කහ කියන්නෙ ආහාර පිසීමේදී ස්වභාවික කහ වර්ණය ලබාදෙන්න භාවිතා කරන කුළුබඩුවක් ලෙස වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඉතාම වටිනා සහ ප්‍රභල ඖෂධයක් ලෙසත් ශ්‍රී ලංකාවේ වගේම වෙනත් ආසියාතික රටවල් බොහොමයක ඉතාම සුලභව භාවිතා කරන පැලෑටියක් කියල අපි කවුරුත් දන්නව.
ප්‍රතිඔක්සිකාරක ඇති නිසා සෛලවලට ඇතිවන හානි වැලැක්වීමටත්, තුවාල සහ කුරුලෑ සුවකිරීමටත්, නීරෝගී දීප්තිමත් සහ ළප කැළැල් වලින් තොර සමක් ලබාදීමටත්, රුධිරගත සීනි සහ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරන්නත්, රුධිර පීඩනය ක්‍රමවත් කරන්නත්, පිළිකා සෛල වල වර්ධනය සීමා කරන්නත් උපකාරී වෙන කහ බොහෝවිට අපි ආහාර වලට එකතු කරන්නෙ වියළා සකසා ගත් කුඩු ආකාරයටනේ.
වෙළඳපොලෙන් මිලදී ගන්නවාට වඩා පිරිසිදු සෞඛ්යාරක්ෂිත වගේම විශ්වාසනීය ආකාරයට ගෙදරදීම කහ සකසා ගන්න පුළුවන් නම් ඒකෙ වටිනාකම කියල නිම කරන්න බෑ.
එහෙනම් ඔන්න smart lady අපි අද කියල දෙන්න සූදානම් වෙන්නෙ ගෙදරදීම හරිම ලේසියෙන් කහ කුඩු හදාගන්නෙ කොහොමද කියලයි.
මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් සෝදා පිරිසිදු කරගත් කහ අල
වතුර
පිරිසිදු කපු රෙදි කැබැල්ලක්
තරමක් විශාල තැටියක්
පෙරනයක්
හොඳින් ඉර එළිය ඇති කාලයක කහ කුඩු පහසුවෙන් සාදාගන්න ඔබට පුළුවන්.
එහෙනම් අපි බලමු කොහොමද කහ කුඩු හදාගන්නෙ කියල.
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක් විශාල භාජනයක් ලිපතබා එහි භාගයක් පමණ උසට වතුර පුරවා ගන්න. ඊළඟට වතුර මට්ටමට තරමක් උඩින් සිටින සේ දැල් හෝ හිල් සහිත තට්ටුවක් තබාගන්න.
භාජනයේ වතුර නටන විට එම තට්ටුව මත පිරිසිදු කරගත් (පොත්ත ඉවත් නොකර) කහ අල ටික අතුරා භාජනයේ පියන වසා අල ටික හොඳින් වාෂ්පයෙන් තම්බාගන්න.
මේ සඳහා ප්‍රේෂර් කුකර් එකක් හෝ රයිස් කුකර් එකක එළවළු තම්බන කොටස භාවිතා කරන්නත් ඔබට පුළුවන්.
සාමාන්‍ය අල තැම්බුණු පසු ඇති ආකාරයට කහ අල ටික තැම්බුණු පසු කහ අල භාජනයෙන් ඉවතට ගෙන නිමෙන්නට තබාගන්න.
ඊළඟට, නිමාගත් කහ අල ටික සාමාන්‍ය ප්‍රමාණයේ පෙති වලට කපා සෝදා පිරිසිදු කරගෙන වියළාගත් තැටියේ අතුරා ගන්න ඕන.
කහ අල ටික අතුරා දුහුවිලි, කුණු, කෘමි හානි නොවන සේ ඊට උඩින් පිරිසුදු කපු රෙදි කැබැල්ලකින් හෝ දැලකින් මේ තැටිය ආවරණය කරගත යුතුයි.
දැන් අපිට තියෙන්නෙ කහ ටික හොඳින් වේලගන්න.
ඔබ ජීවත් වෙන ප්‍රදේශයට වැටෙන හිරු එළිය මත මේ සඳහා ගත වෙන දින ගණන වෙනස් වෙන්න පුළුවන්.
ඒ කොහොම වුනත් රබර් වගේ ඇදෙන සුළු ගතියට නැතුව ගල් කැට වගේ තදට වේලෙන තුරු තබාගන්න ඕන.
මුලින්ම මඳ අව්වේ දින 02 ක් 03 ක් පමණ වේලගෙන ඊළඟට තද අව්වේ තබා නියමිත ප්‍රමාණයට වේලා ගැනීම වඩා සුදුසුයි කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.
මේ විදිහට වේලාගත් කහ අල කැබලි බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් කුඩු කර ගැනීම ඊළඟට කළ යුතුයි.
ඔබ ගන්නා කහ අල ප්‍රමාණය අනුව බ්ලෙන්ඩරයට දැමිය යුතු වාර ගණන තීරණය වෙනව.
මේ විදිහට කුඩු කරගත් කහ භාජනයක අසුරා ගන්න කලින් පෙරණයක් මඟින් දෙවරක් පමණ හලා ගැනීම සිදුකරන්නත් ඕන.
දැන් මේ විදිහට සකසාගත් කහ කුඩු සියල්ල තරමක් විශාල භාජනයක අසුරා තබාගෙන ඔබට අවශ්‍ය සුළු ප්‍රමාණයක් එදිනෙදා ඔබ කහ කුඩු දමන්න භාවිතා කරන භාජනයට දමාගෙන භාවිතයට ගන්න පුළුවන්.
එහෙනම්, මේ විදිහට කහ කුඩු හදාගන්න දැන් ඔබටත් පුළුවන් නේද?
ඔබ භාවිත කරන්නෙ වෙනත් ක්‍රමයක් නම් ඒ ක්‍රමෙත් අපිත් එක්ක බෙදාගන්න කියල ආදරෙන් ආරාධනා කරන ගමන්ම අපි එහෙනම් සමුගන්නව.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |