කොළඹත් නුවරත් යා කෙරූ අලුත් ආදරයක් පටන් ගත්තේ විදියටය.
“ඔයා එහෙම හිතුවට මම හිතන්නෙ නෑ අක්කෙ නෙවින් අයියා ගිය පාර වගේම මේ පාරවත් ඔයාව අමතක කරාවි ඔයාව නොගැලපෙනවා කියලා හිතාවි කියලා. ගියපාර උනෙත් ඒ මනුස්සයට මේ කොහෙද තිබ්බ අපලයක් පල දීපු එකක්නෙ. ඒකෙන් මේකෙන් ඔයාලා දෙන්නම දෙතැනක දුක් වින්දා මිසක. ඒ නිසා මම හිතන්නෙ නවත්තපු තැනින් හරි අලුත් තැනින් හරි කොහෙ හරි තැනකින් ඔයා පටන් ගන්න බලාගෙන ඉන්නවනම් ඒක ඔලුවෙ නෙගටිව් දේවල් තියාගන්නෙ නැතුව පටන් ගන්න.
ඇත්තටම ඔයාට නෙවින් අයියා දිහා නෙගටිව් විදියට බලන්න හේතුවක් නෑනෙ අක්කෙ. ඒ මනුස්සය වරදක් කරලා නෑ. කොටින්ම ඒ මනුස්සය කිව්ව විදියට එයා ඇක්සිඩන්ට් වෙච්ච එක එහෙම ලංකාවෙ මිනිස්සුන්ට කියන්න, නිව්ස් වලට දෙන්නෙ නෑ කියන ඩිසිශන් එක අරගෙන තියෙන්නෙ එයාගෙ අක්කා එයාට සිහිය නැතිවෙලා ඉන්න වෙලාවක නම් ඒකෙත් වරදක් කියන්න බෑනෙ. වෙච්ච හැමදේම උනේ හොඳට කියල හිතල ඔයා අලුතෙන් ආයෙ ජීවිතේ පටන් ගන්න අක්කෙ. මොක උනත් මං හිතන්නෙ ඒ මනුස්සය ඔයා ගැන මොනවහරි දෙයක් දන්නව. අපිට අම්මයි තාත්තයි නැතුව ඉස්සරහට හැමදාම තනියෙන් මූණ දෙන්න බෑනෙ අක්කෙ. එහෙම එකේ අපිට අපේ කියල බය නැතුව කියන්න කෙනෙක් ඉන්න ඕන. මමත් මුලින් නෙවින් අයිය ඔයාව රවට්ටල කියල හිතලා බැන්නට ඒ මනුස්සය එක්ක කතා කරයින් පස්සෙ තමා මට තේරුනේ ඇත්තටම එයා හොඳ කෙනෙක් කියලා.” නංගි කියද්දි උනත් ශාර්වරී වෙනදා වගේ විරුද්ධව දෙයක් කියන්න ගියේ නැත. අනෙක් අතට ඇත්තටම පහුගිය මාස ගණනාවක් පුරාවට තමන්ට රිදවා තිබෙන්නෙත් තමන්ව රවටා තිබෙන්නෙත් දෛවය මිස නෙවින් නොවන බව දැනගත්ත එකම හිත සනසාගන්න හේතුවක් බව ශාර්වරීට අමතක වුණේ නැත.
සතියේ දවස්වල තමන්ගේ රැකියාවටත්, ව්‍යාපාර ස්තානයේ වැඩවලටත් කාලය යොමු කරන අතරම රාත්‍රියේ ශාර්වරී අමතා දුක සැප විමසන්න නෙවින් අමතක කලේ නැත. ඒ වගේම සති අන්තවල නුවර විත් ශාර්වරීව බලා යන්නත් නෙවින් අමතක කලේ නැත. එහෙත් ඒ බැඳීම අස්සේ තමන්ට නුපුරුදු කුමක් හෝ දුරස්ත බවක් තියෙන බව ශාර්වරීට හිතුනාය.
ඉස්සර වගේ විහිලු කරන, තුරුලු කරගන්න, නොහිතන අවස්තාවල විත් තමාව සිපගන්න, වඩාගන්න නෙවින් කෙනෙක්ගෙන් මිදුන වඩා කල්පනාකාරී, නිහඬ, ශාන්ත නෙවින් කෙනෙක් ඉදිරියේ තමන් පරණ පුරුදු ආදරය බලාපොරොත්තු වන එක හරිද වැරදිද කියන ගැටලුවත් ශාර්වරීට තිබුණාය.
