(අ)හිමි සිහින -124

ජීවිතය ආදරයෙන් ගලා යමින් තිබුණා.ආදරණීය ජීවිතයක විස්තර ඔබත් සමඟ වසර ගණනක් කියන්නට මට පුලුවන්.ඒත් මගේ කතාව සරල සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි.මේ සිහින හිමිව අහිමිව ගිය ගැහැනියකගේ කතාවක්.ඒ නිසා සුන්දර දවස් ගැන අසීමාන්තික විස්තර ඔබට කියන්නට මගේ බලාපොරොත්තුවක් නැති තරම්.ආදරය සහ ප්‍රේමය විවාහ ජීවිතයක් බොහෝ සුන්දර කරනවා.ලියනවා නම් එවැනි සුන්දර මොහොතවල් සුධාරක සහ මම හිසේ හෙස් ගණනට ගෙවා දැමූ බව පමණක් ලියන්නම්.

සුධාරකටත් මටත් නැති වී ගිය “පවුල” යන සුන්දර සිහිනය ලැබී තිබුණා.මගේ දුව ඉන් වින්දේ අප්‍රමාණ සතුටක්.අදටත් සුධාරකත් මගේ දූත් අප්පච්චි සහ දූ නොවන බව විශ්වාස කරන අය අල්පයි.ඒ දෙදෙනා ලේ බැඳීමෙන්ම තාත්තා සහ දුව බව බොහෝ අය විශ්වාස කරනවා.ඔහු බිරිඳකගෙන් සහ දරුවෙකුගෙන් ලැබිය යුතු සුන්දර ජීවිතය නොඅඩුවම අපෙන් ලබා ගත්තා.

අපි ඕනෑතරම් විනෝද චාරිකා ගියේ ඒ කාලයේදී.ඔහු කිසිම ගමනක් අප නැතිව නොගිය තරම්.ලංකාව පුරා රැකියාව වෙනුවෙන් කරක් ගසා ඇති මිනිසා දිනක් මට අපූරු පැමිණිල්ලක් කළා

“මං කවදාවත් පාසිකුඩා ගිහින් නෑ මැණිකේ.මෙච්චර මේ අවුරුදු තිස් හතරහමාරක් මේ රස්සාව කරනව”

ඉතින් අපි ඒ චාරිකාව දින තුනක් තිස්සේ ගියා.ඒ සුන්දර දින තුනක්. සුදු දූ පීනන්නට ඉගෙන ගත්තු ගමන තමයි ඒ.තාත්තාත් දියණියත් කට්ට කළු පැහැ වන තුරුම ඔවුන් පිහිනුම් තටාකයට වී සිටි අන්දම අදටත් මගේ ඇස කඳුළු උනන තරමේ සුන්දර මතකයක්.

“ඇද්ද තාත්තටයි දුවටයි.”

ශරීර වර්ණය වෙනස්ව ගිය තාත්තාටත් දුවටත් මම එසේ සරදම් කරද්දී ඔවුන් මට එරෙහි වෙනවා.

“අනේ මේ මැණිකේ කට වහන් ඉන්න.ඒ මායි මගේ පොඩි බබායි පීනලා එහෙම වුණේ”.

අප්පච්චි වහාම දූගේ පැත්ත ගන්නේ එහෙමයි.ඇත්තටම ඒ ඉතාම සුන්දර කාලයක්.

සුධාරක මට තරමට හෝ මටත් වඩා ආදරය කළ දෙයක් වේ නම් ඒ ” වෙඩි තැබීම” ඔහු හොඳ පළපුරුදු වෙඩික්කරුවෙක්.”I love firing”  ඔහු නිතරම එසේ පැවසුවා.ඒ වගේම ඒ සම්බන්ධ තරග වලට පවා සම්බන්ධ වුණා.ඔහු වෙඩි තැබීම ගැන කතා කරද්දී ඔහුගේ මුහුණ පිරීයන්නේ සුන්දර හසරැල්ලකින්.

සාමාන්‍යයෙන් වෙඩිතැබීමේ තරගවලට උදෑසන සිට සවස් වන තුරුම පුහුණු වීම් කළ යුතුයි.නමුත් එතරම් තුවක්කු ප්‍රමාණයක් සුධාරකලාගේ සේවා ස්ථානය සතු වූයේ නෑ.කෙනෙක් රැගෙන තුවක්කුවක් ඔහුගේ මිම්මට සකසාගෙන පුහුණුවීම් කළ පසු සුධාරකට විවිධ අපහසුතා වලට ලක් වෙන්නට සිදු වුණා.ඔහු ඒ සම්බන්ධයෙන් මා සමඟ නිතර කතා කළා.

ඔහු කැමතිම දේ කරන්නට අපහසුතාවයක් තිබෙනවා.ඒ නිසා මම තීරණයක් ගත්තා.ඒ මොනතරම් මිල අධික වුණත් ඔහුට තුවක්කුවක් අරන් දෙන්නට.ඒ 2018 සැප්තැම්බරයේ දී.ඔහු විදේශ සංචාරයක නිරත වෙද්දී.මම ණයක් ලබා ගෙන ලක්ෂ අටක මුදලක් ඔහු අතට දුන්නේ ඔහුගේ ඒ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන්.

ඒ ඔහුට ජීවිතය තුළ ලැබුණු හොඳම තෑග්ගයි!

ඔහු මා වැලඳගෙන නොහඬන්නට උත්සාහ කරමින් බොහෝ වෙලාවක් සිටියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles