” ඔයා ඉස්සෙල්ලම වොශ් එකක් දාගෙන ඉන්නකෝ සෙත් .. අපි කාලා ඉමු .. තාත්තාගේ ඇඳුමක් මේ …ඔයා දැනට මේක ඇඳගන්න … මම අපිට රෑට කන්න මුකුත් හදන්නම් …යන්න මගේ රූම් එකට ….මුකුත් නොහිතා හොඳ හොට් වෝටර් වොශ් එකක් දාගන්න ….”
නිම්නාවී සෙත්ව තම කාමරය තුලට තල්ලු කර දමා එලෙස කීවාය. තුවායක් ඔහුගේ කරට දැමේය. නාන කාමරයද පෙන්වූවාය. සෙත් කාමරය තුළට විත් නැවතුණේය. තමා පෙම් කරන යුවතියගේ කාමරය තුල තනිවන්නට වීම මෙවන් හැඟීමක් බව මන්දාරම් දැන උන්නේ නැත. ඔහු කාමරය පුරා ඇස් ඇලෙව්වේය. ඇගේ කාමරය තුළ ඈ ප්‍රිය ලෝකය තනා ගන්නට තරම් වත් ජීවිත බලාපොරොත්තුවක් ඇයට තිබී නැතැයි මන්දාරම්ට සිතුණි. විශාල යුගල ඇඳ, බිත්ති අල්මාරිය, බිත්ති කණ්ණාඩිය, මේසය සහ පුටුව, සහ පොත් දැමූ කබඩ් එකක් හැරුණු කොට එහි වූයේ හිස් බිත්තිය.
ඇගේ අවර්ණ ජීවිතය වර්ණවත්ව පිරවීමේ ආශාව මන්දාරම් තුල අඩු නැතුවම පැන නැග්ගේය.
නිම්නාවී තමාට ඇගේ ජීවිතයට එතරම් පහසුවෙන් එන්නට ඉඩ දුන්නේ ඇයිදැයි යලි යලි සිතන්නට මන්දාරම් ට දැන් අවැසි නැත. ඇතැම් ක්ෂණික තත්පර වලට පසු එලැඹෙන හිතා බලා ගන්නා තීරණ ජීවිත වලට නැවුම් එලි තනන්නේය.
මන්දාරම් නාන කාමරයට යන්නට හැරුණේය. සැනින් ජිනේන්ද්‍ර, අම්මා සහ ප්‍රියලාල් සිහි විය. ඒ තිදෙනා අතර මැද තමා මහා වගකීම් දරන්නා වී ඇති බර දැනුනේය. මන්දාරම් තැබුවේ බර අඩිය.
මේසය මත කොනෙකින් තමා තිබූ විශාල ශබ්ද කෝෂය ඔහුගේ අතේ වැටී බිම වැටුණේය. මන්දාරම් වහා කලබලයෙන් එය ගෙන මේසය මතින් තැබුවේය. ඉදිරියට තබන්නට උත්සාහ කල අඩිය එලෙසින්ම නැවතුණේ එතැනම බිම වැටී තිබූ අව පෑ ගැන්වුණු කොළයක් නිසාය. මන්දාරම් එයද අතට ගෙන මේසය මත තැබුවේය. යළි එදෙස බැලුවේය.
මේ තමා දිග හැර බැලිය යුතුව නැවුමක් දරන කොලයක් බව මන්දාරම්ගේ අභ්‍යන්තරයෙන් නැගුණ හඬක්වත් ඔහුට කීවේ නැත. මන්දාරම් නාන කාමරය තුළට වැදී සිත් සේ නාගත්තේය. නිම්නාවීගේ පියාගේ ඇඳුමෙන් සැරසුණේය. ගැහැණු ළමුන් තාත්තලාගේ දේවල් බෙදා ගන්නේ ජීවිතයට එහෙමත් ලෙසින් දැනෙන පිරිමින් එක්කය. එසේ නොවන කල්හී තාත්තා සතු දෑ තාත්තාගේම පමණය. මන්දාරම් නාන කාමරයෙන් පිටතට විත් කණ්ණාඩියෙන් තමා දෙස බැලුවේය. තමා වගකීම් නොදැරූවකු නොවන බව මන්දාරම් දන්නේය. එහෙත් දැන් මේ දැනෙන වගකීමේ ප්‍රාමාණික බව මහත් ය. නිම්නාවිගෙ පියා තමාට ඇගේ පරෙස්සම බාර දී නිවෙසින් පිටව යනවිටද හිතට බරක් දැනුන බව ඔහු සිහිපත් කලේය.
නිම්නාවී සොයා යන්නට ඔහු කාමරයෙන් පිටතට යන්නට හැදුවා පමණි. යළි මේසය මත වූ හතරට නවා තිබූ කොළය ඔහුගේ නෙත ගැටුනේය. මන්දාරම් වසා තිබූ කාමරයේ දොර දෙස බැලුවේය. කරේ තිබූ තුවායෙන් හිස කේ තවත් පිස දමා ගන්නා අතරේ ලියුමේ එක් නැවුමක් දිග හැරියේය. ඉන් පසුව අනෙක් නැවුමද දිග හැරියේය.
ජීවිතය ඇතැම් රහස් සඟවා සිටින්නේ සුදුසුම කල්හී ඒවා හෙළි කරන බලාපොරොත්තුවෙනි. එහෙව් ඇතැම් රහස් හෙළි වන සුදුසු කල එලැඹෙන්නේ නැතිවම වැළලී යන්නේය.
මන්දාරම් කොළයේ වූ පලමු වාක්‍ය කියෙව්වේය.
” ආදරණීය සෙත් …”
මෙය ඊයේ පෙරේදා ලියූ ලියුමක් නොවන බව ඔහුට පැහැදිලිය. එසේනම්, සෙත් නමින් ආමන්ත්‍රණය කර ලියන ලද ලියුමක්, සෙත් නම් වන තමාටම ලැබීමේ අහම්බය කුමක්ද ?..
මන්දාරම් වහා ඇස් කොළය පුරා ගෙන ගියේය.
මේ ඔයාට ලියන්නේ අවුරුදු හයකින්. ඉස්සෙල්ලාම ඔයාට ලීව ලියුම මට තවම මතකයි. ඒත් ඒ ලියුම ඔයාට ලැබුනදවත් මම දන්නේ නෑ. බොහෝ දුරට ඔයාට ඒක ලැබෙන්න නැතුව ඇති. ඊළඟ මාසේම ඔයාලා කොළඹින් ගිහින් තිබුනා. ඉන් පස්සේ ලීව ලියුම් ගාන මට මතක නෑ. ඒ ගොඩක් ලියුම් මම ඉරලා විසි කරා. ඒත් එහෙම ඉරලා විසි කරන්නත් ලෝබ හිතුන ලියුම් අම්මට අහු වුනාට පස්සේ මගේ ජීවිතේ හිර වුනා. ඔයාට හිතාගන්නවත් බැරි තරමේ. .
කොහොම හරි අද මගේ කොන්වර්කේශන් එක තිබුනා. කොන්වර්කේෂන් ගත්තාට මම සම්පූර්න කැම්පස් ජීවිතයක් ගෙව්වේ නෑ සෙත්. අපේ අම්මා මාව එතනත් හිර කලා. බලෙන්ම මාව දැම්මේ ප්‍රයිවට් යුනි එකකට. ඒකේ අම්මට කේලම් කියන සී සී ටී වී කැමරා කෝටියක් විතර තිබුණා. කොටින්ම මම ලෙක්චර් එකකට ලේට් වුනත් අම්මා ඒක දන්නවා…
ඔයා නොදන්නවා වුනාට මම ඔයාට ලියලා තිබුණා සෙත්, ඔයාට ලීව ලියුම් අහු වුන වෙලේ මම හිතුවක්කාර වුනොත් මල්ලිටත් වස පොවලා අම්මයි තාත්තයි මගේ ඉස්සරහම එල්ලෙනවා කියලා අම්මා මගේ කාමරේට ඇවිල්ලා තර්ජනය කලා..
අම්මා වස බෝතලේ මට පෙන්නුවා. මල්ලිගේ කිරි එකට වස දාලා දෙන විදියත් අම්මා කිව්වා… මම කොහොමද ඒ දේවල් අහගෙනවත් ඉන්නේ සෙත්. එදයින් මම මගේ ජීවිතේ අම්මට ඕනි විදියට ගෙවෙන්න දුන්නා. අද මට විසි හයක් සෙත්. මට තව අවුරුදු කීයක් මේ විදියට ජීවත් වෙන්න වේවිද දන්නේ නෑ. ඒත් මම තෝරගෙන ඉවරයි, අම්මා කියන දේවල් වලින් පිට කිසිම දෙයක් නොකරන්න………..
අපරාදේ සෙත්, ඔයා ඉස්කෝලෙන් මාරු වෙලා ගියේ නැත්නම්, ඒ ලියුම ඔයාට ලැබෙන්න තිබුනා. එහෙම වුනා නම් ඔයා මට මොකක්ම හරි උත්තරයක් දෙන්නත් තිබුනා. ඒ උත්තරේ මොක වුනත් එහෙනම් මට දැන් සැනසීමවත් තියෙනවා.
