වාහනය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ කරගත් ධනංජය මිතුරාගේ බෝඩිම දෙසට වාහනය පදවා ගෙන ගියේ මන්දගාමීවය. වසර ගණනක් පුරා පෙමින් වෙලී සිටි ධනංජයත් හසාරාත් තමාගේම කැදැල්ලකට පැමිණ ගෙවී ගිය කාලය වසර දෙකකට ආසන්නය.
විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසුව දෙදෙනාගෙන් මුලින්ම රැකියාවක් ලැබුණේ හසාරාටය. ඒ ඇය වර්තමානයේත් සේවය කරන පුද්ගලික දුරකථන සමාගමේය.රජයේ රැකියාවකට පිවිසීමේ අවකාශය වුවත් සේවය කල පුද්ගලික ආයතනයෙන් ඕ ඉවත් නොවූයේ සේවයට සරිලන වැටුපක් සේම වෙනත් ප්‍රතිලාභත් ඇයට ඉන් වූ නිසාය.මුලින් ධනංජය ඒ තීරණයට විරුද්ධ වුවත් පසුව ඔහු ඇගේ තර්කය වඩා නිවැරදියැයි පිළි ගත්තාය. අවසන එය දෙදෙනාගේම එකඟතාවය මත ගත් තීරණයකි.
පසු පලෙක ධනංජය ගිණුම් නිලධාරියෙකු ලෙස රජයේ සේවයට බැඳුණේ රැකියාවන් සොයා වසර ගණනාවක්ම කාලය ගෙවා දැමුවාට පසුවය.
ධනංජය මේ නිවස සෑදීමට මූලික අඩිතාලම දැමුවේ ගමෙහි වූ ඉඩමක් විකිණීමෙන් පසුවය.ඒ සඳහා නොමසුරුව ඇගේ මව්පියන්ද දායකත්වය දැක්වූවාය.පිටරට සිටින හසාරාගේ සොයුරිය පවා නිර්ලෝභීව නිවස ඉදි කිරීම වෙනුවෙන් සිය නැගණියට සමාය වූවාය.අවසන් අදියර නිම කලේ හසාරා ව්සින් ලබා ගත් බැංකු ණය මුදලෙන්ය.ඇගේ වැටුපට සරිලන ලෙස ගත් ඒ ණය මුදල විසල් එකකි.
හසාරා යනු දක්ෂතා රැසකින් පිරිපුන් වූූ ගැහැණියකි.තමා රජයේ ආයතනයක අට පහ සේවය කළ නිලධාරියෙකු වුවත් හසාරා එසේ නොවේ.ඔවුන්ගේ සේවය විටෙක පැය අටකට හෝ දහයකට සීමා වූයේ නැත.සමහර දිනෙක මධ්‍යම රාත්‍රියේත් ඇය සිය ලැප්ටොප් පරිඝණකය දිගහැරගෙන ආයතන රාජකාරීන්වල නිරත වන අයුරු ධනංජය දැක තිබේ.
ධනංජය තවදුරටත් අධ්‍යාපනය හැදෑරීම අතහැර දැමුවේ එය තමාට අවශ්‍ය නොවන එකක්යැයි සිතූ නිසාය.හසාරා එසේ නොවේ.ඇය සිය අධ්‍යාපන කටයුතුවලත් නිරත වීම අතහැර දැමුවේ නැත.ඕ දෙපැත්ත සමබර කර ගනිද්දී ධනංජය පවා පුදුම වූ අවස්ථා එමටය.සියල්ල සමබර කර ගැනුමට ඇයට වූ ධාරිතා ගුණය ලෙහෙසියෙන් කෙනෙකුට පිහිටන එකක් නොවේ.අවසන ධනංජය කැමැත්තෙන්ම මග නතර වී හසාරාට තමාගේ අධ්‍යාපන කටයුතුත්, නිවසේ වැඩ කටයුතුත්, රැකියාවේ කටයුතුත් සමබරව කරගෙන යාමට උදව් වූවේය.ඇයව දිනවන්නට සිහිනයක් මිස ඇය ගැන ඉරිසියාවක් හෝ තරහවක් කෙදිනකවත් ඒ සිතෙහි නොවූ බව විශ්වාසය.
යළිත් වරක් දිගු සුසුමක් හෙලා ලය සන්සුන් කර ගැනීමට උත්සාහ දැරූ තරුණයා සුපිරි වෙළඳ සැලක් අසල රිය නතර කළේය.
බෝතලයකුත් කට ගැස්ම කිහිපයකුත් මිලදී ගත් ඔහු ආපසු වාහනයට නැඟුණේ එක දිගට නාදවන ජංගම දුරකථනය නිහඬ කර සාක්කුවේ දමා ගෙනය. දුරකතනය එහා ඉම සිටින්නේ හසාරායි.
ඇඳ මතත් පුටු මතත් වූ කිලිටි ඇඳුම් සියල්ල එකතුකර කූඩයට දැමූ ධනුෂ්ක කාමරය අතුගා ඉවර කලේ මිතුරාගේ හයිබ්‍රිඩ් වර්ගයේ කාරය පැමිණ බෝඩිං කාමරය ඉදිරිපස නතර කරද්දීය.
“ මොකද බං. උඹලට නිවාඩු දවසක ගෙදරට වෙලා වැඩක් පලක් කරගන්න බැරිද…”
යැයි අසාගෙන පඩිපෙළ බැස ආ ධනුෂ්ක ධනංජය අත වූ බෑ මලු කිහිපය තම දෑත් වලින් අල්ලා ගත්තේ සිනහමුසුවය.
“ අපි අතින් කටින් එල්ලගෙන උඹලව බලන්න එහේ එන්න ඕන එකේ උඹ මෙහේ ඇවිත්. තමන්ගේ සතුට සමරන්න එලව එලව පාටි දෙන එකෙක් මං මේ දැක්කමයි.”
“ නවත්තහං බං. කෙහෙල්මල් සතුටක් සමරන්න නෙවෙයි මං ආවේ.උඹත් එක්ක කතා කරලා චුට්ටක් රිලැක්ස් වෙන්න හිතාගෙන…”
“ වරෙන් මචං. මං එහෙම කිව්වේ විහිළුවට..”
පැවසූ ධනුෂ්ක මිතුරා විසින් ගෙන ආ කටගැස්ම බඳුන් කිහිපයකට දමා වීදුරු දෙකක් සූදානම් කර ඔහු ඉදිරිපස තැබුවේය.
ඉන් පසුව දෙදෙනාම වීදුරුවෙහි හරි අඩක් මත් පැන් වලින් පුරවා ගත්තේ කිසිවක් කතාා නොකරය.මුලින්ම දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් වූයේ ආගිය තොරතුරුය.ඉන් පසු විශ්ව විද්‍යාලයේ ගෙවූ සමයේ මිහිරි සිදුවීම්ය.ඉන් පසුව වර්තමානයේ දසත විහිදී සිටින යහළුවන් පිළිබඳවය.මිතුරා සිටින්නේ හිත් හොඳකින් නොවේයැයි සිතුනත් ධනුෂ්ක කිසිවක් විමසන්නට ඉස්සර නොවූවේය..
“ කොහොම උනත් බං දැන් අපි හැමෝගෙන්ම ඉස්සරහින් ඉන්නේ හසාරා.ඉස්සරත් ඒකි මාර ෆෝවර්ඩ් කැරක්ටර් එකක්නෙ බං…”
ධනුෂ්ක අවසන එසේ පැවසූයේ මිතුරාගේ හඬ අවදි කරවන්නට සිතා ගෙනය.සිතූ සේම ඉන්පසු සිදු වූයේත් එයයි.
“ හසාරා හැමදේම ඉස්සරහින් තමයි..මගේ ජීවිතය විනාශ වුණා බං..මේ බලහං ඉස්සර ඉඳපු සැහැල්ලුව දැන් මගේ ළඟ තියෙනවද…හැමදේම නැති වුණා බං..”
“ මචං උඹ මොනවා හරි කරදරේකින් ඉන්නේ කියලා මට තේරුනා.මාව විශ්වාස කරනවනම් අපි කතා කරමු.මොකද උනේ..හසාරා එහෙම නරක කෙනෙක් නෙමෙයිනේ බං..”
“ මොනව උනා කියලද බං මං කියන්න ඕනේ.මම හිතපු දේවල්…ඒ කිසි දෙයක් වුණේ නෑ.මං දැන් නිකම්ම නිකං රජයේ සේවකයෙක් විතරයි.හසාරා දැන්…..”
“ හසාරගේ මොනවහරි වෙනස්වීමක් තියෙනවද..මට තේරෙන් නෑ බං. අදටත් මට කතා කරද්දි ඒකි පරණ හසාරම තමයි.”
“ එහෙම තමයි බං මිනිස්සු ලෝකෙට.ඒ ඔක්කොම වෙස් මූණු ..මිනිස්සු දාගෙන ඉන්නෙ වෙස් මූණු..ඒ වෙස් මූණු උන් ගෙවල් වලදී ගලවනවා..”
“ ඒ කියන්නෙ උඹල දෙන්න අතරේ ප්‍රශ්න…”
“ නෑ තවම නෑ…උනාට ප්‍රශ්න ඇතිවේවි.ඉස්සරහට සෑහෙන්න ප්‍රශ්න ඇති වේවි…”
“ මට උඹ කියන දේ තේරුම් ගන්න බෑ බං.ප්‍රශ්නයක් නැත්නම් උඹ කොහොමද කියන්නේ ප්‍රශ්න ඇතිවේවි කියලා.හසාරා ඉවසීමෙන් ජීවත්වෙන ගෑනියෙක් බං..ඒකි හොඳ කෙල්ල බං..එදා ඉදලා අපි දන්නවනේ..”
“ උඹ දන්නේ මොනවද බං..අඩු ගානේ උඹ උඹ ගැනවත් දන්නවද…හසාරා මෙන්න මෙහෙම මෙහෙම අඩිය තිය තිය නැගලා නැගලා නැගලා උඩටම ගිහිල්ලා බං ඉන්නේ.මම…මම මෙන්න මෙතන බිමට වෙලා ඒකිට හැම දෙයක්ම කළා….ඒ උනාට මගේ මෙතනට වේදනයි බං..දැන් එයා තරුවක්..මං…මං…මදි බං දැන් එයාට…”
මුලින්ම දෑත් භාවිතා කර යමෙකු ඉනිමගක් දිගේ උඩට යන ආකාරය පෙන්වූ ධනංජය අවසන නතර වූයේ සිය පපුවට ගසා ගනිමින්ය.ධනුෂ්ක ඔහුගේ හිස්ව ගිය මත්පැන් වීදුරුව පිරවූයේ කුකුළු මස් බැදුම සහිත දීසිය ඔහු වෙත දිගු කරමින්ය.
“ බලහං මේ කාමරේ හරි පොඩියි..මගේ ගෙදර බාත්රූම් එක මීට වඩා ලොකුයි.මෙතන තියෙන සැනසීම ඒ ලොකු ගේ ඇතුලෙ නෑ බං මට.මට හිතෙනවා බං හැම දේම අතෑරලා දාන්න..මේ පොඩි ඇඳේ තියෙන සැනසීම ලක්ෂ දෙකක ස්ප්‍රීන් මෙට්ටේ උඩ මට නෑ බං..ගමේ ගිහිල්ලා වැවේ බැහැල නාල කොස් ගෙඩියක් තම්බං කාලා ඉන්නව තරම් සැනසීමක් මට ඒ තාප්ප වලින් වට වෙච්ච ලොකු ගෙදර නෑ බං..ඒ සැනසීම නැති කලේ හසාරා…එයාට ඕනේ ලෝකේ දිනන්න ව්තරයි..ලංකාවේ විතරද පිටරට බොස්ලා එක්ක එයා හරි හරියට වැඩ..”
“එහෙම තමයි බං ජීවිතේ.බලහං උඹට බලාපොරොත්තු උනාටත් වඩා දේවල් ලැබුණා.හැබැයි මට බලාපොරොත්තු වෙච්ච දේවල් වලින් කාලක්වත් ලැබුණේ නෑ. සොච්චං පඩියක් අරගෙන ගෙදර මිනිස්සුන්ගේ ඕන එපාකම් වලට යැව්වට පස්සේ මං මාසෙ පිරිමහගන්නෙ හරි අමාරුවෙන් බං. උඹට කියන්න මං ඊයේ බටරුයි පානුයි විතරයි කෑවේ.…එහෙම තමයි බං මිනිස්සු කිසි දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නෑ..”
“ හසාරා ස්ටේජ් එකක් උඩ සම්මාන ගනිද්දි අප්පුඩි ගහනවා බං මං…මීඩියා කාරයෝ ඒකිව වට කරගෙන ෆොටෝ ගනිද්දි මං රූකඩයක් වගේ ඒකි කියන කියන විදිහට ඉන්නවා බං.උන් හිතනවා ඇති මං මොන ජාතියෙන් මිනිහෙක්ද කියලා…”
“ මං දැනගත්තා මං දැනගත්තා දැනගත්තා . ….උඹට දැන් තියෙන ප්‍රශ්නෙත් ඒක… “
“ මොකක්ද බං ප්‍රශ්නේ…”
“ඕකට කියන්නේ හීනමානෙ කියලා බං..ඕක එච්චර හොඳ ලෙඩක් නෙමෙයි.අනික උඹනේ කිව්වෙ හසාරා යන්න ඕන ඉහළම තැනට යන්න කියලා.උඹ නෙවෙයිද ඒකට උදව් කලේ..මාත් එක්ක හසාර කියලා තියෙනවා බං උඹ එයා වෙනුවෙන් රෑ නිදි මරාගෙන උදව් කළා කියලා..වෙලාවකට ඒකිට මේ දේවල් වදයක් වෙද්දි උඹ තමයි ඒකි තල්ලු කර කර ඉස්සරහට යවන්නේ කියලා…”
“ මං කළා තමයි.හැමදේම කලා තමයි.වැරදුනේ අන්න එතන තමයි බං…මං මං ගැන හිතුවේ නෑ.එතන තමයි මට වැරදුනේ මට වැරදුණේ..එයා පිරිමියා වෙද්දි මං ගෑණි උන තැන තමයි මට වැරදුනේ..”
“ ඇත්ත කියමං හසාර උඹට වෙනස්කම් කරනවද. එහෙම කරනවනම් ඒකි හරි වැරදියි බං..මං ඒකිත් එක්ක කතා කරන්නම්.එහෙම වෙන්න මං ඉඩ තියන්නේ නෑ.. මට කියහඃ..හැමදේම කියා..අකුරක් නෑර කියහං..
මචං මං ඉන්නවා උඹට.එක බඩ වැල කඩාගෙන නාවට අපි සහෝදරයෝ.මට හසාරා උඩට උඩට නැගගෙන ගිහිල්ලා දැන් උඹව පාගනවද……එහෙමනම් ඒකි ඇතිවුණා වගේම නැති කරලා දාන්නත් අපිට පුළුවන්.ඒක අපි කරමු.ඒකිට අං ඇවිල්ල නම් අං දෙක ගලවල දාන්න උඹත් එක්ක මමත් ඉන්නවා. අන්න ඒකට තමයි යාළු ෆිට් එක කියලා කියන්නේ.ඔබ බයවෙන්න එපා මචං.පරණ පුරුදු හසාරව උඹට ගෙනත් දෙන්න මට පුලුවන් ..”
“ මං පැරදුනා බං.මං පැරදුණා….ඒකි දිනනවා බලන් ඉඳලම මම පැරදුනා….”
( යළිත් හමු වෙමු…)
ReplyForwardAdd reaction |