හද සාගරේ – 3

0
325

බසයෙන් බැසගන්නා විට ද ආදියා මන්දරී බෙත්මගේ ගේ මුහුණේ මඳ සිනහ රැල්ලක් විය. යෙහෙළියන් දෙව්රම් ගැන කියමින් ඇයට විහිළු තහළු කළ හැටි තවමත් ඇගේ මනසේ රැව් දෙමින් තිබේ. නමුත් ඒ සතුට, ඒ සැහැල්ලුව තිබෙන්නේ ගෙදර එන්නට බස් රියෙන් බැසගන්නා තුරු පමණකි. පෙත් මගට හැරුණු වහා ම හදවත මැද ගිනි මැලය අලුතෙන් ඇවිළෙන්නට ගනී. අක්කා ගේ සැමියා කටගොන්නක් බීගෙන විත් අල්ලන අඩව් නිසා ගෙදර කිසිවෙකුට සැනසීමෙන් රැයෙහි ඇස් පියා ගන්නට ලැබෙන්නේ නැත. එමතු නොව රත් කරගන්නා බත් පත වුව ඇතැම් විට කන්නට අස්වැසිල්ලක් නැත. කෑව ද ඒ සිරුරට පත්තියම් වන්නේ නැති තරම ය. හිතේ ගින්න ආත්මය ම ගිනි තබනා බැවිනි.

සාරධා ආදියා ට වැඩිය වැඩිමල් වන්නේ අව්රුද්දකුත් මාස කිහිපයකින් පමණකි. පොඩි කාලේ පටන් ජිනාදරී හා නිශ්ශංක සිය දියණියන් දෙදෙනාවම සැරසුවේ එකම විලාසිතාවේ ඇඳුම් හා සපත්තු වලිනි. වයස් පරතරය අඩු බැවින් ඔවුන් දෙදෙනාගේ පෙනුමේ ඒ හැටි වෙනසක් වූයේ නැත. එක ම විලාසිතාවකට කොණ්ඩා කැපූ විට දියණිවරුන් දෙදෙනා දිස් වූයේ නිවුන් දැරියන් සේ ය. කෙළි බඩුවක් ගෙන දුන්න ද දෙදෙනාට ම එක ම රැගෙන දීමට නිශ්ශංක පරිස්සම් විය.

නිශ්ශංක වූ කලී වැදගත් විදිහට තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නට කවදත් කැමති වූ පිරිමියෙකි. ඔහු ගේ ජීවිතය සාමකාමී විය. බිරිඳ හා දියණිවරුන් දෙදෙනා ඔහු ගේ ලෝකය ම විණි. රජයේ ලිපිකරු රැකියාවෙන් පවුලක් නඩත්තු කිරීම පහසු නැති වී ද ඔහු දැඩි ධෛර්යයකින් හා ආත්ම විශ්වාසයකින් යුතුව ගැහැනු ආත්ම තුනක වගකීම් යුතුකම් එකහෙළා ඉටු කළේ ය. ණය මුදලක් ලබා ගනිමින් ද ඉන් ගෙයි වැඩ ටිකක් කරමින් හා ඉතිරි කාලය ඒ ණය මුදල පියවමින් ද, එය අවසාන වන විට නැවත ද ණයක් ගෙන ගෙයි තව වැඩ ටිකක් කරමින් ණය පියවමින් ද ඔහු ගේ රාජකාරි දිවියේ වැඩි කාලයක් ගෙවන්නට සිදු විය. එය මහා ලොකු ගෙයක් නොවේ. කාමර තුනකින් ද සාලයකින් හා මුළුතැන්ගෙයකින් ද ගෙට යා කළ නාන කාමරයකින් ද යුත් කුඩා නිවසකි. නමුත් ඔවුන්ගේ තරමට එය මහ මෙරක් සේ, නිශ්ශංක සේ ම ජිනාදරී විසින් ද සලකනා ලදී. කෙළි පැටව් කුඩා කාලයේ පටන් ඔවුන් යෞවනියන් වන තුරු ම ඒ ගෙදර සතුට හා සාමය රජ කළ නිදහස් අවකාශයකි. පුළුවන් උපරිමයෙන් නිශ්ශංක දියණියන් දෙදෙනාට ම ඉගැන්වූයේ ය. නමුත් උසස් පෙළ සමයේ ඇති කරගන්නා ලද නො ගැලපෙන ප්‍රේම සම්බන්ධයක් නිසා සාරධා අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තා ය.

“චූටි පුතා… මං මේ බල බල හිටියෙ ඇයි අද පරක්කු කියල… කෝල් එකක් ගන්නවද නැද්ද කියල මේ හිතුව විතරයි”

“අනේ අම්මෙ ඉතිං මං හැමදාම කියනවනෙ… බස් වල එනකොට එහෙම තමයි”

හැමදාම ඔය කතාව කිව්වත් ජිනාදරී ඔහොම ය. ආදියා ගෙදර එන වෙලාව විනාඩි කිහිපයකින් එහෙ මෙහෙ වුව ද එය ඇගේ හිතට පිච්චීමක් දනවයි.

“මහන්සි පාටයි අද… සෝදගෙන කරගෙන එන්නකො. මං තේ හදන්නං”

ජිනාදරී ආදියා ගේ අතක් පිරිමැද්දා ය. කුඩා ආලින්දයේ හිඳගෙන සිටි සාරධා ගස්සාගෙන කාමරයට ගියා ය.

“මහ පුදුම දෙමව්පියො. තමංගෙ දරුවො දෙන්නට දෙවිදිහකට සලකන්නෙ. පොඩි කාලෙ ඉඳලම මට කුඩම්මගෙ සැලකිලි. හොඳක්නං වෙන්නෙපා දෙයියනේ”

ජිනාදරීත් ආදියාත් මූණෙන් මූණ බලාගත්හ. සාරධා මේ ලෙස වෙනස් වූයේ කෙසේදැයි ඔවුන්ට සිතා ගත නො හැකි ය. දැන් දැන් ඇය හැසිරෙන්නේ මේ පවුලේ කෙනෙකු ලෙස නොව වෛරක්කාරියක සේ ය.

“ඔයා ගිහින් ඇඟ හෝදගෙන එන්න චූටි පුතා”

ජිනාදරී නැවත ද සුසුමකින් කීවා ය. කාමරයට ගොස් කණ්ණාඩි මේසය අභියස කුඩා අසුන මතින් හිඳගත් ආදියා අත් ඔරලෝසුව ඇතුළු අරුමෝසම් අබරණ ගලවා තබා හිස් බැල්මෙන් කැඩපත දෙස බැලුවා ය. නමුත් ඇගේ දෑස් මත භීතියක සේයා සනිටුහන් වී නො තිබුණා කියන්නේ කෙසේ ද?

සියල්ලට වඩා ආදියා ට ඉවසාගන්නට බැරි අක්කා ගේ ඇනුම්පද කීමයි. ඔවුන් දෙදෙනා එක සෙවණක එකට හැදුණේ වැඩුණේ කෙතරම් ආදරයෙන් ද? නමුත් දැන් ඕ සොර මුල පැත්තට වැටුණ ගිරා පැටවා සේ ය. බලන්නේ ඔරවා ය. කියන්නේ ආඩපාලි ය. පතන්නේ ඇයගේ ම මව් පියන්ට ද සොයුරියට ද අයහපත ය.

දිය නා ගන්නට ආදියා කාමරයෙන් පිටතට පැමිණෙන විට නිශ්ශංක ගෙට ගොඩවෙමින් සිටියේ ය.

“චූටි පුතත් දැන්ද ආවෙ…”

වෙනසක් නො හැඟවීමේ උත්සාහයක් දැරුවාට තාත්තා ගේ සියුම් වෙනසක් පවා ආදියා ට දැනේ. හැන්දෑ අඳුර ගෙට ගොඩවෙන විට ඔවුන් තිදෙනා ගේ ම හදවත් මත බියකරු අඳුරු හෙවණැලි වැටෙන්නට ගනී. මතුපිටින් කෙසේ සිටිය ද ඇතුළාන්තයෙහි නො සන්සුන් තිගැස්මක් හටගනී. කොයි මොහොතක මහා ආරවුලක් හට ගනීදැයි ඔවුන් සිටිනුයේ බියෙනි.

“ඔව් තාත්තෙ. අද ටිකක් පරක්කු වුණා”

කියාගෙන ආදියා නාන කාමරය වෙතට ගියා ය. නිශ්ශංක ගේ හඬින් කුස්සියේ සිට හිස පොවා බැලූ ජිනාදරී ගේ පපුවේ ද හවසට පුරුදු ගැස්ම නො වෙනස් ව තිබිණ. සාරධා ගේ තෙහැවිරිදි දියණිය කාමරයේ තිර රෙද්ද යන්තම් මෑත් කොට බැලුවේ සීයා ගේ හඬට ය. මහ මිනිසුන් අතරේ කවර ප්‍රශ්න තිබුණ ද නිශ්ශංක හවසට ගෙදර එන විට පොඩි කෙල්ලට මොනවා හෝ කන්නට යමක් ගෙන එයි. දැරිය ඒ බලාපොරොත්තුවෙන් සිටින්නී ය. දිනපතා නැතද මගතොටදී විශේෂ යමක් හමු වුණෝතින් ආදියා ද සිත්මි වෙනුවෙන් ඒ ගෙන එන්නී ය. පොඩි කෙල්ල අහිංසක ය. ඇගේ වත තුළින් ආදියා ට පෙනෙන්නේ අක්කා ගේ ළමා වියයි. එතකොට ඇගේ බඩ පපුව හෝස් ගා දැවෙයි.

ඉක්මනට රාත්‍රියට කා බී කාමර වල දොරවල් වසා ගන්නට ජිනාදරී වැඩියෙන් රිසි වේ. නිශ්ශංක ගේ ඉවසීම පුපුරා ගිහින් මේ ආරවුලකදී ඔහු ට කරදරයක් වෙතැයි ඇගේ හදවත නිරන්තර ගින්දරෙන් වන බැවිනි.

සාරධා ගේ පෙම් හුටපටය දැනගත් ගමන් නිශ්ශංක ඊට විරුද්ධ වූයේ නිකං ම නොවේ. ලොකු දුවගේ පෙම්වතා වන දිනේශ් ගැන තොරතුරු අනාවරණය වූ නිසා ය. ඔහු වූ කලී රැකියාවක් පවා නොකර රස්තියාදු ගසමින් සිටි සෝබනකාරයෙකි. සාරධා රැවටී සිටියේ ඔහු ගේ සෝබන වලට යයි නිශ්ශංක විශ්වාස කළ අතර දිනක් නගර මධ්‍යයේ දී ඔවුන් දෙදෙනාව මූණට හමු වූ අවස්ථාවක ඔහු දිනේශ් ට සිය දියණියගෙන් ඈත් වී සිටින ලෙස අවවාද කළේ ය. එපමණක් නොව සාරධා ට එම සම්බන්ධය නවතාලන ලෙස දැඩිව අවධාරණය කළේ ය.

“බලමුකො කවුද දිනන්නෙ කියල. මං සාරධාව බඳින එක බඳිනව”

නිශ්ශංක සාරධාව ගෙන එත්දී දිනේශ් තර්ජනය කළේ ය. සාරධා ගේ මුරණ්ඩුකමට අවසන ඇය ඔහු සමග රහසේ පැන ගියා ය. ටික දිනක් තැන් තැන් වල ජීවත් වීමෙන් පසු සාරධා යළි ගෙදර පැමිණියේ දරු ගැබක් දරාගෙන ය.

“දිනේශ්ට හරිහමන් රස්සාවක් නෑ. ගෙවල් කුළී ගෙවන්න පරක්කු වෙන නිසා ගෙවල් අයිතිකාරයො යන්න කියනව. අපිට ගෙදර ඉන්න දෙන්න අම්මෙ”

සාරධා ව වැදූ අම්මා වශයෙන් ජිනාදරී ට ඇය පාරට වැටෙනු බලා සිටිය නො හැකි වූයේ ය. නිශ්ශංක සමග කතා බහ කොට ජෝඩුවට ඇවිත් ගෙදර කාමරයක නතර වෙන්නැයි කීවේ ඇය ද ඔවුන්ගේ දරුවෙකු බැවිනි. සෙල්ලම පටන් ගත්තේ ටික දවසක ඇවෑමෙනි. එද අද පවතින තත්වයට වර්ධනය වූයේ කාලයත් සමග ය.

තේ එක බොන ගමන් ආදියා ජංගම දුරකතනය ඔස්සේ මුහුණු පොතට පිවිසියේ නිකමට පුරුද්දට සේ ය. දෙව්රම් හා සපූ එක්ව ඉන්නා ඡායාරූප කිහිපයක් සමග පේජ් එකක ඔවුන් ගේ විවාහය බිඳ වැටීම ගැන හෑල්ලක් ලියා තිබිණ. ආදියා දෙව්රම් ගේ මුහුණ දෙස ම බලා සිටියා ය. ඒ වූ කලී කෙතරම් ප්‍රීතිමත් මුහුණක් ද? ඔහු සිය බිරිඳ නමින් සතුටු වන බව ඒ ඇස් මොනවට ප්‍රකාශ කරයි. නමුත් අවසන ඔහු ගේ බිරිඳ චෝදනා කළේ ඇයට ඔහු ඊර්ෂ්‍යා කළ බවටයි. ප්‍රේමය කියන්නේ එය ද? ප්‍රේමය කියන්නේ ඒ තරම් ව්‍යාජයක් ද? අද උදේ දුටු ඔහු ගේ මුහුණෙහි මේ සතුට තිබුණේ නැත. හැම මොහොතක ම මුවග නලියන නලදත් සිනහව තිබුණේ ද නැත. ඔහු ඉන්නට ඇත්තේ කෙතරම් වේනාවකින් ද?

ඒ වේදනාවේ තීව්‍ර සංඛ්‍යාතයක් මේ වෙලාවේත් දෙව්රම් අත්විඳිමින් සිටියේ ය. මේ වන විට ඔහු විසින් හිස් කරනා ලද මී විත වීදුරු ගණන එක දවසක් තුළ ඔහු දේහගත කරනා ලද වැඩි ම ඇල්කොහොල් ප්‍රමාණය ලෙස වාර්තා ගත වේ. සපූ ඔහු ට එහෙම කීවේ කෙසේද යන්න තවමත් දෙව්රම් ට නො වැටහෙන කරුණයි. ඇය ඔහු ගේ ප්‍රථම ප්‍රේමය වූවා ය. අනුරාධපුරයෙන් මඳක් ඈතට වන්නට පිහිටි ගම්මානයක ගොවි පවුලක දියණියක් වන ඇයව ඔහු හඳුනා ගත්තේ උසස් පෙළ සමයේ ය. දෙව්රම් කොළඹ පැමිණි පසුත්, ඔහු ජනප්‍රිය චරිතයක් වූ පසුත් ඔහු ට ඇය මදි කියා සිතුණේ නැත. ඇයට වැඩිය රූමත්, ඇයට වැඩිය උගත්, ඇයට වැඩිය සමාජ තත්වයක් සහිත, ඇයට වැඩිය ධනවත්කම් සහිත තරුණියන් ඕනෑ තරම් දෙව්රම් ගේ ප්‍රේමය පතා පැමිණ තිබේ. ඔහු කාන්තාවන් ගේ උන්මාදය බවට පත් වී සිටියේ ය. ඔහු වෙනුවෙන් සිය ස්ත්‍රීත්වය ද ප්‍රේමය ද ශරීරය ද කැප කරනා සූදානමින් සිටි කාන්තාවන් අපමණ බව දෙව්රම් ඉඳුරා දැන සිටියේ ය. නමුත් එක මොහොතකට හෝ ඔහු සිය ගමේ ප්‍රේමය අමතක කළා නොවේ. ජාත්‍යන්තරය ජය ගෙන සිටියදීත් ඔහු විවාහ කරගත්තේ ගමේ පෙම්වතියවයි. සිය ප්‍රේමයේත්, අසීමිත මුදලක් වැය කොට තැනූ මන්දිරයේත් කිරුළ පැළඳුවේ ඇයට යි. ඔහු ගැවසෙන සමාජ තත්වයට ගැලපෙනා පරිද්දෙන් ඇය අලුතෙන් උපදවන්නට දෙව්රම් දැරූ පරිශ්‍රමය අපමණ ය.

“මටත් රඟපාන්න ආසයි”

අවසන සපුමලී එවන් ඉල්ලීමක් කළා ය. දන්නා හඳුනන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ මාර්ගයෙන් ඔහු ඊට ද අවස්ථාව උදා කර දුන්නේ ය. සපුමලී සපූ වූයේ එසේ ය. නිළියක් බිරිඳ කරගන්නට ඔහු ට අවැසි නොවූව ද බිරිඳ නිළියක් වන එක ඉවසන්නට, ඇයට බැඳි ආදරයේ නාමයෙන් ඔහු ට සිදු විය. ඒ උදක් ම ඇගේ සතුට වෙනුවෙනි. නිළියක් වූ ඕ, ඔහු ඇයට ඊර්ෂ්‍යා කළා යයි චෝදනා කරයි!

දෙව්රම් තවත් මී විතක් මුවෙහි ලා ගත්තේ ය.

ඔහු ගේ දුරකතනයට ඒ ඇමතුම පැමිණියේ ඒ වෙලාවේ ය. ඉඳහිට මේ අංකයෙන් එන ඇමතුමට ඔහු කෙතරම් වෙලා ප්‍රතිචාර දැක්වී ද ඇමතුම ගන්නා කෙනා කතා නොකරයි. අදත් එහෙම ය.

දෙව්රම් ගේ හඬ අසා සිටින්නට ඕනෑ වූ වෙලාවක ආදියා ඔහු ගේ දුරකතනය අංකනය කොට සිය දුරකතනය ඔහේ සවනේ තබාගෙන හිඳී. මේ එක ම දුරකතන අංකයක් බව දෙව්රම් දනී. නමුත් කිසිදු විටෙක ඔහු කේන්ති ගන්නේ නැත. ඒ අංකය කාගේදැයි සොයන්නට වෙහෙසීත් නැත.

“ඔයාට කියන්න තියන දෙයක් කියන්න”

කියා කියන්නේ මඳ සිනා සරකිනි. සැලකිය යුතු වෙලාවක් ඇයට කතා කරන්නට ඔහු අවස්ථාව දීගෙන හිඳී. ආදියා ට ඇය වෙනුවෙන් සතුටු වන්නට ඇති එක ම මොහොත මෙයයි. ඔහු කෙතරම් නිවුණු, කරුණාවන්ත මිනිසෙකු ද? නමුත් අද ඔහු ගේ හඬ වෙනදා වාගේ නොවේ. ඔහු බීමත්ව හිඳින බව වහා ඈ හැඳින්නා ය. ඇමතුම විසංදි වූ පසු ඈ සිය අතැඟිලි යතුරු පුවරුව දිග ඉක්මනින් හසුරුවා කෙටි පණිවිඩයක් ලීවා ය.

“මට තේරෙනව ඔයා දුකෙන් කියල. බොන්න එපා ඉතිං. ඉක්මනට ඔය ලස්සන හිතට සැනසීම ලැබෙන්න ඕනෙ. පරිස්සමෙන් ඉන්න”

ආදරය කියන්නට හදනා ඇමතුම්, පණිවිඩ, ලියුම් හා ඊ මේල් ඕනෑ තරම් දිනපතා ලැබිණි ද මේ රහස් ඇමතුම දෙව්රම් ට විශේෂ ය. ඒ අංකයෙන් හඬ අසා සිටිනා ඇමතුම් මිස කෙටි පණිවිඩ එන්නේ කලාතුරකිනි. නව වසරට හෝ උපන් දිනයට සුබ පැතීම වෙනුවෙනි. නමුත් අද ඔහු දුකෙන් බව මේ නාඳුනන සුබ පතන්නා ට දැනී තිබේ. දෙව්රම් ඒ අකුරු පේළි කිහිප වතාවක් කියෙව්වේ ය. ඇස් බොඳ වී පැටළෙත්දීත් නැවත නැවත කියෙව්වේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here