වියෝ ගී ගැයෙනා හදේ – 8

0
3195

“මොන මගුලක්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ?” කියා මේධාට ඇමතුමක් ගන්න උත්සහ කරත් ඇමතුම සම්බන්ද වෙන වාරයක් පාසා මේධා එහා පැත්තෙන් දුරකතන ඇමතුම කට් කරද්දී හිත අස්සේ වූ තරහව එන්න එන්න වැඩිවෙනවා චිරත්ට නොදැනුනා නොවේ. 

“මම ටික දවසක් අම්මලගෙ ගෙදර ඉන්නවා. සිකුරාදා ඉඳලා බබාලගෙ ඉස්කෝලෙ නිවාඩු හන්ද ටික දවසක් ඉන්න පුලුවන් නෙ. මම දවල් ඇවිල්ල ඕන කරන බඩු ටිකයි බබාගෙ ඇඳුම් එහෙමයි අරගත්‍තා. මම ටික දවසක් ඉඳලා හිත වෙනස් වුණයින් පස්සෙ ආයෙ එන්නම්. අයෑම් සොරි චිරත්. ඒත් මටත් දෙයක් දරාගන්න පුලුවන් කාලයක් තියෙනවානෙ. මං හිතන්නෙ මම දැන් ඒ දරාගන්න පුලුවන් කාලෙ පහුකරලත් ගොඩක් කල්” කියා මේධා එවා තිබූ කෙටි පණිවිඩය කියෙව්වාම තමන්ට විතරක් නොව ඕනම මිනිහෙක්ට මල පනින්න ඒක හේතුවක් වෙන බවට චිරත් තමන්ගේ හිත සාධාරණීකරණය කරේය. 

කොච්චර උත්සහ කරත් මේධාවිණී දුරකතනයට සම්බන්ද නොවිච්ච තැන චිරත්ට කරන්න තිබුණ එකම දේ ඒ රාත්‍රිය කියා බලන්නෙ නැතුව මේධාවිණීගේ මහගෙදරට ගොස් ඇයවත් පෙත්මලීවත් එක්කරගෙන එන එකය. ඇඟට කොච්චර මහන්සි දැනුනත්, කමිසය තෙත්වෙන තරමට දාඩිය දමා තිබ්බත් චිරත් ආපහු ගෙදර ගොස් රිෆ්‍රෙශ් වෙන්න හිතුවේ නැත. ඒ වෙනුවට කෙලින්ම මේධාවිණීගේ මහගෙදරට වාහනය පදවගෙන යන අතරවාරයෙත් චිරත් කල්පනා කලේ ඇත්තටම මේධාවිණීගේ වෙනස් වීම පිටිපස්සේ තමන්ගෙන් වෙච්ච වරදක් තිබේද කියා හිතන එකය.

“ඔන්න බැන්දට පස්සෙ නම් තරහවෙලා කතා නොකර ඉන්න බෑ හොඳේ” කියා මේධාවිණී තමන්ගේ උරහිසට හිස තබාගෙන ගෝල්ෆේස් එකේ පඩිපෙලක් උඩ වාඩි වී අයිස්ක්‍රීම් එකක් කන ගමන් කිව්වේ මොකක් හෝ සුලු දේකට හිත රිද්දගෙන දවස් දෙකක් විතර කතා කරන්නේ නැතුව උන්නයින් පස්සෙ බව චිරත්ට අද වගේ මතකය. ඒ දවස්වල සිටම සුලු දේටත් ඕනවට වඩා තරහා යන තමන් කසාදෙන් පස්සේ ඒ ගති ඇත්තටම අඩු කරගත්තේ මේධාවිණී ගැනම හිතා, ඇයට හැමදාම තමන්ව ඉවසන්න බැරි බව තේරුම් ගත්ත හන්දා බවත් චිරත්ට අද වගේ මතකය.

තමන් පහුගිය ටිකේම බිස්නස් එකේ වැඩ හන්දා බිසී වෙච්ච එක ඇත්තකි. ඒ නිසාම ගෙදර වැඩ බොහොමයක් අතපසු වෙච්ච එක ඇත්තකි. ඒක වරදක් බව පිළිගන්න එක ඇත්තක් නමුත් මේධාවිණීට තමන්ට මෙච්චර දඬුවමක් දෙන්න තරම් ඒක වරදක්ද කියා නොහිත ඉන්න පුලුවන්කමක් චිරත්ට තිබ්බේ නැත. වේගයෙන් අවුත් මේධාවිණීගේ මහගෙදර විසල් ගේට්ටුව ඉස්සරහ වාහනය නතර කරත් චිරත් විනාඩි කිහිපයක් වාහනය ඇතුලේම වාඩි වී කල්පනා කරේ තමන්ට මේ ගේට්ටුවෙන් එහා තිබෙන විසල් මන්දිරයට ගොස් මේධාවිණීව ගෙදර එක්කරගෙන එන්න හයියක් තිබේද කියාය. අනික් අතට මනුර සුමතිපාල ගෙදර උන්න හොත් ඔහු විසින් කියන ඕනම දෙයක් දරාගන්න තමන්ට හැකියාවක්, ඉවසීමක් තමන්ට තිබෙන්න ඕන බව චිරත් අමතක කලේ නැත. ඒ හැමදේම මැද්දෙත් වාහනයෙන් බැස ගේට්ටුවෙන් එහා පැත්තේ තිබූ මනුර සුමතිපාලට අයත් මහා මන්දිරයට යන්නට චිරත්ගේ හිතටත් දෙපයටත් හයියක් ගෙන ආවේ පුංචි පෙත්මලීගේ මුහුණ මතක් වෙච්ච එකය. කලින් ගෙදර එන හැම රෑකම වගේ “තාත්තී ගුඩ් නයිට්” කියාගෙන විත් තමන්ගේ කම්මුලක් මත පෙත්මලී තබන පුංචි හාදුවක් නැතුව දවස නිවිසැනසිල්ලේ අවසන් කරන්න තමන්ට නොහැකි බව මතක් වෙද්දී මේ වාහනයේ හිඳ මනුර සුමතිපාලගේ විසල් මැදුර වෙත යන ගමන නොව ඕනම ගිරි දුර්ගගමනක් යන්න තමන්ට හයිය තිබෙන බව චිරත් හිතුවේය.

මනුර සුමතිපාලගේ විසල් මැදුර තිබුනේ ආලෝකයෙන් පිරී ගොසිනි. ඒත් ඒ ආලෝක දහරාවට පවා චිරත් රණවීරගේ හිත අස්සේ තිබුණ වේදනාවේත් කෝපයේත් අන්ධකාරය පලවාහරින්න පුලුවන්කමක් තිබුනේ නැත. මේ තමන් වසර කිහිපයක් විවාහ වී උන් බිරිඳගේ මව් දෙමව්පියන්ගේ නිවස බව දැන උන්නත් මුලින්ම මෙහි ආ දවසේ තිබූ තිගැස්මම තමන්ගේ හිතේ තවමත් තිබෙන බව පිලිනොගෙන ඉන්න පුලුවන්කමක් චිරත්ට තිබුනේ නැත. ඒ දවස්වල මුදල් හිඟ පාඩු හන්ද මේධාවිණිගෙත් තමගෙත් විවාහයේ රෙජිස්ට්‍රේශන් එක වෙනුවෙන් මේ විසල් මන්දිරය වෙන් කල දිනයේ ගමේ හිඳ ඒ උත්සවය වෙනුවෙන් කොළඹ ආ අම්මා ඇතුලු නෑදෑ පිරිස මේ මන්දිරයත් වටපිටාවත් දිහා බලා කිව්ව දේවල් චිරත්ට තවම අමතක නැත. 

“අනේ මන්දා පුතේ අපිට අතපොවන්න පුලුවන් මානෙ තැන් නම් නෙවෙයි පුතේ” කියා එදා කිව්ව අම්මාට ඉන්පස්සේ මෙහි එන්න අවස්තාවක් සඳහා ඉඩක් නොලැබුණෙන් ඒ කතාව එදායින් අවසන් වුණත් අද ඒ වචන ආයෙ ආයෙ අලුත් වෙවී හිත කොඳුරා කියද්දී එයට ඇහුම්කම් නොදී ඉන්න පුලුවන්කමක් චිරත්ට තිබ්බේ නැත. 

“ගෙවල් ලොකු උනාට මේ මිනිස්සුන්ගෙ එහෙම ලොකුකමක් නෑ අම්මෙ” කියා එදා තමන් අම්මා එක්ක හිනාවෙවී කිව්වට අද ආපසු ඒ දවස දිහා හැරී බලද්දී එදා උත්සවය අතරවාරේ තමන් මේධාවිණිගේ සැමියා කියා හෝ කතා කල මිනිස්සු තමන්ගේ අම්මල තාත්තල සහ තමන්ගෙ පැත්තෙන් සහභාගි වු නෑයන් එක්ක කතා නොකල බව චිරත්ට මතක් වෙන්නෙ දැන් ය. එහෙම බලද්දී එදා ඉඳන්ම තමන්ටත් තමන්ගෙ පැත්තෙ මිනිස්සුන්ටත්, කොටින්ම තමන්ගේ පංතියටත් හිනාවෙන්න මේ මිනිස්සු බලාගෙන උන්නු බව චිරත්ට මතක් වේ. ඒ මතකය පවා හිත අස්සේ තියෙන කෝපය වඩ වඩාත් උත්සන්න කරන්නකි.

