හද සාගරේ – 13

0
3891

කරදර වලින් පිරී ඇති ආදියා මන්දරී බෙත්මගේ ගේ හිත මත තැවරෙනා එක ම සඳුන් කල්කය දෙව්රම් සන්දනායකයි. කරදර කීවාට ඇගේ හිත මත පැටවී ඇති එක ම කරදරය ඔවුන් ගේ ගෙදර නිදහසේ සිටිත නොහැකි වීමයි. නමුත් කෙනෙකුගේ  හිත පීඩනයට පත් කරන්නට එක ම එක කරදරයක් වුව ප්‍රමාණවත් ය. කවදාවත් නැතිව තාත්තා දිනේශ් සමග වචන හරඹයකට පැටළුණේ ඇගේ පෙළඹීම නිසා බව ආදියා දනී. අම්මා ඒ ගැන නො සන්සුන් ව සිටිනා බව ද ඇය දනී. සඳුදා කාර්යාලයට පැමිණියත් විටින් විට ඇගේ හිතේ මැවුණේ ඒ සිදුවීමේ දර්ශනයි. අමතක කරන්නට වෙහෙසෙන යමක් වැඩි වැඩියෙන් සිහිපත් වෙමින් මනසේ මතුපිටට පැමිණීම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් ඒ අතරින් ද දෙව්රම් ඔවුන් ගේ මිදුලේ තණකොළ කැපූ දර්ශනය ඇයට මැවි මැවී පෙනෙන්නට විය. දෙව්රම් කාර්යාලයට පැමිණි වෙලාවේ පටන් ඒ සිදුවීම තව තවත් තීව්‍ර වී පෙනෙන්නට ගති. ඈ මල්ෂා සමගින් සිදුවීම කෙටියෙන් කීවේ ද කිසිවෙකු ට නො  දැනෙන සේ රහසිනි. නමුත් ඇය ඒ සිනහව සඟවා ගනිමින්  වීදුරු කුටිය විනිවිද බලනා බොහෝ අවස්ථා වල දෙව්රම් ට හසු විය. ඔහු ගේ ඇස් වල තියුණු රහස් පරීක්ෂක බැල්මක් වූයේ ය.

එදා දෙව්රම් සිය කැබින් එකෙන් පිටතට විත් කාර්යාලයීය සගයන් සමග වචනයක් දෙකක් කතා කරමින් ද මේස අතරේ ඇවිදිමින් ද යම් වේලාවක් ගත කළේ ය. ආදියා ව දකිත්දී අඩ සිනහවකින් “කොහොමද” කියා ඇහුවේ හිතේ යමක් සඟවාගෙන ද කියාත් ආදියා ට සිතුණ තරමි.

“දැන් තේ ගැන බොනව කියන එකට වැඩිය දෙයක්     දන්නවද…”

ඔහු ගේ ප්‍රශ්නයට යාබද මේස වල සිටි කොල්ලෝ කෙල්ලෝ සිනහ වූහ.

“මෙයා  තේ බොනවයි කියල දන්නවනං ඒත් පුදුමයි මිස්ට දෙව්රම්”

කොල්ලෙක් මැදින් පැන්නේ  ය. දෙව්රම් තරමක් හඬ නගා සිනහ වූයේ ය. ආදියා ඒ කොල්ලා දෙස බලා කට ඇද කළා ය. ඒ ගමන් දෙව්රම් වෙනත් මේසයක් දෙසට හැරී කතා කරන්නට වූයේ ය. ආදියා, පිටුපා සිටින ඔහු දෙස දෑස් දල්වාගෙන බලා සිටියා ය. මේ තරමට වශී බන්ධනයක් බඳු වන පිරිමින් සිටිත හැකි ද? මුළු මහත් ඔහු යනු මැවුම්කාර දෙවියා විසින් ඉතා පරිස්සමෙන් මවනා ලද මහරු රුවකි. ඉසියුම් පිළිමයකි. කිසිදු තැනෙක ඇදයක් පළුද්දක් සිදු නොවූ නිමාවකි. ඇස් වහ කට වහට නිරන්තර ගොදුරු විය හැකි රන් රුවකි.

