“මේක ඉතින් මේධාවිණිට වෙන තැනක් නෙවෙයිනෙ, මේක මේධාවිණීගෙ මහ ගෙදර. ඒ වගේම ඔය තමන්ට කියල ඉන්න තැනක් තියෙනව කිව්වට ඒකත් ඉතින් ඔය කසාදෙ වෙද්දි මේධාට දෑවැද්දට හම්බුවෙච්ච එකක් නෙ”
“අංකල් මං…” කියා චිරත් ඒ කතාවට විරුද්ධව දෙයක් කියන්න හැදුවත් අත උඩට එස්සූ මනුර සුමතිපාල ඒ කතාව අතරමග නතර කර දැම්මේ සමච්චල් සහගත හිනාවක් දෙතොල් අග රඳවගෙනය.
“මේධා ටික දවසක් මෙහෙ ඉඳීවි, එයා ආයෙ ඒවි එයාට එන්න ඕන කියල හිතිච්ච දවසක. අනික ඉතින් දරුවගෙ ඉස්කෝලෙ නිවාඩුත් පටන් ගන්න එකේ හෙට අනිද්දා ඉඳලා මේධාට පුලුවන් ටික දවසක් මෙහෙ ඉන්න. එන යන එක අපි ඉන්පස්සෙ බලමු” කියා මනුර සුමතිපාල කතාව කියද්දි මෙවෙලේ මේකට කට වහගෙන උන්නොත් තමන්‍ට මුලු ජීවිත කාලෙම කටවහගෙන ඉන්න වෙන විත්තිය චිරත් දැන උන්නේය.
“වෙනදත් නිවාඩු කාලෙට බබයි මේධයි දෙන්නම ඉඳියෙ ඉතින් අපෙ ගෙදරනෙ අංකල්. සොරි සොරි මේධාගෙ වෙඩින් එක වෙලාවෙ අංකල්ලා ඩව්‍රි එකට එයාට දිපු ගෙදරනෙ. ඉතින් මේ පාර ඒක වෙනස් කරන්න හේතුවක් නෑ නේද?” කියා කියන ගමන් මෙච්චර වෙලා අතේ උන්නු පෙත්මලීව බිමින් තිබ්බ චිරත් “බබී ඔයා සෝමා ආන්ටි එක්ක රූම් එකට ගිහිල්ලා පේන්ට් කරන්න” කියා කිව්වෙ මොක උනත් දරුවා ඉස්සරහා මේ වගේ තුට්ටු දෙකේ ප්‍රශ්න දිග හැරගන්න උවමනාවක් නැති හන්දාය. පෙත්මලී සෝමාගේ අතේ එල්ලි උඩ තට්ටුවට ගොස් නොපෙනි යනතුරුම ඒ දිහා බලා උන්නු චිරත් අනතුරුව මේධාවිණී දෙස බැලුවේ ඇත්තටම මෙතන තමන්ට කතා කරන්න දෙයක් ඇත්තම් ඇත්තේ මේධාවිණී එක්ක මිස මනුර සුමතිපාල එක්ක නොවන නිසාය.
“මේධා මම හිතන්නෙ මම කියන්න හදන දේ ඔයාට හොඳටම තේරෙනවා ඇතිනෙ නේද? මේක ඔයාගෙයි මගෙයි අතරෙ තියෙන අපි දෙන්න එකතුවෙලා විසඳගන්න ඕන ප්‍රශ්නයක් මිසක් ඔයාගෙ අම්මල තාත්තල මැද්දට පැනලා අපි දෙන්න වෙනුවෙන් විසඳලා දෙන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම මැරි කරලා ඉන්නෙ ඔයාව මිසක් ඔයාගෙ අම්මවත් තාත්තවත් නෙවෙයි නේ නේද?
ඒ නිසා කරුණාකරල දරුවවත් ලෑස්ති කරගෙන ඇවිත් කාර් එකට නගින්න” කියා චිරත් මේධාවිණී දෙස බැලුවට මේධා උන්නේ තාත්තත් චිරත් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් තමන් ගත යුත්තේ කුමනාකාරයේ තීරණයක්ද කියා දෙලොවක් අතර දෝලනය වෙමින් ය. අනෙක් අතට හවස් වරුවේ තමන්ගේත් චිරත්ගෙත් ගෙදරට ගොස් පෙත්මලීටත් තමන්ටත් දවස් කිහිපයකට අවශ්‍ය ඇඳුම් කැඩුම් රැඟෙන එද්දි නොසෙල්වී එක තැනක තිබුන, ශක්තිමත් හිත කෙස් අවුල් කරගත්, බැල්ම අපිලිවෙල චිරත් ඉදිරියේ සෙලවෙන අයුරුත් මේධාවිණීට තේරුණාය.
