ඔබ දකින තුරා – 19

කේෂි මේ දිසත් පැමිණි බව දැන පැමිණි ගමනක් නොවේ. ඇය ආවේ තාත්තා ව මුණගැසී දිසත් ව යළි ගෙදර ගෙනැවිත් දෙන ලෙස කියන්නට ය. මේ වෙලාවේ අහඹු ලෙස වුව දිසත් හමු වීම ගැන ඇය ප්‍රීතිමත් වූවා ය.

“හොඳ වෙලාවට මං දැන් ආවෙ. දිසත් අපි යමු…ප්ලීස්…ඩිවෝස් එකක් ගැන කතා නොකර ඉමු දිසත්. ඩිවෝස් වෙන්න ඕන නෑ. ඔයා කැමති විදිහකට ඔයා ජීවත් වෙන්න. ඔයාට වෙන අෆෙයා එකක් තියා ගන්න ඕනනං ඒකත් කරන්න. මට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් අපි ඩිවෝස් වෙන්න ඕන නෑ දිසත්”

ඇය දෑතින් ම ඔහු ගේ අතක එල්ලී කීවා ය. දිසත් සිය මාමණ්ඩිය ගේ මුහුණ දෙස බැලුවේ ය. මේ කෙල්ලට පිස්සු දැයි තාත්තා සිතමින් සිටියේ ය.

“දැන් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ කේෂි. මං ඔයාගෙ තාත්ත ට කියන්න ආවෙ ඩිවෝස් කේස් එක ෆයිල් කරන්න කියලයි”

දිසත් පරිස්සමෙන් වචන තෝරා බේරා ගත්තේ ය.

“මං කියන්නෙ ඩිවෝස් වෙන්න බෑ කියලයි”

“දික්කසාදයක් ගැනවත් කසාදයක් ගැනවත් ඔයා දන්න දෙයක් නෑ කේෂි”

“ඒ කියන්නෙ තමුසෙට වෙන ගෑනියෙක් ඇති”

“ඔයා කොයි විදිහට හිතුවත් මට ප්‍රශ්නයක් නෑ”

“මං ඩිවෝස් එක දෙන්නෙ නෑ නෑ නෑ නෑමයි”

“ගන්න විදිහ මං දන්නව”

දිසත් කඩිනමින් අසුනෙන් නැගිට ගත්තේ ය.

“සොරි අංකල්”

කියා කාර්යාල කාමරයෙන් පිට ව ගියේ ය.

“බූරුවා. මෝඩය..මී හරකා. හැප්පිල මැරෙන්න ඕන ඔය යනකොට”

නූගත් ග්‍රාම්‍ය ගැහැනියක සේ කේෂි ශාප කළා ය. පරාක්‍රම තුළ ඇති වූයේ බලවත් කලකිරීමකි. සිය දියණිය ප්‍රතිකාර අවශ්‍ය මානසික ව්‍යාධියකින් පෙළෙනවා ද කියාත් ඔහු ට නො සිතුණා නොවේ. දැඩි බැල්මකින් කේෂි දෙස බලා උන් හෙතෙම නැගිට වීදුරු කවුළුව අසලට ගියේ ය. කේෂි කේන්තියෙන් ම නික්ම ගියා ය.

දිසත් ට දැනෙමින් තිබුණේ සැහැල්ලුවකි. ඔහු රිය පැදවූයේ ඒ සැහැල්ලුවෙනි. නිදහස කියන්නේ කෙතරම් සැනසීමක් ද කියා දැනෙන්නේ සිර කුටියකින් නික්මුණ විට ය. එතෙක් ඔහු කේෂි ගැන සිතුවේ ඇය ඔහු ගේ බිරිඳ ය යන හැඟීමෙනි. නමුත් මේ මොහොත වන විට දිසත් ඒ හැඟීමෙන් මිදී සිටී. විවාහයක් කියන්නේ එහෙම දෙයක් නොවේ. බිරිඳක කියන්නේ එවන් කෙනෙකු නොවේ.

ගෙදර ගොස් පැමිණිය යුතු යයි දිසත් ට හදිසියේ ම සිහි විය. කේෂි කියන්නේ හද්දා පිටිසර පොළොවත් එක්ක ඔට්ටු වෙන සිය මව් පියන් හා මුහු විය හැකි ගෑනු ළමයෙකු නොවේ. විවාහයට පෙර ඇය පෙන්වූයේ එහෙම චරිතයක් නොවන බව ඔහු ට මතක ය.

“අනේ මට ආසයි ඔයාගෙ ගමේ ගිහිං ගොඩාක් දවස් නතර වෙලා ඉන්න”

විශ්ව විද්‍යාලයේ දී නිවාඩුවකට ඔහු ගමේ යන්නට සූදානම් වෙත්දී ඇය කීවා දිසත් ට තවමත් මතක ය. නමුත් විවාහයෙන් පසු හෝ එක වරක්වත් ඇය ඔහු ගේ ගමට යන්නට ආවේ නැත.

“ඒ දැරිවි මේ කැලේ නාවට කමක් නෑ. පුතාටත් නිතර දෙවේලෙ මෙහෙ එන්න බෑ කියල අපි දන්නව. උඹල හොඳින් ඉන්නයි ඕනෙ පුතේ. අපිට සතුටු වෙන්න පුළුවන් උඹ ඉන්න තැන ගැන හිතල”

ගම ගිය දා ක තාත්තා එසේ කීවේ, ඔහු අපහසුතාවයෙන් සිටි බව දැනුණ නිසා යයි දිසත් දනී. ලෝකේ ඉදිරියට යන්නට ඔහු ට පාර කපා දෙනු වස් අපමණ දුක් වැළඳුවාට, සිය පුත්‍රයාට විවර වූ දොරෙන් ඔවුන් ද ගමන් කළ යුතු යයි ඒ තාත්තා කිසි දා ක සිතුවේ නැත. දිසත් ගමට යන එක අඩු කළේ වැඩ නිසා ම නොවේ. විවාහයෙන් පසු ඔහුට සිය බිරිඳ ව මහ ගෙදර කැටිව යන්නට එක වරක් හෝ නො හැකි වීමේ ලැජ්ජාව නිසා ය. බැංකු ගිනුමට බැර කරනා මුදලින් අම්මා අප්පච්චි ගේ හිත් නො පිරෙන බව දැන දැන ම, හදවතින් දුක තර කොට පියා ඔහු කොළඹ හුදෙකලා ජීවිතයක නීරස බව අත්විඳිමින් සිටියේ ය.

අජිත් ගේ හැන්දෑකරේ මත් වීම අඩු වී ගිය පසු නිර්මලා බලා සිටියේ හැන්දෑ වන තුරු ය. දිවා ආහාර ගැනීමෙන් පසු ඇය කී වතාවක් ඔරලෝසුව බලන්නී දැයි ඇය ම දන්නේ නැත. හැන්දෑවේ වැඩ ටික ඉක්මනින් ඉවර කරන ඕ රාත්‍රී ආහාරය ද සූදානම් කරමින් වතුර කේතලය ලිප තබා ගෙන පෙර මග බලන්නී ය. සමහර විට වතුර කේතලය කිහිප වර උතුරයි. නිර්මලා ලිප නිවා දමා ටික වෙලාවක් හිඳ නැවත ද ලිප ක්‍රියාත්මක කරයි. මේ විදිහට තුන් හතර වර ඉතිරූ වතුර කේතලයේ ලිප නිවා දැමු දින තිබිණ.

තාත්තා සමග හැන්දෑවට එකට ම ගෙදර එන්න ගත්තා ට පස්සේ අමාරසී ගේ ලෝකය ද වෙනස් වූයේ ය. බීමත් පියෙකු සිටින නිවසක දියණිය වශයෙන් ද, සිතින් පැතූ ප්‍රේමය කිසි දා අත් පත් කර ගත නො හැකි වූ තරුණියක වශයෙන් ද ජීවිතය තුළ යම් හුදෙකලාවක් අත් විඳි ඕ, තාත්තා ගේ පුනරාගමනය ජීවිතය ප්‍රබෝධවත් කළා වූ සන්ධිස්ථානයක් සේ සැලකුවා ය.

“තේ බොද්දි කන්න මොනා හරි ගෙනියමු නේ”

කියා, ඇය තාත්තා ව ද ඇදගෙන කඩයකට ගොඩ වන්නී ය. එසේ ගෙනෙනා යමක් කා නිර්මලා කඩිනමින් තනා දෙන තේ එක බොමින් හැන්දෑව ගෙවී යන විට, ජීවිතය කියන්නේ මොන තරම් සුන්දර තැනක් දැයි අමාරසී ට පමණක් නොව නිර්මලා ට හා අජිත් ට ද සිතුණ අවස්ථා තිබේ. අජිත් කුස්සියේ වලං වලට එබෙමින් ද ශීතකරණය හරිමින් ද හොර ගල් අහුලන වෙලාවක නිර්මලා කිසිවක් නො විමසා ම බිත්තරයක් බැද දෙන්නී ය. යන්තම් මී විතකින් සප්පායම් වූ විට අජිත් වැඩි පුර කතා කරන්නේ ය. නිතර ම සිනහ වන්නේ ය.

යොහාන් ගැන යෝජනාව දේවාශිර්වාදයක් සේ නිර්මලාට දැනෙන්නේ අජිත් ගේ මේ වෙනස් වීම නිසා ය.

“අර යොහාන් ට මොනා වුණාද ඇත්තටම…පබා ට මං කතා කළත් යොහාන් ගැන වචනයක්වත් කීවෙ නෑ”

තේ බොන ගමන් නිර්මලා කීවා ය. ඇය කතා කරන තුරු ම පබා කතා නොකළ බව ඇය හිතේ ම තියා ගත්තා ය. ඉන් පසු තවම පබා මහ ගෙදර පැත්ත පලාතේ ආවේ ද නැත.

“සමහර විට ඒ ඉලන්දාරිය තේරුං ගන්න ඇති. අකමැති කෙනෙක්ව බලෙං කසාද බැඳගන්න බෑ කියල”

“යොහාන් ට මොනා වුණත් කමක් නෑ. ඒත් තාත්තයි මායි හැමදාම ඔෆිස් යන්නෙ එකට”

අමාරසී ට කියවිණ. අජිත් හා නිර්මලා මුහුණෙන් මුහුණ බලා ගත්හ.

“තාත්ත එක්ක පාරෙ ඇවිදගෙන යනකොට දැනෙන ඒ ෆීලින් එක…ඒක දුවෙක්ට විතරක්ම දැනෙන දෙයක්. දුටවක්ට විතරක්ම අයිති දෙයක්. මං ඒකට ආසයි…”

“ආ…අම්ම ගැන දුවෙක්ට එහෙම දැනෙන්නෙ නැතුව ඇති”

නිර්මලා ආදරණීය නෝක්කාඩුවක් පෑවා ය.

“මං දන්නව කොහොමත්…මට ආදරේ කරන්න හිටියෙ අර කොල්ල විතරයි කියල”

ඒ වචන වල අවසානයේ වන්නේ බිඳුමක කම්පනය ය. නිර්මලා එසේ කියත්දී අජිත් නියත වශයෙන් ම ඉවත බලා ගනී. නිර්මලා වුව ඔහු දෙස බලන්නේ නැත. ඒ වචන ටිකට පිටුපසින් වන වචන නොවන චෝදනාවේ සුසුම් වල බර අජිත් ගේ පපුවට ඕනවටත් වැඩියෙන් දැනේ. රුක්ෂාන් ගේ හැර යාමේ වරද කාගේ ද කොතැනක ද කියා කතා කොට දැන් ඇති පලක් නොවේ. නමුත් ඔහු ගෙදරින් ගොස් දින කිහිපයකට පසු අජිත් වැඩ ඇරී එහෙම ම පුතා නතර වී සිටිතැයි සොයා දැන ගත් බෝඩිම වෙත ගියේ ය.

“ගෙදර යමු”

තාත්තා ගේ ආරාධනය ට පුතා සමච්චලයට සිනහ වූයේ ය.

“මං මැරෙනකල් ඒක ආයෙ කවදාවත් වෙන්නෑ”

ඔහු මුරණ්ඩු ලෙස කීවේ ය. සිහි නැති වෙන තුරු ම මත් වී ගෙදර ආ අජිත්, ඉන් පසු කිසි දා ක සිය පුතණුවන් ගැන කතා නොකළේ ය. ඔහු පුතා ව යළි ගෙදර කැටිව එන්නට ගිය බවක් හෝ අජිත් නිර්මලා ට නොකීවේ ය. තාත්තා කියන්නට ඇතැයි සිතා ගෙන රුක්ෂාන් ද අම්මා ට ඒ බව නො කියා සිටියේ ය. මේ වන තුරු ද නිර්මලා ඒ බවක් දන්නේ නැත.

රුක්ෂාන් ගෙන් හිස් වූ හිතේ පුතෙකුට හිමි තැන ට නොදැනී ම දිසත් ලං වූ බවක් අජිත් ට හදිසියේ ම සිතිණි. දොර සීනුව හැඬවෙනු ඇසුණේ ඒ වෙලාවේ ම ය. කුස්සියේ සිටි තිදෙන මුහුණෙන් මුහුණ බලා ගත්හ. ඉන් පසු අජිත් ඉස්සරහින් ද අම්මා හා දුව පසු පසින් ද ලෙස මුළුතැන්ගෙයින් පිට වූහ.

දොරකඩ සිටියේ දිසත් ය. හදිසි එළියක් තිදෙනා ගේ ම හදවත් වල දැල්වෙන්නට ඇත. ඒ ප්‍රකාශ වූයේ ඔවුන් ගේ දෙතොල් මතට ආ සිනහවෙනි. පුතා ගෙදර ආවා සේ අජිත් දිසත් වෙත ගොස් ඔහු ගේ පිටෙහි අතක් තබා කතා කළේ ය.

“මං හිතුව අපිව අමතක ම කළා කියල”

“ටිකක් බිසී වුණා අංකල්”

තරුණයා ගේ ඇස් අමාරසී වෙත දැල්විණි. එසැනෙන් ඔහු නෙතු මුදා ගෙන නිර්මලා දෙස බැලුවේ ය.

“මෙතනිං යන ගමං මට හිතුණා නතර වෙලා ටිකක් අංකල් එක්ක කතා කරල ගියානං හොඳයි කියල”

“ඒක කොච්චර හොඳද පුතා…ඉතිං ඉතිං…නිර්මලා…අපිට තේ එකක්…”

ඔවුන් දෙදෙන ඉස්තෝප්පුවේ සිටියදී අම්මා හා දුව මුළුතැන්ගෙට වූහ. නමුත් ඔවුන් ට වතුර කේතලය ලිප තබන්නට හෝ ලැබුණේ නැත. නාඳුනන ගැහැනු හඬක් ඉස්සරහා පැත්තෙන් උස් හඬින් ඇසෙන්නට විය. උනුන් ගේ මුහුණු දෙස ප්‍රශ්නාර්ථයෙන් බැලුවා මිස අම්මා හා දුව අතරේ වචනයක්වත් හුවමාරු වූයේ නැත. වචනයක් හුවමාරු කර ගන්නට තරම් අදහසක් ඔවුන් වෙත වූයේ ද නැත. මේ වගේ වෙලාවක උස් හඬින් නැගෙනා ගැහැනු හඬක් ගැන කුමක් සිතා ගන්න ද? කේතලය එහෙම ම පැන්ට්‍රි කබඩ් එක මත තැබූ නිර්මලා ඉස්සරහා ට ඉක්මන් අඩි තැබුවා ය. අහේතුක ගැස්මක් අමාරසී ගේ හදවත තුළට රිංගා ගත්තේ ය.

“මං ෆලෝ කළේ කොහෙටද යන්නෙ මොනවද වෙන්නෙ කියල දැන ගන්න තමයි. එහෙනං මේකයි නේ ඩිවෝස් වෙන්න ඕන වෙච්ච හේතුව…”

ඒ දිසත් ගේ බිරිඳ බව සියල්ලන්ට අවබෝධ වූයේ ඒ වචන ටිකත් එක්ක ය. පොළොවේ වළක් හෑරී ඇය ව එහි පත්ලට ම ඇදී යන්නා සේ අමාරසී ට දැනෙන්නට ගති.

“විකාරද….මොනවද මේ කියවන්නෙ…ඔයාට කිසිම අයිතියක් නෑ කේෂි මේ විදිහට ගෙවල් වලට කඩං පාත් වෙලා මිනිස්සුන්ට චෝදනා කරන්න”

“යසට හිටිය මනුස්සයට හිටපු ගමං ඩිවෝස් එක ඕන වෙනකොට මං හිතුවා කොහෙං හරි ගෑනියෙක් පටලෝගෙන ඇති කියල. හේතුව හොයා ගන්න තමයි මට ඕන වුණේ. මේ තියෙන්නෙ හේතුව”

ඇය කෙලින් ම බැලුවේ අමාරසී දෙස ය.

“පිස්සුද ආ…”

දිසත් ගුගුළේ ය. අමාරසී ගේ උඩු තොල මත්තේ දහදිය බින්දු කිහිපයක් නැගී ආවේ ය. ඇගේ ගත ගැහෙන්නට විය. අම්මා තාත්තා ඉදිරියේ දිසත් ගේ බිරිඳ විසින් එවන් චෝදනාවක් කරනු ලබත්දී ඇය කෙසේ ඒ තත්වයට මුහුණ දෙන්න ද?

“කේෂි මේ…මං ඔයාට බොහොම හොඳට කතා කරල ප්‍රශ්න විසඳ ගන්නයි බැලුවෙ. හැබැයි ඔයා හරි ම තර්ඩ් ක්ලාස් විදිහට මේ පැත්තක හිටපු ගෑනු ළමයෙක්ටත් චෝදනා කරල ඔයාගෙ හැටියයි පෙන්නුවෙ. මෙයිං පස්සෙනං මගෙං කිසිම හොඳක් බලාපොරොත්තු වෙන්න එපා. හරිද…”

“ඩිවෝස් එක දෙන්නෑ කිව්වොත් නෑමයි. බලමු ගන්න හැටි”

යනුවෙන් තර්ජනය කරමින් කේෂි ඇගේ රියෙහි නැගී නික්ම ගියා ය. අමාරසී අතකින් මුව වසා ඉකි බිඳුම හිර කර ගත්තා ය.

“සොරි අමා”

දිසත් ට කිව හැකි වූයේ එපමණකි. ඇය හඬා ගෙන ම කාමරයට දිව ගියා ය. දිසත් තුළ වූයේ මහත් නො ඉවසුම් බවකි. මෙහෙව් දෙයක් මේ වෙලාවේ වෙතැයි ඔහු සිහිනයෙන් හෝ සිතුවේ නැත. අතැඟිලි වලින් නළල පිරිමදිමින් ඉස්තෝප්පුවේ සක්මන් කරනා තරුණයා වෙත ලං වූ අජිත් ඔහු ගේ උරහිසකින් අල්ලා කතා කළේ ය.

“කලබල වෙන්න එපා පුතා”

“අනේ සොරි අංකල්. සොරි  ආන්ටි. මං දන්නෑ කේෂි මාව ෆලෝ කළා කියල. එයාගෙ තාත්තගෙ ඔෆිස් එකේදි ටිකකට කලින් අපි හම්බ වුණා. අපි ඩිවෝස් එක ගැන කතා කළා. මේක ලොකු වැරැද්දක්. සොරි අංකල්. මං යන්නං”

ඔහු ව නතර කරන්නට තරම් දිරියක් අජිත් ට වූයේ ද නැත. රිය නික්ම ගිය පසු නිර්මලා පුටුවක් මතට වැටුණා ය. ඇගේ හිත අවුල් ජාලයක් වී තිබිණ. කුමක් කොතැනකින් නිරවුල් කර ගන්න දැයි ඇය ට වැටහුණේ නැත. අජිත් පපුවේ රෝම පිරිමදිමින් සක්මන් කරන්නට වූයේ ය.

“මොකද්ද දෙයියනේ මේ වුණේ”

අන්තිමට නිර්මලා කවුරුවත් උත්තර දන්නේ නැති ප්‍රශ්නයක් ඇසුවා ය.

එදා අජිත් නිකමටවත් රහමෙර තොල ගෑවේ නැත. අමාරසී කාමරයට වැදී හඬමින් සිට, කෑම මේසයට ආවේ නිර්මලා ගේ පෙරැත්තයට ය.

“අනේ තාත්තෙ එහෙම දෙයක්…”

ඇයට කියා ගත හැකි වූයේ එපමණකි. හඬාගෙන ම ඕ අජිත් ගේ පපුවට බර වූවා ය.

“මං දන්නව පුතේ. අම්මත් දන්නව. දැන් ඕව ගැන නොහිතා කෑම කන්න”

ඔහු එසේ කීවාට අමාරසී ට කුස ගින්නක් කියා දෙයක් දැනුණේ ම නැත. ඇය බත් පත අත පත ගාමින් හිඳ කාමරයට ගියා ය.

“හාපෝ..ඒ ගෑනිත් එක්ක කොහොමද අර කොල්ලා ජීවත් වෙන්න ඇත්තෙ…”

නිදි යහනේ කල්පනා කරමින් සිටි අජිත් මුණිවත බින්දේ එසේ ය. නිර්මලා දිගු සුසුමක් හෙළුවා ය.

“කෙල්ල කුණු ගොඩකට ගෑවුණ එකයි මට ඉවසගන්න බැරි”

“අපි දන්නවනෙ නිර්මලා මොකද වුණේ කියල”

“රසී යොහාන් ට මුලින් කැමතියි කියල පස්සෙ කැමති නෑ කියන්න හේතුව මේකද කියල දැන් මට හිතෙනව”

අජිත් යමක් කියන්නට ඉක්මන් වූයේ නැත. හසිසියේ ම දිසත් ගෙට ගොඩ වූ වේලේ අමාරසී ගේ ඇස් වල වූ ප්‍රභාව සිහිපත් කර ගන්නට නිර්මලා උත්සාහ කළා ය. දුවක ගේ මූණ දෙස බැලීමෙන් ඇගේ හදවත ඇතුළට රිංගන්නට අම්මා කෙනෙකු ට පුළුවන. දැනටමත් දිසත් ඇගේ හදවතට ගොඩ වී අවසාන ද? විවාහයක දොරකඩට පැමිණි ඇය ට හදවතේ තුවාලයක් එක්ක ජීවිතය මැද්දේ නතර වන්නට සිදු වනු ඇත් ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content