කමක් නැහැ. ආදරේ කියන්නේ විශ්වීය දෙයක් කියලා හිතන්නම්. ඔයා කොහේ හරි සන්තෝසෙන් හොඳින් ඉන්න බව ප්‍රාර්තනා කරන්නම් . ඔයාව මට නොලැබුනත්, මං ඔයාට කොයි තරම් ආදරේ කරාද කියලා ඔයා නොදැනගත්තත්, මං ප්‍රාර්තනා කරනවා සෙත්, ඔයාගේ සැනසීම, සතුට, ජයග්‍රහණය …
ආදරණීය නිම්නාවි ..
මන්දාරම් තවත් වරක් එහි ආමන්ත්‍රණය සහ අවසානය බැලුවේය. එහි වූ හරය යළි ගැලපුවේය. එහි වූ ලියුම් හුරුව සිහි කලේය. ලැබෙද්දීම කවුරුන් ලිව්වාදැයි නොහැඟෙන සේ අවසාන ආමන්ත්‍රණය ඉරා දමා තිබූ ලියුමේ හුරුව ඉබේම එයට ගැලපුණු. පසුව මිතුරන් විසින් ඒ ලියමන ඉරා දැමීමෙන් පසු තම ඔවුන් හා අමනාපව , රණ්ඩු වූ අයුරුද සිහි විය. මන්දාරම් ඒ අතීත මහා බරද සමඟ ඉබේම නිම්නාවීගේ සයනය මත හිඳ ගත්තේය.
” දෙයියනේ … එතකොට … මේ ඔයාද ..?”
නහරයක් පිපිරී යෑමෙන් හෝ, දරාගන්නට නොහැකි වේදනාවක් පපුව මතින් පිපිරී යෑමෙන් තමා මිය යාවි යැයි මන්දාරම්ට බියක් දැනුණි. ඔහු උන්නේ එතරමට වන නොසන්සුන්කමකය. එලෙස නම් නිම්නාවි අසනීප වූයේ තමා සෙත් මන්දාරම් වර්ණකුල ලෙසින් දැනගත් දිනයේය. අම්මා සහ තමා අතර වූ වාදයේදී ඒ බව කියවුණ මොහොතේය. ඕ තමාට වඩා ඉක්මනින් බැඳෙන්නට හේතුව දැන් පැහැදිලිය.
තනිව පිරූ ප්‍රේමයක අනෙක් පාර්ශවයේ මතු වීම ඇය කෙලෙසින් නම් දරා ගන්නට ඇතිද ? අම්මාගේම ගොදුරක්ව තමා පිරූ ප්‍රේමයට සහ තමාගේ ජීවිතයටම සදාකල් සමුදෙන්නට තීරණය කරන්නට තරම් ඕ ධෛර්‍යමත් වූවාද ?.. නොඑසේ නම් ඕ එතරමට දුර්වල වූවාද ?
මන්දාරම් දෑස්ම එක් අතකින් පොඩි කරේය. නෙත් තෙත දැනෙන්නේය. නිම්නාවී සදාකාලිකවම තමාගෙන් මෙය සඟවන්නට සිතා උන්නාට සැක නැත.
” මොන දේ වෙලා තිබුණත් මාව දරාගන්නවාද ?..”
ඕ එලෙසින් විමසූ දිනය සැනින් මන්දාරම්ට සිහි වූයේය. ඇය මේ සියල්ල සිතෙහි ගොඩ ගසාගෙන, යටපත් වන්නට හරිමින් සිටින්නට ඇත. ජීවිතය නිම්නාවීට දී ඇත්තේ පහසු ප්‍රශ්න පත්‍රයක් නොවේ.
” අයියේ … මම ආවාම මට ඔයාව මුන ගැහිලා කියන්න ඉතාම වැදගත් දෙයක් තියෙනවා… ඒක ඔයා දැනගන්නම ඕනි .. ඒ නිසා මම ආව ගමන් මට පැය දෙක තුනක් ඕනි ..”
පෙරදා රැයේ දිලුම්ගේ කෙටි පණිවිඩයද මන්දාරම්ට සිහි විය. ඇතැම්විට ඔහු ද මේ සියල්ල දැන නිම්නාවීට උදව් කලා විය හැකිය.
මන්දාරම් යළි ලියුමේ එහෙ මෙහෙ දිව්වේය. ඇය මෙවන් ලිපි කීයක් නම් ලිය ලියා පසෙකට දමන්නට ඇතිදැයි සිතාගන්නාට් නොහැක. තමාට හමුවේදැයි කියාවත් නොදන්නා මිනිසෙකු වෙනුවෙන් මෙහෙම බලාපොරොත්තු පිරුණු ජීවිතයක් තියා ගටහ් හැක්කේ කාටද ?
හදිසියේ යමක් සිහිවූවාක් මෙන් මන්දාරම් මේසය මත වූ ශබ්ද කෝෂය අතට ගෙන එහි පිටු පෙරලුවේය. නැවුම් දාර වලින් ඉරී ගිය කොළ කිහිපයක්ම ඔහු තමා සතු කර ගත්තේය. යළි සයනයේ හිඳ ගත්තේය.
ඒ පිටු පුරා වූයේ නිම්නාවී තමා වෙනුවෙන් දැරූ ආශිර්වාදාත්මක ප්‍රේමයය. සියල්ල වැරදී ගොස් තිබී, ඇසිල්ලෙන් අලුත්ම පාරකින් සියල්ල නිවැරදී වූ අවස්තා සැනින් මන්දාරම්ගේ සිතෙහි ඇඳුණේය.
විශ්වය මෙහෙම ප්‍රේමයක් දැරූ ඇයගේ ප්‍රාර්තනා නිරපරාදේ නාස්ති වන්නට ඉඩ නොදෙන්නට ඇත. මන්දාරම් අනෙක් නැවුම් ද එකින් එක දිග හැරියේය.
සකසා තිබූ රාත්‍රී ආහාරයට තවත් නැවුම් බවක් වන සේ සකසවා ගත් නිම්නාවී එය මේසය මත සූදානම් කලාය. ඉන් පසුව මන්දාරම් සොයාගෙන කාමරය වෙත ආවාය. මන්දාරම්ට ගත දොවාගෙන අවසන් කරන්නට ඇති තරම් වේලා තිබූ බවට සැක නැත. ඕ ඇසිල්ලෙන් කාමරයේ දොර විවෘත කලාය. සයනය මත උන් සෙත්ව දුටු පළමු තත්පරයේ ඇය පිරුණේ ප්‍රහර්ෂයෙනි. තාත්තාගේ නිල් පාට කොටු කමිසයට සහ සරමට ඔහු වඩා ප්‍රේමණීයව ඇගේ දෑස් හී එල්ලුනේය.
එහෙත් ඒ ප්‍රහර්ෂය කුඩු පට්ටම් වෙන්නට ඊළඟ නිමේශය ප්‍රමාණවත් විය. නිම්නාවී සැනින් සෙත් වෙත දිව ආවාය. ඔහු කියවමින් උන් ලියුම් සියල්ල උදුරාගෙන පසෙකට කරගන්නට උත්සාහ කලාය.
” මොනවාද මේ .. මොනවාද මේ නිම්නාවී ?..”
සෙත් ඇයට උදුරා ගන්නට නොහැකි ව තමා සන්තකයේ වූ ලියුමක් ඇය වෙත පාමින් විමසුවේ සයනයෙන් නැඟිටින්නේද නැතිවමය. සැබැවින්ම නැගිට ගන්නට නොහැකි ලෙසින් ඔහුගේ දෙපා අවසඟව තිබුණි.
“: මුකුත් නෑ.. අනේ සෙත් මුකුත් නෙවෙයි මේ ..ප්ලීස් .. ප්ලීස් .. එව්වා පරණ දේවල් සෙත් .. අනේ.. අමතක කරන්නකෝ .. අමතක කරන්නකෝ …”
සෙත් එක්වරම එක් කරගත් ශක්තිය සමඟින් නැගිට්ටේය. නිම්නාවීගේ දෙවුරෙන් අල්ලා තමා වෙත නතු වන සේ අල්ලා ගත්තේය. ඇයට සෙලවෙන්නටවවත් ඉඩක් වූයේ නැත.
” මුකුත් නැති වෙන්නේ කොහොමද නිම්නාවී ?.. මුකුත් නැති වෙන්නේ කොහොමද ?… මේ තියෙන්නේ ඔක්කොම නේද ?.. අපි දෙන්නාගේම ජීවිත වල ඔක්කොම නේද ?.. කොහොමද මගේ මැණිකේ, මේ තරම් දුකක් වින්දේ?.. ඇයි මේ ඔක්කොම දුක් තනියෙන් වින්දේ .කොහොමද මේ හැමදේම මට මඟෑරුණේ ?.”
නිම්නාවී සෙත්ගේ කමිසයේ එල්ලී මහ හඬින් හඬා වැටුණාය. මේ තත්පරය ඉක්ම යන්නට දුන් පසු සියල්ල පැහැදිළි බව සිතෙද්දී ඕ හඬා වැටුනේ ඒ ප්‍රීති උන්මාදයෙනි.
අපේක්ෂා ගුණරත්න – අවසානය හෙට .
ReplyForwardAdd reaction |