Vintage Eyes – 03

පැන්ට්‍රි කබඩ් එක අවුස්සා ජින්ජර් බිස්කට් පැකට් එකක් සොයා ගත් මම එයත් එක්ක අම්මාගෙත් මගේත් ලෙමන් ටී දෙක ද ගෙන ඉස්සරහාට ගියෙමි. අම්මා මදෙස බලා සිනහවකින් මහන මැෂිම නතර කළා ය. අප දෙදෙනා ම අපේ කුඩා බරාඳයේ යුගල බංකු පුටුවට ගියෙමු.

ලෙමන් ටී සමග ජින්ජර් බිස්කට්! ලෙමන් ජින් වලට ඒවා වදන් සරින් හෝ සමාන ය. මට තනිව සිනහවක් නැගිණ. එය මෘදු හඬක් නැගූ සිනහවකි. අම්මා මගේ මූණ බැලුවා ය.

“අද නුගේගොඩ යද්දි වෙච්ච එකක් මතක් වුණා”

අම්මා ගේ බැල්ම එසේ උදාසීන කරන්නට මට සිදු විය. මට පිස්සු ද? සැබවින් මේ උමතුවක් නො වන්නේ ද? එය උන්මාදයක් නම් මම එයටත් කැමැත්තෙමි. නාඳුනන ක්ලැසික් ඔස්ටින් කරුවා මඳ පවනක් සේ ඇවිත් කුණාටුවක් ව හමා ගොස් ඇතිවා සේ ය. 

“අම්මට ෆ්‍රී වෙලාවක් තිබුණොත් මටත් එම්බ්‍රොයිඩරි වර්ක් ටිකක් කරල දෙන්නකො. නිකං නෙවේ. අපි ගෙවනව”

අම්මා ට සිනහවක් නැගිණ. ඇය ඒ සිනහව දෙතොල් දසන් අතරේ තද කොට හිර කර ගත්තා ය.

“විහිළු නෙවේ අනේ. ප්ලාන්ට් ගිෆ්ට්ස් තමයි අපේ මේන් ටාගට් එක. ඒ වුණාට අම්මගෙ එම්බ්‍රොරියිඩරි වර්ක් දැක්කහම මගෙ ඇස් දෙක වුණත් වශී වෙනව. ඒ වගේ වර්ක් එකක් ෆ්‍රේම් කරල තියෙනව දැක්කොත්…ගිෆ්ට් එකක් විදිහට තෝර ගන්න අය ඉන්න පුළුවන්. අපේ පේජ් එකේ ෆොටෝස් ටිකක් දැම්මොත් එහෙම…සමහර වෙලාවට වයිරල් වෙන්නෙ අපි හිතන්නැති දේවල් අප්ප”

“හෙට අනිද්ද වෙනකොට මේ පලාතෙ හොඳම ව්‍යවසායිකාව වෙයිද දන්නෑ නේද…”

ඉතා සන්සුන් හඬකින් ද, බලාපොරොත්තු සහගත දෑසකින් ද ආශීර්වාදාත්මක මඳහසකින් ද අම්මා මගේ මූණ දෙස බලා සිටින්නට වූවා ය. එකවර ලැජ්ජාවක් දැනී මා බිම බලා ගත්ත ද යළිත් හිස කෙළින් කොට ගතිමි. මගේ ඇස් වල ඉලක්කගත අරමුණක් වන බව මට ම දැනිණ.

“එහෙම ලොකූවට බිස්නස් කරන ඕන කමක් දැනට නෑ අම්මෙ. ඒත් තව ටික කලක් ගිහින් හරි අම්මගෙ ඔය මැෂින් පෑගිල්ල නවත්තල දාන්න මට පුළුවන් වුණොත් මං දිනුම්”

