සාද

දේවකී ලස්සන කවරයක බහා තිබුණු ඇරයුම්පත එළියට ගත්තේ කුතුහලයෙන්.ඒ නිසාම ඇය ලහි ලහියේම ඇරයුම් පත කියවා අවසන් කළා

” මේනක මේ බලන්නකෝ “

දේවකී උස් හඬින් කතා කළේ ලැප්ටොප් එක දිග ඇරගෙන කාර්යාලයේ වැඩක් කරමින් හිටපු මේනකට ඇහෙන්න

” ඇයි දේවකී ?”

” මේ invitation එකක් ඇවිල්ලා. ශලනිලාගෙන් “

” birthday එකක්ද ? “

මේනක ඇහුවෙ ඒ තරම් උනන්දුවකින් නම් නෙමෙයි

” නෑ අනේ. පොඩි එක්කෙනා අකුරු කියෙව්වට පාටියක් ලු. මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා හැම එකටම පාටි දාන්න “

සාද වලට යන්න කැමැත්තක් දැක්වුවත් ඉඳහිට හෝ නිවසේ සාදයක් පවත්වනවාට අකමැති දේවකී කතා කළේ නොරිස්සුමෙන්

” එයාලා ඉතින් ලයිෆ් එකේ හැම පොඩි දෙයක්ම හොඳට celebrate කරන අය නේ. ඒක එයාලගේ සතුට “

” birthday එකක් නං කමක් නැහැ.ඒත් අනේ හැම එකටම පාටි දාන්න ඕනෙද ? ඕවට නාස්ති කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න අරන් දුන්න නම් ඉවරනේ “

” මම ඔයාට සල්ලි දෙන්නං දේවකී. ශලනිගෙ බබාට ගැලපෙන දෙයක් බලල අරගන්න “

අනුන්ගේ තීරණ ගැන විනිශ්චය කරන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි කියලා කවදත් හිතපු මේනක දේවකීගේ කතාව මගහැරියා.

” බලන්නකෝ ඉතින් නේද ඔව්වට පුදුම සල්ලියක් යනවා ඇතිනේ “

දේවකී දුරකථනයෙන් කාත් එක්කද කතා කරනවා මේනකට යන්තමින් වගේ ඇහුනා.

ශලනිගේ පුංචි දියණිය අකුරු කියවීම නිමිත්තෙන් පැවැත්වුන සාදයට දේවකී මේනක එක්ක සහභාගි වුණා.විවාහ වෙලා අවුරුදු දෙකකට වඩා ගත වුණත් දරු සුරතල් බලන්න වාසනාව නොලද දේවකීට ශලනිගේ දියණිය දැක්කම ඇතිවුණේ පුදුමාකාර ආදරයක්

” අනුන්ගේ දරුවන්ටත් තමන්ගේ දරුවන්ට වගේ ආදරය කරන්න හැමෝටම බැහැ දේවකී. ඒ අතින් ඔයා මාරයි “

තමන්ගේ දියණියව උකුලේ තියාගෙන පළතුරු යුෂ වීදුරුවක් පොවන දේවකී ගාවින් ශලනි වාඩිවුනේ එහෙම කියාගෙන.

” ඔයා සිතුමිට මෙච්චර ආදරේ නම් හෙට අනිද්දා ඔයාට දරුවෙක් ලැබුන දවසට කොහොම ආදරේ වෙයිද “

ශලනිගේ දෑස් දිලිසෙන හැටි දේවකී හොඳටම දැක්කා.

” බොරුවට සුදු හුණු ගාන්න ශලනිත් දන්නෙම නෑ ඉතින් “

සාදයට ගිහින් ඇවිත් නින්දට යන යන්න සූදානම් වෙනකොට දේවකී ආයෙමත් නෝක්කාඩු කියන්න පටන් ගත්තා

” කිසිම අඩුවක් නැතුව පාටි එක තිබුණා නේද දේවකී . වෙන තැන්වල නම් පොඩි ළමයෙක්ගේ පාටි එකක් වුණත් මහ මිනිස්සු බීලා නටනවා. ඒ අතින් ශලනිලා දරුවාට මුල්තැන දීලා හැමදේම ලෑස්ති කරලා තිබුණා “

මේනක ඒ වගේ උත්තරයක් දෙනකොට දේවකී ඇඳේ අනෙක් පසට හැරිලා පෙරවනය අස්සට ගුලි වුණා.

