රන් මල් දම් – 63

 රාජිකා පසන්ට ඇමතුමක් ගෙන තම දියණියට හෝ සැමියාට කරදරයක් නොවිය යුතු බව අවධාරනය කලාය. පසන් සහ නිම්නාවී විවාහ කරවීමේ අරමුණින් ද රාත්‍රියේ ඔවුන් යන සාදයේ විස්තර කීවද, දැන් ඇගේ සිතට බියක් දැනෙන්නේය.  ඩයස් නිම්නාවීව පසන්ට රැගෙන යෑමට නොදී යම් කලබලයක් කලහොත්, පසන් ගේ හෙංචයියන් අතින් ඩයස්ට යම් අනතුරක් විය හැකි බව ඇගේ සාමාන්‍ය දැනුම ඇයට මතක් කර දී තිබුණි. 

” හරි හරි ආන්ටි .. මම මිනිස්සුන්ට ඒක කියලා තියෙන්නේ…”

පසන්ගේ ස්වරයේ ඇති නොරිස්සුම හඳුනාගන්නට රාජිකාට අපහසු වූයේ නැත. එහෙත් එවෙලෙහි කල යුත්තේ කුමක්දැයි කියා ඇයට වැටහුනේද නැත. මේ පිළිබඳව  ඩයස්ට පැවසීම තුල ඔහු තමා හා සම්ඟ තවත් වෛර බැඳගන්නා බව රාජිකා දානී.

” මන්දාරම් මෙහෙ ඇවිල්ලා ගියපු බව පසන්ට කිව්වේ කවුද කියලා මම නොදන්නවා කියලා හිතන්නෙපා රාජිකා.. මගේ වහල යට ඉඳන්, මගේ දරුවාට හතුරුකම් කරන එක නවත්තන්නේ නැත්තම් ඒකට කරන්න ඕනි මොකක්ද කියලාත් මම දන්නවා …”

ඩයස් පැවසූ අයුරු රාජිකාට අමතක නැත. තමා මෙවැන්නක් පසන්ට පැවසූ බව පවා ඩයස් දැනගැනීමෙන් සිදුවන්නේ විනාශයකි. එනිසා පසන් ලවා ඔවුන් දෙදෙනාට කරදරයක් නොවන සේ කටයුතු සිදු කර ගැනීම වඩා පහසු බව ඕ සිතුවාය.රාත්‍රී  එක පසු වෙද්දී හෝටල් පරිශ්‍රයෙන් වාහන එක දෙක නික්මෙද්දී මන්දාරම් ඉතා විමසිලිමත් බැල්මක් ඒ  වෙත හෙලමින් බලා උන්නේය. හිතේ තිබූ මතකයේ ආකාරයට නිම්නාවීගේ පියාගේ කැබ් රිය හඳුනාගත්තේය.  මන්දාරම් මෝටර් රිය පණ ගන්වා ගත්තේය.කැබ් රිය පසුපපසින් වැටුනේය. සමාන්තරව ගමන් කරන්නට උත්සාහ කරමින් එහි සිටින්නේ ඩයස් බව හඳුනාගත්තේය. කැබ් රිය  අධිවේගී මාර්ගයට පිවිසියේය. බණ්ඩාරගමින් අධිවේගී මාර්ගයෙන් නික්මුණේය. මන්දාරම්ද එලෙසින්ම ගමන් කලේය. කැබ් රිය මඟ නොහැරෙන්නට  වග බලා ගත්තේය.

එක්වරම කැබ් රිය මඟ හරස් වන ලෙසින් තවත් කැබ් රිය දෙකක් නැවතූනේය. ඩයස් ගේ කැබ් රිය නැවතුනේය. මන්දාරම්ද මෝටර් රිය නවතාගත්තේය. වහාම පොලිස් හදිසි ඇමතුම් අංකයද ඇමතුවේය. අවහිර කෙරුණ කැබ් රිය දෙකෙන් මිනිසුන් කිහිප දෙනෙක්ම බැස එන බව පෙනෙද්දී මන්දාරම්ද මෝටර් රියෙහි අඟුලු විවෘ ත කලේය. ඊළඟ පියවර වෙනුවෙන් මද වෙලාවක් බලා උන්නේය. එක්වරම යමක් සිහිවී නිම්නාවීට ඇමතුමක් ගත්තේය.

” හෙලෝ ….”

ඇගේ බියපත් හඬ ඇසෙද්දී මන්දාරම් මොහොතකට නොසන්සුන් වූයේය.

” අහන්න නිම්නාවී .. මම 119  ඉන්ෆෝර්ම් කරලා තියෙන්නේ … කලබල නොවී වාහනේ ඇතුලේම ඉන්න …”

” ඔයා ..ඔයා …කොහේද ඉන්නේ ?…”

නිම්නාවී පසුපස සහ අවට බලමින් විමසුවේ හිතේ කලබලය සමඟ කිසිත් ගලපා ගන්නට නොහැකිව මෙන් ය.

