හද සාගරේ – 9

0
7929

තද නිල් සළුවක් හැඳගත් ආකාස ගංගාව ඉතාමත් ගැඹුරට දිස් විය. රජරට අහසේ වැහි වලාකුළක සේයාවක් හෝ පෙනෙන්නට නො තිබිණි. නමුත් වැව් බැඳි රාජ්‍යයක් වන නිසාවෙන් උෂ්ණත්වයේ            තරමට ම සුළඟ සුවදායක ය. වැව් තාවුල්ලෙහි හිඳ දෙව්රම් අනන්ත අහස දෙස බලා සිටියේ ය. රාජාලියෙකු පියාසර කිරීමේ නිදහස් ප්‍රහර්ශය විඳී. මේ කෙටි   ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටළු වල පැටළී ඒවායින් නිදහස් වීමට දඟලනවාට වැඩිය විඳින්නට යමක් වන බව දෙව්රම් දනී. නමුත් ජීවත් වීම තුළදී එවන් අර්බුධ වල පැටළීම සිදු වන්නේ නො සිතා ම ය. ප්‍රශ්න එන්නේ අප සොයාගෙන ය. තුත්තිරි වාගේ අපේ ඇඟේ පැටළෙන්නට බලාගෙන ය.

“දැන් මොනාද පුතා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නෙ…”

මඳ වෙලාවක් පුත්‍රයාගේ මුහුණ දෙස බලාගෙන සිටි සාලිය සුසුමක් වැව් සුළඟට මුහු කරමින් විමසී ය. මේ තරම් දේවල් සිදුව තිබීත් දෙව්රම් සන්සුන් ව සිටීම ගැන සාලිය ට වුව පුදුම නො සිතෙනවා නොවේ. ඔහු ගේ මුහුණේ වන්නේ නිවුණු සැනසුණු බවකි. යහපත් ගැහැනියක හමු නොවුව හොත් ඔහු ගිහි ගෙය කලකිරී පැවිදි දිවියට ඇතුළත් විය හැකි බවට, උපන් වෙලාවට කේන්ද්‍ර සැදූ නක්ෂත්‍ර කරුවන් දෙව්රම් කුඩා කල ම අනාවැකි පළ කළහ. හරියට සිද්ධාර්ථ වාගේ ය. ගිහි ගෙයි රැඳුණොත් ඔහු සියල් යස ඉසුරු ලබන්නට ද ලෝකය දිනන්නට ද වාසනාවන්තයෙකු වනු ඇත. සපුමලී සමගින් ඇති කරගත් පටලැවිල්ල ගැන ප්‍රසාදයක් නොවී ද නාලිනී ඊට එරෙහි නොවුණේ ඒ ජ්‍යෝතිෂ මතය ගැන බියෙනි. ලෝකය දිනාගෙන පැමිණි සිය පුත් කුමරාට සපුමලී සරණ පාවාගෙන කොළඹ යන්නට හැරියේත් ඔහු පැවිදි දිවියට ගොඩ වෙනු දකින්නට මව් පියන්ට අවැසි නොවූ බැවිනි. නමුත් දැන් ඒ විවාහය බිඳ වැටී තිබේ. නැකත්කරුවන් වූ කලී බොරු කාරයින් යයි සාලිය ට නො සිතෙනවා නොවේ. විවාහය බිඳ වැටෙනා බවට අනාවැකි, දෙව්රම් ගේ හා සපුමලී ගේ පොරොන්දම් බලත්දී හෝ කියවුණේ නැත. එක අතකට වෙන්නට නියමිත දේවල් කලින් දැන නො සිටින එක ම හොඳ ය.

“එහෙම මුකුත් විශේෂ දෙයක්      හිතල නෑ තාත්තෙ. එන විදිහකට මූණ දෙනව තමයි”

“මේ දික්කසාදෙත් එක්ක පුතා ජීවිතේ ගැන කලකිරිල එහෙම නෑනෙ…”

ඇඟට පතට නො දැනී කියා දැමුවාට සාලිය ගේ හද තුළ කැරලි ගසමින් තිබි ප්‍රශ්නය එයයි. ඔහු පුතාව තනි කරගෙන මේ ගැන කතා කරන්නට ම මිතා සිටියේ ය.

“එහෙමම නෑ තාත්තෙ”

“මෙහෙමනෙ පුතා. එකට ජීවත් වෙන්න බැරිනං වෙන් වෙන්න ඕන නිසා තමයි ඔය දික්කසාදෙ කියන එක නීතිගත කරල තියෙන්නෙ. පළවෙනි කසාදෙ අසාර්ථක කරගත්ත වැඩි ප්‍රමාණයක් මිනිස්සු දෙවෙනි කසාදෙ සාර්ථක කරගන්නව”

“තාත්ත මේ දෙවෙනි    කසාදයක් ගැන කතා කරනව”

දෙව්රම් එසේ කීවේ මඳ සිනහ රැල්ලක් සමග මඳ ලැජ්ජාවකිනි.

“ඇයි… ඒක තමයි මං ඇහුවෙ කලකිරීමක් නෑ නේද කියල. එක ගෑනියෙක් එහෙම වුණා කියල හැම ගෑනිම එහෙම වෙන්නෙ නෑ. එක කසාදයක් කැඩුනයි කියල හැම කසාදෙම කැඩෙන්නෙ නෑ. හරියන කෙනා හම්බවුණ දවසට හැමදේම හරියනව. දැන් ඔය අම්මයි මායි අවුරුදු තිස් ගාණක් තිස්සෙ ලස්සනට ජීවත් වෙන්නෙ. අපිට ප්‍රශ්න ආවෙ නැතුව නෙවෙයි. හැබැයි අපි අවබෝදෙන් ඒ ප්‍රශ්න වලට මූණ දුන්න”

“ආයි කසාද නැතුවට කමක් නෑ තාත්තෙ”

“හරි හරි දැන්ම නෙවේනෙ. ටික දවසක් ඔහොම යන්න ඇරල… හිත හෙමින් පෑදුණාම බැරියෑ ඒව ගැන හිතන්න. මට මේ කියන්න ඕන වුණේ ඕව බොහොම සාමාන්‍යයි කියල විතරයි. අපේ වැඩ ටික හරියට කරගෙන හෙමිහිට ඉස්සරහට අඩිය තියන්නයි ඕනෙ. තේරුණාද…”

“ඔව් තාත්තෙ”

“අම්ම ටිකක් හිත ගැස්සිලා ඉන්නෙ පුතා ඉදිරි ජීවිතේ අවුල් කරගනී කියල. ඒක නිසා අම්මගෙ හිතත් සැනසෙන විදිහට සතුටෙන් ඉන්න ඕනෙ. ම්…”

“සපූ ගැනනං මං වද වෙන්නෑ කියල දිව්රල කියන්න පුළුවං තාත්තෙ”

“එහෙනං එච්චරයි”

සාලිය පුතු ගේ උරහිසකට තට්ටුවක් දැමුවේ ය. ඔවුන් ඇවිද එන විට නාලිනී දිවා ආහාර සූදානම් කොට තිබිණ. තැල් කොළ ඇඹුලට දෙව්රම් රිසි වග ඕ තොමෝ දනී. වැව් මාළු මිරිසට පිස, කිරිකොස් මාළුවක් ද මිරිස් කරල් බැදුමක් ද, කොල්ලු මාළුවක් ද ඇය උයා තැබූවේ ගමේ කෑම ගැන දෙව්රම් උනන්දු බැවිනි. කොළඹ දී ඒවා කන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ගම පැමිණි විට මඤ්ඤොක්කා කොළ වලට කොච්චි දමා කොටන මැල්ලුම්, වැව් කරවල, වට්ටක්කා දලු ව්‍යාංජනය හා කෙකටියා ඇඹුල ආදිය කෙසේ හෝ සකසා පුතුට කවන්නට නාලිනී උත්සාහ කරයි.

