කාව්‍යා එකඟ කරවා ගැනීම පහසු නොවූවද, අවසානයේ ජිනේන්ද්‍ර ගාලු අයස යටින් නික්මුනේ ඊළඟ දිනයේ ඇය දැකීමට පැමිණෙන්නයැයි කාව්යාගේම මුවින් පවසාගෙන. මන්දාරම් ඔහු කාව්‍යාට සමුදී පැමිණියාට පසු ඔහු වැළඳගත්තේය.
” කලබල නොවී හිටහං අයියේ … එකපාරටම ඔක්කොම හරි යන්නේ නෑ .. ඒ වගේම එක රැයෙන් එලි වෙන්නේත් නෑනේ … කෙල්ල උඹ එක්ක ඒවි …”
මන්දාරම් පැවසුවේ පැය හටහ්රක් ඉක්ම යන තුරුත් ඔවුන් දෙදෙනාගේ කතා බහ නිම නොවූ නිසාය. ජිනේන්ද්‍ර සිනාසුනේය.
” හෙටත් එන්න කිව්වා…”
ඔහු කාලාන්තරයකට පසු මතු වූ මනමාල සිනහව සැඟවෙන්න නොදීම කීවේය. චානක සහ මන්දාරම් උස් හඬින් කෑ ගසමින් ඔහු ඔසවා ගත් හ. නිම්නාවී කල්පනාගේ උරිස්සට හිස තියාගෙන ඉකි බින්දාය.
මද වේලාවකින් ජිනේන්ද්‍ර උන්නේ නිම්නාවී වැළැඳගෙනය. ඉන් නිම්නාවීගේ ඉකි බිඳීම මහ හැඬුමක් බවට පත් විය. මන්දාරම් වහා ඇය වෙනුවෙන් ඉදිරිපත් වූයේය.
” හා හා ඇති ඇති .. අයියා වුනාට කමක් නෑ… මගේ ගෑණිට වැඩිය ලං වෙන්න ඕනි නෑ …”
මන්දාරම් එලෙස පවසමින් නිම්නාවීව තමා වෙත නතු කරගත්තේය. නිම්නාවී ඉතා පහසුවෙන් ඒ උණුසුම් දෑත් අතරට වූවාය. ජිනේන්ද්‍ර සිනාසෙමින් මෝටර් රිය වෙත ඇවිද ගියේය.
නිම්නාවී මෝටර් රියට ගොඩ වූ වහාම දිලුම්ට සහ රන්දුලාට පණිවිඩ දෙකක් යැව්වාය. ඇගේ ප්‍රීති උන්මාදය දෙස මන්දාරම් බලා උන්නේද එතරම්ම වන ප්‍රීතියකින් ය. සැබැවින්ම ඇය අතින් වූ වරද නිවැරදි කරගන්නට නොහැකිව ඕ කෙතරම් නම් දුක් වන්නට ඇතිද?.. ස්වර්ණාගේ අනතුරට පසු නිම්නාවී සිදු කල සියලු දේ ගැන දැන් මන්දාරම්ට දැනෙන්නේ සෙනෙහසක්ම පමණි. ඕ අම්මා අතැර යෑමේ සිදුවීම පවා දැන් මන්දාරම්ට උදාසීන ලෙසින් දැනෙන්නේය. ජීවිතය තුළ සිරගතව, හතර මායිම් ඉතා පටුව දරා උන් යුවතියක වූ ඇය අම්මා වෙනුවෙන් ඉන් පසුව කල දේවල් වල වටිනාකම දැන් මන්දාරම්ට ගලපා වටහා ගත හැකිය.
මන්දාරම් ඇය දෙස බැලුවේය. ඕ උන්නේද යන්තමින් මන්දාරම් දෙස බලමිනි.
” මොකද හොරෙන් බලන්නේ ?…”
මන්දාරම් වරදක් කර අසුවුණ කුඩා කෙල්ලගෙන් ඒ ගැන හේතු විමසන පියෙකුගේ ස්වරයක් ආඩ්‍ය කරගත්තේය. නිම්නාවී දෙතොල් එකිනෙක පටලාගෙන කෝල රූප මැව්වාය.
” ඇඹරෙන්න කරන්න නම් තියාගන්න එපා ඈ.. මේ හයිවේ එකේ මගේ දැහැන බිඳිලා ගියොත් එහෙම දෙන්නටම ඉන්න වෙන්නේ එක්කෝ පොලිස් කූඩුවේ… නැත්නම් හොස්පිට්ල් බෙඩ් එකේ …”
නිම්නාවී එහෙත් ඉන් නොමිඳුණාය. මන්දාරම් ඇය දෙස වරින් වර බල අතරේ වාහනය ධාවනය කලේය.
” සෙත් ….”
ඕ ඉන් පසුව මන්දාරම් වෙත යන්තම් නැඹුරු වී කීවාය. මන්දාරම් ඕ දෙස එක්වරම හැරී බලා යලි ඉදිරිය බලා ගත්තේය.