“අනේ මං ගැන නෙවේ පුතේ. ඔයා ගැනයි දැන් අපි හිතන්න ඕනෙ. කාලයක් තිස්සෙම ජොබ් හොයල හොයල…අන්තිමට ඔයා ආස විදිහට කරන්න ඕක හරි පටන් ගත්ත එක ගැන මට සතුටුයි. චූටි කෙල්ලෙක් වගේ දුව දුව හිටියට දැන් ඔයා පිළිවෙලක් වෙන්නත් කල් හරි. කල් හරි නෙවෙයි කල් පහු වෙලා තරං. මට ඔයා වෙනුවෙන් දෑවැද්දක් දෙන්න නැති එකේ…ඔයා ඔහොම බිස්නස් එකක් හරි හදා ගෙන ඉන්න එක සැනසිල්ලක්. මොනා වුණත්…මනුස්සය වෙන අතක් බලා ගත්ත වුණත් අඬන්නෙ තැවෙන්නෙ නැතුව තමන් ගැන විශ්වාසෙන් එළියට බහින්න තරං ආත්ම ශක්තියක් ගෑනියෙක් හදා ගෙන තියෙන්න ඕනෙ”

“මට බඳින්න ඕන නෑ අම්මෙ”

මම බිඳුණු හඬකින් මිමිණුවෙමි.

” තාත්ත කරපු දේ නිසාම…බඳිනව කියන දේ ගැන මට තියෙන්නෙ බයක්. අම්මව බලාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කමක් හදා ගත්තොත් මට ඇති. අනිත් එක…බඳින්න ඕනමයි කියල එකක් නෑ අම්ම. ඔයා දිහා බලාගෙන ලොකු වෙච්ච ළමා කාලයක්නෙ මට තියෙන්නෙ. ගෑනියෙක්ට පිරිමියෙක්ගෙ හයියක් ඕනමයි කියල එකක් නෑ කියල මං තේරුං ගත්තෙ අම්මගෙන්”

අම්මා ගේ ඇසින් වහා කඳුළක් ගිලිහී ගියේ ය. ඇය අතිශය සංවේදී ස්ත්‍රියක් බව මම දනිමි. කුඩා දෙයටත් අම්මා ගේ ඇස කඳුළක් නැගේ. නමුත් ඇගේ හිත ඊට සාපේක්ෂව කෙතරම් සවිමත් දැයි මට සිතා ගැනීමටවත් නො හැකි තරම් ය.

“අඬන්නෙපා ඉතිං…”

මම අම්මා ගේ උරහිස වටා අතක් දමා ගෙන තවත් ඇයට සමීප වීමි.

“මයි බියුටිෆුල් මාම් නෙ ඔයා”

කියමින් ඇගේ කොපුලක හීනියට හාදුවක් තැබුවෙමි. 

“ඔය ඉතිං…තේ එකත් හලනව විකාර කරන්න ගිහිං…”

“මගෙ ලෙමන් ටී එක…”

“ලෙමන් දැම්මද…ඒක තමයි මං බැලුවෙ ඒ අමුතු රහ මොකද්ද කියල…අයියෝ…මං තේ එක හැදුවනං ඉවරයි”

මුවට ගත් තේ උගුර, සිනහව නිසා මගේ දෙතොල් අතරින් පිටට විද්දේ ය. අම්මා ගේ ඇඟටත් තේ බින්දු විසි වෙන්නට ඇත.

“මොනා වෙලාද මේ කෙල්ලට…”

කියමින් අම්මා නැගිට ගත්තා ය. මම කකුල් දෙකත් බංකුව මතට ගෙන ලෙමන් ටී එක තොල ගාන්නට ගතිමි. ජීවිතයේ රස තැන් ගවේශණය කිරීම යනු එක්තරා උන්මාදයක් ම ය. බොහෝ විට ඒවා අප නො හිතන තරම් අල්ප වූ ඒවා ය. 

තේ බීමෙන් පස්සේ හිස් කෝප්පය එතැන ම තියා මම මල් පැළ අතරට ගියෙමි.  සක්ශුලන්ට් පැළයක් මත පූසෙකු දඟලා එහි පත්‍ර බොහොමයක් කඩා දමා තිබිණ. මම ඒ කොළ සියල්ල වැලි දැමූ කුඩා බඳුනක් වටේ මලක් සේ තැබුවෙමි. තව දින කිහිපයකින් ඒ පත්‍ර වල කොනෙන් කුඩා මුලක් ඇදී, ඊටත් දින කිහිපයකට පසු ක්ශුද්‍ර වූ පැළයක් බැගින් හට ගනු ඇත. සක්ශුලන්ට් කියන්නේ පිස්සුවකි!

කේක් ගැන මගේ ඒ හැටි උනන්දුවක් නැත. නමුත් කේක් හැඩ ගැන්වීමේ කලාව ට මා ආශ ය. නූරි කේක් හදා නිම වූ පසු ඒවා අයිසින් කොට හැඩ ගැන්වීමේ දී මම ඇයට අදහස් දෙමින් ළඟට වී ඉමි. නාඳුනන ක්ලැසික් ඔස්ටින් කරු වෙනුවෙන් නිමැවූ  පළතුරු වලින් හැඩ කළ කේක් එක සඳහා නූරි අසීමිත ව වෙහෙසුණා ය.  ඇගේ කටයුතු වලට ඇඟිලි නො ගසා මම භාවනාවක් සේ ඒ කටයුතු කෙරෙන හැටි බලා සිටියෙමි.

“අම්මල මනමාලයෙක් ගේන්න හදනව ශිකී”

සිය කාරියෙහි යෙදෙමින් ම නූරි මිමිණුවා ය. මගේ හදවතේ කම්පනයක් ඇති විය. මම හොඳින් ඇදෙස බැලුවෙමි. ඕ සිනහ වෙන්න ද හඬන්න ද කියා නො දන්නවා වැනි මුහුණක් හදා ගෙන, ඒ අමුතු මඳහසින් දිගට ම සිය කාරියෙහි නිරත වූවා ය.

“ඉතිං ඔයා තේජාන්ට කිව්වද…”

“ම්හු”

එවර ඕ සුසුමක් හෙළුවා ය.

“ඕක කිව්වයි කියලත් අමුතුවෙන් කියන්න දෙයක් එයාට නැති වෙයි”

ඇගේ හඬේ තියෙන්නේ තනිකර ම ශෝකයක් නොවේ. නො රිස්සුමක් හා ආත්ම අසරණ කමක් ද එහි වන බව මම දනිමි.

නූරි ට පෙම්වතෙකු සිටී. ඔහු සාමාන්‍ය රැකියාවක් කරන්නෙකි. නූරි සිය කේක් ව්‍යාපාරයෙන් උපයන මුදලත් එක් ව ගත් කල ඔවුන් දෙදෙනාට විවාහ වී යහපත් ජීවිතයක් ගත කරන්නට බැරි කමක් නැත. නූරි ගේ ගෙදරින් ද විවාහය සිදු කරනා ලෙස නිතර බල කර සිටී. නමුත්  ඇගේ පෙම්වතා ගෙන් ඊට සහයෝයක් ලැබෙන්නේ නැත. ඔහු ට බාල වූ නැගණිවරුන් දෙදෙනෙකු සිටින නිසා, ඔවුන් විවාහ කර දෙන තුරු විවාහයක් ගැන සිතිය නොහැකි යයි ඔහු පවසයි. 

“මං කියන්නෑ තේජාන් වැරදියි කියල. එයාට එයාගෙ නංගිල ගැන බලන්නෙ නැතුව බඳින්න බැරුව ඇති. ඒත් අපේ අම්මල තාත්තලටත් දෙමපියො විදිහට බලං ඉන්න පුළුවන් සීමාවක් තියනවනෙ ශිකී. ඒ සීමාවත් ඉක්මවල ඇත්තටම ඒගොල්ලො දැං බලං ඉඳලයි තියෙන්නෙ. එයාට එයාගෙ නංගිල බන්දල දෙන්න ඕන වගේම බරක් මාව බන්දල දෙන්න ඕන කියල අපේ අම්මලට තියනවනෙ. තවත් මට මේ දෙපැත්තට අහු වෙලා තැලෙන්න බෑ. වෙන දෙයක් වෙන්න ඇරල දැං මං ඔහේ බලං ඉන්නව”

“දැං කවද්ද ඔය මනමාලය එනව කියන්නෙ…”

“දවසක් කිව්වෙ නෑ. ඒත් ඉක්මනට ඒක වෙයි”

“ඔයාට පුළුවන්ද වෙන කෙනෙක්ව බඳින්න හිත හදා ගන්න…”

“ඒත් තේජාන් මත්තෙ මැරෙන්නද…අර මිනිස්සුන්ට මං නිසා සැනසීමක් නැති කරන්නද…මට දැං වෙලා තියෙන්නෙ මාව අමතක කරන්න ශිකී…”

මගෙන් මහා දිග සුසුමක් ගිලිහිණ. ප්‍රේමය ගැන මට වන අත්දැකීම් ඉතා අඩු ය. තිබුණත් ඒ ඒක පාර්ශ්වික උමතු කිහිපයක් පමණකි. එද විවාහයක් ගැන නම් හිතනා සූදානමක් හෝ මට නැත. නමුත් නූරි මට වඩා පිළිවෙලැති ගෑනු ළමයෙකි. ඇය තේජාන් වෙනුවෙන් දැන් අවුරුදු හතරක් තිස්සේ බලා හිඳින්නී ය. 

“ඒත් ඔයා අන්තිම වතාවට හරි කියල එයත් එක්ක මේ ගැන කතා කරන්න. නැත්තං හිතයි එයාට නොකියම ඔයා වෙන කෙනෙක් ගැන හිතුව කියල”

මානව සම්බන්ධතා ඇතුළේ අප ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතු ය කියා මට හිතෙන්නේ, විවාහයක් මැද්දේ දියණියක ද සමග අසරණ වී අපේ අම්මා ඉන් ගොඩ වී ගන්නට විඳි දුක මුල සිට ම දුටු හින්දා ය. මිනිසුන් හදවත් වලින් බිඳීම අවාසනාවකි. බිඳුණු මිනිසුන් ට කවදාවත් පරිපූර්ණ මිනිසුන් විය නො හැකි ය. අඩු තරමින් ඔවුන්ට සම්පූර්ණයෙන් සිනහ වෙන්නට වුව නො හැකි ය. මගේ මිතුරිය නූරි දැන් මේ සිනහ වූයේත් එපරිදි ය කියා මම සිතමි. ඇගේ පෙම්වතා තේජාන් ට ද ඒ ඉරණම ම අත් වනු ඇත.  

මිනිසුන් හදවත් වලින් නො බිඳී ජීවත් විය යුතුය යන්න මගේ පැතුමයි. 

අපෙන් ඔහු කේක් එක ඉල්ලා තිබුණේ හවස තුනට ය. දී තිබූ ලිපිනය අනුව එය ඒ හැටි දුරක් නොවන බව පෙනිණ. තුනට හරියට ම විනාඩි පහක් තිබියදී අපි ඒ ලිපිනය සහිත නිවෙස ඉදිරියේ පෙනී සිටියෙමු. 

තාප්පයට සවි කළ යකඩ ග්‍රිල්මය පුවරුවක ගෙදර අංකය එල්ලී තිබුණේ ය. විශාල කළු කැටයම් ගේට්ටුවෙහි පියනක් හැර දමා තිබිණ. එය දැවැන්ත තණ බිමක් සහිත මිදුලක් මැද පිහිටි තනි මහලක තරමක් පැරණි නිවසකි. දෙපියන් ජනේල ගණනාවක් ම ගේ වටේට ඇති බව පෙනෙන්නට තිබිණ. ඒවා ලී පියන් සහිත ය. ඉතා අලංකාර දැවමය කැටයම් සහිත අඩ කවාකාර ආරුක්කු, ඒ ජනේල වලට මත්තෙන් විය. පිවිසුම් දොරටුවේ සිට ගේ දොරකඩ තෙක් කළු ගල් පතුරු අල්ලා පාරක් තනා තිබිණ. ඒ පාර දෙපැත්තේ සිටුවා තිබුණේ රෝස, කහ හා සුදු පැහැති රේන් ලිලී පඳුරු ය. රේන් ලිලී කියන්නේ මා අතිශය ආදරය කරනා මලකි. වස්සානයේදී හැම ගහක් ම මල් සඟවා ගනිත්දී අසීමිත ව මල් දී හිනැහෙන්නේ රේන් ලිලී ය. 

වත්තේ තැන් තැන් වල අඹ, රඹුටන්, තැඹිලි, පොල් වැනි ගස් වූයේ ය. මා ස්කූටිය පැද ගියේ ඉතා හෙමිහිට ය. ඒ කදිම වින්ටේජමය පෙනුම මුළුමනින් මා ග්‍රහණය කර ගන්නට සමත් වී තිබිණ.

පෝටිකෝව යට කොළ පාට ඔස්ටින් රිය නතර වී තිබිණ. එතැනට වහා ම ඉදිරියෙන් පෙනෙන, මෝටර් රථ දෙක තුනක් ගාල් කළ හැකි රථ ගාලේ කළු පාට මොරිස් මයිනර් රියක් ද විය. ඒ කියන්නේ ඔහු වින්ටේජ් ක්ලැසික් වාහන එකතු කරන්නෙකි!

දැවැන්ත දෙපියන් දොරක් ඒ ගෙදරට වන්නේ ය. වටේ බරාඳයෙහි කළුවර යයි සිතිය හැකි ලීයෙන් කළ හාන්සි පුටු කිහිපයක් විරාජමාන ව තිබිණ. කිසි සේත් ගරා වැටීමක් නො පෙන්වන ඒ පැරණි නිවස, ඒ තත්වයෙන් ම නඩත්තු කරමින් ඒ වින්ටේජමය පෙනුම ආරක්ෂා කරගෙන යනවායි මම ඉක්මන් නිගමනයකට ආවෙමි.

ස්කූටියේ නලා හඬට ඉස්සරහට ආවේ ඒ මත් දෑස ය. කොට කලිසමක් හා පහසු ටී බැනියමක් හැඳ සිටි ඔහු අප දුටු වන හඳුනා ගත් බවක් පෙන්වූයේ ය. එදා නොවූ හිනාවක් අද ඔහු ගේ මූණ සරසා තිබිණ.

“කේක් එක සර්…”

නූරි වහා ස්කූටියෙන් බැස කේක් එක ඔහු අතට පත් කළා ය.

“තෑන්ක් යූ”

අදත් ඒ සුවඳ ම ය. ලෙමන් සුවඳ! මම ඔහු දෙස බලා ගත් වන බැස පීස් ලිලී බඳුන දෝතින් ගතිමි. ඔහු කේක් එක ළඟකින් තබා වහා පැමිණියේ ය.

“කාගෙද සර් බර්ත් ඩේ එක…එහෙම ඇහුවෙ…අපි සුබ පැතුමක් දෙනව අපේ කස්ටමර්ස්ලට. ඒක බර්ත් ඩේ එක අයිති කෙනාටම දෙන්න පුළුවන්නං අපිට සතුටක්”

වෙනදාට මට පැවරෙන රාජකාරිය නූරි විසින් ම කරන්නට බාර ගෙන ඇත්තේ ඔහු ගැන මට වූ උමතුව නිසා සියල්ල විකාරයක් කර ගනීවියි බියෙන් වන්නට ඇත.

ඒ නෙත් විල් මත සිනහ පියුම් පිපිණි. එය තනිකර ම වසඟයකි. මම ඇස් පිය නො සලා බලා හිඳින්නට වීමි.

“දෙන්න”

ඒ ලස්සන සිනහවෙන් ම ඔහු කීවේ ය.

“සර්…”

“ඉට්ස් මී…මං තමයි බර්ත් ඩේ බෝයි”

එසේ කියමින් ඔහු තරමක් හඬ නගා සිනහ වූයේ ය. මගේ පපුව කීරි ගැහෙන්නට විය. 

“විශ් යූ අ වෙරි හැපි බර්ත් ඩේ සර්..”

වියළි මල් අලවා මගේ අත් දෙකෙන් ම සෑදූ, මගේ අතින් ම ලියූ  සුබ පැතුම් පත නූරි දෝතින් ම ඔහු ට පිළිගැන්වූවා ය. 

“තෑන්ක් යූ”

පීස් ලිලී මල් බඳුන දෝත දරා ගෙන මා ඔහු ට සමීප වූයේ ඉනික්බිති ය. ඔහු සිටියේ එදාට වඩා බමන මතකින් බව මට හොඳට ම විශ්වාස ය. උපන් දිනයක් වෙනුවෙන් කේක් කපන්නට හෝ කන්නට හෝ වෙන කිසිවෙකුත් ඒ ගෙදර පේන්නට සිටියේ ද නැත. ඊටත් වඩා ඔහු ගේ උපන් දිනයට ඔහු තමන්ට ම මේ පීස් ලිලී මල් බඳුන තෑගි කර ගන්නවා ද? මට කිසිත් නිරවුල් වූයේ නැත. නමුත් ඒ තත්පරයක කාලය තුළ මම ඔහු ගේ දෑස් අගාධ ඇතුළේ සැලකිය යුතු දුරක් කිමිද සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles