fbpx

සඳක් කළ සක්මන් -27

නෙරංජලා ට කැළණි විහාරය වෙත යන්නට විශේෂ හේතුවක් වූවා කියා මම නො සිතමි. ඇයට උවමනා වන්නට ඇත්තේ රිදී බිඳී පෑරී ඇති මගේ හිතට මොහොතක අස්වැසිල්ලක් ගෙන එන්නටවත් ද කියා මට සිතිණි. ඒ තරමට ම ඕ මගේ හිත හැදෙන කතා කීවා ය. මගේ හිතට දිරි ලැබෙන කතා කීවා ය.

කිසිදු වටිනාකමක් නැති කුණු ගොඩක් සේ මගේ ගෙදරින් පසෙකට විසි කරනු ලැබ සිටි මට ඔවුන් ඒ සා වටිනාකමක් දෙන්නට හදන්නේ ඇයි ද කියා නම් මම නො දැන සිටියෙමි.

එන ගමන් රාත්‍රී ආහාර ගැනීම සඳහා සුඛෝපභෝගී අවන් හලක රිය නැවතිණ. ඒ ආහාර නෙත පිනවන ඒවා වී ද මට ඒ හැටි කෑම රුචියක් වූයේ නැත. සිතෙහි කැරකෙමින් තිබුණේ හෙටින් උදා වෙන ජීවිතය ට කෙසේ මුහුණ දෙන්න ද යන්න පමණකි. රැකියාව ද එපා කියා යළි ගෙදර එන මොහොතේ මසිත් හි වූයේ තාත්තා ගැන ගින්දරක් පමණකි. ඔහු සිපිරි ගෙදරට නියම වෙන්නට යනවා නම් කෙසේ ඓා් ඉන් ඔහු ගලවා ගත යුතු ය යන සිතිවිල්ල විසින් උමතු කරනු ලැබූ හදවතක් පමණි. ඒ වෙලාවේ මගේ මොළයේ ක්‍රියාකාරිත්වය අතිශය දුර්වල වී තිබෙන්නට ඇත. මම තාත්තා බේරා ගැනීමෙන් මත්තට කිසිවක් ගැන නො සිතීමි.

නමුත් දැන් මා කබලෙන් ළිපට වැටී තිබේ. නිදහසේ සැඟව ඉන්නට තිබූ කාමරය වුව මට අහිමි වී තිබේ.

“ජීවිතේ ලොකූ ජයග්‍රහණ ලබපු මිනිස්සුන්ගෙ කතා අරගෙන බැලුවහම පූජා…ඒ අය හුඟක් පොඩි තැන් වලින් පටන් ගත්ත අය. ඔයා පොත් කියවන කෙනෙක් නිසා දන්නවනෙ. සමහර විද්‍යාඥවරු වගේ ම දැවැන්ත නමක් හදා ගත්ත සමහර ලේඛකයොත් ඉස්කෝලෙං පවා පන්නපු අය. කන්න පාං කෑල්ලක් හොයා ගන්න කුණු බක්කි පීරපු අය. ඒත් වැදගත් වෙන්නෙ අන්තිමට ඒ මිනිස්සු කරපු දේවල්. ජීවිතේ හැම සිදධියකින් ම පාඩමක් ඉගෙන ගන්න එකයි වැදගත් වෙන්නෙ පූජා”

නෙරංජලා ගුරුගේ මගේ හිත හැදෙන්නට ලොකු දේශයක් කළා ය. 

“මට ඔයාව ගෙනත් මගෙ ගෙදර වුණත් නතර කර ගන්න පුළුවන්..”

ඒ වාක්‍ය ඛණ්ඩය අකුණක් සේ හදවත මත පතිත වූයේ ය. මගේත් ආකාශ් ගේ ත් ඇස්, කැඩපත තුළින් අවකාශයේ දී මොහොතකට හමු විය. ඔහු ගේ ඇස් වල වූයේ ත් තිගැස්මක් බව ඒ තත්පරයේ දී මට හැඳින ගත හැකි විය.

“ඒත් ඒක හරි නෑ පූජා. අපේ ගෙදර කියන්නෙ කොල්ලෙක් ඉන්න තැනක්නෙ. ඒකත් මේ ගෙවල් දෙක එක තාප්පෙකිං වෙන් වෙච්ච එකේ…මිනිස්සු වුණත් මොනා නොකියයිද…ගෑනු ළමයෙක් විදිහට පූජාට අභිමානයක් කියල දේකුත් තියෙනවනෙ”

“මං….කොහෙවත් යන්නෑ ආන්ටි”

මම හෙමිහිට කොඳුරා ගතිමි. කෙසේ වෙතත් හිතේ හොල්මන් කරන්නට වූයේ මීට මොහොතකට පෙර ගුරුගේ මැතිණිය කී කාරණා ය. ආකාශ් පිළිබඳව මසිත් හි යම් බලාපොරොත්තුවක් වන්නේ නම් එය ඉවත් කර ගන්නට ය කියා ද ඈ ඒ නො කියා කීවේ?

අප ගෙදර යන විට අජිත් පැමිණ කාමරයට වැදී සිටියෙන් මට ඇඳුම් මාරු කිරීමේ හැකියාවක් හෝ වූයේ නැත. අම්මා නංගි ගේ කනට කොට යමක් මිමිණුවාට පසු ඇය ගොස් අජිත් ව පිටතට කැටිව ආවා ය. මා දිය නා ඇඳුම් මාරු කර ගත්තේ ඉනික්බිති ය. 

අජිත් කියන මිනිසා සමග නංගී පැන යන්නට පෙර ද මට ඔහු පෙනෙන්නට බැරි ය. ඔහු ගේ බාහිර පෙනුම පවා මා තුළ ඇති කරන්නේ අප්‍රසාදය කි. මේ වතාවේ ගෙදර ආවාට පසු දෙතුන් වතාවක් ඔහු මගේ මුහුණ ඉදිරියට හමු විය. නමුත් ඔහු දෙස බලා සිනහ වෙන්නට හෝ මට සිත් වූයේ නැත. ඔහු නංගීව අත්හැර දමතැයි බියෙන් අම්මා අජිත් ට ඉතා හොඳ බෑණෙකුට සේ සලකන යුරු මට පෙනිණ. කවදාවත් තාත්තා බත් හැලියේ මුල් ම බත් පත බෙදන්නට පුරුදු වී නො සිටි අම්මා, අජිත්ට බත් බෙදා තබන්නය කියා නංගී පොළඹවනු මම දුටිමි. එවන් දේ නිසා ඔහු කෙරේ මගේ නො කැමැත්ත තවත් දැඩි විය. නමුත් අජිත් සිනහ වීමේ උත්සාහයක් ඇතිව මදෙස බලනු මම කිහිප විටක් දුටිමි.

පෙර දා රාත්‍රියේ මා නිදා ගත්තේ පරණ ඇඳේ ය. තාත්තා නැති නිසා මට එහි නිදන්නයි අම්මා කීවා ය. නමුත් අද තාත්තා හිඳී. එසේ හෙයින් තාත්තලා කලින් නිදා ගත් අල්මාරිය ළඟ බිමින් මම පැදුරු කැබැල්ල එලා ගතිමි.

“ලොක්කි මොකද ඔය…ඔතන නිදියන්න හදන්නෙ…”

හදිසියේ ම ගෙට ආ තාත්තා ඒ දැක ප්‍රශ්න කළේ ය. මම මළානික සිනහවක් නගා ගතිමි.

“මෙතන හොඳයි”

“ලොක්කි අම්ම එක්ක ඇඳේ නිදියන්න. ආච්චම්මා නෑනෙ අද. මං බූරු ඇඳේ නිදියන්නං”

“කමක් නෑ තාත්තෙ. කොහොමත් ආච්චම්මා ආපු දවසට බූරු ඇඳ ආච්චම්මට දෙන්න ඕනනෙ. මං මෙතන නිදියන්නං”

නංගීත් අම්මා ත් මුණිවතින් බලා සිටියහ. තාත්තා බලෙන් ම පැදුර අකුලා මගේ කොට්ටයත් පොරෝනයත් පරණ ඇඳ මතට දැම්මේ ය.

“හරි හරි අපි යන්නංකො. අපිට යන්න කියලනෙ ඔය කියන්නෙ”

නංගී ඇනුම් පදයක් කීවා ය. මම නෑසූ කන් ව ඇස් දෙක පියා ගතිමි. නමුත් මැදියම් රැයත් ඉක්මවන තුරු මා සැබෑ නින්දකට අවතීර්ණ වූයේ නැත. නොයෙකුත් අතීත හා වර්තමාන සිදුවීම්, සිනමා පටයක් සේ මගේ මනස් තිරය මත මැවෙමින් ද මැකී යමින් ද තිබිණි. මා සිටියේ කොතැනක මා ස්ථිර ව මුල් ඇද පැළ විය යුතු ද කියා නො දන්නා අවිනිශ්චිත බවක් සමග ය. නමුත් උදයෙන් ම නෙරංජලා ගුරුගේ දුන් ආරංචිය, ගිනි ගත් හිත නිවා ලන්නක් විය.

“පූජා යන්න අපේ කම්පනි එකට. අංකල් කිව්ව ඔයාව  එවන්න කියල. පූජා ලස්සනට ඇඳල කරල යන්න ඕනෙ”

ගිලෙන්නට යන මිනිසුන් පිදුරු ගස් වලත් එල්ලෙනවා යි කතාවක් තිබේ. ගුරුගේ ලා ගේ ආයතනයේ රැකියාවක් යනු මට පිදුරු ගහකට වඩා වැඩි යමක් වන බව මම දැන සිටියෙමි. ඔවුන් ගේ ව්‍යාපාරය කුමක් දැයි මා කිසි දා නෙරංජලා ගෙන් හෝ ආකාශ් ගෙන් විමසා තිබුණේ නැත. ඔවුන් මට විශේෂයෙන් ඒ ගැන කියා තිබුණේ ත් නැත. නමුත් එතැන සම්මුඛ පරීක්ෂණයකට යන්නට කලින් එහි වන දේ ගැන යම් අදහසක් ඇති ව යන එක හොඳයි කියා සිතුණෙන් මම නෙරංජලා ගෙන් ඒ ගැන විමසුවෙමි.

“ඔයා තාම ඒක දන්නෙ නැද්ද ඇත්තටම…”

ඇය තරමක මවිතයකින් හඬ නැගෙන සේ සිනහ වූවා ය.

“නෑ”

“අනේ දෙයියනේ. කමක් නෑ එහෙනං…ඔය විදිහටම නොදැනම යන්නකො”

නෙරංජලා ගුරුගේ මාව සාරියකින් සැරසුවා ය. පෙර පාසල් ගුරුවරියක ලෙස වැඩ කරත්දී ඈ දුන් මුදල් වලින් ම ගත් අලුත් සාරියක් මම ඒ සඳහා තෝරා ගතිමි.

“පූජාට කහ පාට ලස්සනට මැච් වෙනව”

බඳ තෙක් දිගු වරලට මා පෝනි ටේලයක් දමත්දී ඇය කීවේ ආදරය උතුරනා ඇස් දෙකකිනි. මම ලැජ්ජාශීලී සිනහවක් පෑවෙමි.

ඔවුන් ගේ ආයතනය වෙත මා යන්නට සූදානම් වූයේ තාත්තා සමගිනි. මං සලකුණු නෙරංජලා ගෙන් අසා දැන යාම මගේ සැලැස්ම වූවත්, මා බලාපොරොත්තු නොවූ ලෙස මා එහි කැටිව යන්නට ඇය සූදානම් වූවා ය. ඒ අනුව තාත්තා ගේ ත්‍රීරෝද රියෙහි නැගී මමත් නෙරංජලා ත් පිටත් වුණෙමු. 

“අපිව බලා ගන්නනෙ ඔහොම කවුරුත් නැත්තෙ”

අප පිටත් වීමට කලින් නංගී එසේ කියනු මට ඇසිණ.

“ඇයි බං උඹට අජිත් ඉන්නෙ”

අම්මා සිය සිනහවෙන් කීවා ය. ඇය අදහස් කළේ සමච්චලයක් ද කියා සිතා ගන්නට මට හැකි වූයේ නැත.

නෙරංජලා රිය නතර කර වූයේ මහල් ගොඩනැගිල්ලක් ඉදිරියේ ය. මම බිමට බැස වට පිට බැලුවෙමි. පිවිසුම් දොරටුව ළඟ නවීන උද්‍යාන අලංකරණ ශිල්ප ක්‍රම වලට තැනුණ පවුරක ‘මෙඩි කෙයා නර්සින් හෝම්’ යන නම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියවී තිබිණි. ඊට පහලින් ඕපීඩී, චැනලින්, ස්කෑනින්, එක්ස් රේ වැනි වෛද්‍ය විද්‍යාවට අදාල වචන ගණනාවක් පෙළට සටහන වූයේ ය. මම නෙරංජලා දෙස බැලුවෙමි. මගේ කුතුහලය ගැන ඒ තරම් නොතැකූ ඇය “රංජි යන්න” කියා තාත්තා ට කීවා ය. මම හැරී තාත්තා දෙස බැලුවෙමි. ඔහු අසරණ මුහුණකින් යන්නං කියන්නට මට හිස සැලුවේ ය. මම ඉක්මනට ගොස් තාත්තා ගේ දෙපා ළඟ පහත් වී වැන්දෙමි.

“හරි හරි වඳින්න ඕන නෑ. ලොක්කිට නරකක් වෙන එකක් නෑ”

එසේ කියූ තාත්තා ත්‍රීරෝද රිය පණ ගන්වා ගෙන පවනට බඳු වේගයෙන් නික්ම ගියේ ය. ඒ රිය හඬ, තවත් ටික වේලාවක් යන තෙක් මගේ මනස තුළ ප්‍රතිරාව නැංවෙමින් තිබිණි.

“යං පූජා”

මගේ අතකින් ඇල්ලූ නෙරංජලා මා ඉස්සර කර ගෙන ගියේ ආනන්ද ගුරුගේ සිටි වීදුරු කුටිය වෙතට ය. මැනේජින් ඩිරෙක්ටර් ආනන්ද ගුරුගේ යන නාම පුවරුව මේසය මත විය. ඒ දැවැන්ත මේසය ඉදිරියේ වූ මෙරූන් පාට අසුන් දෙකෙහි අපි තැන්පත් වූයෙමු.

“මෙතනට එනකලුත් පූජා දැනං හිටියෙ නෑ එයා කොතනටද ඉන්ටවීව් යන්නෙ කියල”

නෙරංජලා මඳහසකින් කීවා ය. ආනන්ද ගුරුගේ මා විනිවිද බැලුවේ ය.

“පූජා මේක පොඩි ප්‍රයිවට් හොස්පිට්ල් එකක්. ඇත්තට ම…ඇඩ්මිට් කරං ලොකු ට්‍රීට්මන්ට්ස් කිරිල්ලක්නං තාම මෙතන වෙන්නෙ නෑ. පොඩි අසනීප තියන අයට නර්සින් හෝම් එකක් විදිහට තමයි දැනට අපි කරං යන්නෙ. ඒත් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනව මේක තව දියුණු තත්වයකට ගේන්න. පූජාට පුළුවන් එතනට යන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න”

“පූජාගෙ ෆීල්ඩ් එකත් ඉතිං මේකනෙ…මං කියන්නෙ පූජාත් ආසාවෙන් ඉන්නෙ ඩොක්ටර් කෙනෙක් වෙන්නනෙ”

ඒ හීන නම් හීන ම වී යන්නට පුළුවන. කෙසේ වෙතත් මම ගුරුගේ යුවළ ඉදිරියේ එවැනි කතාවක් කියන්නට නොයා මඳහසක් පමණක් පෑවෙමි.

“ඔයා විශ්වාස කරයිද දන්නෑ පූජා…අද මේ තත්වෙට ඇවිත් හිටියට අංකලුයි මායි මුලිං කළේ ෆාමසියක්. අනුංගෙ පොඩි කඩ කාමරයක් කුළියට අරං. අංකල් ෆාමසි කෝස් එක කරල තිබුණා. මං තමයි එයාගෙ උදව්වට ෆාමසියෙ හිටියෙ. කාලයක් යද්දි අපිට මේ ලෑන්ඩ් එක ගන්න පුළුවන් වුණා. අපි මෙතන පොඩි කාමර කෑලි දෙකක් හදල එකක ෆාමසිය කරන ගමං අනිත් එක ඩොක්ටර් කෙනෙක්ට ඩිස්පෙන්සරි එකකට කුලියට දුන්නා. ඊටත් කාලයක් ගෙවෙනකොට බිල්ඩින් එක තව ටිකක් ලොකු කරගෙන අර ඩොක්ටගෙත් උදව්වෙන් පොඩියට චැනල් සර්විස් එකක් කරන්න ගත්ත. ඒ ගමන තමයි හෙමි හෙමිහිට මේ එන්නෙ”

නෙරංජලා ගුරුගේ ඔවුන් ගේ ගමන් මග පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළා ය. ඔවුන් වූ කලී කෙතරම් නිහතමානී මිනිසුන් දැයි මට සිතිණි. 

“අපි මේක තව ඉස්සරහට ගෙනියන්න ඕන පූජා. පිටිපස්සෙ අලුතෙන් බිල්ඩින් එකක් හදන්න පටං අරං තියෙන්නෙ. මට හරි ආසයි හොඳ ඔපරේශන් තියටර් එකක් එහෙම හදල…අමාරු ලෙඩ්ඩු ඇවිත් ට්‍රීට්මන්ට්ස් අරං සනීප වෙලා යන හැටි බලන්න…මගෙ පුංචි ෆාමසිය දැං මේ පලාතටම තියන හොඳම ෆාමසිය. ඒ වගේ ම මේ ප්‍රයිවට් හොස්පිට්ල් එකත් දවසක ඒ තත්වෙට ගන්න එක මගෙ හීනයක්. ඉතිං…පූජාට මොනාද මෙතන කරන්න පුළුවන්…”

“අනේ…මං ඕනම දෙයක් කරන්නං. මං හිතං ආවෙ ගාමන්ට් ෆැක්ට්‍රි එකක් වගේ තැනකයි මං වැඩට යන්නෙ කියල. මෙහෙම තැනකනං…”

සැබවින් එය හීනයකි. මම සතුටෙන් උතුරා යමින් සිටියෙමි.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“දවල් දවසෙ ඕපීඩී ඉන්නෙ පුතයි තව ලේඩි ඩොක්ටර් කෙනෙකුයි. අනිත් ඩිපාට්මන්ට්ස් වලත් දැං සැලකිය යුතු ස්ටාෆ් එකක් වැඩ. මං පූජාට ඉස්සෙල්ලම බාර දෙන්නෙ මේ හැම දේම කෝඩිනේට් කරන්නයි. දැං එතකොට පූජා තමයි මේ හොස්පිට්ල් එකේ කෝඩිනේටර්. රයිට්. ඔයා මොනාද කරන්න ඕනෙ කියන එක ගැන මං පැහැදිලි කිරීමක් කරන්නංකො. ආ…පූජාගෙ ස්ටඩීස් වලට ගැලපෙන විදිහට ඔයා මෙතන වැඩ ශෙඩූල් කර ගන්න. ඒ ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නෑ. තෙරුණාද…”

මම හිස සැලීමි. නමුත් මගේ සිත වූයේ කැළඹුමක ය. 

“ආන්ටි…පුතා ඩොක්ටර් කෙනෙක් කිව්වෙ…ආකාශ් අයියගෙ අයියද…”

මට ඒ කුතුහලය තවත් රඳවා සිටිය නො හැකි විය.

“ම්…යංකො…එන්නකො…”

කියමින් ඇය මා කැටිව ගියා ය. ඕපීඩී වන් ලෙස නාම ගන්වා තිබූ ඒ කාමරයේ දොර අසලට අප යත්දී ම හෙදියක දිව ආවා ය.

“මැඩම්…”

“ඩොක්ට ළඟ පේෂන්ට් කෙනෙක් ඉන්නවද…”

“නෑ මැඩම්”

නෙරංජලා දොර හැරියා ය. මගේ ඇස් මට අදහා ගත හැකි වූයේ නැත. ඩොක්ටර් ආකාශ් ගුරුගේ. එම් බී බී එස් කලම්බු ලෙස සඳහන් නාම පුවරුවක් මේසය මත විය. ආකාශ් ගුරුගේ කොහෙත් ම මාව බලාපොරොත්තු ව නො උන් විශ්මයකින් නැගී සිටියේ ය. 

“පූ…ජා…”

“පූජා අද ඉන්ටවීව් ආවනෙ. තාත්තා පූජාට පෝස්ට් එකක් දීල තියෙන්නෙ. හැම දේම මීට පස්සෙ කෝඩිනේට් කරන්නෙ පූජා තමයි”

මා හිටියේ හුස්ම ගැනීමට පවා අමතකව යි කීම අතිශයෝක්තියක් නොවේ. ආකාශ් යළි අසුනට බර වූයේ ය. ඔහු වෛද්‍යවරයෙකු බව මා මෙතෙක් දැන නො සිටියේ කෙසේ ද? මාස කිහිපයක් තිස්සේ මම ඔහු ගේ පෙම්වතිය වී සිටියෙමි. නමුත් ඔහු කවුදැයි මා නො දැන සිටියේ කෙසේ ද?

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x