“මට ඉස්සර දේවල් අමතක හන්දා මං මේ අහන්නෙ. මං ඔයාට ඉස්සර කතා කරේ කොහොමද?” නෙවින් ඇහුවේ සතියේ දිනක දවසක් රෑ වැඩ ඇරී ගෙදර විත් ශාර්වරී එක්ක දුරකතන ඇමතුමක නිරතව ඉද්දීය. නෙවින් විටෙන් විට අහන මේ වගේ අතීතය සම්බන්ධ ප්‍රශ්න වලට තමන් ඇත්තටම දෙන්න ඕන උත්තර මොනවද කියා හිතාගන්න බැරුව නිහඬ වුණ අවස්ත කොපමණ ඇතත් ඒ බොහෝ තැන්වල තමන් බොහෝ දේ හිත අස්සේම හංගාගෙන වෙනත් දේ කිව්ව බව දැන උන්නේ ශාර්වරීව පමණකි.
“ම්ම්ම්ම්”
“මං දන්නව එහෙම හද්දි උත්තර දෙන එක පොඩ්ඩක් අවුල් කියලා. ඒ උනාට මට ඇත්තටම හිතෙනවා සමහර වෙලාවට අපි දෙන්න අතීතේ මාරටම ලංවෙලා ඉන්න ඇති හැබැයි දැන් අපි දෙන්නා අතරෙ මොකක් හරි මට නොතේරෙන ඩිස්ටන්ස් එකක් තියෙනවා කියලා”
“ඇයි එහෙම හිතුනෙ?”
“අපි දෙන්නා අතීතෙ ලංවෙලා උන්නා කියන එකේ ප්‍රමානෙ නේද මට හැමදේම අමතක වුන වෙලාවක් වුනත් ඔයාව විතරක්ම මතක් කරන්න හේතුවුනේ? මට මගේ නමවත් අමතක වෙලා තිබුන තැනක ඔයාව මතක් වුනා කියන්නෙ අපි අතරෙ තිබුන බොන්ඩ් එක මාර ස්ට්‍රෝන්ග් එකක් කියන එකනෙ. ඒ උනාට මට දැන් අපි දෙන්න කොච්චර ෆෝන් කෝල් ගත්තත්, මං නුවර ආවම අපි දෙන්න එලියට ගියත් කතා බහ කරත් මොකක් හරි ඩිස්ටන්ස් එකක් තියෙනව කියලමයි හිතෙන්නෙ.
මම දන්නෙ නෑ ඇයි එහෙම හිතෙන්නෙ කියල. ඔයා තමයි මට ඒකට උදව් කරන්න ඕන. ඔයාට මතකනෙ හැමදේම. මම ඔයාට ඉස්සර කතා කල විදිය මොකද්ද කියල මට කියන්න. මං ඔයා ලඟ හිටියෙ කොහොමද, අපි අතරෙ උන දේවල් මොනවද කියන එක කියන්න, එතකොට මට පුලුවන් ඒ විදියට හැසිරෙන්න.
හංගන්න ඕන නෑනෙ නංගි, මට කවදාවත් ආයෙ ඒ අතීතෙ මතක් වෙන්නෙ නෑ. එහෙමයි කියල මට ඔයාව බලෙන් මගෙ ලයිෆ් එකේ තියාගන්නවත්, ඔයාට දෙන්න ඕන තැන නොදී ඉන්නවත් උවමනාවක් නෑ. ඔයාට මං අතීතෙ සැලකුවෙ කොයි විදියටද මට ඕන දැනුත් ඒ විදියටම කියන්න. ඔයා තමයි මට කියන්න ඕන මං කොහොමද ඉස්සර හිටියෙ කියල.
මං නරකද ඉස්සර? ටොක්සික් බෝයි කෙනෙක්ද? නිහඬතාවයෙන් පෙනී යන්නෙ ඒකද?” කියා නෙවින් ඇසූ විට මුවඟට සිනාවක් ආවේ දෙනෙත කඳුලෙන් තෙත් කරමිනි.
“නෑ ඔයා හරි හොඳයි”
“හ්ම්ම්”
“අපි නෙක්ස්ට් වීක් කොළඹ එනවා”
“ඇයි ඒ?”
“බුක් ෆෙයාර් එකනෙ. නංගි එයාගෙ යාලුවො එක්ක පොත් ගන්න යනව කිව්ව. මටත් එන්න කිව්ව. ඒ උනාට මට කම්මැලි අනේ.”
“ඇයි?”