” පිටිපස්සෙන් ඉන්නවා … බය නොවී ඉන්න ..මුකුත් වෙන්නේ නැ …”

නිම්නාවී ඩයස්ගේ අතින් අල්ලාගත්තේ ඇමතුම  විසන්ධි නොකරමය.

” තාත්තේ .. මන්දාරම් පිටිපස්සේ ඉන්නවලූ …”

” පිටිපස්සේ ?..”

ඔවුන්ගේ කතාබහ මන්දාරම් අසා උන්නේය. ඉන් පසුව ඔහුට එක්වරම ඇසුනේ ඩයස්ගේ හඬය.

” පුතා ..”

” අ.. අංකල් …”

එක්වරම බලාපොරොත්තු නොවූ ආමන්ත්‍රණය සහ සිදුවිම නිසා මන්දාරම් උන් විමසිලිමත් බවද මොහොතකට එහෙ මෙහෙ වූයේය.

“කාර් එකෙන් බහින්න එපා පුතා … කලබල නොකර ඔහොම ඉන්න …”

” හ .. හරි .. අංකල් ….”

මන්දාරම් යළි විමසිලිමත් දෑස්  සිදුවීම දෙසට අලවමින් කීවේය.ඇමතුම විසන්ධි කලේය.  ඩයස් ඔහුගේ පොලිස් මිතුරාවද වහාම දැනුවත් කර තිබුණි. එක්වරම මඟ දෙපඉන්ම පොලිස් වාහන  කිහිපයක් ඔවුන් වට කරන ලද්දේය. මන්දාරම් වහා මෝටර් රියෙන් බැස්සේය. පොලිස් නිළධාරින් සමග ගැටෙන්නට පසන්ගේ පිරිසට  හැකි වූයෙ නැත. සියලු දෙනාම අත් අඩංගුවට ගත්තේ, ඩයස් ඉන් එක් අයෙකුට ඉතා දැඩි අතුල් පහරක්ද එල්ල කර කෝපයෙන් බැණ වදිද්දීය.

” ගිහින් කියපං උඹේ මහ එකාට … ඩයස් කියන්නේ එහෙම ලේසියෙන් හැප්පෙන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි කියලා.. මගේ කෙල්ලගේ ඉස්සරහට එන්න හීනෙකින් හරි හිතනවා නම්, ඊට කලින් මාව පහු කරගෙන යන්න වෙන බවත් බොහොම පැහැදිලිව කියපං ….”

පොලිස් නිළධාරීන් නික්මෙනවාත් සමඟම, ඩයස්ගේ පොලිස් මිතුරා එම ස්තානයට පැමිණියේය. ඔවුන් දෙදෙනාගේ කතා බහ අතරේ මන්දාරම් කැබ් රියේ අනෙක් පසට ඇවිද ගියේය. නිම්නාවි දොර විවෘ ත කලාය. මන්දාරම් උන්නේ ඇයට අඩි කිහිපයක් දුරිනි. නිල් පැහැ කමිසයටකට කොට කලිසමක් හැඳ ,  බාටා වර්ගයේ සෙරෙප්පු දෙකක් පැළඳ සිටින මිනිසා දෙස නිම්නාවී හෙලුවේ ඇයටද පාලනයක් නැති සහ කියවාගන්නට නොහැකි හැඟීම් එකතු වූ බැල්මකි.

ඉන් පසුව ඕ ඇසිල්ලෙන් කැබ් රියෙන් පැන්නාය. වහාම මන්දාරම්ගේ ගෙල වටා දෑත් යවා ඔහු වැලඳගත්තේ, මන්දාරම්  ඇයද සමඟ අඩි දෙකක් පමන ආපස්සට විසිවී යද්දීය. මන්දාරම් හිස අසීරුවෙන් නිම්නාවී වෙත හරවා ඕ සිටින්නේ කෙලෙසින්දැයි  බලන්නට උත්සාහ කලේය. ඔහුගේ දෑත් වූයේ නිදහස්වය. ඇය වටා වෙළෙන්නට සූදානමක් හෝ නැතිවය.

” සෙත් … ඔයා කොච්චර දේවල් කරනවාද තව ?..”