” මොකෝ මේ…”
” ඔයාව ඉඹින්න ඕනි මට …”
ඕ ඉන්පසුව එක්වරම කීවාය. මන්දාරම්ගේ කම්මුල් පිම්බෙන සිනහවක් වැටුණේය. ඔහු නිම්නාවී දෙස නොබලා සිටින්නට පරෙස්සම් වූයේය.
” ඇහුනාද ?…”
නිම්නාවී නොරිස්සුමක් දවටා ගත්තාය. ඉන් පසුව පසෙකට වූවාය.
” පුපුරන්න එපා ඉතින් … ගෙදර ගිහිල්ලා ඉඹින්නකෝ ඇති වෙනකල් ඈ …. මට එක පාරක් ඉඹලා නම් මදි .. ඒක හින්දා ඉන්න ඔහොම ටිකක් …”
මන්දාරම් ඇය වෙත හැරී හිස පිරිමැද කීවේ නිම්නාවී සිනාසෙමින් පසෙකට වෙද්දීය. මන්දාරම් හිත පිරෙන හුස්මක් ගෙන එය හෙමින් මුදාහැරියේය. ජීවිතයට එන සතුටු තත්පර ඉතා හෙමින් ගෙවිම සියල්ලන්ගේම ප්රාර්තනාවය. මන්දාරම්ද එලෙසින්ම ප්‍රාර්තනා කලේය. තම ජීවිතයට සේම නිම්නාවීගේ ජීවිතයටද සතුටම ලැබිය යුතුය පැතුවේය.
” ඔයා ආයේ නේන්න, මගේ ජීවිතේ පසන් ගේ ළඟ ඔහේ ගෙවිලා යන්න තිබ්බා සෙත් …. ඒම වුනා නම් ඒක ජීවිතයක් කියලා කියන්නත් බැරි වෙන්න තිබුණා… ඇත්තටම, එහෙම වුනා නම් මම අපායක ජීවත් වෙවී … හැමදාම අම්මටයි, තාත්තාටයි වෛර කර කර ඉඳීවි …. ඔයාටයි, ජිනේන්ද්‍ර අයියාටයි දෙන්නාටම මම ණයයි … ජිනේන්ද්‍ර අයියා ඔයාට නොකිව්වා නම් සීසීටීවී වල කතන්දර … “
නිම්නාවී එතෙක් පවසා නැවතුනාය. මන්දාරම් යළි එක් අතකින් ඇගේ හිස පිරිමැද්දේය.
” ආයේ ආයේ එකම දේ කියන්න ඕනි නෑ නිම්නාවී … වෙච්ච දේවල් වෙලා ඉවරයි … ඔයාගේ ජීවිතේ දැන් කිසිම කෙනෙක්ට ඕනි විදියට ගෙවෙන්නේ නෑ ….ඔයාට ඕනි විදියයි දැන් ඔයාට ජීවත් වෙන්න තියෙන්නේ…. මං ඔයාට පොරොන්දු වුනා වගේම, ඔයාගේ ළඟින්ම මම ඉන්නවා …. ඒ වගේමයි මට විශ්වාසයි ඔයාගේ තාත්තයි, මල්ලියි දෙන්නත් ඔයාව කිසිම දවසක අතාරින එකක් නෑ ..”
නිම්නාවී මන්දාරම්ගේ පිටි අල්ල අල්ලාගෙන කිහිපවතාවක්ම ඉම්බාය.
ප්‍රියලාල් මුණ ගැසීමෙන් පසුව ඔහු පැවසූ කතන්දරය විශ්වාස කරගන්නට නොහැකිව මන්දාරම් සෑහෙන වෙලා බලා උන්නේය. ප්‍රියලාල් පැමිණ සිටියේ ඔහු රැක බලාගන්නට පැමිණෙන තරුණයා සමඟය. මන්දාරම් පසුව ඔවුන්ට සමුදුන්නේ තමා කල්පනා කර බලා ඇමතුමක් ලබා දෙන බව පවසමිනි. එහෙත් ඔහුට ප්‍රියලාල් පැවසූ කතාව යළි යළි සිතුවේය.
” පුතේ … ජිනේන්ද්‍රගේ ඇත්තම අම්මා ස්වර්ණා පුතේ .. එදා ස්වර්ණාගේ දරුවාව අරගෙනයි මම අතුරුදන් වුනේ.. ස්වර්ණාගේ නෑදෑයෝ එක්ක හැප්පෙන්න එදා මට හයයක් තිබුනේ නෑ පුතේ … මං දරුවාවත් අරගෙන ස්වර්ණාව දාලා ගියා …”
මන්දාරම් අවන්හල් පරිශ්‍රය තුල එලිමහනේ ඇවිදිමින් සෑහෙන වෙලාවල් ගෙව්වේය. අම්මා මෙය දැනගත යුතු වන්නේද කියාවත් ඔහුට සිතා ගන්නට නොහැක. ජිනේන්ද්‍ර අම්මාට අම්මා කියන්නේත්, ඇය අසලට වී සිටින්නට උත්සාහ කරන්නේත් ඇයිදැයි දැන් වැටහෙන්නේය. එහෙත් මිය ගොස් ඇතැයි සිතා සිටි තම කුලුඳුල් දරුවා ජිනේන්ද්‍ර බව දැනගත් පසු අම්මා එයට කෙලෙසින් මුහුණ දේවිදැයි මන්දාරම්ට සිතා ගන්නට නොහැක.
මන්දාරම් නිම්නාවීගේ ඇමතුමට පිළිතුරු දුන්නද ඒ පිළිබඳව කිසිත් නොවිමසාම උන්නාය. පැය කිහිපයකින් මන්දාරම් නිම්නාවීගේ නිවෙසට පැමිනෙන බව පවසා ඇමතුමක් ලබා දෙන තුරුම ඕ උන්නේ ඉවසීමෙන් මඟ බලාගෙනය.
” මන්දාරම් මෙහෙ එනවා කිව්වා තාත්තේ හතට විතර …”
” කමක් නෑ පුතේ .. මන්දාරම් ඉන්න නිසා, මම පොඩි වැඩකට එහෙනම් ෆැක්ට්‍රි එකට ගිහින් එන්නම් ..”
” තාත්තා වැඩ පාඩු කරගන්න එපා …. මෙහෙ පරෙස්සම් නේ …”
” ඒකට කමක් නෑ … පසන් මේ කරපු සෙල්ලම හරියට හොයාගන්නකල්, අවධානෙන් ඉන්න ඕනි … අම්මාව ඔය ප්‍රශ්නේට ගාවලා ඌ කලේ සෙල්ලමක් … ඒ සෙල්ලම මම හොයාගන්නකල්, ඔයත් කල්පනාවෙන් ඉන්න ඕනි ……”
” අම්මා ඊයේ රෑ නම් කාලා තිබ්බා …”
” අම්මට ඔහොම ඉන්න දෙන්න ටිකක් .. මං එයා ගැන බලාගන්නම් … මල්ලිට වුනත් මෙව්වා මහ ලොකුවට කියන්න ඕනි නැහැ…”
නිම්නාවී එයට එකඟව හිස සැලුවාය. මන්දාරම් ඩයස් පැමිනෙන තුරු සිටින බව පැවසුයේ , ඩයස් ඔහුට තත්වය පැහැදිලි කලාට පසුවය. නිම්නාවී ඔහු සිටින්නේ වෙහෙසින් වග වටහාගෙන කෝපි කෝප්පයක් සකසාගෙන ආවාය. සෙත් කෝපි කෝප්පය අවසන් වන තුරුමිසිත් කීවේ නැත. නිම්නාවීද නිහඬවම ඔහු දෙස බලා උන්නාය.
” ප්‍රියලාල් අංකල්ගෙයි, අපේ අම්මාගෙයි දරුවා ජිනේන්ද්‍ර අයියාලු නිම්නාවී …”
නිම්නාවීගේ අවධානයද නිසි ලෙසින් නොතිබූ අවස්තාවක සෙත් එලෙසින් පැවසූවේය. තමා අසල සිටින මන්දාරම්, සෙත් ලෙසින් වෙනමම දැනීමේ සිහියෙන් උන් නිම්නාවී ඔහු දෙස බැලුවේ තිගැස්සුණ දෑස් එක්කය.
” මං මොකක්ද කරන්නේ නිම්නාවී ?..’
මන්දාරම් කිසිදිනෙක නොවුණ තරමේ අසරණ හඬකින් විමසද්දී, නිම්නාවී වහා ඔහු අසලින් හිඳගත්තාය. දෑතින්ම අල්ලා ගත්තාය.
” ජිනේන්ද්‍ර අයියා ?…”
” ඔව් …”
” කවුද කිව්වේ?..”
” උදේ මම ගියේ ප්‍රියලාල් අංකල් හමුවෙන්න ..”
” එතකොට ජිනේන්ද්‍ර අයියා ඒ ගැන දන්නවාද ?…”
” ඔව්ලු .. ඒත් ප්‍රියලාල් අංකල් අයියාට කියලා ඒ ගැන අම්මාට කියන්න එපා කියලා … ඒ නිසා ඌ ඒක කවදාවත් නොකියන්නලු ඉන්නේ… ඒත් ප්‍රියලාල් අංකල්ට ඒක දරාගන්න අමාරුයිලු …”
” දෙයියනේ … ආන්ටි කොහොම දරාගන්නද සෙත් ?…”
” මට තේරෙන්නේ නෑ නිම්නාවී …”
” ඔයා චානක අයියා එක්ක කතා කලාද ?…”
” තවම නෑ …”
නිම්නාවී සෙත්ගේ දෑත් පිරිමදිමින් ඔහු සමඟ තමා සිටින බව ඇඟෙව්වාය. එහෙත් පිළිතුර වෙනුවෙන් කල යුතු දේ ඇයටද වැටහුනේ නැත.
ReplyForwardAdd reaction |