සීත මාරුතේ -61

සුළි සුළඟකට පසුව පරිසරයේ ඇති වන්නේ දැඩි නිහඬ බවකි. සුනාමියකට පසු මඳ වෙලාවකට මුහුදු දිය සිඳී යන බව පැවසේ. මහ වැස්සකට පසු වුව හාත්පස ඇති වන්නේ ගුප්ත සන්සුන් බවකි. සොබා දහම එසේ ය. සියල්ල වහ වහා සමතුලිත කරන්නට කාරණා යොදයි.

අපේ ජීවිත ද සන්සුන් වෙමින් තිබිණ. ඖෂධ සමග ටික දිනක් විවේක ගැනීමෙන් පසු අප්පච්චි යළි පාසල් ගමන ආරම්භ කළේ ය. 

කවරක් කෙසේ සිදු වී ද විශ්වයේ ගමන ඇනහිටින්නේ නැත. එය පසු දිනට ඇස් හරින්නේ කිසිවක් සිදු නොවූ අයුරිනි. කඳුකරය ද සිය සීතල මිහිදුම් සළු වලින් පොරවා ගනිමින් විශ්වය වූ කලී කෙතරම් සුන්දරත්වයක් දැයි නො කියා කියමින් පැවතිණ. මිස්ට් ෆීල්ඩ් සිය දෛනික කටයුතු සාමාන්‍ය තත්වයෙන් සිදු කරමින් පැවතියේ ය. දැන් එය වෙනදාටත් වැඩි කාර්ය බහුලත්වයකින් යුතු ය. මහනුවර,බණ්ඩාරවෙල හා නුවරඑළිය යන ශාකා ත්‍රිත්වයෙහි ම හෑන්ඩ්ලූම් පැරඩයිස් සඳහා ඇඟළුම් හා අත්කම් නිර්මාණ කටයුතු සිදු වේ. අපේ නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ නිරීක්ෂණය කිරීම තුළින් ඒවා ට විදේශයන් ගෙන් හා කඳුකරයට පිටස්තර පලාත් වලින් ද ඇනවුම් ලැබිණ. ඒ නිසා ඇඳුම් මැසීම සඳහා නව යන්ත්‍ර හා සේවිකාවන් කිහිප දෙනෙකු ම අලුතෙන් එක් කර ගන්නට සිදු විය.

ෆ්ලවර්ස් ඇන්ඩ් ගිෆ්ට්ස් ඔන්ලයින් සාප්පුව ද නිතර කාර්ය බහුල වූයේ ය. ඒ සියලු තැන් වලට දුවමින් කටයුතු විමසා බලන්නට සිදු වූයෙන් මා ද කාර්ය බහුල වූයේ නිතැතිනි. 

කාර්ය බහුලත්වය මිනිසෙකු ට සිය වටිනාකම් තහවුරු කරයි. ඔහු ගෙන් ලෝකයට සිදු වන මෙහෙය ගැන යම් අවබෝධයක්, අදහසක් ලබා දෙයි. වේදනා කැක්කුම් ගැන තැවි තැවී ඉන්නට ඉඩක් නො තියා වර්තමානය තුළ ඔහු ව ජීවත් කරවයි.

මේ වන විට මුණිවර හා මා අතරේ වෘත්තීය මට්ටමේ විශාල අවබෝධයක් ඇති වී තිබිණ. එය ඔහු ට අමතක ව ගිය මතක වලට අයිති වූවක් නොවේ. ඉන්පසු අලුතෙන් ඇති වූවකි. පෞද්ගලික සම්බන්ධතාව ගැන කරන්නට ඇත්තේ ඊට වඩා සංකීර්ණ වූ විග්‍රහයකි.

මතකය අමතක වූ දිනවල මම ඔහු ට ඒ මතකය යළි ගෙනවිත් දීමේ කලබලකාරී හා වෙහෙසකර උත්සාහයක් දැරුවෙමි. නමුත් එය අසාර්ථක ව ගිය තැන මා අපේක්ෂා භංගත්වයට පත් වූව ද ,අප්පච්චි ගේ අසනීප වීමත් සමග මම සන්සුන් වන්නට වීමි. ඒ කාලයේ දී මුණිවර ද සිය ස්වරූපය වෙනස් ලෙස දකින්නට මට අවකාශ සැලසෙන සේ ක්‍රියා කරමින් සිටියේ ය. එය වගකීම් සහගත බැඳීමකි. ඕනෑ ම මොහොතක මා වෙනුවෙන් හෝ අප වෙනුවෙන් ඔහු සිටිනවාය යන්න මට ඒත්තු ගැන්වීම නිහඬව ඔහු විසින් සිදු කරනා ලදී. නමුත් එතැන තිබුණේ කාලයක් ම පසුපස ලුහුබැඳ ගොස් මා බලයෙන් වාගේ ඔහු ගෙන් ලබා ගත් ප්‍රේමයේ දඟකාර වූ සංවේදනා නොවේ.

අනිත් අතට ප්‍රේමය කියනා විෂයේ දී ඔහු වෙනස් චරිතයක් වූයේ ය. යළිත් කවදාක හෝ ඒ පරණ මතකය වැළඳ ගත හැකි මුණිවර කෙනෙක් ගැන මගේ යටි හිතේ විශාල අපේක්ෂාවක් හැංගී තිබෙන්නට ඇත. රාජකාරී කටයුතු වලදී ඇතැම් අවස්ථා වල අප දෙදෙනා අතරේ වචන හුවමාරුවීම් ලෙස එළියට පැන්නේ අප දෙදෙනා ගේ ම හිත් වල අප වෙනුවෙන් වූ බලාපොරොත්තු වල සෙවනැලි වන්නට ඇත. 

මේ කාලය වන විට මුණිවර ප්‍රේමය විමසනා සූදානමක සිටි බව නොයෙක් අවස්ථා වල මට දැනිණ. නමුත් එවැන්නකට අවස්ථාව උදා කර නොදුන්නේ මවිසින් හිතා මතා ම ය. ඊට පැහැදිලි හේතුවක් මගේ උඩු හිත දැන සිටියේ නැත. නමුත් යටි හිත මගේ පරණ ආදරය තැවරී ගත් ඔහු ගේ මතකය ම දැඩි ලෙස අපේක්ෂා කරන්නට ඇත.

මේ අතරේ දවසක නිවාඩුවකට දසුන් අයියා කඳුකරයට පැමිණියේ ය. අපේ ප්‍රශ්නය ගැන මුල සිට ම ඔහු සංවේදී වූව ද පසුව නිහඬ ප්‍රතිපත්තියකට පිවිසියේ එය කිසි සේත් මා බලාපොරොත්තු වන ලෙස විසඳා ගත නොහැකි බවක් පෙනෙන්නට ගත්තාට පසු ය.

“ගිය සැරේ ඒජීඑම් එකට ඇවිත් ගිය වෙලාවෙ මතකද මං මන්දාකිණීට කියල ගිය එක…”

එදා මුණිවර ගේ කුටියේ දී දසුන් එසේ මා විචාලේ පුංචි දැවීමක් ආයේ ම ඇති කරමිනි. නැතහොත් ඒ අළු යට වූ ගිනි පුපුරු වලට පිඹීමක් වන්නට ඇත.

මම සිනහවක් නගා ගතිමි. ඒ සිනහව යට අහිංසක කමක් හෝ අසරණ කමක් වන්නට ඇත. ඒ අහිංසක කම, කඳුකරයට පැමිණි අලුත සිටි මන්දාකිණී රන්මුතුගේ සතු ව තිබූ නොකිළිටි අහිංසක කම ය. මේ වන විට සිය රිදුම් වලින් ආරක්ෂා වනු වස් ඒ අහිංසක බව මිදී ගොස් තිබුණේ ය. 

“මිස්ට මුණිවරට මැරි කරන්න ගෑනු ළමයෙක් හොයන්න කියලනෙ. ඒත් ඉතිං දැන් ඕව එක්ස්පයර්ඩ්”

“එක්ස්පයර් වෙන්නෙ කොහොමද බං අවුරුද්දක් ඉවර වුණෙත් නැතුව…මං මේ කියන්න ගියේ මේ අවුරුද්දෙ ඒජීඑම් එකත් අත ළඟටම ඇවිත් තියන එකේ…ඒ මතක අලුත් කර ගත්තනං හොඳයි කියලයි”

මා වඩාත් සංවේදී කළ ප්‍රේමයේ මතක පොදි අතරේ ගුරුතලා ආදි ශිෂ්‍ය වාර්ෂික හමුව සුවිශේෂ එකකි. එදා මුණිවර ‘මේ ගී කාටදැයි’ ගයත්දී ඒ හඬින් තිගැස්සී නින්දත් නොනින්දත් අතරේ උන් මා යහන මත හිඳ ගත් හැටිත්, පොරෝනාව හිස සිට පොරවා ගෙන  මා ඉකි බිඳ හැඬූ හැටිත් අද ඊයේ වාගේ මට සිහි කර ගත හැක.

“මොකද මූ දන්නෙම නැතුව තව අවුරුද්දකින් නාකි වෙලානෙ. මෙහෙම ගියොත් මූ එක්ස්පයර් වෙලා යයි”

මුණිවර ගේ මුව මත වූයේ බිළිඳු සිනහවකි. ඔහු ගේ හදිසියේ පිපෙන ක්ෂණික සිනහවට මා වසඟ ව උන් යුගය දැන් සිහිනයක් සේ ය.

මුණිවර ඉදිරියේ එසේ කතා කළ දසුන්, මගේ මේසය ඉදිරියේ හිඳ මා තනි කර ගෙන කතා කළේ ඊට වඩා වෙනස් අයුරකිනි.

“සීර්යස්ලි මං මේ අහන්නෙ…දැන් උඹල දෙන්නගෙ තීරණේ මොකද්ද..”

මුලදී වාගේවත් සිනහවක් නගා ගන්නට මම අපොහොසත් වීමි. මගේ තොල් කොනක් සැලී ගියේ ය.

“අයිය දන්නවනෙ. දැන් අපි එහෙම තීරණ වලට එකඟතා වලට එන්නෙ මිස්ට්ෆීල්ඩ් ගැන විතරයි”

“මුණිවර ඔයාට කැමතියි කියන එක මං හිතන්නෙ ඔයා නොදන්නව නෙවෙයි නංගි”

“ඔව් දන්නව. හෙට වුණත් එයා මාව මැරි කරයි. ඒත් මට මොකද්දෝ අඩුවක් දැනෙනව අයියෙ. මං තාම හොයනව ඒක. මට ලැබිල..මට අයිති වෙලා තිබිල…මගෙන් මගඇරිල ගිය දෙයක්…”

“මට තේරෙනව. සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ අපි ට ඕන දේම නෙවෙයි. අපිට ලැබෙන දේ”

“මං දන්නව…ඒත්…අනේ මන්දා”

මම දිගු සුසුමක් හෙළුවෙමි. එය වූ කලී විස්තර කළ නො හැකි තත්වයකි. මේ ඉන්නේ එදා උන් මුණිවර ම ය. නමුත් මට දැනෙනා අමුත්තක් ඔහු ගේ තියේ. 

“ඔයා ඒකාව මගඅරින්න එපා. නංගි..මිණියක් මරපු එකෙක්ට වුණත් ඒ වැරැද්ද අමතක කරල ජීවිතේට මූණ දෙන්න අයිතියක් තියනව. මුණිවර ට එක චාන්ස් එකක් දෙන්න”

“මං ඔය හැම දේම දන්නව අයිය. මට එයාගෙන් පලිගන්න කිසි ඕනකමක් නෑ. අනික එයා වරදක් කරල නෑ කියලත් මං දන්නව. ඒත් එයා ගැන හිතන්න ගන්න තැන ම…අපි දෙන්නා අතරෙ මොකද්ද හිස් තැනක් තියෙනව. මැකිල ගිය තැනක්…මකල දාපු තැනක්…මගෙ මතකෙනුත් ඒ හිස් තැන මකලම දාන්න පුළුවන් වුණානං…මුණිවරට වගේ මටත් අලුත් තැනකින් පටන් ගන්න තිබුණා”

කාලය බොහෝ දේ වෙනස් කරන්නේ ය. හුඟක් තුවාල සනීප කරන්නේ ය. කැළැල් ඉතිරි වුව ද මාරක කැපුම් පුරුද්දා දමන්නේ ය. ඒ වගේ යමක් මගේ හදවත මත්තේ ද සිදු වෙමින් තියෙන්නට ඇත. නමුත් මම මුළුමනින් යථා තත්වයට එළඹ නො සිටියෙමි.

අප්පච්චි නම් ආයේ පුරුදු ලෙස කැත්ත උදැල්ල ද අතට ගෙන සිටියේ ය. වෙහෙසෙන්නට එපා කියා අප කෑ ගැසුවොත් ඔහු සිනහ වී වැඩය නවතා ගෙන කියන්නේ වෙනම කතාවකි.

“බයිපාස් කරපු මිනිහෙක් කේක් ගෙඩියක් වගේ නිකං ඉන්න හොඳ නෑ. එතකොට වෙන්නෙ ආයෙත් හදවතේ කපාට වල තෙල් බැඳිල වැඩේ අකර්මන්‍ය වෙන එක. පොඩ්ඩක් දාඩිය දාගෙන වැඩ කරන්න ඕනෙ. අනිත් අතට අපි හැම තත්පරේකම අලුත් මිනිහෙක් වෙන්න ඕන ළමයිනේ”

අප්පච්චි ගේ ඒ කතාව නම් මගේ ඇට මස් ලේ නහර දක්වා කිඳා බස්නා ලදී. අප්පචචිට මා හා තනි ව කතා කිරීමේ උවමනාවක් ද ටික දිනක සිට තිබී ඇත්තේ ය. මා ලවා වතුර වීදුරුවක් ගෙන්වා ගත් ඔහු, උදැල්ල පසෙක තබා වතුර එක බොමින් මා කතාවට අල්ලා ගත්තේ ය.

“ලොකු පුතා…කාලය හුඟක් ඉක්මනට ගෙවිල යනව. අපි කැමති වුණත් අකමැති වුණත් දේවල් සිද්ද වෙන විදිහට සිද්ද වෙනව. අපිට ෆයිට් කරන්න පුළුවන්. ෆයිට් කරල සමහර දේවල් වෙනස් කර ගන්න පුළුවන්. නමුත් එහෙම බැරිවෙන වෙලාවලුත් තියනව. ඒ වෙලාවට අපි මොකද්ද කරන්න ඕන…”

දේශනයක් අතරතුර හදිසියේ ම ගුරුවරයෙකු ගේ ඉලක්කය බවට පත් වුණ වෙලාවක වාගේ කැළඹීමකින් මම අප්පච්චි දෙස බැලුවෙමි.

“ලොකු ළමයා…අපිට ජීවිතෙත් එක්ක ඉස්සරහට යන්න වෙනව. දැන් මේ මට බලන්න. හාට් ඇටෑක් එකක් ආව.ජීවිතේ අස්ථිරයි ඕන වෙලාවක අපි මැරිල යන්න පුළුවන් කියල මං ඔක්කෝම වැඩ අත් ඇරල ගෙට වෙලා ඉන්න ගියොත් මොකද වෙන්නෙ…හාට් ඇටෑක් එකෙන් නෙවෙයි අපි මැරෙන්නෙ හිතේ දුර්වල වීමෙන්. ජීවිතේ කියන්නෙ අපි හොයා ගන්න ඕන දෙයක් පුතා. අපිට නතර වෙලා ඉන්න බෑ. එහෙම කළොත් අපතේ යන්නෙ ජීවත් වෙන්න අපිට ලැබිල තියෙන සුළු කාලෙන් කොටසක්. එ්ක නිසා…මුණිවර ළමය ගැන තීරණයක් ගන්න දැන් කාලෙ ඇති. එක්කො ඒ ළමයට තව දුරටත් බලාපොරොත්තු තියාගන්න එපා කියන්න ඕන…එහෙම නැත්තං ඒක මීට වැඩිය සක්‍රිය සම්බන්දයක් වෙන්න ඕන. එහෙං මීට කලින් යෝජනාව ඇවිත් නෙ තිබුණෙ. මාත් එක්ක ලොකු තාත්තත් මේ ගැන කතා කළා. ඔයාගෙ හිත මට තේරෙනව පුතා. නමුත් අපි හිතට ඕන හැටියට ජීවත් වෙනවට වඩා අපිට ඕන විදිහට හිත මෙල්ල කර ගන්න එකයි වටින්නෙ. ඒක නිසා…තව වැඩි කල් ගන්නෙ නැතුව ඔයා තීරණයක් ගන්න බලන්න. ගොඩක් දෙනෙක් ඔයා දිහා බලන් ඉන්නව පුතා. හැබැයි ඔයාගෙ තීරණේ මොකක් වුණත් ඒ කවුරුවත් ඔයා ගැන අමනාපයක් නෑ. ඒක නිසා අපේ කැමැත්ත ප්‍රශ්නයක් කර ගන්නෙ නැතුව නිදහසේ ඔයා තීරණයක් ගන්න”

අප්පච්චි මාව මාර්ගයකට අවතීර්ණ කරවනන්නට උත්සාහ කළේ මේ වෙත්දී මට ම මා ගැන දැනුණ අරමුණකින් තොර ව පා වීමේ ස්වභාවය නිසා යයි සිතමි.අනිත් පැත්තෙන් අදීශ් ගේ සමාගමය මට වැඩි වැඩියෙන් ලැබෙමින් තිබිණ. මම ඒ සමාගමය අපේක්ෂා ද කළෙමි. සමහර වෙලාවට අපි අපේ වර්ගයේ ම මිතුරන් අප ව තේරුම් ගනිතැයි සිතනවාට වඩා විරුද්ධ ලිංගික මිතුරන් ගැන විශ්වාසය තබන්නෙමු. මගේ අතීතය නමැති හද දොර ටික කලක් තිස්සේ මා අගුලු ලා ගෙන සිටිය ද අදීශ් අස ද ඒ විවර කිරීමක් නොකළ ද මට ඔහු ළඟ දී මොකක්දෝ පහසුවක් දැනිණ.

“මුණිවර ගැන ඔයාගෙ අතීතය මං දන්නවනෙ. ඒ වගේම ඔයා දැන් ඉන්න නියුට්‍රල් තැන ගැනත් මට චූටියට දැනෙනව. අපේ යාළුකම් අනිත් හැම දේකටම වඩා වටිනව තමයි. හැබැයි ඔයාව මට යාළුවෙක්ට වඩා දැනෙනව. ඒක නිසා මන්දාකිණීගෙ අකමැත්තක් නැත්තං…තව දුරටත් මුණිවර ගැන ඔයාගෙ අදහසකුත් නැත්තං…කාලෙත් එක්ක හෙමිහිට ඔයා රිකවර් වෙයි…එතකල්….අපිට මැරි කරන්න පුළුවන්. මට ඔයත් එක්කම ඒ අලුත් ජීවිතේට හැඩ ගැහෙන්න පුළුවන් වෙයි”

ටික දිනක් තිස්සේ තනිව හිතූ සිතිවිල්ලක්, එක දවසක් ඔහු ඔහු ගේ කැබ් එක ද මම මගේ ස්කූටිය ද නවතා ගෙන නිල්වන් මිටියාවතක බිම හිඳ ගෙන ඈත නිල් කඳු යාය දෙස බලා ගෙන සුසුම් හෙළමින් ද කතා කරමින් ද සිටියදී අදීශ් විසින් කියා දමනා ලදී. මම මඳකට හුස්ම නතර කර ගෙන ඔහු දෙස බලා සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content