චිරත් ගෙදර ඉස්තෝප්පුවට පය තියද්දිත් මේධාවිණි උන්නේ සාලෙ සැප පහසු සෙටිය උඩ හාන්සි වී දෙනෙත් පියාගෙන කල්පනා කරමින් උන්නු එකය. සාලෙට පය තිබ්බ චිරත්ව මුලින්ම දැක්කේ අම්මාට ඇස් දෙක පියාගෙන කල්පනා කර කර ඉන්න ඉඩ හැර තමන්ගේ පාට පොත්වල චිත්‍ර පාට කර කර උන්නු පෙත්මලීය. 

“තාත්තී” කියාගෙන දුවගෙන ආ පෙත්මලී තමන්ගේ තුරුලට පනිද්දී මේධාවිණි ඇහැරුණේත් දෙනෙත් ඇරියේත් ගැස්සී බව චිරත් නොදැක්කා නොවේ. අපේක්ශිතව වුවත් අනපේක්ශිතව වුණත් තමන්ව මෙතන මේ විදියට දකින්නට ලැබීම මේධාවිණීට ගැස්සෙන්නට හේතුවක්ද කියා නොහිත ඉන්න චිරත්ට පුලුවන් උනේ නැත.

“ගෙදර යන්න ලෑස්ති වෙන්න” කියා චිරත් කිව්වේ මේධාවිණීගේ ඒ ගැස්සෙන ඇස් දිහාම බලාගෙනය. එහෙත් මේධාවිණී උන්නේ චිරත් ගේ ඒ වදනට ඔලුව නමන්න ද නැද්ද කියා හිතමිනි. මනුර සුමතිපාල උඩ තට්ටුවේ සිට පහලට එන පඩිපෙල දිගේ පල්ලෙහ තට්ටුවට අවේ මේධාවිණිත් චිරත් දිහාත් බලාගෙනය.

මනුර සුමතිපාල දැන් දැන් තමන්ගෙන් “ඇයි ආවෙ?” කියා අහවි කියා හිතුවත් මනුර සුමතිපාල ඇහුවේ වෙන එකකි.

“ඇයි මේධාවිණී කිව්වෙ නැද්ද මේ ටිකේ මෙහෙ ඉන්නවා කියල” මනුර සුමතිපාල අහද්දී මේ තීරණය මේධාවිණි විසින් තනියෙන් ගත්ත එකක් නොවන බවට නිගමනයකට චිරත් ආවේය. 

“කිව්වා, ඒත් ඉතින් තමන්ට කියල ඉන්න තැනක් තියෙද්දි එහෙම වෙන වෙන තැන්වල ඉන්න උවමනාවක් නෑනෙ” කියා චිරත් කිව්වේ මේධාවිණී දිහාවත් මනුර සුමතිපාල දිහාවත් නොබලා තමන්ගේ අතට වී මූණට අවුල් වී වැටිච්ච කෙස් කැරලි එක්ක නට නට ඉන්න පෙත්මලී දිහා බලාගෙනය. 

“මේක ඉතින් මේධාවිණිට වෙන තැනක් නෙවෙයිනෙ, මේක මේධාවිණීගෙ මහ ගෙදර. ඒ වගේම ඔය තමන්ට කියල ඉන්න තැනක් තියෙනව කිව්වට ඒකත් ඉතින් ඔය කසාදෙ වෙද්දි මේධාට දෑවැද්දට හම්බුවෙච්ච එකක් නෙ” කියා මනුර සුමතිපාල කිසි ගාණක් නැතුව කියද්දි චිරත්ට දැනුනේ තමන් උන්නු තැනම පොලොවට පැල වී මුල් ඇද ඇති බවක් ය. තාත්තා කිසිම වෙලාවක එහෙම දෙයක් කියාවි කියා බලාපොරොත්තු නොවිච්ච මේධාවිණීත් ඇත්තටම උන්නේ තිගැස්සීය. මොක උනත් තාත්තා මේධාවිණීට එගෙම කිව්ව එක වැරදි බව හිත කිව්වත් ඒකට විරුද්ධව දෙයක් කියන්න, කොටින්ම කියනවා නම් තමන්ගේ තාත්තාගෙ ගෙදරදී තාත්තා කිව්ව දේකට විරුද්ධව දෙයක් කියන්න හයියක් මේධාවිණීට තිබ්බේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here