ඒ කතා බහ අතරේ දෙව්රම් දුරකතන ඇමතුමක් ගත්තේ ය. ඒ ඔහු ට රහස් ඇමතුම් දෙන්නී ට ය. එහෙම කරන්නට හිතුණේ ඇයි කියා ඔහු ම දන්නේ නැත. ආදියා ගේ සිනහව දනිත්දී ඔහු ට ඒ රහස් ඇමතුම් ගන්නී සිහි වෙයි. එදා දුරකතනය ඔස්සේ ඇගේ සිනහව ඇහෙත්දී දැනුණු හුරුපුරුදු බව අයිති ආදියාට වාගේ ඔහු ට දැනෙයි. ඔවුන් දෙදෙනා එක්කෙනෙකු ලෙස සමපාත කරගන්නට කිසිදු හේතුවක් ඔහු ට නැත. නමුත් හදවත යමක් ඉව කරමින් සිටී. කෙසේ වෙතත් ඒ ඇය නම් දැන් දුරකතනය හැඬවෙනු ඇසිය යුතුයි. සැබවින් දුරකතනය හැඬවෙමින් තිබිණ. නමුත් ඔහු අවටින් හඬක් නැගුණේ නැත. එසේ ම ඊට නිහඬ බවකින් හෝ පිළිතුරු ලැබුණේ ද නැත. දිගට ම හැඬවුණා පමණකි.

ආදියා පාෂාණිභුත වී සිටියා ය. මේස ලාච්චුව තුළ වන කුඩා බොත්තම් දුරකතනය හැඬවෙනු, යන්තම් විවර වූ ලාච්චු කටින් ඇයට පෙනේ. ආදියා එම දුරකතනය කාර්යාලය තුළදී නිහඬ කර තබන්නේ මුල සිටම ය. එසේ නො විණි නම් මේ මොහොතේ තත්වය කුමක් වනු ඇත්ද? තිරය මත දිස් වන අංකය ඇයට ඇස් පියාගෙනත් හැඳිනිය හැකි වේ. දෙව්රම් එතරම් ම සියුම් මිනිසෙකු ද? ඔහු, ඒ ඇමතුම් දෙන්නිය හා සිය කාර්යාලයේ ගිණුම් ශිල්පිණියක වන ආදියා එක් අයෙකු සේ සැක කරන්නට පටන් ගෙන ද? ඈ සිය අතැඟිල්ලකින් හෙමිහිට ලාච්චුව තල්ලු කොට සම්පූර්ණයෙන් වසා දැමුවා ය. පරිගණක තිරය වෙතට ම නෙතු අලවා ගත්තා ය. දෙව්රම් “ආදියා” කියාගෙන ඇය වෙතට යොමු වූයේ එතකොටයි. ඔහු ට දැන් ඇගේ නම මතක තිබීමේ සතුට විඳින්නට දෛවය ඉඩක් නොදුන් හැටි!

“මිස්ට දෙව්රම්…”

“අනේ ආදියා පොඩ්ඩක් මගෙ මොබයිල් නම්බර් එකට රිං එකක් දෙන්න. මගෙ ලයින්  එක වැඩ කරන්නැද්ද මන්ද…”

හත් පෙති මලේ එක් පෙත්තක් කඩා උත්තර ධ්‍රැවයට හදිසියේ ම ගිය ගෑනු ළමයා වාගේ ආදියා සීතලෙන් ගල් ගැහුණා ය. ඇගේ හද ගැස්ම කොපමණ තීව්‍රතාවයකින් සිදු වී ද කියා ඇය ම දන්නේ නැත. පරිගණක යතුරු පුවරුව අසල වූ සිය ස්මාට් දුරකතනය ගෙන ඕ දෙව්රම් ගේ මුහුණ දෙස බැලුවේ අංකය ඉල්ලා සිටිනා බැල්මකිනි. ඔහු ගේ දුරකතන අංකය ඇගේ මතකයේ ගබඩා වී තිබෙන්නේ වසර කිහිපයක් තිස්සේ ය. ගෙදර දුරකතන අංකයවත්, තාත්තා ගේ දුරකතන අංකයවත් ඇයට මතකයෙන් කිව නො හැක. දුරකතන ගබඩාව තුළින් ගෙන අමතනවා පමණි. ඒ අනුව සිය දුරකතන අංකය හැරෙන්නට මෙලොව ඇයට මතක තිබෙනා එක ම අංකය එයයි. සිය දුරකතනය නොමැතිව ඇයව කිසිවෙකු විසින් පැහැරගෙන ගියෝතින්, බේරාගන්නා ලෙස ඉල්ලා ඇයට ඇමතුමක් දිය හැක්කේ ද දෙව්රම් ට පමණක් බව ඒ අව් අස්සේ ආදියා ට සිහිපත් විය. නමුත් ඔහු අසල දී මතකයෙන් ඔහු ගේ දුරකතනය අංකනය කරන්නේ කෙසේ ද?

දෙව්රම් ඔහු ගේ දුරකතන අංකය කීවේ ය. ආදියා එය අංකනය කළා ය. අනිත් ඉම හැඬවිණ.

“වැඩ කරනව නේ… තෑන්ක් යූ ආදියා”

කියමින් ඔහු එතැනින් හෙමිහිට ඉස්සරහාට ගියේ ය. සිදු වෙමින් පවත්නේ කුමක්දැයි ආදියා සැබැවින් ම තිගැස්මට ලක් වූවා ය.

රහසිගත ඇමතුම් දෙන ඇයත් ආදියාත් දෙදෙනෙකු මිස එක් අයෙකු නොවේයි සිතන්නට දෙව්රම් ට සිදු වී තිබේ. නමුත් ඔහු ගේ හිත යමක් කියමින් නො කියමින් හිඳී!

“අපේ හිතේ සැකයක් තියනකොට අපිට දේවල් ඇදේටම පේනව. දෙව්රම් ඒ වෙලාවෙ එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ගන්න කිව්වෙ ඇත්තටම එයාගෙ ෆෝන් එකේ අවුලක්ද බලන්න වෙන්නත් පුළුවං. නැත්තං කොල්ලට තමුසෙගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න ඕන වුණාද කියන්නත් බෑනෙ”

මල්ෂා ගේ අදහස වූයේ එයයි. නමුත් ආදියා ගේ හද ගැස්ම යථා තත්වයට පත් කරන්නට මිතුරිය සමත් වූයේ නැත.

“පිස්සුද…”

“ඇයි… එයා දන්නෑ කියලද හිතන්නෙ තමුසෙ ෆුල් ක්‍රශ් කියල… ඒක තමුසෙගෙ ඇස් දෙකෙං පෙරෙනව. සමහර විට දෙව්රම් කැමති ඇති තමුසෙට”

රහසිගත ඇමතුම් දෙන්නිය හා ආදියා යනු එක්කෙනෙකු යයි දෙව්රම් සැක කරනවා කියා සිතනවාට වඩා, මල්ෂා කියන විදිහට හිතනා එක සහනදායී විය.

“එක අතකට තාම මුකුත් වෙලාත් නැති එකේ අමාරුම තැනින් හිතන්න පටන් ගන්නෙ මොකටද… ලේසි තැනින් හිතනව”

ආදියා මඳහසින් තීරණයකට ආවා ය. ඒ සතියේ මැද දවසකට වැටී තිබි ආගමික නිවාඩුව, රැකියා වලට යන කාටත් හිතට සුවයක් විය. සාමාන්‍යයෙන් ඒ පෙරදී නම් දෙව්රම් කාර්යාලයට නො එනා දිනයකි. නමුත් දැන් ඔහු හැම දවසක ම වාගේ සුළු වෙලාවකට හෝ එහි ගොඩ වී යයි. දික්කසාදයේ අඳුරු මතක වලින් ඈත් වීමට වැඩියෙන් වැඩ කරනවායි ඔහු අදිටන් කරගත් බැව් සැබවි. නමුත් ගෝල්ඩන් ලීව්ස් වෙත නො පැමිණියත් ඔහු ට වැඩ නම් ඕනෑ තරම් තිබේ. කෙසේ  වෙතත් සුළු මොහොතකට හෝ එහි ගොඩ වී යාමට දැන් ඔහු ට ඕනෑ වේ.

දවසකට වරක් ස්වල්ප මොහොතකට හෝ දෙව්රම් දැක ගන්නට ලැබෙන අවස්ථාව අහිමි වීම හැරෙන්නට, ආදියා ට ද සති මැද නිවාඩුවක් යනු ලොකු දෙයකි. දිනේශ් ගේ කලබලයක් නැත්නම් දවස පුරාම ඇඳ බදාගෙන විවේක සුව විඳින්නට හෝ පිළිවන.

“හප්පේ… මේ පුතානෙ… අම්මාපල් මං හිතුවෙ නෑ ආයෙ වතාවක් අපිව මතක් වෙලා එයි කියලනං”

තාත්තා එසේ කියන හඬ මිදුල දෙසින් ඇසෙත්දී ආදියා සිටියේ දිය නාගන්නට සිතා ඇඳුම් තෝරමිනි. ඇය ජනේලයට දෑස් හරවා බැලුවේ ඒ තරම් සතුටකින් තාත්තා ඒ පිළිගන්නේ කාවද කියා ය. ඇයට ඇස් අදහාගත නො හැකි විය. දෙව්රම් සන්දනායක බෑග් එකක් අතින් ගෙන සිනහ වෙවී නිශ්ශංක ඉදිරියේ සිටියේ ය.

“මේ ළඟටම ආව අංකල්. කෝ මේ මගෙ යාළුව…”

කියමින් ඔහු ගේ දෙස බලත්දී වහා තිර රෙද්ද ට මුවහ වූ ආදියා අතකින් පපුව අල්වා ගත්තා ය.

“යාළුව කිව්වෙ මේ…”

දෙව්රම් පවසන්නේ කවුරුන් ගැන දැයි සැබවින් නිශ්ශංක ට අනුමාන කරගත හැකි වූයේ නැත.

“අර එදා හිටිය බබා… එදා එයාට මොනාත් ගෙනාවෙවත් නෑනෙ බබෙක් ඉන්නව කියල දන්නැති නිසා. එයාට මං පොරොන්දු වුණා ආයෙ එද්දි චොක්ලට්ස් අරං එන්නං කියල”

“ආ කිව්ව තමයි කෙල්ල”

“ඉතිං මේ ළඟට ආපු ගමං හිතුණ බබාට ස්වීට්ස් ටිකක් ගිහිං දෙන්න ඕනෙ කියල”

“අනේ ඉතිං පුතාට ඒ තරමට අපිව මතක තිබුණ එකත් කොච්චර දෙයක්ද…ජිනා… මේ බලන්නකො කවුද ඇවිත් තියෙන්නෙ කියල”

කියමින් ගෙතුළට කෑගැසූ නිශ්ශංක,

“කියෝ කියෝ හිටියෙ පුතාට කෑම ටිකක් කන්න දෙන්න බැරි වුණා කියල. අදනං යන්න දෙන එකක් නෑ අපේ නෝන”

යයි පොඩි සතුටු සිනහවක් පාමින් දෙව්රම් ගේ උරහිස මත අතක් තැබුවේ ය.

“යං යං ඇතුළට”

ආදියා සීතල වෙමින් ද ගල් වෙමින් ද සිටියා ය. මේ හදිසියේ සිදු වෙන්නට යන්නේ කුමක් ද? දෙව්රම් කිසිදු ප්‍රතික්ශේප කිරීමකින් තොරව ගේ දෙසට එමින් සිටියේ නිශ්ශංක ගේ අතිජාත මිත්‍රයෙකු සේ සතුටෙනි. ඇයට අම්මා ගේ හඬ ආලින්දය දෙසින් ඇසිණ. දෙව්රම් සිත්මි ට හුරතල් කතා කියනු ද ඇසේ. දැන් ඉතින් කුමක් කරන්න ද? අම්මලා අද නම් ඔහු ව කෑමට නතර කරගන්නා බව සහතික ය. ඔහු මේ එන්නේ ඇත්තට ම තාත්තා ගැන ඇති වූ හිතවත් කමින් ද නැතහොත් දුරකතන ඇමතුම් දෙන්නිය කවුරුන්දැයි සොයාගන්න ද? ඒ කොහොම වුණත් දිගින් දිගට ම ඔහු මෙහි පැමිණෙන්නට ගත්තොත් එය ඉතා විශාල අවධානමකි. රහසිගත ඇමතුම් දෙන්නිය වී දෙව්රම් සන්දනායක ඉදිරියට යන්නට පිළිවන. නමුත් ගෝල්ඩන් ලීව්ස් හි ගිනුම් අංශයේ ආදියා මන්දරී ලෙස ඔහු ට මූණ දෙන්නේ කෙසේ ද?

“මේක වෙන කවුරුවත් කරපු වරදක් නෙවේනෙ. දැං ඉතිං ඒ වැරැද්දට දඬුවම් විඳින එකයි”

හිතේ එක පැත්තක් අනතුරු ඇඟවී ය.

“ඉතිං අහු වුණොත්නෙ අවුල්. අහු නොවී හිටියහම ඉවරයිනෙ”

හිතේ අනිත් පැත්ත ඇය වෙනුවෙන් පෙනී සිටියේ ය. ආදියා හිතුවක්කාර සිනහවක් නගා ගත්තා ය.

“චූටි දුව”

කියාගෙන ජිනාදරී කාමරයට ආවේ ඒ වෙලාවේ ය. දොර වහගන්නටවත් ඒ කලබල අස්සේ ආදියා ට අමතක වී තිබිණ.

“දෙව්රම් පුතා ඇවිත්. එන්නකො ඉස්සරහට යන්න. එදත් ඔයා දැක්කෙ නෑනෙ”

කියමින් ජිනාදරී ආදියා ගේ මැණික් කටුව ළඟින් අල්වා ගත්තේ ඇය ඇදගෙන ඉස්සරහාට යන සූදානමිනි. නමුත් ආදියා වෙර යොදා ජිනාදරී ව නවතා ගත්තා ය.

“අම්… මෙ”

ආදියා ගේ මුහුණේ මඳ කේන්තියක් ද නොරිස්සුමක් ද විණි.

“මට යන්න ඕන නෑ. පිස්සුද අනේ. මට ඔය නළුවො  මහ ලොකු නෑ”

“හරි හරි ඉතිං. මහ ලොකු වෙන්න ඕන නෑ. මනුස්සකමට ගිහින් ටිකක් කතා කරන්නකො”

“මට ඕන්නෑ”

ආදියා ගේ ස්වරයේ දැඩි බවක් විය. ඇගේ මැණික් කටුවේ ග්‍රහණය ලිහිල් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here