“දරුවගෙ ඉස්කෝලෙ නිවාඩුත් දෙනවනම් ෆ්‍රයිඩේ ඉඳල ආයෙ මොකටද ඔයා එහෙ ගිහින් මේ උදේ නැගිටන් කෑම හදන් අර මනුස්සය එනකම් රෑ තිස්සෙ ඇහැරගෙන ඉන්නෙ. ඕනනම් එයාට මෙහෙ එන්න කියන්න. එයා ඒවිද දන්නෙ නෑ. ඒ උනාට මං නම් කියන්නෙ පොඩි චේන්ජ් එකකටත් එක්ක ඔයා මෙහෙ ඉන්න. නේද කමලිනී?” කියා තාත්‍තා අහද්දී අම්මාත් හිස වැනුවේ ඒ කතාව ඔප්පු කරන්න වගේය. එවෙලෙ හිස වනා අම්මාත් තාත්තාත් කියූ කතාව පිළිගනිද්දි චිරත් ඉදිරියේ ඒක පිළිගන්න බැරි වෙන හේතුව කුමක්ද කියා වටහාගන්න මේධාවිණීට පුලුවන් උනේ නැත.
“මම ටික දවසක් ගෙදර ඉඳලා එන්නම් චිරත් ප්ලීස් ඔයා දැන් යන්න. මේ රෑ ඇවිල්ලා ඔයා කියන විදියට අපිට ප්‍රශ්න කතාකරලා විසඳගන්න බෑනෙ. ඒ නිසා වෙන වෙලාවක අපි කතා කරමු. අනික මම ඉන්නෙ පිට තැනක නෙවෙයිනෙ. මම ඉන්නෙ අපේ අම්මලගෙ ගෙදර.ඒ නිසා බයවෙන්න දෙයක් නෑනෙ. ප්ලීස්. දැන් යන්න චිරත්. ප්ලීස්” කියා මේධාවිණී කියද්දී එක මොහොතකට තමන් මෙහි ආව එකත් අපරාදෙ කියා හිතුනත් චිරත් ඊලඟ ප්‍රශ්නෙ මේධාගෙන් ඇහුවේ වෙන කරන්න දෙයක් තිබුනෙ නැති හන්දමය.
“ඔයා කියන්නෙ මට යන්න කියලද මේධා?” කියා අහද්දී චිරත්ගේ දෙනෙත්වල ඇඳී තිබුණ කෝපය දැක්කද මේධාවිණි ඒ හඬේ තැවරී තිබිච්ච වේදනාව හඳුනාගත්තේ නැත. නොඑසේනම් ඒ වේදනාව ඇසුණද මේධ වෙනදා වගේ ඒ කෙරේ එතරම් ලොකු අවධානයක් දුන්නේ නැත.
“ඔව් ඔයා දැන් යන්න චිරත්. ප්ලීස්. මං හිතන්නෙ නෑ අපිට මේ දැන් මේ වෙලාවෙ මෙච්චර කලබලේකින් කතාකරන්න දෙයක් තියෙනව කියලා. ඒ නිසා ඔයා දැන් යන්න ප්ලීස්” කියා මේධාවිණී අඩක් පින්සේන්ඩු වෙමින්ද අඩක් අණක් වගේද කියද්දී එතන තවදුරටත් රැඳෙන්න බෑ කියා හිතුන හැඟීම චිරත්ගේ දෙපයට එතනින් පිටවෙන්න අවශ්‍ය ශක්තිය ගෙනවිත් දුන්නේය. එහෙත් ඒ හැරී එන්න පලමුව චිරත් ආයෙ වතාවක් මේධාවිණීගේ දෙනෙතත් ඇගේ දෙනෙත මොහොතකට මග හැර ඇයට පිටුපසින් හිටගෙන උන් මනුර සහ කමලිනී සුමතිපාල යුවලගේ දෙනෙතත් බැලුවේය. ඒ දෙනෙත්වල ඇඳී තිබුණ එකමාකාරයක බැල්ම තමන්ට නුපුරුදු එකක් බවත් දෙනෙත් යුවල තුනකින් නික්මෙන ඒ එකමාකාරයේ ප්‍රතික්ශේප කිරීමක් ගැල්වුණ බැල්ම ඉදිරියේ තව දුරටත් සෘජුව හිටගෙන හිඳින්නට බෑ කියා තේරීමත් ආපසු හැරී ගේට්ටුව වෙත එන්නට චිරත්ට හේතු කාරණා සැපයුවේය.