” ශලනිලගෙ පාටි එක හොඳට තිබුණාලු නේද එදා ? මට එන්න බැරි උනානේ දේවකී “

දින කිහිපයකට පස්සේ දවල් වරුවේ දේවකීව මුණගැහෙන්න පැරණි මිතුරියක් වුණ මෙලනි ආවා.

” පාටි එක නං හොඳට තිබුණා.ඒ උනාට අනේ ඕවා මහා බොරු වැඩ. එයාලට ඉතින් විසි කරන්න තරම් සල්ලි තියෙන නිසා හොඳයි “

” එහෙමත් කියන්න බැහැ නේද දේවකී ? එයාලා ඉතින් බබාට ගොඩක් ආදරෙයි නේ. ඉතිං එයාගෙ හැම විශේෂ දවසක්ම මතක තියෙන්න ඕන නිසා හොදට celebrate කරනවා ඇති .එහෙම couples ඉන්නවනේ ඕනේ තරම් “

” මොන පිස්සුද මෙලනි ? ඔය සල්ලි වලින් පිනක් දහමක් කරානම් යන තැනකට ගෙනියන්න හරි තියනවා . පාටි දාලා පිට මිනිස්සුන්ට කන්න බොන්න දීලා මොනවද අනේ ලැබෙන්නේ ? “

පහුකරපු උපන්දිනයකට වත් මිතුරු හමුවක් පවත්වපු නැති දේවකීගේ අදහස් ගැන මෙලනිට එතරම් පුදුමයක් දැනුණේ නැහැ. මෙලනි ගේත් මිතුරියක් වන ශලනි ඉටුකර ගත් ඇගේ ආසාවන් ගැන දේවකී විවේචනය කිරීම මෙලනිගේ හිතට ගෙනාවෙ නොරිස්සුමක්.

” දේවකී කීප දෙනෙක් එක්කම මං ගැන එක එක දේවල් කියල තිබුන මෙලනි.ඒත් මම ඕව හාර අවුස්සන්න ගියේ නැහැ. ලබන මාසේ තියෙන බබාගේ බර්ත්ඩේ එකට උනත් මම දේවකී ට invite කරනවා “

ශලනි කතා කළේ බොහොම සන්සුන්ව.ශලනිගේ සාද ගැන දේවකී නෝක්කාඩු කියන බව ශලනිට කිහිප තැනකින් ම ආරංචි වෙලා තිබුණා.මෙලනිව හමු වුන වෙලාවක ශලනි ඒ ගැන කිව්වත් දේවකී තමන් එක්කත් යම් දේවල් කිව්ව බව මෙලනි කියන්න ගියෙ නැහැ.

” ඒක හොඳයි ශලනි. එයා අකමැති නම් නෑවිත් ඉඳියිනෙ “

කිව්ව වගේම ශලනි ඇගේ දියණියගේ උපන්දින සාදයටත් දේවකීට ඇරයුම් කළා.දුරකථනයෙන් කළ ඒ ඇරයුම දේවකී භාරගත්තේ බොහොම සතුටින්.

” රෝස පාට තමයි දේවකී අපේ තීම් එක. dress code එකත් රෝස පාට “

එහෙම කියපු ශලනි දියණියගේ උපන්දින සාදය ගැන තවත් විස්තර දේවකී එක්ක කියලයි ඇමතුමට සමුදුන්නෙ

” දැන් ඉතින් රෝස පාටින් ඇඳුනුත් ගන්න එපැයි. පුදුම විකාර මේවා “

මේනක කාර්යාලයට ගිහින් ගෙදර ආව වෙලාවෙ ඉඳන් දේවකී කතා කළේ ශලනිගේ දියණියගේ උපන්දින සාදය ගැන

” ඔයා ඔච්චරටම ඕකට අකමැති නම් අපි නොගිහින් ඉමු. ඒ මිනිසුන්ට ඕන නිසා නේ ඕව කරන්නේ දේවකී “

” මම ඉතින් යන්න බැහැ කිව්වේ නැහැනේ . මම කිව්වේ පාටියක් වුණත් එච්චරටම විකාර කරන්න ඕනේ නැහැනේ කියලා “

” මේකෙන් පස්සෙ අපි ශලනිලාට ඩිනර් එකකටවත් invite කරමු. අපි දැන් එයාලගේ parties කීපයකටම ගියා නේ “

” ඔයාට පිස්සුද මේනක ? අපි කිව්වේ නැහැනේ එයාලට අපිට ඉන්වයිට් කරන්න කියලා “

මොන තරම් දේවල් කිව්වත් දේවකී සාදයට ලෑස්ති උනේ ලොකු උනන්දුවකින්.බෝනික්කන් තේමා කරගෙන සකස් කරලා තිබුණ උපන්දින සාදයේ සැරසිලි දැක්කම දේවකීට ඇතිවුණේ පුදුමයක්

” මෙහෙම decaration කරලා තියෙන පාටි එකක් මම මේ ඇස් දෙකට දැක්කමයි ශලනි “

බීම වීදුරු කිහිපයක් අරගෙන ආව ශලනිට දේවකී කිව්වේ නොසන්සිඳුණු පුදුමයෙන්

” අපේ බබා බෝනික්කන්ට හරිම ආසයි දේවකී . ඒකයි මම මේ වගේ theme එකක් තෝර ගත්තෙ “

” මේවට ඉතින් සෑහෙන සල්ලියක් යන්න ඇති නේද ? අපරාදේ ඉතින් මේ පැය ගානකට එච්චර වියදම් කරන්නේ.ඔයාලට තිබුණෙ ඒ සල්ලි වලින් වැඩිහිටි නිවාසෙකට දානයක් වත් දෙන්න “

දේවකී එහෙම පිළිතුරු දෙනකොට ශලනි සුපුරුදු සිනාමුසු මුහුණින් යුතුව ඇය ලඟින් වාඩි වුණා

” අපි මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් අපි සතුටු වෙන්න ඕනේ නැද්ද දේවකී ? ඒ හැම සතයක්ම පිනට දෙන්න ඕනෙද ? “

ශලනි එහෙම අහද්දී දේවකී ගොලු වුණා

” අපි අද උදේ ළමා නිවාසෙකට දානයක් දුන්නා. මේ පාටිවල ෆොටෝස් ෆේස්බුක් දානවා වගේ අපි ඒවාත් ෆේස්බුක් දාන්නෙ නැහැ දේවකී. ඒ නිසා ගොඩක් මිනිස්සු හිතන්නේ අපි පින්දහම් කරන්නේ නැති මිනිස්සු කියලා “

ශලනිගේ සන්සුන් හඬ දේවකී ගේ හිතට ඇතිකළේ තරමක අපහසුවක්.

” අපිට තාම ඉන්නේ එක දරුවයි.ඉතිං අපිට එයාව ලෝකයක් තරම් වටිනවා.කවද හරි එයාට මතක තියෙන්නයි එයාගේ හැම විශේෂ දවසක්ම අපි සමරන්නේ.අපිට තව දරුවෝ ලැබුණොත් එයාලටත් අපි එහෙම කරයි.ඒක අපේ කැමැත්ත.එහෙම නොකරන අයත් ඉන්නවා.ඒක එයාලගේ කැමැත්ත.එහෙමයි කියලා අපි එයාලට මුකුත් කියන්න යන්නේ නැහැ.එහෙම කියන්න අපිට අයිතියකුත් නැහැ දේවකී “

එහෙම කියපු ශලනි , සිනාමුසු මුහුණින් ම දේවකී ගේ පිටට තට්ටුවක් දාලා නැගිටල යන්න ගියා.තමන් කියපු වචන ආපහු ගන්න තිබුන නම් මොන තරම් හොඳද කියල දේවකීට හිතුනේ ඒ වෙලාවේ

More Stories

Don't Miss


Latest Articles