අම්මාගේත් තාත්තාගේත් සොයා බැලීම් හා නො කියා දනවන ආදරය අභියස දෙව්රම් බෙහෙවින් යථා තත්වයට පත් වී සිටියේ ය. ලෝකයෙහි වන නො වෙනස් ම බැඳීම දෙමව්පියන් දරුවන් කෙරේ දක්වන බැඳීම වන්නට පිළිවන. දවස් දෙක තුනක් ගමට වී සැඟවී ඉන්නවා කියා හිතාගෙන පැමිණිය ද පළමු දිනය ගෙවී යන්නට කලින් ම කොළඹ දිවීමේ උවමනාවක් හිත යටින් බල කොට සිටියේ ය.

“මං යන්නත් ඕනෙ…”

දෙව්රම් එහෙම මුමුණාගත්තේ අම්මා හැදූ පැණි අග්ගලාවක් කමින් තේ බොන ගමන් ය. නාලිනීත් සාලියත් මූණෙන් මූණ බලාගත්හ.

“පුතා දවස්   දෛක තුනක් ඉන්නව කිව්වනෙ…”

“ඔව් අම්මෙ ඉන්නනං ආසයි. ඒත් මේ වැඩ තමයි…”

“පුතා ශූටින් කෑන්සල් කරලයි කිව්වනෙ ආවෙ…”

“ඔව් තාත්තෙ ඒ වුණාට මේ ඔෆිස් එකේ වැඩත් එක්ක…”

“ඉතිං පුතා දැන් යන්නද හදන්නෙ…”

දැන් යන්නට හිතට ඕනෑ වී තිබුණත් දෙව්රම් තමන්ගේ හිත දමනය කර ගත්තේ ය. දැන් යතොත් කොළඹට යන විට රෑ බෝ වී තිබෙනු ඇත. රෑ වී ගිහින් මොනවා කරන්න ද? ගෙදර ගොස් නිදාගන්නවා මිස කොහේ යන්න ද? අනිත් අතට ඔහු දින කිහිපයක් නො පැමිණියත් ගෝල්ඩන් ලීෆ් සමාගම එය ප්‍රශ්නයක් කරගන්නේ නැත. දෙව්රම් පත්වීමේ ලිපිය ලැබුවේ ම ඔහු ගේ රූගත කිරීම් හා විදේශ සංචාර සඳහා කිසිදු අවහිරයක් ආයතනයෙන් ඇති නොවෙනා බවට ගිවිසුම් ගතව ය. මේ හදිස්සිය ආයතනයෙන් නොව ඔහු තුළින් මතු වූවකි. නමුත් ඊට පැහැදිලි හේතුවක් ඔහු දන්නේ නැත. ආත්මීය නො සන්සුන් බවක් පමණක් දැනේ!

හේතුවක් නැතිව ඔහු දුරකතන තිරය ට සිය දහස් වතාවක් එබිකම් කළේ ය. පුරුද්දට වාගේ කෙටි පණිවිඩ තීරයට ගොස් බැලුවේ ය. නමුත් කිසිත් නැත!

ඒ රාත්‍රිය ගෙදර ගත කොට අළුයම කොළඹ බලා පිටත් වීමට ඉන්පසු ඔහු තීරණයක් ගත්තේ ය. ඒ අනුව රූගත කිරීම් සඳහා නියමිත වෙලාවට දර්ශන තලයට යා හැකි වී ද එහි නොයා කාර්යාලයට යන්නට ඔහු ට ඕනෑ විය. ගෙදර ගොස් අලුතෙන් නැවුම් වී කාර්යාලය බලා ගියේ                                                                                                                                                                                                             හිතක් තිගස්සවන පෞරුෂයකින් අනූන පුරුෂයෙකි.

පෙර දාත් ඔහු නො පැමිණි නිසා අද පැමිණිය යුතු යයි ආදියා බලාපොරොත්තු තියාගෙන හිටියා ය. ඇගේ දෑස් වරින් වර ඔවුන් ගේ කොටසට විවර වන ද්වාරය දෙසට යොමු වූයේ දෙව්රම් දැන් එතැයි, දැන් එතැයි බලාපොරොත්තුවෙනි.