සෝමා එක්ක උඩ තට්ටුවේ කාමරයට ගියද පෙත්මලී උන්නේ කුමක් හෝ අසහනකාරී හැඟීමකිනි. ඉඳ හිට අම්මා එක්ක ආච්චිත් සීයත් බලන්න මෙහි ආ අවස්තාවල විසල් ගෙවත්තේ දුව පැන ඇවිදින්නට ඉඩ ලැබුනත් පාලුව මැකෙන්න සෙල්ලම් කරන්න සෝමා ආන්ටි උන්නත් පෙත්මලී දුවෙක් විදියට වැඩිපුරම ආදරය කලේ තාත්තිටය. තාත්ති ලඟට වී නිදාගන්න, තාත්තිගේ කරේ නැග එහෙ මෙහෙ යන්නට, ඉඩ තියෙන වෙලාවල් වල තාත්තිද සෙල්ලම් කරන්න එන ගෙදරක මිස තාත්ති නැති ගෙදරක ඉන්න උවමනාවක් පෙත්මලීට තිබුනේ නැත. ඊයේ අම්මා අසනීප වෙච්ච නිසා ඊයෙත් අදත් ආච්චිලගෙ ගෙදර හිටියද පෙත්මලී බලාගෙන උන්නේ තාත්ති ඇවිත් තමන්වත් අම්මාවත් ආපහු ගෙදර එක්කරගෙන යනතුරුය. කලින් වතාවේ ඉස්කෝලෙ නිවාඩු වෙලාවෙ තාත්ති තමන්ව තාත්තිගේ ඔෆිස් එකට එක්කරගෙන ගිය අයුරුත්, කානිවල් එකෙන් අයිස්ක්‍රීම් අරගෙන දුන්න අයුරුත්, මූද බලන්න එක්කරගෙන ගොස් ආපසු ගෙදර එද්දී සෙල්ලම් කරන්න මූදු වැලිත් සිප්පි කටුත් බාල්දියක දාගෙන ආ යුරුත් පෙත්මලීට මතකය. ඒ වැලි දමාගෙන ආ බාල්දියේ වැරදීමකින් නැග ගෙන ගාල්ලේ සිට කොළඹ බලා ඇවිත් උන්නු කලු පාට කටු වගේ කකුල් තියන මූදෙ ඉන්න සතෙක්ව ආයෙ වතාවක් මූදට දමා එන්න ගෝල්ෆේස් ගිය එකත් පෙත්මලීට මතකය.
“අපි එයාව ගෝල් ඉඳලනෙ තාත්ති අරං ආවෙ. ඉතින් එයාට ගෝල් ෆේස් ඉඳල ආයි ගෝල් යන්න පාර හොයාගන්න පුලුවන් වෙයිද? දුරයිනෙ” කියා තමන් අහද්දී “බයවෙන්න එපා බබී, එයාට පුලුවන් වෙයි හරියට පාර හොයන් යන්න. අපි බලමුකො. අපි විශ් කරමු එයාට යන්න පුලුවන් වෙන්න කියලා” තාත්ති කිව්ව එකත් පෙත්මලීට මතකය.
පෙත්මලී බලන් උන්නේ මේ පාරත් නිවාඩුවට තාත්ති එක්ක එහෙම රෝන්දෙ ගහන්න බලාගෙනය. තාත්ති ඇවිත් තියෙන්නෙ තමන්ව එක්කරගෙන යන්න කියා හිතා පෙත්මලී සෝමා ආන්ටි එක්කම උඩ තට්ටුවට ගොස් අම්මාගේ කාමරයේ එහෙ මෙහෙ දමා තිබුන තමන්ගේ පොත්පත් ආදියද සෙල්ලම් බඩු ආදියද තමන්ගේ ස්කූල් ගෙනියන බෑග් එක අස්සට ඔබාගත්තේ තාත්ති එක්කම යන්න හිතාගෙනය.
කාර් එකක් ස්ටාට් වෙන සද්දෙට බැල්කනියට දිව ගිය පෙත්මලී දුටුවේ තමන්ව අමතක කර දමා තමන්ට එච්චර ආදරේ කල තාත්තා කියන්නෙම නැතුව පිටව යන අයුරුය.
“තාත්තී, තාත්තී” කියාගෙන කෑගසමින්ද අඬමින්ද දුවගෙන ආ පෙත්මලී උත්සහ කලේ සාලයේ උන් අම්මාවත් ආච්චිවත් සීයාවත් පසුකර ගොස් තාත්තා පසුකර යන්න උනත් එලියට බහින දොර ලඟ උන්නු අම්මා තමන්ව අල්ලාගෙන ඒ ගමන නැවැත්තුවයින් පස්සෙත් පෙත්මලීට කරන්න පුලුවන් වෙච්ච එකම දේ හයියෙන් අඬන ගමන් “තාත්තී යන්න එපා” කියා අඬන එක පමණකි.