“නංගිගෙ යාලුවො හොඳයි. ඒ උනාට මං ඉතින් ලොකුවට එයාලා දන්නෙ නෑනෙ. ඒකයි”
“ඔයාට ගන්න පොත් මොනවහරි තියෙනවද? කීය වගේ වෙනකම් ඉන්නවද?”
“මට නම් ගන්න ගොඩක් පොත් නෑ. අලුතෙන් ආව පොත් ටිකක් තියෙනවා. ඒ ටිකනම් නංගිට සල්ලි දීලා අරගෙන එන්න කියන්න පුලුවන්.මෙහෙන් උදේම එනව. එයාලා ඉතින් පොත් අරගෙන රවුම් ගහලා එද්දි රෑ වෙයි”
“හරි, අපි මෙහෙම කරමු”
“කොහොමද?”
“ඔයාලා හරියටම කොළඹ එන දවස කියන්න මට. මම එන්නම් ඔයාව අරගන්න. නංගිලට පොත් ගන්න කියලා අපි දෙන්න කොහෙ හරි රවුමක් දාමු. කාලා ෆිල්ම් එකක් එහෙම බලලා, නැත්තම් ඇවිදින්න යන්? ඔයාට අවුල් ද? අපි දෙන්නා එහෙම ඉස්සර ගිහින් තියෙනවද එහෙ මෙහෙ නැද්ද?”
“තියෙනවා. එහෙම අවුලක් නෑ”
“එහෙනම් එන එක අවුලක් නෑනෙ. ඔයා නංගිට කියන්න”
“මට බයයි නංගි මොනාහරි හිතාවිද කියල?”
“මොනව හිතන්නද අනේ? ඉතින් මම ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නෙ ළමයො. ඔයාට ලැජ්ජද? නංගි ඒත් මට කිව්ව ඔයා හරි ලැජ්ජකාරි කියල. හරි හරි මම කියන්නම්කො නංගිට. එදාට පුලුවන් උනොත් අපි එදාට ලක්ශාන්ගෙ ගෙදර යන්. ඒ නංගිට බබෙක් හම්බෙන්නනෙ. මං ගියේ නෑ බලන්න. මට ලැජ්ජ හිතුනා එහෙම යන්න. ඔයා ඉද්දි යන්න පුලුවන්”
“මං නංගිගෙන් අහලා කියන්නම්. ගොඩක් වෙලාවට එන්නෙ සිකුරාදා දවසක හරි වීකෙන්ඩ් එකක වගේ තමයි. වීකෙන්ඩ් එකක් උනොත් අවුලක් නෑනෙ. මෙච්චර දවසක් ඔයානෙ නුවර ආවෙ. මම එන්නම් කොළඹ”
“ඒක නිකන් මොකද අමුතු විදියට කිව්වේ?”
“නෑ ඉතින් ඔයාට උනත් හිතෙන්න ඇති නෙ කරදර විඳගෙන පික් මී වල සල්ලි ගෙවන් මාව හම්බුවෙන්න නුවර එද්දි මොන මෝඩකමක්ද මං මේ හීනෙන් පෙනිච්ච කෙල්ලෙක් හොයාගන්න මහන්සි උනේ කියලා”
“ඒ ඔයා හිතන් ඉන්න හැටිනෙ. ඔයාව බලන්න මං එන්නෙ පුදුම සතුටෙන්. ඔයාව බලලා ආයෙ යද්දි හිතට අමුතු දුකක් දැනෙනවා. හරියට මට අයිති දෙයක් දාලා යනව කියලා. මට අයිති දෙයක් තමයි ඉතින්. මගෙ නේද? හීනෙනුත් ඔයා ඇවිත් ඇහුවෙ ඒක? මගෙ විතරයි නේද කියලා?
ඇයි ඇත්තටම එහෙම ඇහුවෙ? අපි දෙන්නා අතරෙ කවදහරි ඒ කන්වසේශන් එක වෙලා තියෙනවද?” කියා නෙවින් ඇහුවාට තමන් ඔය ප්‍රශ්නෙ ළඟ ගල්වෙන බව දැනගෙන උන් නිසාම ශාර්වරී ප්‍රශ්නෙ මග හැර කතාව වෙන පැත්තකට හැරෙව්වාය.
හමුවන්න සැලසුම හැදුනේ ඒ විදියටය. ඒ හමුවීම තමන් දරාගත යුත්තේ කොහොමද කියන එක ගැන අදහසක් නෙවින්ටවත් ශාර්වරීටවත් තිබුණේ නැති නමුත් අතීතයේ වූ වැරදි හදන්න දෛවය තීරණය කරගෙන උන් බවක්වත් ඔවුන් දෙදෙනාම දැන උන්නේ නැත.