නිම්නාවී මන්දාරම්ගේ පපුවට ගුලිවීගෙනම ඉකි ගසමින් එලෙස ඇසුවේය. ඇයට මෙතැන ඉන්නේ මන්දාරම් වර්ණකුල ලෙසින් මීට මාස කිහිපයකට පෙර හඳුනාගත් මිනිසා නොවේය. සෙත් වර්ණකුල ල්සෙඉන් පාසැල් සමයේ පටන්ම ඇගේ සිත නිවාගන්නට හේතු සලසා දුන් මිනිසාය.  ඕ කිසිඳු පැකිලීමක් නැතිවම වඩ වඩා මන්දාරම්ට බැඳෙමින් උන්නාය. ඕ උන්නේ පියවි සිහියෙන් සෑහෙන දුරකට ඇදෙමිනි. එහෙත් පියවි සිහියේ උන් මන්දාරම් තත්වය කලමනාකරනය කර ගැනීමට නොහැකිව වික්ෂිප්තව උන්නේය. ඔහු දෑත් ඇය වටා වෙලෙන මට්ටමටම ගෙනැවිත් , දෙවතාවක් පමනම නිදහසේ වැටෙන්නට දුන්නේය.

” මං දන්නවා… ඔයා සමාව  දෙන්නේ නෑ මට කවදාවත් .. කවදාවත්ම… ඒත් .. ඒත් .. මං මේක ඔයාට නොකිව්වොත් මට කවදාවත් සැනසීමෙන් ජීවත් වෙන්න බැරි වෙයි …”

ඕ හිස ඔසවා මන්දාරම් දෙස බැලුවාය. මන්දාරම් ඇගේ තෙත්ව ගිය නෙත් හී ඇලී, පෙඟී ගියේය. මේ මෙවන් සීතල සහ අඳුරම ඇති රැයකට බලාපොරොත්තු වූ උණුසුමක් සහ ආලෝකයක් නොවේය. බලාපොරොත්තු නොතිබුණා නොවේය. එහෙත් මෙතරම් ඉක්මනින් නොවේය.

” යන්න බැහැ නේහ් ?.. ඔයා මට දෙන්න ඕනි උත්තරේ දන්නවා නිම්නාවී … උද්දච්ච නොවී ඒ උත්තරේ පිළිගන්න .. මම ඔයාට පොරොන්දු වෙන්නම්, ජීව්තේ අතීතේ මොන දේ වෙලා තිබුනත්, අනාගතේ මොන දේ වුනත්.. මම ඔයාට මේ මොහොතේ මේ පෙන්නන, දැනෙන්න දෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ කියලා… මොන දේ වුනත් කතා බහ කරන අවබෝධෙන් විසඳගන්න තරම් හයියක් මට තියෙනවා කියලා… පොරොන්දු වෙන්නම් නිම්නාවී .. ට්‍රස්ට් මී ෆොර් අ වයිල්.. අයි විල් පෲව් යූ හව් මච් අයි කැන් ඩු ෆොර් අස් …”

අවසාන වරට මන්දාරම්ගේ නිවසේ  හමුවූ දිනයේ ඔහු පැවසූ අයුරු නිම්නාවීට යලි ඇසුණේය. ඕ ඒ හැම වචනයක්ම ඉතා සිහියෙන් සිහිපත් කලාය. ඒ සිහිය වූයේ ඇය තුලය. අවට පරිසරය ගැන ඇය උන්නේ සිහියක නොවේය.

” එදාත් .. මට ඔයාට කියන්න ඕනි වුනා සෙත් .. ඒත් .. එදා .. මම ..ඔයා දන්නවා මම එදා බොරුවක් එක්ක උන්න කෙල්ලෙක් .. එකක් නෙවෙයි , දෙක තුනක්.. වැරදිකාරියක් … ඔයාගේ වෛරයට බොහොම ළ්ඟින් උන්නේ .. මට බය හිතුනා.. මට දැනෙන දේ ඔයාට කියලා, මම ඔයාවත් විනාශ කරාවි කියලා.. ඒත්, අඩුම තරමේ ඔයා මට වෛර නොකරන බව දන්නවා.. ඔයා මට සමාව නොදෙන බවත් දන්නවා …. ඒත් වෛර කරන්නේ නෑ නේද ?…”

ඇගේ නෙත් කෙවෙනි වෙතින් ගැලූ කඳුළු මන්දාරම් සහ නිම්නාවී අතරින් බිමට වැටුනේ නැත.

” සෙත් … මං ඔයාට මහ ගොඩක් ආදරෙයි සෙත් … ඔයා වෙනුවෙන් මගේ ජීවිතේම අත අරින්න තරමට මම ආදරෙයි ….”

ඉතින්, මන්දාරම්ගේ දෑත් තවදුරටත් නිදහසේ තිබුනේ නැත. ඔහු ද පියවි සිහියෙන් ඉක්මුනේය. මේ තරුණියගේ පියා තමාට අඩි කිහිපයක් එපිටින් සිටින වග සිහි වුයේද නැත.

” නි .. ම්නා.. වී …”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles