකටත් වඩා ගෙවී ගිය පසු ය.ඇය හවස තෙරුවන් නමදින්නේ නිවසේ ආකාස පියස්ස මත ඇති බුදු පිළිමය අබියසට වී ය.ඒ මොහොත ඇයට දවසේ ඇති වටිනාම මොහොත ය. සන්සුන් ගමනකින් සන්සුන් හිතකින් පහත මාලයට ආ ඇගේ හදවත තරමක් වියවුල් වුයේ බාල පුතුගේ මුහුණේ ඇති අඳුරු වළා දැකීමෙනි.ඔහුගේ සොවට හේතුව ඇය දැන සිටියා ය.මේ ගැටලුව මෙලෙස අවසන් නොවන්නට ඔහු බොහෝ දේ කළ බව වජිරා දනියි.ඇය පුතු වෙත පැමිණියේ ඒ කාරණා සිහි කරමිනි.

“අද දවසම ලෙක්චර්ස්ද?”

තේජන හිස වනා නැතැයි පැවසී ය.

“අපි මන්දිගෙ ආච්චම්මා මීට් වෙන්න ගියා අම්මා..”

කුඩා කාලයේ පටන් හැම කාරණාවක්ම අම්මාගේ කනේ තබන්නට පුරුදුව හුන් තේජන පැවසුවේ දුම් දමන කේතලයට නෙත් අලවාගෙන ය.වතුර නටන හඬ ඔහුට පැහැදිලිව ඇසේ.

“සිරිමා ආන්ටි මොකෝ කියන්නෙ රහල්ගෙ හපන්කම ගැන..”

වජිරා ඇසුවේ උපහාස සිනාවක් තොල් මතට ගනිමිනි.

“ආච්චම්මා කියන්නෙ ඉතින් ඒක අංකල්ගෙ අයිතිය කියල..”

තේජන පවසන්නේ මන්ද ස්වරයකිනි.අම්මා මේ කාරණාව ගැන බලන්නේ අපුලකින් බව ඔහු දනියි.නමුත් කරන්නට කිසිත් නැත.

“ඒ උනාට මන්දි ඉන්නෙ හරිම අවුලින් අම්මා.මට දුකයි.මන්දි පුදුම කේන්තියකිනුයි දුකකිනුයි ඉන්නෙ…”

තේජන වහවහා අම්මාට පැවසී ය.වැඩිහිටියන්ගේ වරදකාරී දෑ නිසා තමන්ට වෙන් වන්නට සිදු වුවහොත් අසාධාරණ බව ඔහු දනියි.ඔහු මෙවැනි දේ කියන්නේ එනිසා ය.

“මන්දාරා කියන්නේ හොඳ ළමයෙක්.අහිංසක යහපත් කෙල්ලක්.මට ලංකා ගැන නම් කවදත් කැමැත්තක් තිබ්බේ නෑ.ඒත් රහල් හොඳ මනුස්සයෙක් කියලයි මං හිතන් හිටියේ..”

වජිරා පුතු සමඟ පැවසුවේ කල්පනාකාරීව ය.මන්දාරාට වැඩිහිටියන්ගේ වැරදිවලට දඬුවම් විඳින්නට ඉඩ නොදිය යුතු බව ඇය දනියි.

“කවදහරි ඔයාලටයි රහල්ගෙ අලුත් වයිෆ්ටයි සේම් ඒජ් බබාලා ඉන්න ගත්තම ඒක හරි කැතයි පුතා.ඒත් ඉතින් මොනව කරන්නද..රහල්ට හිතෙනවනම් එයා චාල්ස් කුමාරයා කියල අපිටත් තියෙන්නෙ බලන් ඉන්න.ඒ මිනිස්සුන්ගෙ විකාර හින්දා අපි මන්දාරාට අකමැති වුණොත් ඒ ළමයා පණ නහ ගනියි..”

වජිරා තේ කෝප්පය සෑදුවේ එසේ කියමිනි.අම්මා කේක් කැබැල්ලක් වේගයෙන් කපන්නේ ‍රහල් අංකල්ගේ බෙල්ල කපන තරමේ ආවේගයකින් යැයි සිතද්දී තේජනට කරදර මැද පවා සිනා මතු වේ.

“හිමංගි නම් මොකක් හරි ප්ලෑනකට වැඩ කරේ.මට හිතා ගන්න බැරි රහල් අංකල් ලංකා ආන්ටිව ඔච්චර පේන්න බෑ වගේ හැසිරෙන්නෙ ඇයි කියලා.”

වජිරා තේ කෝප්පයේ දුම් අතරින් හිනැහුණා ය.

“හොඳ බිස්නස්ලේඩි කෙනෙක් වෙලා සෝෂල්වර්ක්ස් කර කර ටීවී එකේ බණ කියන ලංකා ඔයා මදර් ඉන් ලෝ කියල ඔයා දැනගත්තම ඇති පුතා.ලංකාට තව වෙස් මූණු තියනව.ඒත් ඒ ඔයාගෙ ගෑනු ළමයගෙ අම්මා.මම ඒකයි ඔයාට ඒ දේවල් නොකියන්නෙ..”

මන්දාරා ඇගේ අම්මා සමඟ කුමක්දෝ වෛරයකින් පසුවන බව තේජන දැන හුන්නේ ය.ඒ වෛරී සිතුවිල්ලට පාදක වූ කතාව තමන්ගේ අම්මා ද දන්නා හැඩකි.නමුත් උගත් බුද්ධිමත් කාන්තාවක වූ අම්මා ඒ ගැන තමන්ට නොකියන්නේ අනාගත බිරිඳගේ අම්මා ගැන අයපහත් සිතුවිලි තම සිතෙහි ඇති වීම වැළක්වීමට බව තේජනට පැහැදිලි ය.

“රහල් ඇත්තටම ආයේ මැරි කරන්න ඕන.එයා ඒකට මෙච්චර පරක්කු වුණු එකයි තමන්ගෙ දුවගෙ වයසෙ කෙල්ලක් තෝරා ගත්තු එකයි තමා වරද.නැත්‍තං රහල් වගේ වැදගත් හොඳ මිනිහෙක් ලංකා වගේ කෙනෙක්ට අයිති වෙන්න ඕන නෑ තමා..”

වජිරා එසේ කියන්නේ තේජනගේ හිත තවත් ගැටලුවලින් පුරවමිනි.ඔහු දඟකාර සිනාවක් දෙතොලට ගෙන අම්මා දෙස බැලුවේ ය.

“අර හින්දි සෝප් ඔපෙරාවල වගේ අම්මගෙ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් රහල් අංකල් එහෙම නෙවේනෙ.අම්මා කවදටවත් ලංකා ආන්ටිට කැමති නැති නිසා මං මේ අහන්නෙ..”

බරපතල කතාවෙන් මිදුණු වජිරා සිලිසිලියේ හිනැහුණා ය.අනතුරුව තේජනගේ උරහිසට පහරක් ගැසුවේ ය.

“පිස්සුද පුතා..මං තාත්තා එක්ක යාලු වුණේ දාසයෙන්.මං ඔය ලංකා ගැන දන්න හින්දා මේවා කියන්නෙ.ඒත් ඔයා මොන වෙලාවකවත් මන්දාරා දූට ලංකාගෙ ඇද පලුදු කියන්න එපා.දරුවෙක් අම්මා කෙනෙක්ගෙන් බිඳවන එක මහ පවක්..”

ජීවිතය පැටලී යන නූල් බෝලයක් මෙන් තේජනට දැනේ.අයියාගේ බිරිඳට තරමටම අම්මා මන්දාරාට ද ආදරය කරන බවට ඔහුට සැකයක් නැත.නමුත් අම්මාට ඒ පවුලේ උදවිය සමඟ මෙන් මන්දාරාගේ පවුලේ අය සමඟ බැඳීමක් හෝ සැබෑ හිතවත්කමක් නොවීම ගැන තේජනට දුක නොදැනෙනවා නොවේ.

මන්දාරා අත නොහැර මේවා දරා ගත යුතු බව ඔහු අනතුරුව සිතුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...