“අන්න එනව”

කියා මල්ෂා බොරුවට කී අවස්ථාවකත් ඈ හැරී බැලූයේ හද ගැස්ම උච්චස්ථානයකට පිවිස තිබියදී ය. මල්ෂා හඬ නගා සිනහ වූවා ය. ආදියා මිතුරිය ගේ කනක් රිදෙන්නට මිරිකුවා ය. බොරුවට කොටි එනවෝ එනවෝ කියා රැවටූ විට සැබවින් කොටි ආ දිනෙකත් විමසිලිමත් නොවෙන බවට ගැමි කතාවක් වේ. මල්ෂා දෙව්රම් එන බව ඇත්තට ම කී වෙලේ ආදියා හිතා මතා නො බලා සිටියේ එසේ ය.

“ය කූ… බල පි ය…ආව”

ආදියා දුරකතන තිරයෙන් ඇස් හැරවූයේවත් නැත. නමුත් එක්වර ම ඉබේට ම වාගේ දෑස් වීදුරු බිත්තිය විනිවිද ඇදී ගියේ ය. ඒ වෙලාවේ ම දෙව්රම් ගේ දෑස් හැරවුණේ කෙසේ ද කියා ඈ දන්නේ නැත. නමුත් ඔවුන් දෙදෙනා ගේ ම මුහුණු වල සිනහ මල් දෙකක් පිපිණි. ආදියා ට දැනුණේ ඇගේ දෑස් සතුට විදිනා බවකි. දෙව්රම් නම් වහා වෙනතක යොමු විය. ඊට පස්සේ ඔහු හැසිරුණේ මුළුමනින් ඇය අමතකයි වාගේ ය. නමුත් වෙනදා වාගේ ඉක්මනට කාර්යාලයෙන් පිට වී යන්නට ඔහු ට ඕන වුණේ නැත. සාමාන්‍යයෙන් කාර්යාලයේ සාමාන්‍ය සේවක පිරිස් සමග ඔහු ට ලොකු රාජකාරියක් නැත. ඔහු ගේ වැඩි  සම්බන්ධතා සිදු වන්නේ ඉහළ මට්ටමේ නිල ධරයන් සමගයි. ගිනුම් අංශය සමග ඔහු ට වන එක ම ගනු දෙනුව සිය අත්සන ලබා දීමයි. අද අත්සන් ගැනීමේ අවශ්‍යතාවයක් නොවුණෙන් ආදියා ට දෙව්රම් වෙත යාමට අවස්ථාවක් ලැබුණේ ත් නැත. නමුත් ඔහු ලිපි ගොනු පෙරළමින් ද දීර්ඝ වූ දුරකතන ඇමතුම් ගනිමින් ද කාර්යාලයේ හැන්දෑ වනතුරු ම රැඳුණේ ය. ඊලඟට උදා වන්නේ සති අන්තය නිසාවෙන් ආදියා ට එය සතුටට කාරණයක් විය. අන්තිමට, ඔවුන් කාර්යාලයෙන් නික්මීමට ඇඟිලි සලකුණු තබත්දීත් දෙව්රම් එහි සිටිනු දකිත හැකි විය.

මල්ෂා සමගින් ආදියා පාරේ මුකුළු කරමින් යත්දී දෙව්රම් ගේ මෝටර් රථය හෙමිහිට ඔවුන් පසු කොට ගියේ ය. කෙල්ලන්   දෙදෙනා සිනහ වන්නේ ඔහු ට බව, පැති වීදුරුවේ දර්ශනය අනුව ඔහු ට අනුමාන කළ හැකි විය. රිය නවත්වා ඊට ගොඩ වෙන ලෙස ඔවුන්ට ඇරයුම් කරන්නට ඔහු ගේ හිත ඉඩ දුන්නේ නැත.

සති අන්තය උදා වූයේ ම නිශ්ශංක නො සන්සුන් කරමිනි. මිදුලේ තණ පලස උස්‍ ව වැඩෙමින් තිබේ. පහුගිය දින වල වට වැස්ස නිසා වැඩි වේගයකින් තණකොළ වැඩිණ. පසුගිය සති අන්තයේ කතා කළත් වසන්තව ගෙන්වාගත නො හැකි විය. උදේ තේ එක බිව් ගමන් ඔහු ආදියා ට කීවේ තණකොළ වසන්ත ට ඇමතුමක් ගෙන දෙන ලෙසයි. ඇය එසේ  කළ ද වසන්ත පිළිතුරු දුන්නේ නැත.

“මොනව වෙලාද මේ යකාට… අපෙන් වැඩි ගාණක් කඩාගන්න ගණං උස්සනව වගෙයි මට පේන්නෙ”

තාත්තා එදා දෙව්රම්ගෙන් පැමිණි ඇමතුමකට තණකොළ වසන්තට වාගේ කතා කළ හැටි සිහි වී ආදියා ට සිනහ ගියේ ය. ඒ සමග ම ඇය ඔහු ගේ දුරකතනය අංකනය කළා ය. ගබඩා කකරගෙන නොමැතිව මතකයෙන් ඇයට අංකනය කළ හැකි එක ම අංකය එයයි. දෙව්රම් කිහිප විටක් ‘හෙලෝ’ කීවේ ය. පුරුදු පරිදි දුරකතනය නිහඬ විය. උදයෙන් ම ඒ හඬ අසන්නට ලැබීමේ අහඹු අවස්ථාව සතුටක් කරගෙන ඇය කිළිටි රෙදි මැෂිමට දැමුවා ය. තවත් ටික වෙලාවකින් නිශ්ශංක මේසය මත වූ දුරකතනය ගෙන අන්තිමට වූ අංකයට ඇමතුමක් ගත්තේ ය. දෙව්රම් ඊට පිළිතුරු දුන්නේ අන්තිම මොහොතේ ය.

“මොකද වසන්ත අදත් එන්නැද්ද… තමුසෙ අසනීපෙංවත්ද… තණකොළ ටික හොඳටම වැවිල… දැං මේකට අපිට වෙන මිනිහෙක්ව හොයන් වෙනවද කියනවකො”

දෙව්රම් ක්ෂණිකව ප්‍රබෝධවත් වූයේ ය.

“මහත්තය මේ… වසන්තට ටිකක් සනීප නෑ තමයි. මං ඇවිත් තණකොළ ටික කපල දාන්නං. මහත්තය මට ඇඩ්‍රස් එක කියන්නකො”

“ලියාගන්න පුළුවන්ද…”

“පුළුවං”

දෙව්රම් ලිපිනය ලියාගත්තේ ඔහු ගේ දුරකතනයක ම ය. මේ දුරකතන අංකයෙන් කෙටි පණිවිඩ එවන, ඇමතුම් ගන්නා ගෑනු ළමයා කවුරුන්දැයි දැන ගන්නා හදිසි උවමනාවක් ඔහු තුළ දැල්වෙන්නට ගති. එහෙමම ඔහු සංකේත් ට ඇමතුමක් ගත්තේ ය.

“ටැක්සි එකක් දාගෙන අපේ තණකොළ කපන මැෂින් එක දාගෙන යමුද… මට ඔය කෙල්ල කවුද කියල බලාගන්න ඕනෙ බං…”

“පයිත්තියංද යකෝ… උඹ අද ඇඳේ මොනපැත්තෙංද නැගිට්ටෙ… තණකොළ කපන්න යන්න උඹ… හිතපං උඹ කවුද කියල…”

“හරි හරි. තණකොළ ටිකක් කැපුවට මුකුත් වෙන්නෑනෙ. අනික දෙව්රම් වගේම තව කෙනෙක් ඉන්න බැරිද බං… ඔය හැට් එකක් එහෙම දාල පොඩ්ඩක් පෙනුම වෙනස් කරං යන්න බැරියැ. ඒ වගේද මේ මිශන් එක සක්සස් වුණොත්… මොකද කියන්නෙ උඹ එනවද… උඹ එන්නැත්තං මං තනියමහරි යනව”

“හිටපං හිටපං මං එන්නං. උඹලනං පාප මිත්‍රයො බං”

කියමින් සංකේත් දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ දෙව්රම් කී දෙයක් නොකර ඉන්නේ නැති බව දන්නා නිසා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here